මිනීමරු උමතුව – සී.ජේ අමරතුංග

මහත්මා ගාන්ධි ගැන සඳහන් වන්නේ ඉන්දියානු නිදහස් සටනේ පියා වශයෙනි. බ්‍රිතාන්‍යයන්ගෙන් ඉන්දියාව මුදාගැනීමට ගාන්ධි සටන් කළේ අවිහිංසාවාදීවය. එම අවිහිංසාවාදී දර්ශනය නිසා අද ලෝක අවිහිංසාවාදී දිනය ලෙස සමරනුයේ ගාන්ධිගේ උපන් දිනය වන ඔක්තෝබර් දෙවැනිදාය.

ඉන්දියානු නිදහස් සටනේ නායකයාගේ දේශප්‍රේමය ගැන කිසිවකුට සැකයක් තිබිය නොහැකිය. එසේ වුවද මහත්මා ගාන්ධි ඝාතනයට ලක්වූයේ තවත් ඉන්දියානුවකු අතිනි. නාතුරාම් විනයාක් ගොඩ්සේ නම් අන්තවාදී ඝාතකයාට අනුව මහත්මා ගාන්ධි ද්‍රෝහියෙකි. ගාන්ධි ද්‍රෝහියකු වන්නේ මුස්ලිම් හින්දු කෝළාහලවලට විරුද්ධ වී අවිහිංසාවාදය දේශනා කිරීම නිසාය. දෙපාර්ශ්වය මිනී මරාගත් ස්ථානවලට ගිය ගාන්ධි මාරාන්තික උපවාස කරන විට ජාතිවාදයෙන් වියරු වී සිටි පිරිස් පවා තම අවි ආයුධ රැගෙනවිත් ගාන්ධි ඉදිරියේ තබා හිංසාව අතහැරියේය. හින්දු අන්තවාදී ගොඩ්සේ මෙය දුටුවේ තමන්ට එරෙහිව මුස්ලිම්වරුන්ගේ පැත්ත ගැනීමක් වශයෙනි. ඔහු කීවේ ගාන්ධි තම අවිහිංසාවාදය දේශනා කළ යුතුව තිබුණේ පාකිස්තානයට ගොස් බවයි. අවිහිංසාවාදය, හින්දු අන්තවාදී වියරුවෙන් මිනීමරන්නට යොමුවී සිටියවුන්ට දේශනාකොට ඔවුන් නම්මා ගැනීම ගොඩ්සේට අනුව ද්‍රෝහීකමකි. නාතුරාම් ගොඩ්සේ විසින් මහත්මා ගාන්ධි මරා දමනු ලබන්නේ ඒ නිසාය. ජාතිවාදී වියරුවෙන් අන්ධවූවන් කටයුතු කරන්නේ ඒ ආකාරයටය.

මහත්මා ගාන්ධි දිගටම පෙනී සිටියේ ඉන්දියාව බෙදීමට විරුද්ධවය. මුස්ලිම් හින්දු ආගමික සහජීවනය යටතේ ඉන්දියාව එක්සත්ව තබාගැනීම ගාන්ධිගේ අරමුණ වී තිබිණි. මුස්ලිම් නායක අලි ජින්නට නිදහස් ඉන්දියාවේ අගමැති ධුරය ලබා දෙන්නට ද ගාන්ධි යෝජනා කළේ එරට බෙදීමෙන් ඇතිවිය හැකි මහා විනාශය දුටු නිසාය. ගාන්ධිගේ උත්සාහය අසාර්ථක වූයේ දෙපාර්ශ්වයේම අන්තවාදය නිසාය. ප්‍රතිඵලය වූයේ දසලක්ෂ ගණන් ඝාතනය වූ කොළාහලයි. ඉන්දියාවටත්, පාකිස්තානයටත් අද දක්වාම එම බෙදීමේ විපාකවලට මුහුණදෙන්නට සිදු වී ඇත.

ලින්කන් අාදර්ශය

මහා රාජ්‍යයකට නිදහස ලබාගන්නට ජාතිය මෙහෙයැවූ දේශප්‍රේමී නායකයකු එදා මරා දමන්නේ ද්‍රෝහියකු ලෙස සලකාය. එය කළේ කිහිප දෙනෙකි. එසේ වුවද එයට ඔවුන් පෙලඹවූ ව්‍යාපාරයක් තිබිණි. මුළු භාරතයම කඳුළු ගඟක ගිල්වන්නේ එම සුළුතර අන්තවාදී පිරිස විසිනි. එමෙන්ම එය ලෝකයටම සිදු වූ විපතකි.

අමෙරිකා එක්සත් ජනපදයේ දහසයවන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ද රටේ එක්සත්භාවය වෙනුවෙන් සටන් වැදුණු නායකයෙකි. සැමදෙනාගේ සමානත්වය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් අමෙරිකානු වටිනාකම් ලෙස පිළිගැනීමට ලක්කිරීම ඔහුගේ ප්‍රමුඛ කාර්යයක් වීය. අමෙරිකානු ව්‍යවස්ථාවට දහතුන්වන සංශෝධනය හඳුන්වා දෙමින් වහල් ක්‍රමය තහනම් කළ ජනාධිපතිවරයා ඔහු ය. එම ශ්‍රේෂ්ඨ නායකයා ද ඝාතනයට ලක්විය. ඔහුගේ ඝාතකයාගේ කල්පනාවට අනුව ලින්කන් යනු ද්‍රෝහියෙකි. මෙලොවින් තුරන් කර දැමිය යුත්තෙකි. එහෙත් අමෙරිකානු ජනතාවටත්, සෙසු ලෝකයාටත් ඒබ්‍රහම් ලින්කන් යනු විශිෂ්ට නායකයෙකි. අන්තවාදියකු විසින් මරා දමන්නේ එබඳු වටිනා නායකයෙකි. ගාන්ධිට ඉන්දියාව එක්සත් කළ නොහැකි වුවද අමෙරිකාව එක්සත්ව තබාගන්නට ලින්කන්ට හැකි විය. ඔහුගේ දේශප්‍රේමය ගැන ප්‍රශ්නයක් නොතිබුණද ඝාතකයාට අනුව ඔහු ද්‍රෝහියෙකි. මේ වර්ගයේ උමතු ජාතිවාදීන්ට කරුණු පෙනෙන්නේ ඒ ආකාරයෙනි.

මේ කරුණු මතකයට නඟාගත යුතු වන්නේ දැන් ශ්‍රී ලංකාව තුළද නැවත වරක් මෙම උමතුව ඉස්මතු වන්නට පටන්ගෙන තිබෙන නිසාය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගියදා කීවේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවය. පාර්ලිමේන්තුවේ සිටින්නේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත් වූ නියෝජිතයෝය. ඔවුන් නියෝජනය කරන්නේ රටේ ජනතාවයි. ජනවරම ඇත්තේ ඔවුන්ටය. නව ව්‍යවස්ථාව හදන්නේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතුවීය. ජාතික නිදහස් පෙරමුණ ද එයට සහභාගි වී සිට ළඟදී ඉන් ඉවත් වීය. විමල් බෝම්බ ගසන්නට හදන්නේ රටේ බහුතරයේ වරමටය. ජන වරමටය.

ජාතික නිදහස් පෙරමුණේම සංවිධායක පියසිරි විජේනායකට ද මෙම කතාවේ භයානකකම තේරී ඇති බව පැහැදිලි ය. ඔහු කීවේ විමල් මෙරට ජනතාවගෙන් සමාව ගත යුතු බවයි.

අනෙක් මිනීමරු හඬ ඇසුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ‘වියත් මඟ’ වේදිකාවෙනි. එහි කතා කළ මේජර් ‍ෙජනරාල් කමල් ගුණරත්න කීවේ තමන් දේශප්‍රේමී බවයි. ඔහුට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට හදන්නෝ දේශ ද්‍රෝහීහුය. ඔවුන් මරා දැමිය යුතු බවත් මිනිය අවසන් කටයුතු සඳහා ගෙන යා යුත්තේ දණහිසට පහළින් බවත්, කමල් ගුණරත්න කීවේ ගෝඨාභය රාජපක්ෂ ද වේදිකාවේ තියාගෙනය. මෙය 88, 89 කාලයේ ජවිපෙය ගත් ක්‍රියාමාර්ගය බව ද ගුණරත්න මහතා මතක් කර දුන්නේය.

එම ප්‍රකාශවල උණුසුම යන්නටත් පෙර ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා තවත් ප්‍රකාශයක් කළේය. එනම් නව ව්‍යවස්ථාවට පක්ෂ වන අය උල තැබිය යුතු බවය. ඔහු තෝරාගෙන ඇත්තේ රජ කාලේ දඬුවමකි. මිනිසුන් හෙමින් හෙමින් මරා දමන ක්‍රමයකි.

මෙම මිනීමරු උමතුව සුළුවෙන් සැලකිය නොහැකි වන්නේ අතීත අත්දැකීම් ද ඉතාම කටුක නිසාය. එම උමතු අදහස කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ද ප්‍රකාශ කළේය. ඔහු කීවේ පාර්ලිමේන්තුවට බෝම්බ එකක් නොව සියයක් ගැසිය යුතු බවයි. මේ සිදු කරමින් තිබෙන්නේ අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් ගොඩනැඟීමේ උත්සාහයකි. මෙම මතවාදය පතුරන විට හා වෛරය, ක්‍රෝධය වපුරන විට එම ප්‍රචණ්ඩත්වය ක්‍රියාවට නඟන්නට ද පිරිස් ඉදිරිපත් විය හැකිය. මේ රටේ ද එම විනාශකාරී අත්දැකීම අපට ඇත. එම විනාශයේ තරම මතක් කර ගැනීම මේ මොහොතේ වැදගත්ය.

88, 89 කාලයේ ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිවය. එයින් ඇතිකළ පළාත් සභා ක්‍රමයට එරෙහිවය. එදා කීවේ පළාත් සභාවලින් රට බෙදන බවකි. එය මහා බිල්ලෙකු කර පෙන්වීය. එය වඩාත් සාර්ථක වූයේ පළාත් සභා ක්‍රමය ගෙන ඒමට ඉන්දියාව මැදිහත්වීම නිසාය. අපගේ සටන භාරගෙන එල්. ටී. ටී. ඊ. මැඬලන්නට පැමිණි ඉන්දීය හමුදාව එදා පෙන්නුවේ ආක්‍රමණික හමුදාවක් වශයෙනි. මේ රට බෙදීමේ උත්සාහය පරාජයකොට රටේ ඒකීයබව රකින්නට දහස් ගණන් ඉන්දීය භටයෝ ජීවිත කැප කළෝය. උතුරේ එල්. ටී. ටී. ඊ. ය විසින් ද්‍රෝහී සතුරෙකු ලෙස සැලකූ ඉන්දීය හමුදාව ගැන දකුණේ ද මවන ලද්දේ බිල්ලෙකි.

මෙම උමතුවට රටේ විශාල පිරිසක් ගොදුරුකර ගැනීමේ හැකියාව එදා තිබිණි. උමතුවෙන් මිදී සිහිය සැපත් වන විට බොහෝ දේ සිදු වී හමාරය. මෙරටදී දිවි පිදූ ඉන්දීය භටයන් සිහිකරන්නට පාර්ලිමේන්තුව අසල ස්මාරක ඉදිකළේ ඉන්පසුවය.

එදා රට බෙදන මහා විපතක් බව කියූ පළාත් සභා ක්‍රමය දැන් කිසි අවුලක් නැතිව ක්‍රියාත්මකය. උතුරට හා නැඟෙනහිරට ද පළාත් සභා ඇතත් රට බෙදීමක් සිදු වී නැත. දැන් තිබෙන්නේ අවශ්‍ය තරම් බලය බෙදීමක් නැතිවීමේ ප්‍රශ්නයකි. එය උතුරේ මෙන්ම දකුණේ පළාත් සභාවලින් ද එකසේ මතුවන ඉල්ලීමකි. එදා මෙම බිල්‍ලන් මැවීමේ උමතුවට එරෙහිව සටන් වැදුණේ මේ රටේ වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයි. මිනීමරු උමතුවට ගොදුරු වූ හා බොරු බිල්ලන් මවාගෙන සිටි පිරිස පෙන්නුවේ වාමාංශිකයන් හා ප්‍රජාතන්ත්‍රවාදීන් ඥාතීන් බවයි. මිනී මරන්නට පටන් ගත්තේ ඒ අනුවය.

ඝාතන රැල්ල ආරම්භ කළේ දයා පතිරණලා, නන්දන මාරසිංහලා මරාගෙනය. ඉන්පසුව දිගින් දිගට සිදුවූයේ මේ රටට ජනයාට ආදරය කළ ජන නායකයන්, සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන් හා කලාකරුවන් මරා දැමීමයි. විජය කුමාරතුංග නම් රටට ජනතාවට ආදරය කළ දේශප්‍රේමී නායකයා මරා දමන ලද්දේ ද්‍රෝහියකු ලෙස සලකාය. දේව බණ්ඩාර සෙනරත්ලා, ජෝර්ජ් රත්නායකලා වැනි කීර්තිමත් නායකයන්ට අත්වූ ඉරණම ද එයමය. මෙලෙස මරා දැමූ වාමාශිකයන්ගේ ලැයිස්තුව දිගු එකකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියන්නේ තම පක්ෂයේ නායකයන් පනස්හතරදෙනකු මෙම කාලයේ ඝාතනයට ලක්වූ බවයි.

මෙලෙස මුදාහරින ප්‍රචණ්ඩත්වය අතරමග නවතින්නේ නැත. ඊළඟට සිදුවන්නේ සියලු ප්‍රශ්නවලට ප්‍රචණ්ඩත්වයෙන්ම විසඳුම් සෙවීමයි. එවිට සමාජයේ විවිධ තලවලට එම ප්‍රචණ්ඩත්වය පැතිරෙයි. එදා සිදුවුණේ ගමේ කසිප්පුකාරයාට, කුඩුකාරයාට මරණ දඬුවම නියම කිරීමයි. අවසානයේ එය අද දේශප්‍රේමීයමවුන්ම කියන හමුදා භටයන්ගේ පවුල්වලට ද එල්ල වීය.

පළාත් සභා අත්දැකීම්විනාශයේ අවසන් ජවනිකාව ද අමතක කළ යුතු නැත. එය නම් මෙම ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළ බලවේගය ද විනාශවීමයි. එය සිදුවූයේ මහා භීෂණයක් වශයෙනි. මංමාවත්වල මිනී පිලිස්සෙනු ගංගාවල පාවෙනු අපට දකින්නට ලැබුණේ එහි ප්‍රතිඵලය වශයෙනි. දැන් මෙරට අන්තවාදී සුළු පිරිසකට නැවතත් අවශ්‍යව ඇත්තේ එම මිනීමරු උමතුව යළි ක්‍රියාත්මක කරන්නටය. මෙලෙස බොරු බිල්ලන් මවන්නේ, වෛරය පතුරවන්නේ, ප්‍රචණ්ඩත්වයට ආවඩන්නේ ඒ සඳහාය.

අද බිල්ලා කරගන්න හදන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය තවම කෙටුම්පත් කර නැතත් බිල්ලන් මවන උදවිය කියන්නේ එය හොරෙන් කෙටුම්පත්කොට ඇති බවකි. එසේ කළ නොහැකි බවත් ව්‍යවස්ථාව කෙටුම්පත් කරන කමිටුවේද තමන්ගේ උදවිය සිටින බවත්, මොවුන් කියන්නේ නැත. එසේ කිව්වොත් බිල්ලා මවන්නට බැරි ය. සැක සංකා මතුකරන්න හදන්නේ ඒ නිසාය.

මේ අන්තවාදීන්ට එදා කළ දේ අද කරන්නට නොලැබෙන බව නම් සහතිකය. එදා පළාත් සභා ගෙනාවේ ඉන්දියාවේ මැදිහත්වීම නිසාය. එයට ද ජනයාගේ විරෝධයක් තිබිණි. එමෙන්ම එය ගෙනාවේ එක පක්ෂයක යෝජනාවක් වශයෙනි. එයද ජනප්‍රියත්වයෙන් පිරිහුණු ආණ්ඩුවකි. එම ආණ්ඩුවේම උදවිය පවා මෙම ක්‍රමයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

අද තත්ත්වය ඉඳුරාම වෙනස් ය. එදා බිල්ලා කියූ පළාත් සභාව බිල්ලෙක් නොවූ බව මෙරට ජනයා අද හොඳින් දනිති. එමෙන්ම නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නේ මහජනයාගේ දිගුකාලීන ඉල්ලීමක ප්‍රතිඵල වශයෙනි. එයට ජනවරම් එකකට වඩා ලැබී ඇත. අනෙක් අතට පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වී ඇත. ශ්‍රීලනිපය, එජාපය පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙය හා දෙමළ සන්ධානය ද එයට දායක වී ඇත. අනෙක් අතට එයට යෝජනා, ප්‍රතියෝජනා ගෙනඒමට තවමත් අවස්ථාව පවතී.

පුළුල් මහජන සහභාගීත්වයක් ඇති මෙබඳු ව්‍යායාමයක් සුළු පිරිසකගේ වියරු උත්සාහයකින් පමණක් විනාශ කළ නොහැකිය. ඔවුන්ට කළ හැකි එකම දේ මෙය තව ටිකක් ප්‍රමාද කිරීමය. මේ වටයේදීම නැතිනම් ඊළඟ වටයකදී ජනමතය ජය ගනු ඇත. කෙසේ වෙතත් මෙබඳු මිනීමරු උමතුවක් වපුරන උදවියගේ සිතුම් පැතුම් ද හඳුනාගැනීම වැදගත්ය.

මෙබඳු වෛරයක් අවුස්සන උදවියගේ මනෝභාවය වන්නේ තවත් ජනකොටසක් සමඟ තිබෙන වෛරයකි. අනෙක් ජනයාගේ අයිතීන් ලැබීම වැළකීම මොවුන්ගේ එකම අරමුණයි. විවිධ වෙනත් සටන් පාඨ යටතේ ඉදිරිපත් වන්නේ එම විරෝධය හා වෛරයයි. එවිට එයට ‍එරෙහිව වාර්ගීක සංහිඳියාව සඳහා ක්‍රියාකරන ඕනෑම අයකු ඔවුන්ට පෙනේනනේ ද්‍රෝහියකු වශයෙනි. රටවල් එක්සත් කිරීමට, සංහිඳියාව ඇතිකිරීමට කටයුතු කළ මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන් වැන්නන් පවා ද්‍රෝහීන් ලෙස පෙනෙන්නේ මෙම වෛරී මානසිකත්වය නිසාය. එබැවින් එම මිනීමරු උමතුව හඳුනාගෙන එය පරාජය කිරීමට ක්‍රියාකිරීම ජනහිතකාමී සියලුදෙනාගේ වගකීමකි.

සී.ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *