ව්‍යවස්ථා අයිතිය සඟ සතු නොකරනු! – අනුර සූරියබණ්ඩාර

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ රටට අවශ්‍යද නැද්ද යන්න බරපතළ සංවාදයකට ලක්කළ යුතු මොහොතකට රට මුහුණදී සිටිතැයි කීම අතිශයෝක්තියක් නොවේ. පෙනෙන්නට ඇති තත්ත්වය වන්නේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී සුළු තරය මහත් සේ උද්ඝෝෂණ පවත්වන විට ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෙනි සිටි කොටස බරපතළ කඹ ඇදිල්ලක යෙදී සිටීමය. එකී හේතුව නිසාම රටට ව්‍යවස්ථාවක් අවශ්‍යය කියන සටන් පෙරමුණ හීල් වුණු, අයාලේ යන තත්ත්වයකට ඇද වැටී තිබේ.

අලුත්ම සිදුවීම නව ව්‍යවස්ථාවකට හා ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි වෙමින් මල්වතු අස්ගිරි සංඝ නායකත්වය නිකුත්කර ඇති නිවේදනයයි. ව්‍යවස්ථා විරෝධීන් එම නිවේදනය උඩ පැන පැන තලන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් අගමැතිවරයා උත්සාහ කළේ, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංඝ නායකත්වයේ ප්‍රකාශය මල්වතු අස්ගිරි අදහස නොවන බව ඔප්පු කිරීමටය. අගමැතිවරයා කුමක් කීවද මල්වතු පාර්ශ්ව නායකත්වයෙන් නිශ්චිත අදහසක් මේ ලියන මොහොත වන විටත් නිකුත් වී තිබුණේ නැත.  එසේ එහෙයින් මෙතෙක් අපට පිළිගැනීමට සිදුවන්නේ ව්‍යවස්ථාව සම්බන්ධ කාරක සංඝ සභාවේ අදහස මල්වතු පාර්ශ්වයේ ද අදහස බවය.

අගමැතිවරයාගේ තර්කයේ එක් කොටසක් වූයේ සංඝ සභාවේ තීරණය ගත් මොහොතේ මල්වතු මහ නා හිමි රටේ නොසිටි බවයි. මල්වතු නා හිමියන් රටේ නොසිටීම කාරක සභාවේ තීරණය අහෝසි කරන සාධකයක් ද යන වග වෙනම ‍සොයා බැලිය යුතුය. අපගේ දැනුමේ තරමට මහ නා හිමි රටේ නොසිටීම කාරක සංඝ සභාවේ තීරණය අවලංගු කරන හේතුවක් නොවේ.

ඊට සාක්ෂි කිහිපයක් තිබේ. එක දෙකක් මෙ‍සේය.

  1. මල්වතු නා හිමි රටේ නොසිටියද අවශ්‍යනම් දුරකතන, ඉන්ටර්නෙට් තාක්ෂණ ඔස්සේ අවශ්‍ය උපදෙස් සහ අදහස් ලබාගත් හැකිවීමය.
  2. මල්වතු පාර්ශ්වයේ අනුනායකත්වය තීරණය ගන්නා සභා‍වේ නියෝජනය වීම.
  3. මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේම ක්‍රියාකාරි තනතුර ලෙස ක්‍රියාත්මක වන්නේ අනුනාකත්වය වීම. එනම්, මහනායක හිමියන් රටේ සිටින මොහොතක පවා ප්‍රකාශ නිකුත් කිරීම ආදිය සිදු වන්නේ අනුනායක හිමියන් හරහා වීමයි.
  4. ව්‍යවස්ථාව සම්බන්ධව ඒකාබද්ධ මතය ප්‍රකාශ කරන්නට පෙර ඒ ඒ පාර්ශ්ව තුළ තම මතය කුමක්ද යන්න වෙන් වෙන්ව සාකච්ඡාවට බඳුන් වූ බව අනුමාන කළ හැකි වීම.

වත්මන් ව්‍යවස්ථාව එසේම තබාගත යුතු යන අදහසට අලුතින්ම එකතු වී සිටින්නේ මල්වතු පාර්ශ්වයයි. මල්වතු පාර්ශ්වයට අස්ගිරි පාර්ශ්වයට, ඒකාබද්ධ විපක්ෂයට හෝ ව්‍යවස්ථා සංශෝධනය එපා කියන ස්ථාවරයේ  පසුවිය හැකිද?

1978 ව්‍යවස්ථාව යනු මුලපටන්ම රටට එපා වූ ව්‍යවස්ථාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භයේ පටන්ම සිටි‍යේ ව්‍යවස්ථා විරෝධී පදනමකය. වාමාංශික පක්ෂද මුලපටන්ම එයට විරෝධයක් පෑ පිරිසට අයත්ය. උතුර හෙවත් දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත්කල ද එහි එතරම් වෙනසක් නැත. සමානුපාතික ජන්ද ක්‍රමය හැරුණු විට 78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සුළු පක්ෂ හා සුළු ජාතින්ට ප්‍රසාදයක් නැත.

මෙරට ජනාධිපතිවරු තිදෙනෙක් එනම් චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජනක්ෂ, මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූයේ ව්‍යවස්ථා වෙ‍නසකට පොරොන්දු දෙමිනි.

ව්‍යවස්ථා වෙනසක බරපතළම අවශ්‍යතාව සහිත පිරිස වන්නේ පොදු ඡන්ද දායකයාය. චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ මෙන්ම මෛතිපාල සිරිසේනට ද බලය ‍ලාබාදීමෙන් ජනතාව අපේක්ෂා කළේ ව්‍යවස්ථා වෙනස ඉටු කරවා ගැනීමටය.

අන්වතාවල මෙන් නොව මේ වතාවේ ව්‍යවස්ථා වෙනස යන කරුණ සිදුවෙතැයි අපේක්ෂා කළ හැකි මට්ටමට දැන් පැමිණ තිබේ. මල්වත්ත අස්ගිරිය මේ බාධා කරන්නට සැරසෙන්නේ ඒ අපේක්ෂාවටය.

මෙහිදී ප්‍රශ්නගත කරුණ වන්නේ ව්‍යවස්ථා වැඩසටහනට අකුල් හෙළීමට මල්වත්තට හෝ අස්ගිරියට ඇති අයිතිය කුමක්ද යන්නය. ව්‍යවස්ථා වෙනස යනු යහපාලන ආණ්ඩුව බලයට පත්කරන්නට සිය ඡන්දය පාවිච්චි කළ සියලු ජනතාවගේ අපේක්ෂාවය. ඒ අනුව ව්‍යවස්ථාව එපා කීමේ එකම අයිතිය ඇත්තේද එකී ජනතාවට පමණය. එනම් රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන්න තීරණය විය යුත්තේ සංඝ සභාවක ආණ්ඩු විරෝධි කණ්ඩායමක හෝ ආණ්ඩුවේ මතයට නොව ජනමතය විචාරණයකට අනුවය.

මෙතෙක් මෙරට සැකසුණු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසුණේ පාලක පන්තියේ හෝ පැවැති ආණ්ඩුවේ, වඩාත් පැහැදිලිව කියන්නේ නම් අදාළ වකවානුවේ රට පාලනය කරුණු දේශපාලන පක්ෂයේ අවශ්‍යතාව පිරිමැසෙන ආකාරයකටය.

මෙවර ඉදිරිපත් කරන්නට සූදානම් වන ව්‍යවස්ථාව ආණ්ඩුවක දේශපාලන පක්ෂයක දෙයක් නොව ජනතා අදහස් සහ දේශපාලන පක්ෂවල මතවාද සහ සිවිල් සංවිධාන වල අදහස් ද ඇතිව සැකසෙන්නකි. උතුරෙත් දකුණෙත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ වියයුතුයැයි සිතන සියල්ලන් ගේ අදහස් කැටි වූ යොජනා මාලාවක් මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ තබා තිබේ. එය මේ වන විටත් අදහස් සංවාද යෝජනාවලට විවෘතය.

යෝජනාවලියේ වරදක් ඇතැයි, ආඩුපාඩුවක් ඇතැයි සිතන්නකු වෙත්නම් කළ යුත්තේ ඒවා සකස්කිරීම සඳහා දායක වීමයි. ඒ මිස ආගමට තැන නැතිවෙන්නේය, රට පෙඩරල් වන්නේය කියමින් කයිවාරු ගැසීමෙන් කිසිවකුට කිසිම යහපතක් වන්නේ නැත.

අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංසෝධනයක් පවා අනවශ්‍ය ය කියන මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව කියන්නේ 1978 ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යායුතු බවය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේම පවත්වාගෙන යන්නේ නම්

  1. විධායක ක්‍රමය හෝසි නොවනු ඇත.
  2. 18 වැනි දංශෝධනය වැනි දේ හරහා ඒකාධිපතියකු බිහිවීමේ බිය තව දුරටත් පවතිනු ඇත.
  3. ජාතික ගැටලුවට තරුණ කැරලිවලට පැවති අවස්ථාව එලෙසම පවතිනු ඇත.

මල්වතු අස්ගිරි කාරක සභාව කියන්නේ එය එසේ වියයුතු බවද? මහින්ද රාජපක්ෂ මහතා සිය ධූර කාලය යාවජීව කරගන්නා විට ඔවුන් මුවින් නොබැණ සිටි උන්වහන්සේලාට දැන් ඇති වී ඇති ව්‍යවස්ථා ‍ෆෝබියාව කෙසේවත් ජනතාවාදී යැයි පිළිගත නොහැකිය.

ආණ්ඩුව දැන් කළ යුත්තේ මල්වත්තේ හාමුදු‍රුවෝ හොඳයි, උන්වහන්සේ මේ විරෝධය දන්නේ නැහැ. උන්වහන්ස් රටේ හිටියෙත් නැහැ ආදිය කියමින් මඩේ සිටවූ ඉන්නක් මෙන් හැසිරීම නොවේ. ආණ්ඩුව බලට පත් වී සිටින්නේ සංඝකාරක සභාවන්යි අවශ්‍යතා ඉටුකිරීමට නොවේ. ඔවුන්ගේ අදහස් අනුව රට කරවන්නට නොවේ. ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසුණු ආණ්ඩුවට ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතාවගේ අවශ්‍යතාව ඉටුකිරීමය. හාමුදුරුවරුන් කොටසකට එපා වූ පමණින් ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එපා වන්නේ නැත. හරියටම 18 වැනි සංශෝධනය ජනතාවට එපා වූ නමුත් මල්වත්තටවත් අසිගිරියටවත් එපා නොවූවා මෙනි.

තවත් අතකින් ගත්කල අස්ගිරි මල්වතු කාරක සංඝ සභාව යනු සමස්ත භික්ෂු පරම්පරාවද නොවේ. මල්වතු අස්ගිරි නොවන පාර්ශ්වද සිටිති. එය එකකි. අනෙක මල්වතු අස්ගිරි පාර්ශ්ව නියෝජනය කළ ද ව්‍යවස්ථාවක අවශ්‍යතාව දකින භික්ෂූන් වහන්සේද සිටිති.

ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෙනී සිටින ජනතාව සමඟ ආණ්ඩුව සිටගත යුතුය. ආණ්ඩුව බලයට පත්කළ 62 ලක්ෂයට වඩා භික්ෂුව බලවත් වීමට ඉඩ නොතැබිය යුතුය. එසේ කළ නොහැකි නම් කළ යුතු හොඳම දෙය ව්‍යවස්ථාවකට කැමති ආණ්ඩුවක් බලයට පත්කර ගැනීමට ජනතාවට ඉඩහැර ඉල්ලා අස්වීමය.

අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *