අපේ හාමුදුරුවන්ගේ ගවමස් කඩය සහ ප්‍රදර්ශනවාදී බුද්ධාගම – බණ්ඩාර උඩුරාවන
මතුගම ප්‍රාදේශීය සභාවට අයත් මතුගම පොදු වෙළ පොළේ ගව මස් කඩය සඳහා 2018 වර්ෂයට ටෙන්ඩර් කැඳවා තිබුණි. එම ටෙන්ඩරය විවෘත කිරීම 2017 ඔක්තෝබර් මස 27 සිකුරාදා මතුගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී එම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ලේකම් අශෝක රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ටෙන්ඩර් මණ්ඩලයක් ඉදිරියේ විවෘත කර තිබේ. එකී මස්කඩය සඳහා 2017 වර්ෂය සඳහා ඉදිරිපත්ව තිබූ ටෙන්ඩර් මුදල රුපියල් විසිදෙලක්ෂ හැටදහස් එකසිය පණහක් ව තිබූ බවත් මෙවර අවම ලංසු මුදල රුපියල් විසිහතර ලක්ෂ අසූහය දහස් එකසිය හැටපහක් ලෙස නියම කර තිබුණු බවත් සඳහන් වේ.
ටෙන්ඩරය සඳහා ඉදිරිපත්ව ඇත්තේ ඉල්ලුම්කරුවන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් 2017 වසරේත් මතුගම පොදු වෙළෙඳ පොළ ගව මස් කඩය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. අනෙක් තැනැත්තා භික්ෂුවකි.
පසුගිය වසරේ ගවමස් වෙළෙඳ වල පවත්වාගෙන ගිය වෙළෙන්දා 2018 වසර සඳහා ඉදිරිපත් කර තිබූ ලංසුව රුපියල් විසිහත් ලක්ෂ දහසය දහසකි. භික්ෂුවගේ ලංසුව රුපියල් තිස්දෙලක්ෂ විසිපන්දහස් හයසිය විසි දෙකකි. ඒ අනුව 2018 සඳහා මතුගම පොදු වෙළෙඳ පොළ ගවමස් කඩය ටෙන්ඩරය රුපියල් පන්ලක්ෂ නවදහස් හයසිය විසිදෙකක් වැඩියෙන් ලංසු තැබූ භික්ෂුවට හිමි වී තිබේ.
ටෙන්ඩරය ලබාගත් භික්ෂුව මාධ්‍යවලට පවසා තිබුණේ, තමා එම මස් කඩය ටෙන්ඩර් මගින් ලබා ගත්තේ මස් විකුණන්න නොව මස්කඩය වසා දැමීමට බවයි. තමන් මුදල් වැයකර මස්කඩය ලබාගත් බැවින් තමා කැමති දෙයක් ඊට කළ හැකි බවත් ඊට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැති බවත් භික්ෂුව තව දුරටත් පවසා තිබුණේය.
එම ප්‍රකාශය අනුව එකී භික්ෂුවගේ දැනුමේ තරමත් ආකල්පයේ තරමත් වටහා ගන්නට පුළුවන. පළමුව, ටෙන්ඩරය කැඳවනු ලබන්නේ මස් කඩය පවත්වාගෙන යාම සඳහාය. සාමාන්‍යයෙන් ඩෙන්ඩර් දැන්වීමක සඳහන් වන්නේ මස්කඩය පවත්වාගෙන යාම සඳහා වන ටෙන්ඩරය වශයෙනි. එසේ සඳහන් නොකළද යම් ව්‍යාපාරික ස්ථානයක් සඳහා ටෙන්ඩර් කැඳවීම යනු වැඩිම ලංසුව ගෙවා එය පවත්වාගෙන යාමට ඉදිරිපත් වීමයි. ඒ අනුව භික්ෂුව සිය මුදල් යොදවා ටෙන්ඩරය ලබාගත් පළියටම ගව මස් කඩය වසා දමන්නට අයිතියක් නැත. මස් කඩය පවත්වාගෙන නොයන්නේ නම් භික්ෂුව අයින් වී සුදුසු කෙනකුට මස් කඩය පවත්වාගෙන යාමට ඉඩ දියයුතුය. එසේ නොවන්නේ නම් භික්ෂුවට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුය. ඊට මූලික විය යුත්තේ මතුගම ප්‍රාදේශිය සභාවයි.
ගවමස් කඩය වසා දැමීමට හේතුව වශයෙන් භික්ෂුව සඳහන් කර තිබුණේ මතුගම නගර ආසන්නයේ දකුණු ආසියාවේ ලොකුම බුදු පිළිමය තිබෙනවාය යන්නයි. උන්ගේ දාර්ශනික දුගී බවේ නැතහොත් ආකල්පයේ තරම මස් කඩ සිද්ධියෙන් ප්‍රකට වන බව කීවේ එහෙයිනි. භික්ෂුවම කියන ආකාරයට දකුණු ආසියාවේ ලොකුම බුදු පිළිමය මතුගම ඇත්තේය. ඒ නිසා 2015 සිට මස් කඩ වහන්නැයි ප්‍රාදේශීය වභාවට ඉල්ලීම් ද කළේය. බුදු පිළිමයක තරම අනුව ගව මස් කඩ තිබිය යුතු ද නොතිබිය යුතුද යන්න තීරණය කළ හැකිද? බුදු පිළිමය අසල නොව බුදුන් ජීවමානව වැඩසිටි ස්ථානවලද සත්ත්ව ඝාතන සිදු වූ බව බෞද්ධ සාහිත්‍ය අනුව පෙනේ. චුන්ද සූකර නමැති ඌරු ඝාතකයා නිදසුනකි. මතුගම ඔලමොළ භික්ෂුව මෙන් බුදුන් වහන්සේ චුන්දගේ ඝාතන බලහත්කාරයෙන් නවතන්නට ඉදිරිපත් වූ බවක් අප දන්නේ නැත. අප දන්නා බුද්ධ දර්ශනය අනුව බුදුන් චුන්දගේ නිවෙසින් දානය පවා වැළඳූහ. ඉන් වටහා ගත හැක්කේ මතුගම භික්ෂුවට රටේ නීතිය, බුද්ධ දර්ශනය යන දෙකම නොවැටහෙන බවයි.
මස් කඩයේ ටෙන්ඩරය රැගෙන එය වසා දමන්නේ ජනතාව පවෙන් මුදවා ගැනීමට බවද ඉහත භික්ෂුව තියා තිබුණි. බුදුන් හෝ රහතුන් මිනිසුන් පවෙන් මුදවා ගන්නට වෙළෙඳසැල් වැසූ බවක් ද අප දන්නේ නැත. මැණික් සැට්ටර කතා වස්තුවේ කතා පුවත ආදියෙන් පැහැදිලිවන්නේ මස් වැද්දාගේ නිවෙස වුව පිළිකෙව් නොකොට භික්ෂූන් වහන්සේලා අනුශාසනාවෙන් මිනිසුන් පවින් මුදා ගත් බවයි.මස්කඩ ටෙන්ඩරය ලබාගත් භික්ෂුවගේ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ ඌහුට (උන්වහන්සේ නොකියන්නේ හිතා මතාය. ඌහු බෞද්ධ භික්ෂුවක් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටින බැවිනි) දකුණු ආසියාවේ ලොකුම බුදු පිළිම වහන්සේ ඉදිකළ හැකි වුවද මිනිසුන් යහමගට ගැනීමට නොහැකිව ඇති බවයි. එසේ නම් භික්ෂුව කළ යුත්තේ මස්කඩ වැසීම නොව තමා බුදුන්වහන්සේට නිගා නොකට උපැවිදි වීමය.
ඉහත ගව මස්කඩ ප්‍රශ්නය අපට ප්‍රජාතන්ත්‍රවාදි රාමුවෙන්ද විමසා බලන්නට පුළුවන. භික්ෂුව කියන ආකාරයට මතුගම පොළ පැවැත්වෙන බදාදා සහ ඉරිදා දිනවල පමණක් අදාළ මස් කඩයේ ගවයන් දෙදෙනකුගේ මස් විකිණේ. දැනට මස්කඩය පවත්වාගෙන යන වෙළෙන්දා කියා තිබුණේ පොළ දිනවලට මස් කිලෝ 150 – 200ත් අතර ප්‍රමාණයකුත් අනෙක් දිනවල මස් කිලෝ 50 -60 පමණක් විකුණන බවයි.
මස්කඩ හිමියා මස් විකුණන්නේ මිනිසුන් මස් පරිභෝජනය කරන නිසාය. මතුගම යනු මුස්ලිම් ජනතාව බහුල නගරයක් නොවන බැවින් උපකල්පනය කළ හැක්කේ එම මස් කඩයෙන් ගවමස් මිලදී ගන්නා බහුතරය සිංහල හෝ දෙමළ විය යුතු බවයි. පොළ දිනවල මස් වෙළෙඳාම වැඩි වීමට හේතුව වශයෙන් සැලකිය හැක්කේ නගරයට පිටතින් පොළට එන පිරිස මස් රැගෙන යාමය.
තමන් කැමති ආහාරයක් ගැනීම ජනතාවගේ අයිතියකි. ගවමස් කෑම ප්‍රතිපත්තියක් වශයෙන් අත්හැරීම එකකි. එය බලහත්කාරයෙන් නැති කරන්නට යාම ගවමස් කෑම ප්‍රිය කරන්නන්ගේ අයිතිය උල්ලංඝනය කිරීමකි. එසේ කරන්නට භික්ෂුවකට, ප්‍රාදේශීය සභාවකට තබා ආණ්ඩුවට, උසාවියට හෝ අයිතියක් නැත.
පවු සිදුවන්නේ ගව මස් කෑමෙන් පමණක්ද? පවින් මුදවා ගන්නට ගවමස් කඩ වැසීම පමණක් සෑහේද? වැනි ප්‍රශ්න නොනගන්නේ ඒවා බොලඳ කතා බැවිනි. මස් කන අයට කෑමටත් නොකන අයට නොකෑමටත් රටක නිදහස තිබිය යුතුය. බුද්ධ ප්‍රතිමා, වෙහෙර විහාර ඇති නිසා යැයි සලකන්නේ නම් රටේ බොහෝ තැන්වල මස්කඩ පමණක් නොව අනෙකුත් මස් කඩ, මාළු කඩ, පමණක් නොව කරවල කඩ, ටින්මාළු කඩ පවා ඊට අදාළ විය යුතුය.
නගන තර්ක වලින් පෙනෙන්නේ අදාළ භික්ෂුවගේ මන්ද බුද්ධික බව බැවින් වරද නිවැරදි කරන්නට මතුගම ප්‍රාදේශීය සභාව වහා ඉදිරිපත් විය යුතුය. එනම් භික්ෂුව මස් කඩය වසා තැබුවහොත් වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. සිවුර යනු නීති කැඩීමට බලපත්‍රයක් හෝ මෝඩකම් ප්‍රදර්ශනය කරන උපකරණයක් නොවන බැවිනි. එසේම මෙවැනි භික්ෂුවක් බෞද්ධකමටද නිගාවක් බැවිනි.