විමල් වීරවංශ දඩබලූ භූමිකාවෙන් ගහල භූමිකාවට ද ? – භාතිය බරුකන්ද

‘‘නව ව්‍යාවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි’’ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කළ තර්ජනය ඔහු විසින්ම සුපුරුදු ‘‘කබරගොයි – තලගොයි’’ න්‍යාය භාවිතයට ගනිමින් සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහය ආසාර්ථක වුණේ ඔහුගේ ම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක විසින් කඩිනමින් කැඳවන ලද මාධ්‍ය හමුව නිසාය. ඒ අනුව පසුගිය 25 වැනිදා මාධ්‍ය හමුවේ විමල් වීරවංශගේ ප‍්‍රකාශය විවේචනය කරමින් නොනැවතී ඒ සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගන්නා තැනකට ද විජේනායක මහතා ගමන් කළේය.
මෙය කිසිසේත් විමල් වීරවංශ බලාපොරොත්තු වූ තත්ත්වයක් වශයෙන් සැලකිය නොහැකිය. මේ තත්ත්වය ජාතික නිදහස් පෙරමුණේ ඇතැම් ප‍්‍රබලයින් සැලකුවේ විමල් වීරවංශට එරෙහිව පසුගිය කාලය පුරා පක්ෂ අභ්‍යන්තරයේ මෝදු වෙමින් පැවැති විරෝධයක් කල්යල් බලා පුපුරා යාමක් ලෙසය. විශේෂයෙන් විමල් වීරවංශ විසින් පසුගිය කාලයේ සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පියසිරි විජේනායක ඇතුළු කණ්ඩායම විසින් දැඩිව විවේචනය කරමින් සිටින පසුබිමක පක්ෂ නායකයාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් මාධ්‍ය හමුවක් තබමින් විවේචනය කිරීමෙන් නොනැවතී ඒ සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ඉල්ලීම දක්වා ගමන් කිරීම වීරවංශවාදීන්ගේ දැඩි විරෝධයට ලක්වීම පුදුමක් වශයෙන් නොසැලකිය යුතුය.
පියසිරි විජේනායක මහතාගේ ප‍්‍රකාශ දඩමීමා කර ගනිමින් ඔහුව පක්ෂයෙන් පළවා හැරීම සඳහා විමල් වීරවංශ සහ පිරිස පසුගිය 26 වැනිදා උත්සාහ ගත් බව මාධ්‍ය වාර්තා කළේ මේ උණුසුම අතරය. එහෙත් හදිසියේ කැදවන ලද දේශපාලන මණ්ඩල රැුස්වීමට ජනිපෙ ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා සහභාගී නොවීමත්, විතාරණ මහතා සහ තවත් කණ්ඩායමක් විජේනායක මහතා වෙනුවෙන් පෙනී සිටීමත් නිසා විමල් වීරවංශ ඇතුළු පාර්ශ්වයේ උත්සාහය අසාර්ථක වී තිබේ.
එහෙත් වීරවංශ පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු වන නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පසුගිය දා මාධ්‍ය හමුවේ අවධාරණය කළේ පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධාක පියසිරි විජේනායක මහතාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම ස්ථිරයෙන් ම සිදුවන බවයි. ඒ අතර මෙම සිද්ධිය සමග වර්ධනය වෙමින් පවතින ව්‍යාකූලතා ප‍්‍රයෝජනයට ගනිමින් ජනිපෙ දෙකඩ කිරීම සඳහා කිසියම් පිරිසක් කුමන්ත‍්‍රණය කරමින් සිටින බවට ද ජයන්ත සමරවීර මහතා වෝදනා කළේය.
විරවංශගේ බෝම්බයට එරෙහිව පියසිරි විජේනායක පත්තු කළ කාල බෝම්බය හේතුවෙන් මේ වන විට කාලයක් පුරා වර්ධනය වෙමින් පැවැති ජනිප විමල් විරෝධය පක්ෂ බෙදීමක් දක්වා වර්ධය වීමට ඇති හැකියාව පහසුවෙන් බැහැර කළ නොහැකි බව මේ ගැන උනන්දුවක් දක්වන දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ විමල් වීරවංශ මහතාට එරෙහිව ඇති නඩු සියල්ල ම පාහේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමට ඇති ඉහළ සම්භාවිතාව බව රහසක් නොවේ. මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ විජේනායක පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු උපුටා දක්වන්නේ නම් ‘‘එක නඩු තීන්දුවකින් වීරවංශය අහෝසි වෙනවා. ඒක නතර කරන්න කාටවත් බැහැ’’.

විමල් මෙතැනින් කොතැනටද ?

අලූත් ව්‍යවස්ථාවට එරෙහි රාජපක්ෂ බලවේගයේ ප‍්‍රධාන ප‍්‍රකාශකයෙකු වශයෙන් පමණක් නොව යහපාලන ආණ්ඩුවේ සමස්ත ක‍්‍රියාවලියටම එරෙහිව අඛණ්ව ක‍්‍රියාත්මක වෙමින් සිටින විමල් වීරවංශ මහතා පක්ෂ අභ්‍යන්තරයෙන්ම මේ ආකාරයේ ප‍්‍රබල ප‍්‍රශ්න කිරීමකට ලක්වීම බොහෝ දෙනකු සලකන්නේ යහපාලන ආණ්ඩුව සහ නව ව්‍යවස්ථාවට පක්ෂපාතී පාර්ශ්ව ලැබූ සහනයක් ලෙස ය. එහෙත් මෙම විමල් වීරවංශගේ දේශපාලන න්‍යාය පත‍්‍රය හා ප‍්‍රමුඛතා ගැන විමසිල්ලෙන් බලන විට පැහැදිලිව පෙනී යන්නේ ඔහු ජනිපෙ හුදු මෙවලමක් ලෙස භාවිතා කළා මිස එය තම දේශපාලන ගමන් මගේ අත්‍යවශ්‍ය පදනමක් වශයෙන් නොසැලකූ බවයි. කොටින්ම විමල් වීරවංශට ජනිපෙ තිබුණත් එකය. නොතිබුණත් එකය. ඒ විමල් වීරවංශගේ සමස්ත දේශපාලන අනාගතයම රාජපක්ෂවරුන් සහ අන්තජාතිවාදය සමග ගසට පොත්ත මෙන් වෙලී පවතින නිසාය. මේ තත්ත්වය වඩාත් පහසුවෙන් වටහා ගැනීමට අපට 2005 – 2015 රාජපක්ෂ පාලන යුගය සහ 2015 ජනවාරි 08 පරාජයෙන් පසුව විමල් වීරවංශ සහ මහින්ද රාජපක්ෂ අතර පවතින සම්බන්ධතාව සියුම්ව විමසා බැලීම තුළින් හැකිය.

විමල් පක්ෂයේ මුදුනටම

ජනතා විමුක්ති පෙරමුණේ නූතන යුගය නියෝජනය කරන තරුණ නායකයින් අතර දීප්තිමත් චරිතයක්ව සිටි විමල් වීරවංශ එම තැන හිමිකර ගන්නේ ඔහු සතුව තිබූ විප්ලවීය ජීව ගුණය හෝ දේශපාලන පන්නරය නිසා නොව ජවිපෙ ප‍්‍රචාරක ව්‍යාපෘතියේ, විශේෂයෙන් දේශපාලන කථිකයෙකු ලෙස ඔහු දැක්වූ සුවිශේෂ හැකියාව නිසා බව පොදුවේ පිළිගැනේ. මේ තත්ත්වය සරල ආකාරයෙන් පැහැදිලි කරන්නේ නම් එදා විමල් වීරවංශ දේශපාලන ප‍්‍රතිරූපයක් බවට පත් වූයේ ‘‘කට’’ නිසාය. විමල්ගේ කට සමග හැප්පීමට එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ පමණක් නොව එජාපයේ පවා කිසිවෙක් නොවීය. 90 දශකයේ නව ගමනක් ආරම්භ කරන ජවිපෙ දේශපාලන ප‍්‍රවේශයේ දීප්තිමත්ම නායකයා වශයෙන් ඇතැමුන් විමල්ව සලකන්නේ මේ නිසාය.
විමල් වීරවංශගේ සේම ජනතා විමුක්ති පෙරමුණේ ද දෛවෝපගත ඉරණම මහින්ද රාජපක්ෂ සමග බද්ධ වූයේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීම සමග (මාවනැල්ල මුස්ලීම්වරුන්ට එල්ල වූ ප‍්‍රහාරය හේතු කොට ගෙන* චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වූ 2001දී පිහිට වූ ‘‘පරිවාස ආණ්ඩුව’’ සමගය. ජවිපෙ තමන් අත වූ මන්ත‍්‍රීධූර 13 සමග ආණ්ඩුවට එක් වෙමින් ඇමැති පදවි තුනක් ද ලබා ගත් (අනුර කුමාර දිසානායක, විජේසිංහ, විජිත හේරත්* නමුත් පක්ෂයේ ජනප‍්‍රිය නායකයා වූ විමල් වීරවංශ ඇමති පදවියක් නොගෙන සිටීමට ප‍්‍රවේශම් වුණේය.
පරිවාසය බිඳ වැටීම සමග 2001 දෙසැම්බර් මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරඟ කළ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන ඉතිහාසයේ දිනාගත් දැවැන්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වූ ආසන 39ක් දිනා ගත් නමුත් ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේය.
2001 දෙසැම්බර් 05 වැනිදා බිහි වූ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ විසින් ආරම්භ කළ සටන් විරාම ගිවිසුම, සාම සාකච්ඡුා සහ යළි පිබිදෙමු ආර්ථික ව්‍යාපෘතිවලට එරෙහිව විපක්ෂය විසින් ගෙන ගිය අරගලයේ ද විමල් වීරවංශ ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කළේය. ගුණදාස අමරසේකර ආදී ජාතිකවාදීන් සමග සම්මුතිගත වෙමින් ආණ්ඩුවේ සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කර වාර්ගික යුද්ධයට යුුධමය වශයෙන් විසඳුමක් ලබාදිය යුතුය යන ස්ථාවර දැරූ පාර්ශ්ව සමග මෙම යුගයේ විමල් වීරවංශ සන්ධානගත වෙමින් සිටි අතර එම සන්ධාන ගත වීම මේ වන විට ජවිපෙ සමග තරඟකාරී දේශපාලනයකට ප‍්‍රවේශ වෙමින් සිටි ජාතික හෙළ උරුමය සමග සමව සිට ගැනීමට ජවිපෙට අවස්ථාවක් ලබා දුන් ආකාරයක් දැකිය හැකි විය.
2004 වසරේ මුල් භාගයේ දී එජාප ආණ්ඩුව විසුරුවා හැරිය යුතුය යන මතය සමාජය තුළ තහවුරු කිරීමට ජවිපෙ හා එජානිස ගත් ප‍්‍රයත්නයට විමල් වීරවංශගේ මාධ්‍ය භාවිතාව වඩාත් රැුකුලක් වූ බව ඒ යුගයේදී ඉතාම පැහැදිලිව දැකිය හැකිවිය.

ජවිපෙන් ඉවත් වීම

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසුරුවා හැර 2004 අපේ‍්‍රල් මස පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධාන ගත ව සිටියත් ජවිපෙ පරිවාස ආණ්ඩුව සමයේදී මෙන් ඇමැතිධූර භාර නොගැනීම විශේෂත්වයක් විය. එහෙත් ආණ්ඩුවට විවේචනාත්මක සහායක් ලබා දෙන බව ජවිපෙ ප‍්‍රකාශ කළත් එය ඉතාම කෙටි කාලයකට පමණක් සීමා විය. ඒ යුගයේදී රාජ්‍ය මාධ්‍යවල දැඩි ආකර්ශනය දිනා ගනිමින් ජවිපෙ වෙතින් නොලැබූ දැවැන්ත මාධ්‍ය අවකාශයක් දිනා ගැනීමට විමල් වීරවංශ සමත් වූ ආකාරයටක් දැකිය හැකි විය.
විමල් මේ දැවැන්ත මාධ්‍ය ආකර්ෂණය තම ප‍්‍රාග්ධනයක් ලෙස සලකමින් ක‍්‍රියා කරන තත්ත්වයක් ක‍්‍රමයෙන් වර්ධනය වෙද්දී ඔහු හා ජවිපෙ අතර පැවැති බැඳීම ක‍්‍රමයෙන් දුරස්වන බවක් දැකිය හැකි විය. මේ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ විමල් වීරවංශ පක්ෂය තුළ ජනප‍්‍රියවීම සමග ඔහු නායකත්වය හිනිපෙත්ත කරා ළඟාවීම අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නොරිස්සූ බවයි. එහෙත් 2005 ජනාධිපතිපතිවරණයෙන් කාලයක් යන තෙක්ම විමල් සම්බන්ධයෙන් ජවිපෙ අනුර කුමාර පාර්ශ්වය තුළ පැවැති නොරිස්සීම පක්ෂ අභ්‍යන්තරයේ පමණක් සාකච්ඡුා වූ කරුණක් පමණක් විය.
ජවිපෙ පූර්ණ සහාය හා ආශිර්වාදය සමග බලයට පත් මහින්ද රාජපක්ෂ මුල් යුගයේදී ජවිපෙ සම්බන්ධයෙන් මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළත් ඉතා කෙටි කලකින් මහින්ද රාජපක්ෂ තමන් සතු සුළුතර ආණ්ඩු බලය බහුතර බලයක් කර ගැනීමේ උපාය මාර්ගය වෙත විතැන් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු ප‍්‍රබලයින් ආණ්ඩුවට එක්කර ගනිද්දී ආසන 39ක් සහිතව සිටි ජනතා විමුක්ති පෙරමුණ තුළ ද කිසියම් භීතියක් නිර්මාණය වෙමින් තිබුණේය. එහෙත් 2007 වන විට යුද්ධය ත‍්‍රීව‍්‍ර වීමත්, ආණ්ඩුව යුද්ධය වෙනුවෙන් වැඩි බරක් තබමින් ක‍්‍රියාත්මක වීමත් තුළ ජනප‍්‍රිය මාවතතේ සිටි ජවිපෙට පක්ෂය කඩා දැමීමක් පිළිබඳ හදිසි භීතියක් නොවීය.
මේ අතර අපට පැහැදිලිව දැකිය හැකි වූ තත්ත්වය වන්නේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ වේදිකාවේ ප‍්‍රබල හා වර්ණවත් කථිකයෙකු වූ විමල් වීරවංශ ක‍්‍රමයෙන් ආණ්ඩුව (මහින්ද* වෙත සමීප වීමයි. මේ සඳහා ජවිපෙ අනාගත නායකත්වය සඳහා අනුර කුමාර දිසානායක සමග පැවැති තරගය ප‍්‍රබල හේතුවක් වූ බව දේශපාල විශ්ලේෂකයින්ගේ අදහසයි.
කෙසේ වෙතත් 2006දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මංගල, ශ‍්‍රීපති, අනුර ඉවත් වීම සමග ඇති වූ අර්බුදයේදී 2006 අයවැය පරාජයට පත් කිරීමට මංගල – රනිල් සැලසුම බිඳ වැටුණේ ආණ්ඩුව සමග ජවිපෙ ඡුන්දය භාවිත කිරීම සමගිනි. ජවිපෙ – මහින්ද හවුල සඳහා විමල් වීරවංශ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළේය.
2006 අයවැය ජයග‍්‍රහණය සඳහා ජවිපෙ ලබාදුන් සහායට කෘතගුණ සැලකීමක් වශයෙන් මහින්ද රාජපක්ෂ 2008 මැයි මාසයේදී ජවිපෙ දෙකඩ කර විමල් වීරවංශ ඇතුළු මන්ත‍්‍රීවරු 20 දෙනකු ආණ්ඩුවට එක්කර ගත්තේය. විමල් වීරවංශයේ දේශපාලන දිවියේ තීරණාත්මක කඩඉමක් මේ සමග සනිටුහන් වන්නේ ඔහු තමන් ජවිපෙ වෙනුවෙන් කළ කැප කිරීම් ගැන පාර්ලිමේන්තුවේදී කළ අති සංවේදී කතාව සමගිනි.
‘‘පක්ෂය වෙනුවෙන් කැප වුණ මට සීගිරියවත් බලන්න යන්න බැරි වුණා යැයි’’ පාපොච්චාරණය කළ විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ සමග හවුල් වුණේ ජවිපෙට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අමිහිරිම අත්දැකීමක් එක් කරමිනි.

මහින්දගේ තුරුලේ සිට

දේශපාලන විචාරකයින්ට අනුව විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වීම සමග රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය වර්ධනය වූවා සේම රාජපක්ෂලාට තමන් වෙනුවෙන් ප‍්‍රතිපත්ති විරහිතව පෙනී සිටින හොඳ දඩබල්ලෙකු ද ලැබීමක් විය. මේ බව සනාථ වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරයෙකු වීම සමග විමල් වීරවංශ කොතරම් දුරට රාජපක්ෂ රෙජිමයේ බල අවශ්‍යතා වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස පෙනී සිටියේ ද යන කරුණ විමසීමේදීය.
2009 මැයි 19 යුද ජයග‍්‍රහණය වෙනුවෙන් දකුණේ ජනමතය සංවිධානය කිරීම සඳහා විමල් වීරවංශ ඉටු කළ භූමිකාව සුවිශේෂය. ඔහු තම සුපුරුදු මුඛරිභාවය සේම ප‍්‍රහාරාත්මක කතා ශෛලිය මගින් දකුණේ යුධ විරෝධීන් විස්මිත කරද්දී යුද්ධයට පක්ෂ සිංහල බෞද්ධ මතවාදය ද මනාව සංවිධානය කළේය. මේ සඳහා විමල් වීරවංශට රාජ්‍ය මාධ්‍ය සේම පුද්ගලික මාධ්‍යවලට අසීමිත ඉඩක් වෙන් වුණ අතර විමල් වීරවංශ ජනප‍්‍රිය සංස්කෘතියේ දේශපාලන හා මතවාදී ප‍්‍රතිරූපයක් වශයෙන් ඔසවා තැබීමට මෙම අසීමිත විද්‍යුත් මාධ්‍ය, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය අවකාශය හේතු විය.
ජවිපෙන් ඉවත් වීම සමග සාම්ප‍්‍රදායික විප්ලවකාරි පෞරුෂත්වයෙන් බැහැරව ගිය ජෙල් හා හිස මනාව පීරණ, රැුවුල් ටි‍්‍රම් කරන, ලිනන් ඇඳුම් අඳින විමල් වීරවංශගේ ෆොටෝ ජෙනික් ස්වභාවය ද මේ සඳහා ප‍්‍රබල උත්තේජනයක් වූ බව අපට අමතක කළ නොහැකිය.
දඩ බල්ලාගේ භූමිකාව
විමල් වීරවංශ තරම් හොඳින් මහින්ද රාජපක්ෂගේ බල වුවමනා එපාකම් ඉටු කළ හා ඒ වෙනුවෙන් සංවේදී වූ පක්ෂ නායකයෙක් සිටියේ දැයි සැක සිතෙන තරමට යුධ ජයග‍්‍රහණයෙන් පසු පශ්චාත් යුධ සමයේ විමල් වීරවංශ ඉතා පැහැදිලිව ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දඩබලූ භූමිකාවක් නිරූපණය කළේය. ඒ අතර ප‍්‍රධාන අවස්ථාවක් වන්නේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ඔහු විසින් ආරම්භ කළ ඊනියා මාරාන්තික උපවාසයයි.
එක්සත් ජාතීන් සම්බන්ධ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය අමු අමුවේ විනාශ කරමින් විමල් වීරවංශ එදා රඟපෑ නාටකය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය කෙරෙහි සදාකාලිකව කලූ පැල්ලමක් එක් කළ ද සියුම්ව විමසා බලන විට එය ඔහුට සුවිශේෂ සමාජ වටිනාකමක් සේම රාජපක්ෂවරු අතර ගරුත්වයක් ද එක්කළ ස්වභාවයක් දැකිය හැකිය.
2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව රාජපක්ෂ රෙජිමය විසින් මුදාහල වඩාත්ම බිහිසුණු දඩබල්ලා වශයෙන් විමල් වීරවංශ සැලකිය හැකිය. ඔහු අමු අමුවේ ෆොන්සේකා මහතාගේ චරිතය ඝාතනය කරමින් මහින්ද රාජපක්ෂගේ මනදොළ සර්තර්පණය කළේ ෆොන්සේකාට පක්ෂපාතී පිරිස් අතර දැඩි පිළිකුළට ලක් වෙමිනි. එහෙත් ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලැබූ ජයග‍්‍රහණය සමග ඔහු උපයා ගත් දේශපාලන ප‍්‍රාග්ධනය ඊළඟ මහා මැතිවරණයේදී උපරිමයට ළඟා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ප‍්‍රථමයා බවට පත් වෙමිනි. මේ සමග ඉතාම කුඩා, කිසිදු ජනපදනමක් නැති ජාතික නිදහස් පෙරමුණ නම් දේශපාලන පක්ෂයේ නායකයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ තුනකට අධික ඡුන්දදායකයින්ගේ ආකර්ෂණය හා විශ්වසය දිනාගත් අයෙකු වීම සමග ම අපට විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඉටුකළ දඩබල්ලාගේ භූමිකාව ශ‍්‍රීලනිප ඡුන්දදායකයා වටහා ගත් ආකාරය මනාව පැහැදිලිි කරයි. මේ සමග අපට හමු වන්නේ ‘‘මහින්ද රාජපක්ෂගේ ලොකු පුතා’’ වශයෙන් අභිෂේක ලබන විමල් වීරවංශ කෙනෙකු ය.

18 හා අගවිනිසුරු

විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කොතරම් ප‍්‍රතිපත්ති විරහිතව පෙනී සිටින්නේ ද යන්න යළිත් තහවුරු වූ කුප‍්‍රකට අවස්ථා දෙක වන්නේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන මනදොළ සම්පූර්ණය කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විමල් වීරවංශ දැක්වූ සහායයි. එමෙන්ම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ධූරයෙන් පළවා හැරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව දියත් කළ මෙහෙයුමේ ප‍්‍රබලයෙකු වූයේ ද විමල් වීරවංශය. ඔහු සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් පවා දෙමින් ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටියේය.
කැරලි ගැසීම
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප‍්‍රතිපත්ති විරහිතව පෙනී සිටිමින් දඩබලූ භූමිකාව රඟපෑ විමල් වීරවංශ ආණ්ඩුව තුළ එක්තරා ප‍්‍රමාණයක කැරලිකාර භූමිකාවක් ද විටින් විට නිරූපණය කළ බව අපට දැකිය හැකිය. ඒ් අතර ඔහුගේ දැඩි විවේචනයට හා ප‍්‍රහාරයට ලක් වූයේ මහින්ද රාජපක්ෂගේ අති සමීප නිලධාරියෙකු වන පී.බී. ජයසුන්දර වීම හාස්‍ය ජනක සිදුවීමකි. ‘‘ආර්ථික ඝාතකයින්’’ වශයෙන් දිගින් දිගටම ඔහු පී.බී. ජයසුන්දර ඇතුළු නිලධාරීන් පිරිසක් ප‍්‍රසිද්ධියේ විවේචනය කළ අතර මෙම විරෝධතා ඇතැම් විට කැබිනට් රැුස්වීම් වර්ජනය කිරීම දක්වා ද දිගු විය.
ඒ අතර ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ද විමල් වීරවංශගේ දිගු කාලීන විරෝධයට ලක්විය. මෙම ලියුම්කරුට මතක ඇති ආකාරයට 2012 වසරේ පැවැති පළාත් පාලන කොට්ඨාශ සීමා නිර්ණය සම්බන්ධයෙන් විමල් වීරවංශ සහ බැසිල් රාජපක්ෂ අතර අප‍්‍රකාශිත යුද්ධයක් තිබුණේය.

ජාත්‍යන්තර ඉදිරියේ නම කැත කිරීම

මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් විදේශ රාජ්‍ය නායකයින්, සංවිධාන පමණක් නොව තවත් බොහෝ පිරිසකට දැඩිව අවමන් කරමින් මහින්ද රාජපක්ෂගේ මනදොළ පිනවීමට ක‍්‍රියා කළේය. ඒ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන්, මානව හිමිකම් කොමිෂමේ මහ කොමසාරිස් ලූවිස් ආබර් පමණක් නොව ඉන්දීය අගමැති මන්මෝහන් සිං, බැරක් ඔබාමා, එවකට බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ආදීන් ද විය. මෑත යුගයේදී ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයට දැඩිම හානියක් කළ දේශපාලන නායකයා වශයෙන් සැලකිය හැක්කේ විමල් වීරවංශය.

2015 දේශපාලන වෙනස

මහින්ද රාජපක්ෂගේ බලය සහ ජනප‍්‍රියභාවය ගැන දැඩි විශ්වාසයකින් සිටි විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව 2015 ජනපතිවරණය දෙස බැලූවේ සුපුරුදු පරිදි ‘‘තනි අශ්වයාගේ තරඟයක්’’ ලෙසය. ජනපතිවරණය ප‍්‍රකාශයට පත් කරන තෙක් එජාපය ප‍්‍රමුඛ විපක්ෂයට මහින්ද රාජපක්ෂ සමග තරග කළ හැකි අපේක්ෂකයෙකු නොසිටි හුදකලා තත්ත්වය තුළ මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් නායකත්වය දුන් පුරවැසි බලවේග විසින් ඉදිරිපත් කළ ‘‘පොදු අපේක්ෂකයා’’ පිළිබඳ සංකල්පය විමල් වීරවංශලාගේ දැඩි ගැරහීමට හා අපහාසයට ලක් වන්නේ මේ නිසාය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සැලසුම් සහගතව ශ‍්‍රීලනිපයේ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීම ආරම්භයේ සිටම විමල් වීරවංශ තුළ තිගැස්මක් ඇති කළ බවක් දැකිය නොහැකි විය. අන්තජාතිවාදය හා ආගම්වාදය, රාජ්‍ය සම්පත් අසීමිත ලෙස භාවිත කිරීම සහ ධවල භීෂණය හරහා මෙම මැතිවරණය පහසුවෙන් ජයගත හැකි බවට රාජපක්ෂ කල්ලිය තුළ පැවැති පොදු අදහස මේ සඳහා උත්තේජනයක් වූ බව නිසැකය.
මේ තත්ත්වය තුළ 2005 – 2010 ජනාධිපතිවරණවලදී විමල් වීරවංශ රඟපෑ දඩබල්ලාගේ භූමිකාව 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද ඉතාමත් නිර්ලජ්ජිත ලෙස විමල් වීරවංශ විසින් භාවිත කළේය. ‘සිරිසේනයෝ ’’ ආදි වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දැවැන්ත අවලාද සහ අපහාස කරමින් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වේදිකාව මත වසුරු හෙළු විමල් වීරවංශ පොදු අපේක්ෂකයාට එරෙහිව කළ හැකි සෑම ආකාරයකම අපහාස සහ අවලාද එල්ල කරමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වළක්වාලීමට උපරිමයෙන් ක‍්‍රියා කළේය.

ජනවාරී 08 පරාජයෙන් පසු

2015 ජනවාරී 08 මහින්ද රාජපක්ෂ රෙජිමයේ පරාජයෙන් පසු ක්ෂණිකව නීතිය ඉදිරියට ගෙන ආ යුතු පුද්ගලයෙකු වශයෙන් බොහෝ දෙනකු විශ්වාස කළ පුද්ගලයින් අතර විමල් වීරවංශ ද ඉදිරියෙන්ම සිටියේය. ඒ් සම්බන්ධයෙන් වන තාර්කිත හා ඉතාමත් විශ්වාසනීය තොරතුරු ඒ වන විටත් මාධ්‍ය මගින්, විශේෂයෙන් ‘සන්ඬේ ලීඩර්’’ පුවත්පත සහ රාවය පුවත්පත විමල් වීරවංශගේ ¥ෂණ ගැන සවිස්තර වාර්තා පළ කළේය. ඒ අතර උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි හෝකන්දර සුපිරි නිවස සේම ඔහුගේ ඥාතීන්ට, පක්ෂ ක‍්‍රියාකාරීන්ට සහ හිතවත් මාධ්‍යවේදීන් දුන් නිවාස ඇතුළු චෝදනා රැුසක් තිබුණේය. ඒ අතර විමල් වීරවංශගේ බිරියගේ ව්‍යාජ පාස්පෝට් සිද්ධිය ද වඩාත්් දැඩිව සාකච්ඡුාවට ලක් වුණේය.
විමල් වීරවංශට එරෙහිව යහපාලන රජය යටතේ ගොනු කර ඇති චෝදනා විභාග වන සෑම අවස්ථාවකදීම ඔහු එම ක‍්‍රියාවලිය තම දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා භාවිත කිරීම ගැන සමාජය තුළ පුදුමයක් ඇති නොකළේ දැවැන්ත ප‍්‍රදර්ශනකාමියෙකු වන විමල් වීරවංශ පසුගිය කාලය පුරාම සිදුකළ බොහෝ දේවල් හුදු ප‍්‍රදර්ශනකාමයෙන් ඔබ්බට නොගිය දේවල් වූ නිසාය.

විමල් අද සහ හෙට

විමල් වීරවංශගේ දේශපාලන අනාගතය ඉතා පැහැදිලිව තීරණය වනු ඇත්තේ හුදු පක්ෂ නායකයෙකු වශයෙන් හුදකලා දේශපාලන ක‍්‍රියාවලියක් තුළ නොව ඉතාම පැහැදිලිව රාජපක්ෂ පවුල සමග ඔහු පවත්වන සබඳතාවල ප‍්‍රමාණය මතය. ඊට හේතුව වන්නේ රාජපක්ෂ රෙජිමයේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් අසීමාන්තිකව පෙනී සිටින විමල් වීරවංශ රාජපක්ෂ කල්ලිය තුළ පමණක් නොව රාජපක්ෂ ලෝලීන් අතර ද ඉහළින්ම පිළිගැනීමට ලක්ව සිටීමයි. එම ආකර්ෂණය දිනේෂ් ගුණවර්ධනට හෝ ගම්මන්පිලට හෝ නැත. තව දුරටත් රාජපක්ෂ රෙජිමයේ අනාගත දේශපාලන න්‍යාය පත‍්‍ර වෙනුවෙන් සිය දේශපාලන පැවැත්ම පරදුවට තැබීමට විමල් වීරවංශ බිය නොවන්නේ මේ තත්ත්වය ගැන ඔහුට මනා වැටහීමක් තිබෙන නිසාය.
උදාහරණයක් වශයෙන් 2015 ජනවාරි පරාජයෙන් පසු මැදමුලනට සින්න වීමට නියමිතව සිටි මහින්ද රාජපක්ෂ යළි දේශපාලන කරළියට ඔසවා ගෙන එන්නේ විමල් වීරවංශ ඇතුළු රාජපක්ෂගෙන් තොර දේශපාලන පැවැත්මක් නැති කල්ලිය විසිනි. එය සම්පූර්ණයෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී තම පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ බිල්ලට දීමක් බව නොතේරෙන්නේ දේශපාලන අඳබාලයෙකුට පමණි. කොටින්ම 2015 අගෝස්තු මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් නොවුණේ නම් විමල් වීරවංශගේ දේශපාලන අනාගතය එතැනින් අවසන් වනු නියතව තිබුණේය. එහෙත් විමල් වීරවංශ ඒ දේශපාලන අවධානම සාර්ථක ජයග‍්‍රහණය කළා පමණක් නොව ශ‍්‍රීලනිප ඡුන්දවලින් බලයට පත්ව අද ශ‍්‍රීලනිපය විනාශ මුඛයට ඇදගෙන යන ප‍්‍රධාන බලවේගයක් බවට ද පත්ව ඇත.

රටේ අනාගතය අඳබාලයන් අතට

අලූත් ව්‍යවස්ථාවට එරෙහි රාජපක්ෂ බලවේගයේ ප‍්‍රබලම විවේචකයා වන විමල් වීරවංශ වේ ආකාරයෙන් නිදැල්ලේ සිටිමින් ජාතිවාදය සහ වර්ගවාදය වපුරමින් සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයම භීතියට පත් කරනමින් රඟන රංගන ගැන ජනතාව තුළ ඇත්තේ භීතිය මුසු පිළිකුළකි. ඒ බව සැඟවීමට ඔවුන්ට නොහැකි වන්නේ තම මතයට එරෙහිවූවන් දඩයම් කිරීම කෙරෙහි රාජපක්ෂ රෙජිමයේ අතීත අත්දැකීම් මෙන්ම වර්තමාන භාවිතයන් ද සුමට නොවන හෙයිනි.
උදාහරණයක් වශයෙන් අන්ත ෆැසිට්ස් හෝ ඒකාධිපති පාලනයකදී හැර තමන් සමග තරග කළ ප‍්‍රතිවාදී අපේක්ෂකයා සිරගත කරමින්, අන්ත ලෙස පළිගත් පාලකයෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ සිටියේ නම් ඒ මහින්ද රාජපක්ෂ පමණකි. ජෙනරාල් සරත් ෆොන්සේකා දඩයම් කිරීමට, නින්දාවට පත් කිරීමට රාජපක්ෂ රෙජිමය ගත් ක‍්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටියේ විමල් වීරවංශය. හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. ඒ බලය තිබූ සමයේ තත්්ත්වයයි. බලය අහිමි වර්තමානයේදී තමන්ගේ මතයට පටහැනි මත ඉදිරිපත් කරන ඕනෑම තරාතිරමක අයෙක් දඩයම් කිරීමට පසුපට නොවන බව රාජපක්ෂ රෙජිමය අපට පැහැදිලි කළේ පසුගිය සති කිහිපය තුළ මල්වතු නාහිමියන් ඉලක්ක කොට ක‍්‍රියාත්මක වූ අවලාද ක‍්‍රියාවලිය තුළය.
මේ නිසා රටේ අනාගතය තීරණය කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන වැනි අතිෂයභාරධූර කර්තව්‍යයක් විමල් වීරවංශ වැනි පුද්ගලියින් හමුවේ අභියෝගයට ලක්වීම ඛේදවාචකයක් වශයෙන් සැලකිය හැකිය. මෙවැනි අවස්ථාවාදී දඩබල්ලන් නිදැල්ලේ හැසිරෙනේ යහපාලනයේ අහේතුව නිසා ම විය නොහැකිය. ඒ ගැන ආණ්ඩුව සේම නව ව්‍යවස්ථාව තුළින් වඩාත් යහපත් රටක් අපේක්ෂා කරන සියලූ පුරවැසියන් ද වඩාත් සංවේදීව කල්පනා කර බැලිය යුතුය. මන්ද විමල් වීරවංශලා මේ පහරමින් සිටින්නේ 62 ලක්ෂයක් ජනතාව විසින් ඔසවා තැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් පූජාසනය මත වන නිසාය.
අද විමල් වීරවංශ අලූත් ව්‍යවස්ථාවට එරෙහිව යළිත් සුපුරුදු දඩබල්ලාගේ භූමිකාවෙන් තවත් ඉදිරියට යමින් ඝාතකයෙකුගේ තත්ත්වයට රූපාන්තරය වෙමින් යළි යළිත් ඉටු කරමින් සිටින්නේ රාජපක්ෂ පවුලේ බල වුවමනා එපාකම්වලින් තම දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියක් පමණි. එනිසා විමිල් වීරවංශගේ කටින් එළියට එන සෑම වචනයක් ම අප සැලකිය යුත්තේ රාජපක්ෂවරුන්ගේ කටින් පිට පනින වචනයක් වශයෙනි. මන්ද විමල් – මහින්ද යනු එකම බල සාධකයක් වන හෙයිනි.
මේ තත්ත්වය තුළ දශකයකට අධික කාලයක් දඩබල්ලාගේ භූමිකාව අපූරුවට ඉටුකළ විමල් වීරවංශ ගහලයාගේ භූමිකාවට ද බොහෝ කැමැත්තෙන් පණපොවනු ඇත. ඊට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් මෙහෙ කිරීමෙන් තොරව විමල්ලාට කිසිදු පැවැත්මක් නොමැති නිසාය.

සටහන

භාතිය බරුකන්ද

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *