මිනීමරු කුමන්ත්‍රණයක අනතුර – භාතිය බරුකන්ද

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා රාජපක්ෂ කල්ලිය සිය උපරිම බලය යොදා සටන් කරන තැනකට පැමිණ තිබෙන ආකාරයක් මේ වන විට දැකිය හැකියි. මේ සඳහා රාජපක්ෂ කල්ලිය තමන් සතු සියලුම අවි යොදා ගැනීමට පසුබට නොවන බවත් දැන් පැහැදිලියි. ඒ අනුව රාජපක්ෂවරුන් විසින් පසුගිය කාලය පුරා එළිපිට නඩත්තු කළ අන්ත ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් පමණක් නොව ෆැසිස්ට් කල්ලි පවා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වැළැක්වීමට සීමා රහිතව යොදා ගැනීමට දක්වන සූදානම තවදුරටත් හුදු කතාවක් පමණක් නොවෙයි. මෙපමණ කාලයක් මාධ්‍ය නිවේදන, ප්‍රවෘත්ති සාකච්ඡා මගින් කළ තර්ජනය දැන් භූමිය මත ක්‍රියාත්මක වන යථාර්ථයක් බවට පත්ව තිබෙනවා.

නව ව්‍යවස්ථාවට එරෙහි ව්‍යාපාරයේ ප්‍රබලයන් වශයෙන් සැලකිය හැකි විමල් වීරවංශ සහ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන “වියත්මඟ’ නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි මිලිටරි බල­ෙව්ගයේ නායකයෙකු වන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගියදා කළ ප්‍රකාශ මේ සඳහා ප්‍රබල සාක්ෂි වශයෙන් දැක්විය හැකියි.

“නව ව්‍යාවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි” කියා විමල් වීරවංශ කළ තර්ජනය මෙන් විශාල මාධ්‍ය අවධානයක් යොමු නොවුණත් ඒ හා සමානම බරපතළ තර්ජනයක් පසුගිය 21 වැනිදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්ත විසින් ද කළා. ඒ ගෝඨාභය රාජපක්ෂ විසින් නායකත්වය දෙන “වියත්මඟ” වැඩසටහන විසින් ගම්පහ නගරයේදී පැවැත් වූ වැඩසටහනේදී. එහිදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විමල් වීරවංශටත් වඩා ඉදිරියට ගිහින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සහාය දෙන සියලු දෙනාම දේශද්‍රෝහීන් ලෙස නාමකරණය කළා. ඔහු එහිදී අවධාරණාත්මකව ප්‍රකාශ කළේ මේ සියලු දේශද්‍රෝහීන්ට ජනතා විමුක්ති පෙරමුණ 87,88,89 කාලයේ කළ ආකාරයට මරණ දඬුවම ලබාදිය යුතු බවයි.

ෆැසිස්ට් කුමන්ත්‍රණයක පෙර නිමිති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට එරෙහිව රාජපක්ෂ කල්ලිය සියලු බර යොදා මරාගෙන මැරෙන සටනක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ කුමක් නිසාද කියා අප වටහා ගත යුතුයි. ඊට හේතුව වන්නේ නව ව්‍යවස්ථා විරෝධය රාජපක්ෂ කල්ලිය අවධාරණය කරන ඊනියා “ඒකීයභාවය” ඉක්මවා ගිය ෆැසිස්ට්වාදී කුමන්ත්‍රණයක කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන ස්වභාවයක් වෙත වේගයෙන් ළඟා වෙමින් තිබීමයි. “පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි” යන විමල් වීරවංශගේ තර්ජනත්, “නව ව්‍යවස්ථාවට පක්ෂ වන දේශද්‍රෝහීන්ට උරුම මරණය” යැයි කමල් ගුණරත්න කළ ප්‍රකාශයත් අප දැඩි අවධානයට ගත යුත්තේ මේ ෆැසිස්ට් ක්‍රමන්ත්‍රණ අනතුර නිසයි.

අපි මෙය ෆැසිට්වාදී කුමන්ත්‍රණයක අනතුරු ඇඟවීමක් ලෙස හඳුන්වන්නේ ඉතාමත් පැහැදිලි හේතු සහිතවයි. ඒ අද රාජපක්ෂ කල්ලිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින අන්ත වර්ගවාදය පදනම් කොටගත් වැඩපිළිවෙළට ඉතාම සමීප ක්‍රියාවලියක් 1930 දශකය ආරම්භයේදී ජර්මනියේ නාසිවාදීන් විසින් ද ක්‍රියාත්මක කරමින් සිටි නිසයි.

අන්ත වාර්ගවාදය අවියක් කොට ගනිමින් එදා සුලු ආසන සංඛ්‍යාවක් අතැතිව ජර්මන් පාර්ලිමේන්තුවට පැමිණි නාසි නායක ඇඩලොෆ් හිට්ලර් විසින් ද අවසාන බල තුරුම්පුව ලෙස භාවිත කළේ ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තැබීමයි. එය සිදු වුණේ 1933 පෙබරවාරි 27 වැනිදායි. නාසින් විසින් කුමන්ත්‍රණකාරීව සිදු කළ පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ චෝදනාව ඔවුන් විසින්ම ඉතා සටකපට ලෙස ජර්මානු කොමියුනිට්ස් පක්ෂය වෙත එල්ල කළා. ඒ සමඟ ඇති වූ දේශපාලන අර්බුදය අවසානයේ නාසි නායකයාට සමස්ත ජර්මනියේ බලය අතට ගැනීමට වගේම කොමියුනිස්ට්වාදීන් සංහාරය කිරීමට ද ස්වර්ණමය අවස්ථාවක් උදා කළා.

නාසීන් විසින් පාර්ලිමේන්තුව ගිනි තබමින් ආරම්භ කළ ගමන අවසන් වුණේ මානව සංහතියේ අපකීර්තිමත්ම හා අති බිහිසුණු වාර්ගික හා මානව සංහාරය සිදු කරමින්. එදා නාසීන් මේ සියල්ල සාධාරණීකරණය කිරීමට, එයට සුජාතභාවය ලබාදීමට යොදා ගත්තේ යුදෙව්වන්ට එරෙහි වාර්ගික වෛරයයි. ඉන් එහාට ගිය කිසිදු තර්කානුකූල හෝ සාධාරණ හේතුවක් නාසි පාලකයන් සතුව තිබුණේ නැහැ. සියල්ල සිදු වුණේ “පීතෘ භූමිය” පදනම් කරගෙනයි. අද රාජපක්ෂ කල්ලියේ නව ව්‍යවස්ථා විරෝධය හරහා ලංකාව ගමන් කරමින් තිබෙන්නේ නාසිවාදයේ – ෆැසිස්ට්වාදයේ තුරුලට බව අප අවධාරණය කරන්නේ විමල් වීරවංශලා, කමල් ගුණරත්නලා පමණක් නොවෙයි. රාජපක්ෂ නිකායේ වශයෙන් නාමකරණය වී ඇති ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා නව ව්‍යවස්ථාවට එරෙහිව සමාජගත කරමින් සිටින අන්තවාදී සහ අවස්ථාවාදී කතා සැලකිල්ලට ගනිමිනුයි.

ජනමතයට එරෙහි භීතිය

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විශේෂයෙන් විශ්‍රාමික මිලිටරි නායකයන් පෙරට දමමින් රාජපක්ෂ කල්ලිය නව ව්‍යවස්ථාවට එරෙහි ව්‍යාජ භීතියක් මවමින් එම වැඩපිළිවෙළ අතුරු වාර්තාවෙන් ඔබ්බට යාමට නොදී කඩාකප්පල් කිරීමට වෑයම් කරන්නේ කුමක් නිසාදැයි අප ගැඹුරින් විමසා බැලිය යුතුය. මේ සඳහා ඉතාම පැහැදිලි ඉඟියක් විමල් වීරවංශගේ බෝම්බ තර්ජනයෙන් සේම කමල් ගුණරත්නගේ මරණ තර්ජනවලින් ද අපට ලැබෙන්නේය.

“නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 3/2ක බලයෙන් සම්මත කළොත් පාර්ලිමේන්තුවට බෝම්බ දාන්න ඕනෑ- විමල් වීරවංශ.

“මේ ව්‍යවස්ථාව ගේන එකේ භයානක ස්ථාන කිහිපයක් තිබෙනවා. එකක් 3/2 බලය. අනෙක ජනමත විචාරණයකට යාම. මම මේ කතා කරන්නේ හදවතින්. දේශයේ දරුවන් ලෙස ඉපිද දේශය නසන්නට තැත් කරන්නන් දේශද්‍රෝහීන්. දේශද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ, අපි 87,88,89 කාලයට ගිහින් බැලුවොත් ඔබට මතක ඇති ජනතා විමුක්ති පෙරමුණ ලියලා තිබුණා “ දේශද්‍රෝහීන්ට මරණය” කියලා. දේශ ද්‍රෝහීන්ට හිමි විය යුතු දඬුවම මරණයයි- මේජර් ජෙනරාල් කමල් ගුණරත්න.

මෙහිදී අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂ කල්ලිය පාර්ලිමේන්තු බලය වගේම ජනමතය ගැනත් දැඩි භීතියකින් පසු වන බවයි. මේ භීතිය නිසයි, බෞද්ධ භික්ෂූන් වහන්සේලා, විශ්‍රාමික හමුදා නායකයන් ඇතුළු කල්ලිය යොදා ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය කෙටුම්පත් අවස්ථාවට ළඟා වීමට පෙර තර්ජන ගර්ජන මගින් ව්‍යර්ථ කිරීමට තැත් කරන්නේ.

රාජපක්ෂ කල්ලියේ මේ භීතියට හේතුව ඉතාම පැහැදිලියි. ඒ කුමනාකාරයේ බලපෑම් මගින් වුවත් යහපාලන ආණ්ඩුව සතුව මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ පවතින 3/2කට අධික බහුතර බලය සෙලවීමට නොහැකි බව දැන් රාජපක්ෂවරු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් වටහා ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව සමඟ සිටින දමිළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු සුළු ජාතික පක්ෂ සේම මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් ද නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ඊට පක්ෂව ඡන්දය භාවිත කරන බව පසුගිය කාලය තුළ සිදු වුණ දේශපාලන ප්‍රවණතා අනුව රාජපක්ෂවරුන්ට පැහැදිලි වී තිබෙනවා. අද විමල් වීරවංශලා පාර්ලිමේන්තුවට බෝම්බ ගසා හෝ එය නතර කළ යුතු බවට ෆැසිස්ට් තර්ජන කරන්නේ මේ භීතිය නිසයි. භික්ෂූන් වහන්සේලා ලවා නොදුටු ව්‍යවස්ථාවක් ගැන බිල්ලන් මවන්නේ ඒ නිසයි.

දෙවැනි කාරණය වන්නේ රාජපක්ෂ කල්ලිය ඉතාම පැහැදිලිව දන්නවා මේ ව්‍යවස්ථාව යම්කිසි ආකාරයකින් ජනමත විචාරණයකට ගියොත් සිදු වන දේ. එක්සත් ජාතික පක්ෂය සමඟ මෙරට සියයට 31ක් වන සුළු ජාතීන් හා ආගමිකයන් නියත වශයෙන්ම නව ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව රාජපක්ෂ කල්ලිය දන්නවා. මෙය කිසිසේත් 2015 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය ආපසු හැරවීමක් නොවිය හැකියි. මොකද “අලුත් ව්‍යවස්ථාව එපා” කියමින් මොර දෙන්නේ, මරාගෙන මැරෙන්න හදන්නේ සිංහල බෞද්ධ අන්තවාදී සුළුතරය මිස සමස්ත සිංහලයන් නොවෙයි. මේ අන්තවාදයට යට නොවන මේ රටේ පුරවැසියන්ගෙන් බහුතරය නව ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව අපට ඉතාම පැහැදිලිව කිව හැකියි. මන්ද ඔවුන් කිසිවෙක් යළිත් රාජපක්ෂ පවුල් පාලනයක්, ෆැසිස්ට්වාදී පාලනයක් කරා යාමට කිසිදු සූදානමක් නොමැති නිසයි.

ස්වර්ණමය අවස්ථාව

මේ සමඟම විමල් වීරවංශ, කමල් ගුණරත්නට සේම “මේ අවස්ථාවේ අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද ?” යනුවෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් ප්‍රශ්නාවලියක් යොමු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත්, අලුත් ව්‍යවස්ථාව එපා කියන භික්ෂූන් වහන්සේලාටත් පුරවැසියෙක් ලෙස, අවුරුදු 40ක් පුරා ජේ.ආර්ගේ බහුභූත ව්‍යවස්ථාවෙන් බැට කෑ පුරවැසියෙක් ලෙස, 1978 සිට 2015 දක්වා සෑම මැතිවරණයකදීම අලුත් ව්‍යවස්ථාවක්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ඡන්දය භාවිත කළ ඡන්ද දායකයෙක් ලෙස අවධාරණය කළ යුතු කරුණක් තිබෙනවා. ඒ ඉතාම පුළුල්, සර්ව පාක්ෂික, බහුත්වවාදී පදනමක් මත ලංකාවේ ප්‍රථම වරට සිදුවන නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉතාම අවස්ථාවාදී හා අන්තවාදී වුවමනා එපාකම් වෙනුවෙන් කඩාකල්පල් නොකරන ලෙසයි.

අප මෙය අවධාරණය කරන්නේ ඉතාම පැහැදිලි හේතු කරුණු සහිතවයි. එයින් ප්‍රධාන වන්නේ පුරවැසියන් අති බහුතරයක් වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ධනාත්මක එකක් ලෙස සැලකීමයි. එයට හේතුව වන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතා අදහස් විමසමින්, බහුත්වවාදී ප්‍රවේශයක් ගනිමින් සම්පාදනය වන ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මීට පෙර 1947 දී ලංකාව මත පැටවූ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම 1971 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් කිසිසේත්ම මෙවැනි පුළුල් පුරවැසි සහභාගිත්වයක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දුන් 1947 සොල්බරි ව්‍යවස්ථාව අතහැර කතා කළත් 1971 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ සම්පූර්ණ ආධිපත්‍ය දැරුවේ එදා පාර්ලිමේන්තුවේ 3/2ක අති බහුතර බලයක් හිමිව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂ හවුල් ආණ්ඩුව (සමඟි පෙරමුණ) යි. ඒ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා දමිළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සලකා බලන්න පවා 1971 ව්‍යවස්ථා සම්පාදකයන් සූදානම් නොවූ බවට ප්‍රබල චෝදනාවක් එදා දමිළ ජනතාව වෙතින් ඉදිරිපත් වුණා. මේ ඒක පාර්ශ්විකත්වය නිසා තමයි සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා සොල්බරි ව්‍යවස්ථාව මගින් ලබාදී තිබූ සීමිත ප්‍රතිපාදන, 29 වැනි වගන්තිය, සෙනෙට් සභාව අහෝසි වන්නේ. “ඒකීය රාජ්‍ය”- බුද්ධාගමට ප්‍රමුඛතාව” ව්‍යවස්ථාවට එක්වන්නේ.

ඒකපාක්ෂික ව්‍යවස්ථා සම්පාදනයේ හානිය

මේ ඒකපාක්ෂික ව්‍යවස්ථා සම්පාදනයේ අවසානය සිදු වුණේ 1974 දී දමිළ ජනතාව අතරින් වෙනම රාජ්‍යයක් සඳහා වන යෝජනා ඇතුළත් “වඩුක්කෝඩෛයි” ප්‍රකාශනය ඉදිරිපත් වීම මගින්. එහි කූඨ ප්‍රාප්තිය ඉතා නුදුරු 1975දීම දැක ගන්නත් ලැබුණා. ඒ ශ්‍රීලනිප ආණ්ඩුවේම යාපනය නගරාධිපති ඇල්ප්‍රඞ් දොරේ අප්පා ඝාතනය කිරීම මගින්.

1978 ව්‍යවස්ථා සම්පාදනය 71ටත් එහා ගිය අතිශය සීමාන්තික ක්‍රියාවලියක් වුණා. ඒක සැලකෙන්නේ “ඒක පුද්ගල ප්‍රයත්නයක්” වශයෙනුයි. මේ ඒක පුද්ගල ව්‍යවස්ථාව එය සම්මත වූ දා සිටම රටේ අපහාසයට හා පිළිකුළට ලක් වුණා. ලෝකේ කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම් ජනතාවගේ විරෝධයට හා අප්‍රසාදයට ලක්ව නැතිව ඇති.

අද නව ව්‍යවස්ථාවට එරෙහි ව්‍යාපාරයේ මුල්පෙළ නායකයෙක් වන මහාචාර්ය ජී.එල් පීරිස්ගේ නායකත්වයෙන් සම්පාදනය වූ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් පමණකට හෝ පුළුල් සහභාගිත්වයක් ඇති ව සම්පාදනය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වශයෙන් සැලකිය හැකියි. බලය බෙදීම, මානව හිමිකම් ආදි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කිරීමට අවස්ථාව ලැබුණේ මේ දේශපාලන සහභාගිත්වය නිසයි. ඒත් 2000 අගෝස්තු මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය යම් යම් විරෝධතා ඉදිරිපත් කරමින් ඒ ප්‍රයත්නය කඩාකප්පල් කළා. එහිදී එජාපය චෝදනා කළේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී තමන්ට නිසි පිළිගැනීමක් හෝ තත්ත්වයක් නොලැබුණු බවයි.

එහෙත් වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඒ සියලු දුර්වලතා ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද දේශපාලන පක්ෂ සහභාගිත්වයක් සේම සිවිල් සමාජ සහභාගිත්වයක් ද ලබාගත්තා. අපි ප්‍රථම වතාවට දෙමළ ජනතාවගේ ඍජු ඉල්ලීම්, ලිඛිතව දැක්කේ මේ අවස්ථාවේ පමණයි. ඒ වගේම ව්‍යවස්ථාව ගැන ධනාත්මක හෝ ඍණාත්මකව මෙතරම් පුළුල් සමාජ සංවාදයක් සිදුවන්නේ මේ අවස්ථාවේ පමණයි.

මේ තත්ත්වය අපට පහසුවෙන් වටහා ගත හැකියි. එක් දේශපාලන පක්ෂයක බහුතර පාලන බලය හිමිව තිබූ 1971දී මෙන්ම 1978 දී ද ව්‍යවස්ථා සම්පාදනය සිදු වුණේ පුරවැසියන්ගෙන් බහුතරයක් නොතකා හරිමින්. ඒ වගේම 1978 ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධන 19න් 17ක්ම සිදු වුණේ (17 සහ 19 හැර) තනි පක්ෂයක වුවමනා එපාකම් සම්පූර්ණ කර ගැනීමේ පටු අරමුණුවලින් පමණයි. එහි ද කූඨ ප්‍රාප්තිය වශයෙන් සැලකිය හැකි වන්නේ අද මහජන අනුමැතිය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බැහැර කරමින් සම්මත කරගත් කුප්‍රකට 18 වැනි සංශෝධනයයි.

ඒනිසා යළි රටක් ලෙස එවැනි පටු ස්ථානයක් කරා යාමට මේ අවස්ථාවේ මේ රටේ අති බහුතරයක් ජනතාව සූදානම් නැති බව රාජපක්ෂ කල්ලිය පැහැදිලිව වටහා ගත යුතුයි. ඒ වගේම ඔවුන්ට බෝම්බ තර්ජනවලින්, ඝාතන තර්ජනවලින් ආපසු හැරවිය නොහැකි බව ද වටහාගත යුතුයි.

සුජාතභාවයක් හිමි ව්‍යවස්ථාවක්

අපි දකින ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒ සමාජයේ අති බහුතරයේ බහුමානයට සේම විශ්වාසය දිනා ගත්තක් විය යුතුයි. එයට සමාජයෙන් සුජාතභාවයක් හිමිවිය යුතුයි. වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය එකී නිර්ණායකයන් සම්පූර්ණ කරමින් සිටින බව අපට පැහැදිලියි.

ඒකාධිපති, වර්ගවාදී ෆැසිස්ට් පාලනයක් කරා ගමන් කරමින් රාජපක්ෂ රෙජිමය තීරණාත්මකව දෙවරක් පරාජය කරමින් සිටි යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ඡන්දය භාවිත කළ 62 ලක්ෂයක් ජනතාවගේ ඒකායන අරමුණ හා ප්‍රාර්ථනය වන්නේ ඊනියා ෆැසිස්ට් හෝ ආගමික අන්තවාදීන්ගේ තර්ජන හමුවේ නොසැලී නව ව්‍යවස්ථා සම්පාදන කාර්යය කඩිනමින් අවසානය කරා ගෙන යනු දැකීමයි.

සටහන- භාතිය බරුකන්ද 

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *