මිනී මරන්න කතා කරන කමල් ගුණරත්නලා යුද්ධ කළ හැටි හිතාගන්න පුළුවන් – ක්‍රීඩා ඇමැති සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර

රටේ ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළහොත් මරාදැමිය යුතු යැයි කමල් ගුණරත්න මහතා කරන ප්‍රකාශ දිහා බැලූ විට ඔවුන් යුද්ධය කළ හැටි පවා හිතාගන්න පුළුවන් බව ක්‍රීඩා ඇමැති සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කෙළේය.

රණවිරුවන්මෙවැනි ප්‍රකාශ කිරීම තුළින් ජාත්‍යන්තරයෙන් පැමිණෙන චෝදනාවලින් බේරා ගැනීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (25) පැවැති කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එසේකී ඇමැතිවරයා පුද්ගලයින් ඝාතනය කරන්න හෝ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට කවුරුන් හෝ හිතනවා නම් ඔවුන්ගේ මානසිකත්වය පිළබඳ මැනගත හැකි බවද කීය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ පුද්ගලයාගේ ඥාතියකුම නැවතත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට ප්‍රකාශ කිරීම පරම්පරාගත ලක්ෂණයක් බවත් කී යහපාලන රජය සෑම දෙයම සාකච්ඡාවෙන් සිදු කිරිමට කැපවී සිටින බවද හෙතෙම හෙළි කෙළේය.

අන්තවාදයට ගොස් ප්‍රශ්න විසඳා ගැනීමට යාමෙන් රට තුළ තවත් දරුණු අන්තවාදයක් ඇතිවී ගැටුම් තත්ත්වයකට යා හැකි බවද ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට හිංසනයක් සිදුවන බවට ලෝකයේ දෙමළ අන්තවාදීන්ට ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් දකුණේ අන්තවාදීන් කරන ප්‍රකාශවලින් ලබාදී ඇති බවද පැවසූ ඇමැතිවරයා ඒකීය රටක් හැටියට සිංහල, දෙමළ මුස්ලිම් ජාතින් හැටියට එක්ව විසඳුම් සෙවිය හැකි අවසාන අවස්ථාව ලැබී තිබෙන බවත් එය මඟ නොහැරීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවත් කීය.

සිතාරා සේනානි , චමීර ඇල්ලදෙණිය සහ දිල්රූ ජයසේකර – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *