නීතිඥ සංගමය තොත්ත බබාලද? – බණ්ඩාර උඩුරාවන

2017 ඔක්තෝබර් 23 ‍නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න මාලාවක් අසමින් නිවේදනයක් නිකුත්කර තිබුණි.

එහි පළමු ප්‍රශ්නය වූයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද යන්නය. නීතිඥ සංගමය වැනි විද්වතුන් නියෝජනය කරන සංගමයක් විසින් එවැනි සිල්ලර ප්‍රශ්නයක් රජයෙන් අසනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. හේතුව 1978 ව්‍යවස්ථාව වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද යන්න ශ්‍රි ලංකේය සමාජය හමුවේ අවුරුදු 40 කට ආසන්න කාලයක් තිස්සේ සංවාදයට ලක්වෙමින් පැවතීමය.

1978 ව්‍යවස්ථාව පිළිබඳ එන්. එම්. පෙරේරා වැනි විද්වතුන් එදා පටන්ම විවේචන විරෝධතා එල්ල කළ බව නීතිඥ සංගමයේ නායකත්වය සහ සාමාජිකත්වය නොදන්නවා යැයි සිතිය නොහැකිය. 1978 ව්‍යවස්ථාව හැඳින්වීමට බොහෝ විට යොදාගත් වචනය වූයේ ඒකාධිපති ව්‍යවස්ථාව යන්නය. හේතුව එකී ව්‍යවස්ථාව ඔස්සේ විධායක ජනාධිපතිවරයාට පැවරී තිබුණු බලයේ තරමයි. ජේ. ආර්. ජයවර්ධන ජාධිපතිවරයා ඔහුට හිමිව තිබූ බලය අර්ථකථනය කළේ, ඔහුට කරන්නට නොහැකි ‘ගැහැනියක පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහැනියක් කිරීමත්’‍‍‍‍‍‍‍ පමණක්ය කීමෙනි. අවසාන වටයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර කාලයේ දී 1978 ව්‍යවස්ථාවේ තරම මොනවට ඔප්පු කෙරුණේ, එතෙක් දෙවතාවකට සීමාවී තිබුණු විධායක ජනාධිපති ධුරකාලය ජීවිතාන්තය දක්වා දීර්ඝකර ගැනීමෙනි.

සිය ධුරකාලය යාවජීව කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් උපයෝගී කරගැනුණේ ද 1978 ව්‍යවස්ථාවේම දුර්වලතා යැයි කීම බොරුවක් නොවේ.

ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට උපයෝගි වූයේ ඔහු ඒ වනවිට ගොඩනගාගෙන තිබුණු පාර්ලිමේන්තුවේ 2/3 බලයයි. ඔහුගේ 2/3 බලයද ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ගොඩනගා ගත්තක් නොවේ. නොයෙක් සටකපටකම් හරහා මෙන්ම තාන්න මාන්න, මිල මුදල් ඔස්සේ ගොඩනගාගත් බලයකි. එකී තත්ත්වය සඳහා උපයෝගි කර ගැනුනේද පවතින ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් හා ඊට අධිකරණයෙන් සපයා තිබුණු අවස්ථාවාදී අර්ථකථනයන්ය. පක්ෂ මාරුව සම්බන්ධයෙන් අධිකරණය ලබා දී තිබුණු අර්ථකථන එහිදී බෙහෙවින් උපකාරී විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් හිස් වූ විට එතෙක් පැවති අතුරු මැතිරණයක් පැවැත්වීම වෙනුවට අපේක්ෂක නාම ‍ලේඛනයේ ඊළඟ තැනැත්තාගෙන් හිස්තැන පිරවීමට ප්‍රතිපාදන සලසා තිබීම ආදිය හේතුවෙන් මහජනතාවට මහජන නියෝජිතයකු වෙනස් කිරීමට මහ මැතිවරණයක් එනතුරුම බලා සිටීමට සිදු වූයේ 1978 ව්‍යවස්ථාව නිසාය.

1978 ව්‍යවස්ථාවේ හොඳත් නරකත් කඑවිට කැටිවුණු අනෙක් අංගය සමානුපාතික නියෝජන ක්‍රමයයි. සුළු ජන කොටස් වලට සහ සුළු පක්ෂවලට ඉන් යම් තරමක වාසියක් තිබුණද එක් අපේක්ෂකයකුට දිස්ත්‍රික්කය පුරා තරඟ කිරීමට සිදුවීම වැනි දුර්වලතාද එහි අඩංගුව තිබුණි. එදා ගමේ ඉස්කෝලෙ මහත්තයාට, කවියාට පාර්ලිමේන්තුවට යාමට තිබූ අවස්ථාව වලක්වාලූයේ 1978 ව්‍යවස්ථාවෙන් ක්‍රියාත්මක කළ ඡන්ද ක්‍රමය විසිනි. එපමණක් නොවේ කළු සල්ලිකාරයන්, මැරවරයන්, දූෂිතයන් පාර්ලිමේන්තුවටත් දේශපාලන කරළියටත් ගෙන ඒම 1978 ව්‍යවස්ථාවේ වරදකි. මෑත කාලය වනවිට අප්පාගෙන් පුතාටත් සැමියාගෙන් බිරිඳටත් බලය හුවමාරු වන තත්ත්වයක්ද ගොඩ නැගෙමින් තිබුණි. පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තුව දේශපාලන පවුල්වල බූදලයක් බවට පත්වන තත්ත්වයක් උදාවී තිබේ.

නීතිඥ සංගමය නියෝජනය කරන අධිකරණය සම්බන්ධයෙන්ද 1978 ව්‍යවස්ථාව පදනම් කරගත් විධායක ක්‍රමය අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. හොඳම නිදර්ශනය සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු වශයෙන් පත්කිරීමයි. නීතිපති ධුරයේ කටයුතු කළ කාලයේ විවිධ චෝදනාවලට ලක්ව සිටි ඔහුට අගවිනිසුරු ධුරය හිමි වූයේ විධායක ජනාධිපතිධූරයේ අනුහස හේතුවෙනි. ඔහු අගවිනිසුරු වශයෙන් පත්කළ විට රාවය පුවත්පත එය හැඳින්වූයේ අධිකරණයේ මළගම වශයෙනි.

අනෙක් කරුණ වන්නේ හිටපු අගවිනිසුරුවරිය ශ්‍රිරාණි බන්ඩාරනායක ධුරයෙන් ඉවත් කළ අකාරයයි. ප්‍රගතිශිලි නීතිඥයන්, සිවිල් සංවිධාන, පොදු මහජනතාව, වෘත්තිය සමිති ආදීන් ගේ විරෝධතා තුට්ටුවකට නොතකා ඇය ධුරයෙන් අද දමනු ලැ‍බුවේ විධායකයේත් විධායකයේ අණසකට නැටවෙන ව්‍යවස්ථාදායකයේත් හේතුවෙනි.

1978 සිට මේ දක්වා බලයට පත් වූ ජනාධිපතිවරුන් ගෙන් බහුතරය බලයට පත් වූයේ විධායක ජනාධිපති ධුරය ඉවත්කෙරෙන ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් පොරොන්දු දෙමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන තිදෙනාම ඊට ඇතුළත්ය. සිරිමා බන්ඩාරනායක මැතිනිය ද මුල පටන්ම දැරුවේ 1978 ව්‍යවස්ථාවට විරුද්ධ මතයක් බව සිහි කළ යුතුය. ඇන්. එම්. පෙරේරා ඇතුළු වාමාංශිකයන්ගේ මතය වූයේ ද එයම බව සියලු ජනතාව දනිති.

2015 ජනවාරි 18 වැනිදා මෙරට බහුතර ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ද අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තුවෙන් යුතුවය. වත්මන් ජනාධිපති වරයා බලයට පත් වූ පසුවත් නිතර ප්‍රකාශ කළේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවයි. 2016 මාර්තු 09 වැනිදා සමස්ත පාර්ලිමේන්තුව ඒකමතිකව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් යෝජනා සම්මත කළ බව නීතිඥ සංගමය නොදන්නවා විය නොහැකිය. වත්මන් අග්‍රාමාත්‍ය වරයා ද මේ වනවිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව වෙනුවෙන් ඍජුවම පෙනී සිටී. විපක්ෂ නායක සම්පන්දන්, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, මුස්ලිම් දේශපාලන පක්ෂ ආදි මහින්ද වාදි නොවන බහුතරයේ මතයද ව්‍යවස්ථාව වෙනස්විය යුතුය යන්නය.

ආණ්ඩුක්‍රමය නීතිය ආදී විෂයන් පිළිබඳ මනා වැටහීමක් ඇති පිරිසක් වශයෙන් නීතිඥ සංගමයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ ‘අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද?’  යනුවෙන් උසස් පෙළ දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දී වැනි ප්‍රශ්න නැඟීම නොවේ. අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවයෙන් මුළුමහත් දේශයම විළිරුදාවෙන් පසුවන බව අවබෝධකර ගැනීමයි. ඒ සඳහා සමාජයටත් ආණ්ඩුවටත් නිසි ම්‍ඟ පෙන්වීමයි. අලුත් ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී ඇති මේ මොහොතේ නීතිඥ සංගමය කළ යුත්තේ තමන්ගේ යෝජනා ඊට ඉදිරිපත් කිරීමයි. යෝජනාවලියේ ගැලුවක් අඩුපාඩුවක් වෙතොත් ඒවා බහුතරයේ යහපත හා රටේ ප්‍රගමනය ඇතිවන ආකාරයට නිවැරදි කර ගැනීමට දායකත්වය ලබා දීමයි. එසේ නොකොට තේරුමක් නැති ප්‍රශ්න ඉදිරිපත් කිරීම අපට වැටහෙන්නේ, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය කරමින් සිටින අභූත චෝදනාවලට උඩගෙඩි දීමක් වශයෙනි.

බණ්ඩාර උඩුරාවන

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *