ලේබල් කිරීමේ ඛේදවාචකය – නිශාන්ත කමලදාස

 ඔහුගේ මව සිංහල පවුලකට අයත් ය. පියා දෙමළ ය. ඔහු සිංහල ද දෙමළ ද එකසේ හසුරුවයි. ඔහු අයත් වන්නේ කුමන ජාතියකට ද?

ඇය කතා කරන්නේ සිංහල ය. දෙමළ හොඳින් හැසිරවීමට ද ඇය අපොහොසත් ය. එහෙත් නම නම් දෙමළ ය. ඒ තාත්තාගේ නම දෙමළ වූ නිසා ය. ඇයගේ ජාතිය කුමක් ද?

ඔහුගේ පියා දෙමළ භාෂාව කතා කරන පවුලකින් පැවත එන්නෙකි. මව සිංහල ය. ඔහුට දී ඇත්තේ සිංහල නමකි. ඔහු අයත් වන්නේ කුමන ජාතියකට ද? මේ සියලු ප්‍රශ්න එන්නේ ආණ්ඩුවේ තොරතුරුවල ජාතිය සඳහන් කරන්නට සිදු වූ විට ය.

ජාතිය ලේබල් වීම

ජාතිය එක් යුගයක වැදගත් ලේබලයක් වන්නට ඇත. ඒ මිනිසුන් වැඩිය මිශ්‍ර නොවුණුවටපිටාවක ය. ඒ යුගයේ පවා ඒ සඳහා ද වැඩිපුර සැලකු‍ණේ භාෂාව ය. යම් ප්‍රජාවක් එකතු කරනු ලැබුයේ, ඔවුන් එකිනෙකාගෙන් උගෙන එක් ආකාරයක ජීවිතයකට හුරු වුණේ, මේ භාෂාව නිසා ය. එසේ එකම ජීවන ශෛලියකට හුරු වූ එකම භාෂාව කතා කරන ප්‍රජාවක් සුවිශේෂී සංස්කෘතියකට ද උරුම කම් කීවේ ය. ඒ තමන් අගයන්නේ කුමක් ද බැහැර කරන්නේ කුමක් ද යන හර පද්ධතියක් ගොඩ නගා ගනිමිනි. ඒ තුළ හැසිරීම පහසු විය. ඒ ප්‍රජාවෙන් බැහැර ව ගනුදෙනු කිරීමේ දී තත්වය ඊට වඩා සංකීර්ණ විය.

එහෙත් මිනිසුන් ලෝකය පුරා විසිර යන්නට වූ විට එකිනෙකා හා මිශ්‍ර වන විට ජාත්‍යන්තර භාෂාවන් කතා කරන විට ඒ නිර්ණායකයේ වැදගත්කම අඩු විය. යටත් විජිතයන් බිහිවන විට ඒ හරහා ආගමික ආක්‍රමණයන් සිදු වන විට එකම භාෂාවක් කතා කරන අය අතර පවා පැහැදිලි සංස්කෘතික වෙනස්කම් ඇති විය.

සංක්‍රමණය මේ සියල්ල තව වටයකින් අවුල් කළේ ය. සිංහල නොදන්නා එහෙත් සිංහල පවුල්වලින් පැවත එන ඕස්ට්‍රේලියානු ජාතිකයන් සෑහෙන පිරිසක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙති. ඔවුන්ගේ ජාතිය කුමක් ද?

සිංහල බස හැසුරුව ද ක්‍රිස්තියානි ආගම අදහන ප්‍රජාවක හර පද්ධතිය සිංහල බස හසුරුවන බුද්ධාගමෙන් හික්මවනු ලැබූ ප්‍රජාවක හර පද්ධතියට තරමක් වෙනස් විය. ඒ අනුව සිංහල හෝ දෙමළ ලේබලය අහවල් සංස්කෘතිය නියෝජනය කරන්නේ යැයි කියන්නට ද බැරි ය.

ජාතිය මෙසේ கනොවැදගත් අර්ථ විරහිත නිර්ණායකයක් බවට පත් වෙමින් තිබෙන්නේ වුව ද කෙනෙකුට කතා කළ හැකි භාෂාව නම් තවදුරටත් වැදගත් අර්ථවත් නිර්ණායකයක් විය හැකි ය. කතා කරන භාෂාව වෙනුවට වර්තමානයේ එහෙමට කියන්නට අර්ථයක් නැති ජාතිය මත පදනම් කරගෙන මිනිසුන් වර්ග කරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ රජයවත් අඩු වශයෙන් තම ලියකියවිලිවල මේ ලේබලය ඉවත් නොකරන්නේ ඇයි ද යන්න ඒ හරහා ම මතුවන ප්‍රශ්නයකි. රජය ද ශ්‍රී ලාංකික යැයි රටේ ජනතාව නොහඳුන්වා සිංහල දෙමළ මුස්ලිම් අනන්‍යතාවක් තවදුරටත් තහවුරු කරන්නේ ඇයි ද යන්න ගැටලුවකි.

මිනිසුන් තමන් සිංහල දෙමළ හෝ මුස්ලිම් ලෙස හඳුන්වා ගැනීම ගැටලුවක් නොවේ. තවදුරටත් මේ ප්‍රජාවන් තුළ කිසියම් සංස්කෘතික අනන්‍යතාවක් භාෂාව අභිබවා තිබෙන හෙයිනි. එහෙත් එය දියව යන අනන්‍යතාවකි. මිශ්‍ර විවාහයන් තුළ මේ යැයි නිශ්චය ලෙස කිව නොහැකි අනන්‍යතාවකි. ගැටලුව නම් ආණ්ඩුව ඒ වෙනස තවදුරටත් තහවුරු කිරීමට යෑම ය. ඒ තුළ අප සඳහන් කළ වර්ගයේ පුද්ගලයින් අපහසුතාවයට පත් කිරීම ය.

ආගමේ හණ

ආගම ජාතියටත් එහා ගිය එකකි. අප ආගම ලෙස ගන්නේ අපේ මාපියන්ගේ ආගම ය. එය පරම්පරාවෙන් පරම්පරාවට යන එකක් ලෙස ද සලකනු ලැබේ. අන් ආගමකට හරවා ගැනීම පාප කර්මයක් කර තිබේ. එය අතීතයෙන් අප ගෙන එන ලේබලයකි. ඊට වඩා වැඩි වටිනාකමක් ආගමකට නැත. ප්‍රශ්නය ඇත්තේ ඒ ලේබලය අයින් කොට වෙන ලේබලයක් අලවන්නට ගිය විට ය.

බොහෝ අයට බෞද්ධ ලේබලය ඇතත්, ඒ හා සම්බන්ධ චාරිත්‍රයක් වාරිත්‍රයක් හදිසියේ කරතත්, ඉන් එහා බෞද්ධකමක් ඔවුන් තුළින් ප්‍රදර්ශනය වන්නේ නැත. බොහෝ ආගමිකයන් සම්බන්ධයෙන් ද තත්වය ඊට වෙනස් නැත. මේ නිසා ම තමන් විසින් කරන ප්‍රකාශනයකින් මිස කවරෙකුගේ හෝ ආගම අහවල් එකකැයි සහතික කර ගැනීමේ ක්‍රමයක් ද නැත.

දේශපාලන සටනේ දී ලබා ගත හැකි වාසිය පිණිස තම ආගම අතහැර බුද්ධාගම වැළඳගත් දේශපාලනඥයෝ ද අමතර විවාහයක් කර ගැනීමට මුස්ලිම් ආගම වැළඳගත් පාරම්පරික බෞද්ධයෝ ද අප අතර සිටිති. ඒ කියන්නේ මේ ලේබලය වුව ගලවා ඉවත් කර පහසුවෙන් වෙන එකක් අලවා ගන්නට හැකි බව ය.

ආගමක් දහමක් නොඅදහන එකා නරුමයෙක් වන සමාජයක කුමක් හෝ ආගමක් කෙනෙකුට තියෙන එක හොඳ ය. ඉතින් මාපියන් දායාද කළ එක තියා ගැනීම ඒ සඳහා පහසුම එක ය.

වෙසක් දිනයක කොඩියක් එල්ලා තැබීමෙන් ඉඩ අවසර තියෙන පෝය දිනයක පන්සලකට ගොඩ වැදීමෙන් හිතේෂියෙකු මැරුණු විට පාංශුකූලය දීමෙන් හත් දවසේ තුන් මාසයේ වසරේ දානය දීමෙන් මේ ලේබලයට සාධාරණය ඉෂ්ඨ කිරීමට බෞද්ධයෝ පෙළඹී සිටිති. සෙසු ආගම්වල ද මෙවැනි චාරිත්‍රයන් කීපයක් අනුගමනය කිරීමෙන් ලේබලයට අවශ්‍ය සුදුසු කම් සපුරාලිය හැකි ය.

මේ එක ද කටයුත්තක්වත් නො කළත් ලේබලය අලවා ගෙන සිටින අය ද වෙති.

ප්‍රශ්නය මිශ්‍ර විවාහ නිසා මේ කටයුත්ත සංකීර්ණ වීම ය. තාත්තා ක්‍රිස්තියානි වී අම්මා බෞද්ධ වූයේ නම් ගත යුත්තේ කාගේ ආගම ද? බොහෝ දරුවන් මේ නිසා අසරණ වේ. තීරණය බොහෝ විට වැඩි බලයක් පවුල තුළ ඇත්තේ කාටද යන්න මත හෝ වැඩි බලපෑමක් කළ හැක්කේ කාට ද යන්න මත හෝ තීරණය වනවා ඇත.

අප මේ කුළල් කාගන්නේ එහෙමට මේ යැයි කියන්නට පදනමක් නැති ආගමක් අල්ලා ගෙන ය. සමහරු දිවි දෙන්නට යන්නේ ද පදනමක් නැති මේ ලේබල් එකට ය.

කුලයේ රඟ

කුලය ඊටත් එහා ය. ගමක නම් අහවලා අහවල් කුලයේ ය යන්න පරම්පරාවෙන් පරම්පරාවට බාර දුන් තොරතුරුවල ගැබ්ව තිබුණේ ය. දැන් නගරයේ දී මේ කුලය හොයා ගන්නට බැරි ය. එහෙම වුනහම සොයා ගත්තේ නම බැලීමෙනි. සියම් නිකායේ මහණ කරන්නට කෙනෙකු හොයන එක දැන්වීමක තිබුණේ පෙලපත් නම “ගේ“ යන්නෙන් ඉවර වෙන අය නොව “ලාගේ“ යනුවෙන් ඉවර වෙන අය අයැදුම් කළ යුතු බව ය. මේ නම ද දැන් ඕනෑ වෙලාවක වෙනස් කළ හැකි නිසා නමෙන් ද එහෙමට කුලය කියන්නට එන්න එන්න ම බැරි වන්නේ ය. ජාතිය සම්බන්ධයෙන් දුර්වල නිර්ණායකයක් ලෙස භාෂාව තිබුණ ද එහෙමවත් එකක් කුලයට නැත. දිනෙන් දින කුල හංවඩුව පවත්වාගෙන යෑම අසීරුවෙමින් තිබේ.

එසේ වුව ද පන්සලේ දී නම් මහණ වෙන්නට ද ගිහි ජිවිතයේ නම් විවාහයක් කරගන්නට ද කරන උත්සහයන් හි දී මේ ඔප්පු කරගන්නට පවා අමාරු කුලය ඉදිරියට පැමිණෙයි. අරණායක කන්දක් නාය ගියේ ය. ස්වභාව ධර්මය එහි දී කුලය සලකා බැලුවේ නැත. අගතියට පත් පාර්ශවයන් අතර කුලවන්තයෝ ද කුල හීනයෝ ද සිටියෝ ය. ඒ දෙගොල්ලන්ට ම සමව බෙදන්නට සූදානම් ආණ්ඩුවේ ආයතනවලට තර්ජන පැමිණියේ ය. දෙගොල්ලන්ටම එක සමාන ගෙවල් දීම කුලවන්තයන්ගේ කෝපයට හේතු වී තිබුණේ ය.

ඒ කියන්නේ තවමත් කුලය මිනිසුන් අතරමං කරන බව ය.

ලේබලයේ බර

මේ සියල්ලෙන් කියන්නේ කොටු ගසා අපව බෙදා වෙන් කරන මේ ලේබල්වල එහෙමට හරයක් නැති බව ය. එයට යම් වටිනාකමක් අතීතයේ තිබුණා නම් එය ද මේ වන විට ක්ෂය වෙමින් තිබෙන බව ය. මේවා එල්ලා ගෙන සිටීම අනාගතයට යන ගමනක බාධක බවට පත් විය හැකි බව ය. මේ ලේබල් බොහෝ විට ගැටුම්වලට හේතු වී ඇති බව ය.

මේ ලේබල් නිසා සිදු වන ඊළඟ දේ නම් සැබැ ස්වරූපය වසන් වීම ය. ඒවා බොහෝ තන්හි පාවිච්චියට ගැනෙන්නේ ද සැබෑ ස්වරූපය වුවමනාවෙන් වසන් කිරීම සඳහා ය.

අත පුරා පිරිත් නූල් දුසිම් ගණනක් බැඳ සිටින නීල හොරු පන්සලේ එකත්පස්ව බණ අහන විට සිය සැබෑ ස්වරූපය වසන් කර ගන්නේ ය. කෙනෙක් වේදිකාවේ ජාතිය වෙනුවෙන් කෑ මොර දෙන විට ද තම සැබෑ ස්වරූපය යටපත් කර ගන්නේ ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ ලේබල්, හොරුන්ට හා වංචාකාරයින්ට සැඟව ගන්නට මනරම් ආවරණයක් සපයන්නේ ය.

මේ ලේබල් නිසා සැබෑ ස්වරූපය මතු වන අවස්ථා ද තිබේ. ඒ වසලයෙක් වන්නේ ජන්මයෙන් නොව ක්‍රියාවෙන් යැයි කියූ බුදුන්ගේ ශ්‍රාවකයන් තමන් බවට ලේබලයක් අලවා ගනිමින් ඒ ශරීරයෙන් ම කුල හීනයන් යැයි ගරහමින් අන් මිනිසුන්ට මග අහුරන්නට ලජ්ජා නැති ව ඉදිරියට එන විට ය. බෞද්ධ ලේබලය පලා ගෙන එවිට මතුවන්නේ ම්ලේච්ඡත්වය යි.

බෞද්ධ ලේබලයක් සමග කුල ලේබලයක් අලවා ගත නොහැකි ය. එය සමාන කළ හැක්කේ අරක්කු වීදුරුවක් අතේ ඇතිව අමද්‍යප සටන් පාඨ හඩ නගන කෙනෙකුට ය. නැතිනම් අරක්කු විදුරුවක් තොලගාන අතරතුර සුරාමේරා සිල් පදය මතුරන කෙනෙකුට ය. ලොකු බොරුවක් කියන්නට තතනමින් මුසාවාදා සිල්පදය කියන ස්වාමින් වහන්සේ නමකට ය.

බෞද්ධ ලේබලයක් සමග ජාති ලේබලයක් භික්ෂුවකට අලවා ගත නොහැකි ය. ඒ බුදුන් වහන්සේ සිය පියාණන් අමතා තමා අයිති ශාක්‍ය වංශයට නොව බුද්ධ වංශයට බව අසා එයින් පාඩමක් භික්ෂූන් විසින් උගත යුතුව තිබුණ නිසා ය. එවන්නෙක් ජාතිය බේරා ගැනීම උදෙසා සෙසු මිනිසුන් හිංසනයට අවඥාවට ලක් කරන්නට ඉදිරියට එන විට ඔහුගෙන් ගිලිහෙන්නේ බෞද්ධ ලේබලය ය.

අලවා ගෙන ඇති ලේබලය ඇත්තටම කුමක් දැයි සෙසු මිනිසුන්ට සැක පහළ වන්නේ මෙවන් විටක ය. ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැත. මෙසේ දිගින් දිගට විමසා බලන්නට කැමති නම් අවසානයේ නැවත නැවතත් පෙනෙන්නේ මේ ලේබල් වල එහෙමට අර්ථයක් නැති බව ය. සැබෑ වටිනාකමක් නැති බව ය. මේ ඔක්කොම බොරුව පදනම් ව පවතින බව ය.

පරණ ලේබල් වෙනුවට අලුත් ඒවා

මෑතක දී සමාජ ගත වෙමින් තිබෙන තවත් ලේබලයක් තිබේ. ඒ පාසල පාදක කරගෙන ය. ඒ මම ආනන්දියන් මම නාලන්දියන් මම පුස්බෙටේරියන් ලෙස ය. ඒ ඔක්කොමත් අර කලින් සඳහන් කළ ලේබල් වගේ ම පුස් ය. පුස්ම පුස් ය.

මේ පාසල්වලින් බිහිවුණු වටිනා මිනිස්සු සිටිති. ඒ අතරම මේ පාසල්වලින් ම බිහිවුණු අමනුස්සයෝ ද සිටිති. දෙවැනි කොට්ඨාසය ගැන දැන ගත්තොත් මේ පාසලක පස් පාගන්නටත් මිනිසුන් දෙවරක් සිතන්නට ඉඩ තිබේ. ඔවුන්ව පස්සට දමා කීර්තිමත් මිනිසුන් ඉදිරියට ගැනීමෙන් පාසලටත් ඒ පාසලට ගිය හැමටත් බැබලිය හැකි ය. වෙන්නේ ඒක ය.

පාසල පමණක් නොවේ. ශිල්ප ලද සරසවිය ද හැදුණු වැඩුණු ගම් පළාත ද ප්‍රදේශය ද ලේබලයක් අලවා ගැනීමට නිමිත්තකි. වමෙන් ගියත් අපි දකුණේ යනුවෙන් වාහන වල වචනයෙන් ලියමින් කියා ඇත්තේ මේ ප්‍රදේශ පාදක ලේබලයක උරුමය ය. තමන්ගේ වෘත්තීය ද ඇතැම් විට සේවාව ද මේ ආකාරයෙන්ම ලේබල් අලවා ගැනීමට යොදා ගැනේ.

මේවා දියුණු යැයි කියන ලෝකය තුළ ගොඩ නැගී ඇති වැඩවසම් ලක්ෂණ පෙන්වන වෙනත් නම්වලින් හැඳින්වෙන කුල ගෝත්‍රයන් ය.

ලේබලයේ වටිනාකම

මේ හැම ලේබල් කාරයෙකුම උත්සාහ කරන්නේ තමන්ට නැති අලංකාරයක් ලබා ගැනීමට ය. මේවා වැදගත් වන්නේ නැණ ගුණ නැති මිනිසුන්ට ය. කියන්නට තරම් වටිනාකමක් තමන් සතුව නැති මිනිසුන්ට ය. තමන් තනිව ගත් විට නිකම් ම නිකම් මිනිහෙකු වුනහම බැබළෙන්නට බාහිර අලංකාරයන් වුවමනා ය. මේ ලේබල් අඩුවැඩි වශයෙන් සපයන්නේ ඒ බාහිර අලංකාරය ය.

මේ ලේබල්වලට සැබෑ වටිනාකමක් නැති වුව ද ප්‍රායෝගික ලෝකයේ ඒවාට වටිනාකමක් ලැබී තිබේ. ඒ මේ ලේබල් අලවා ගෙන ඉන්නා කණ්ඩායම් විසින් මේවා සමාජ ගත කිරීම හරහා ය.

වෙළෙන්දන් විසින් ප්‍රචාරණය හරහා මිනිසුන් නොමග ගෙනියන ආකාරයට ම, නොවටිනා දේ වටිනා දේ ලෙස සමාජ ගත කරමින් විකුණන ආකාරයට ම, මේ ලේබල් හිමිකරුවන් විසින් ද ප්‍රචාරණය හරහා මේ ලේබල්වලට නැති වටිනාකමක් ඇති කොට පවත්වාගෙන යනු ලැබේ. එසේ කරන අයට මේ ලේබල් හිමිකරුවන්ගේ විශ්වාසය හා කැමැත්ත ද දිනාගත හැකි ව තිබේ. තමන්ගේ ලේබලය උඩ දාන මේ උදවිය ප්‍රතිපක්ෂ ලේබල් යට දාන්නට ද වග බලා ගන්නේ වෙළඳ ප්‍රචාරණයන් නැවත නැවතත් සිහි ගන්වමින් ය.

ලේබලයේ අභාග්‍යය

නීතිය ඉදිරියේ හැම දෙනා සමාන යයි කීව ද එසේ නොවන්නේ ද මේ ලේබල් නිසා ය. නීතිය නැමිමට ද මේ ලේබල් නිසා නීතිය ක්‍රියාත්මක කරන, යුක්තිය පසිඳලන, ආයතනවලට සිදු වේ.

එකම ලේබලය අලවා ගත් අය එකිනෙකාගේ පිට කසා ගැනීමට එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් වන නිසා ම කල්ලි ගැසීමට ද අවස්ථාවක් මේ ලේබල් නිසා ලැබී තිබේ. ඒ කල්ලි අතර ආරවුල් ද ගැටුම් ද ඒ නිසා ඇති වේ.

ඒ කල්ලි අතර එකිනෙකා අභිබවන්නට ද මඩින්නට ද වුවමනාව ඇති වේ. ආයතනයන් තුළ ඇති බෙලිකැපීම්, කකුළෙන් ඇදීම්, වෘත්තීය හිණි මගේ උඩට ගැනීම්, වැනි කටයුතුවලට අනුග්‍රහයක් ද මේ කල්ලිවලින් ලැබේ. ඇතැම් අය සුපර් ස්ටාර්ලා වෙන්නේ ද තමන්ගේ පළාතේ ලේබලය ඉදිරියට දමමින් චන්දය හිගමනේ යෑමෙන් ය. කල්ලියේ අනුග්‍රහය ලබා ගැනීමෙන් ය.

මේ ලේබල්වලින් සිදු වන නරක ම දෙය දක්ෂ ගුණ යහපත් මිනිසුන් යට යෑම ය. හරි ලේබලය නොතිබුණොත් උන් කැපී විසි වී යෑම ය. විශේෂයෙන් ලේබලය භාවිතා කිරීමට ලජ්ජාවක් ඇති යහපත් මිනිසුන් වැඩි වැඩියෙන් පසු පසට යෑම ය.

රටක් ඉදිරියට යෑමට නම් ඉදිරියට ගත යුත්තේ ලේබල් කාරයින් නොවේ. ගුණ යහපත් දක්ෂ මිනිසුන් ය. ඒ නිසා ද මේ ලේබල් පිළිකෙව් කළ යුතු ය. ඒවා දූරිභූත කළ යුතු ය. ලේබල් නැති ලෝකයක් සෑදිය යුතු ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *