සංඛ්‍යාත කාගෙද? – බණ්ඩාර උඩුරාවන

ගෙවුනු දසවසක එනම් 2007 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ විදුලි සංදේශ නියාමන කොවිසම ලබාදී ඇති සංඛ්‍යාත පිළිබඳ තො‍රතුරු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ඉල්ලා ඇති බවට තොරතුරු පළවේ. ඔහු එම තොරතුරු ඉල්ලා ඇත්තේ විදුලිය සන්දේශ කොමිසමේ තොරතුරු නිලධාරියාගෙනි. ඒ තොරතුරු පනත යටතේ ලැබී ඇති අයිතිය යටතේය.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා 2007 – 2017 කාලය තුළ ගුවන්විදුලි සහ රූපවාහිනී සේවා සඳහා සංඛ්‍යාත ලබා දුන් පුද්ගලයන් හෝ සමාගම් කවරේද? එකී පුද්ගලයන් හෝ සමාගම් වලට අදාළ කාල පර්ච්ඡේදය තුළ ලබා දුන් සංඛ්‍යාත පරාස, සම්ප්‍රේක්ෂණ බලය කොතරම්ද? සංඛ්‍යාත ලබාදීම සඳහා අදාළ සමාගම් හෝ පුද්ගලයන් තෝරාගත් පදනම කුමක්ද? යම් පුද්ගලයකුට හෝ සමාගමකට ලබාදුන් සංඛ්‍යාත ආපසු පවරාගෙන තිබේද? එසේ පවරාගෙන ඇත්නම් එකී පුද්ගලයන් හෝ සමාගම්වල නම් මොනවාද? යන ප්‍රශ්නය විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බව පැවසේ.

මෙරට විද්‍යුත් තරංග ගනුදෙන් පිළිබඳ සංවාදයක් අලුතින් මතුවීමට හේතුව සිරසට නීති විරෝධි ලෙස විද්‍යුත් තරංග සංඛ්‍යාත ලබා දී ඇති බවට බැසිල් රාජපක්ෂ විසින් එල්ල කරනු ලැබූ‍ චෝදනාවයි. එයින් කැයැවුණේ විද්‍යුත් තරංග සංඛ්‍යාත ලබා දීමේ පිළිවෙතින් බැහැරව මෙගා හර්ට් 700 ඉහළ අගයකින් යුතු සංඛ්‍යාත අටක් මහරාජා වරුනට ලබා දී ඇති බවයි. එක් අතකින් එකී සංඛ්‍යාත ලබා දීම ප්‍රසිද්ධ කාරණයකි.  නමුත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනතුරු කිසිවකු ඒ පිළිබඳ මතුකර තිබුණේ නැත.

මෑතක් ‍වන තෙක්ම මෙරට විද්‍යුත් සංඛ්‍යාත භාවිත කෙරුණේ රජය විසිනි. එනම් ගුවන් විදුලි විකාශයේ තනි අයිතිය පැවතියේ රජයේ ගුවන් විදුලි සංස්ථාවටය යන්නය.  පෞද්ගලික සේවාවක් වශයෙන් රූපවාහිනී විකාශය ආරම්භ කෙරුණද පසුව එය ආණ්ඩුවට පවරා ගනු ලැබිණ.

විකාශන අයිතිය පිළිබඳ ආණ්ඩුවේ ඒකාධිකාරය බිඳවැටුණේ සිරස නාලිකාවේ සම්ප්‍රාප්තියත් සමඟිනි. එසේ ආරම්භ කෙරුණු පෞද්ගලික විකාශන සංස්කෘතිය මේවනවිට රට තුළ විකාශන ආයතන රාශියක් පවතින තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

අදාළ ආයතන විසින් තම විකාශන කටයුතු සඳහා සංඛ්‍යාත හිමිකරගත් ආකාරය පිළිබඳ මෙතෙක් කිසියම් හෝ හෙළිකරව් වීමක් සිදු වී නැත. රූපවාහිනී නරඹනවා මහ ගුවන් විදුලි නාලිකාවලට සවන් දෙනවා මිස අදාළ පුද්ගලයන් හෝ ආයතන විසින් සංඛ්‍යාත හිමිකරගත් ආකාරය පිළිබඳ හෝ ඔවුන් ඒ වෙනුවෙන් කළ ගෙවීම් පිළිබඳ හෝ විමසිලිමත් වීමට ජනතාවට උනන්දුවක් හෝ දැනුමක් හෝ ඇති බවක් ද පෙනෙන්නේ නැත.

විද්‍යුත් සංඛ්‍යාත ලබාදීමේ දී අනුගමනය කළයුතු විනිවිද පෙනෙන සහ පුජාතාන්ත්‍රික ක්‍රමය වශයෙන් සැලකෙන්නේ වෙන්දේසි ක්‍රමයයි. සංඛ්‍යාත යනු ජනතා දේපළක් බැවින් ඉහළම ලංසුවට ඒවා විකිණීමෙන් රාජ්‍ය බාණ්ඩාගාරයට උපරිම මුදලක් ලබාගන්න හැකි වන බැවිනි. මෙරට ඉතිහා‍සයේ කිසිදු දිනයක සංඛ්‍යාත වෙන්දේසියක් සිදුවී නැත. ඒ අනුව අනුමාන කළ යුතු වන්නේ යම් යම් සම්බන්ධතා මත පිහිටා සිදුවන අතයට ගනුදෙනු ස්වරූපයේ ගනුදෙනු හරහා මෙරට විද්‍යුත් සංඛ්‍යාත අයිතිය පුද්ගලයන්ට හා සමාගම්වලට සතුකර දී ඇති බවය.

මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ගුවන් විදුලි සහ රූපවාහිනි සේවාවන්හි අයිතිය බලන කල පැහැදිලි වන්නේ දේශපාලන පදනම් ඔස්සේ සංඛ්‍යාත ගනුදෙනු සිදුවී ඇති බවය. සංඛ්‍යාත ප්‍රශ්නය මත දේශපාලන පිල් මාරුවීම් පවා සිදු වී ඇති බවට මෑත ඉතිහාසයේ සාක්ෂි තිබේ. ප්‍රවෘත්තියක් වැරදි ලෙස විකාශය කිරීමේ වරදට තහනම් කළ විකාශන බලපත්‍රයක් එකී බලපත්‍රය හිමි පවුලේ සාමාජිකයකු බලය හිමි පක්ෂයට සේන්දු වීමෙන් පසුව නැවත වලංගු කෙරුණු බව බැසිල් රාජපක්ෂ මහතා පවා හොඳින් දන්නා කරුණකි.

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ඔහුගේ දරුවනට විකාශන අවස්ථා ලබා දුන්නේ කෙසේද යනවග ද බැසිල් රාජපක්ෂ මහතා නොදන්නවා විය නොහැකිය. මෙතැනදී බැසිල් රාජපක්ෂ මහතා කර ඇත්තේ තමන් ද ඇතුළු පෙර පැවති ආණ්ඩු බොහොමයක් කළ වරදක් (1977න් පසුව පැවති ආණ්ඩු කිසිවකට සංඛ්‍යාත අවභාවිතය පිළිබඳ චෝදනාවෙන් මිදෙන්නට හැකියාවක් ඇතැයි විශ්වාස කළ නොහැකිය)  වත්මන් ආණ්ඩුවද කළ විට එය උලුප්පා දැක්වීමකි.

වසර දහයක සංඛ්‍යාත තොරතුරු විදුලි සන්දේශ නියාමන කොමසමෙන් ඉල්ලා සිටින ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහය අගය කළ යුතු නමුත් ඔවුනට හෝ ඔවුනගේ හිතවත් පාර්ශවයකට හෝ සංඛ්‍යාත අතයට ගනුදෙනු පිළිබඳ චෝදනාවලට ලක්විය හැකි හේතු තිබිය හැකිය. හේතුව ඔවුන් ආණ්ඩුව සමඟ සමීප ගනුදෙනුවක් පවත්වාගෙන ගිය සමයක ආරම්භ කෙරුණු එෆ්.එම්. විකාශන ආයතනයකි.

මෙරට දැන්ට පවතින විද්‍යුත් නාලිකා සියල්ල සැලකිය හැක්කේ අතයට හෝ රහසිගත ස්වරූපයෙන් කෙරුණු සංඛ්‍යාත ගනුදෙනුවල පුතිඵලයක් වශයෙනි. ජනතාවගේ නාලිකා වශයෙන් පෙනී සිටින්නට ඔවුන් කොතෙක් උත්සාහ කළ ද සත්‍යය වන්නේ මෙරට සෑම නාලිකාවක්ම ජනතාව සතු අයිතියක් කවර හෝ ආකාරයකින් කොල්ලකා ඇති බවයි.

සංඛ්‍යාත ගනුදෙනු වලදී ජනතාවට අවාසියක් සිදුකර ඇතුවා පමණක් නොව ඔවුන් ජනතාව නොමග යැවීමේ කටයුත්තකද නිරතව සිටිති. ප්‍රවෘත්තිය කුමක් ද ප්‍රවෘතියක් නොවන්නේ කුමක්ද? යන්න පිළිබඳ පවා මෙරට විද්‍යුත් මාධ්‍ය (සියලු ජනමාධ්‍යවලට මෙකී චෝදනාව අඩුවැඩි වශයෙන් අදාළ නමුත් මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ සංඛ්‍යාත ප්‍රශ්නය පිළිබඳවය) අවධානය යොමුකරන බවක් පෙනෙන්නට නැත. වඩාත් බරපතල ගැටලුව ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන ස්වාධීනත්වය ඔවුන් තුළ සැබෑවටම නොමැති වීමය. එනම් තමන්ට බලපත්‍ර දුන් සමන්ට සංඛ්‍යාත හිමිකර දුන් බලවේග කොතරම් දුෂ්ට වුවද කොතරම් දූෂිත වුවද සිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ඔවුන් යළි බලයට ගෙන ඒමට හීන් නූලෙන් කටයුතු කිරීමය.

අනුර කුමාර දිසානායක මහතා මතු කරන පුශ්නයේ වැදගත් කම බැහැර කළ යුතු නැත. ඔහු මතුකර  ඇත්තේ ප්‍රශිද්ධ රහසක් පිළිබඳ තොරතුරු සමූහයකි. මාධ්‍ය නියාමන ප්‍රශ්නයේ දී පොල්ල ‍‍‍‍‍‍‍‍අතට ගෙන කටයුතු කළ ආකාරයට මේ ප්‍රශ්නයේදී ද විද්‍යුත් මාධ්‍ය අනුරට වටකර පහර දෙන්නට උත්සාහ කරන්නටද බැරි කමක් නැත. එහිදී බලාපොරොත්තු විය හැක්කේ අනුර හුදකලා වීමය. තමන්ට අවාසියක් ඇතිවේය යන සැකය නිසා හෝ මාධ්‍ය බලයට ඇති බිය නිසා හෝ බොහෝවිට දේශපාලකයන් සහ පුද්ගලයන් මාධ්‍ය හමුවේ හැකිලීම පස්සගැසීම සමාන්‍ය ස්වභාවය නිසාය.

අනුර කුමාර දිසානායක මෙවර මතු කර ඇත්තේ සමස්ත ජනතාවත් සිවිල් සමාජයත් මතුකිරීමට අමතක කර තිබූ ප්‍රශ්නයක් බව ජනතාව වටහා ගත යුතුය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. ජනතාවගේ සංඛ්‍යාත වේන්දේසියේ විකුණා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන සංස්කෘතියක් දැන්වත් ඇති කර ගතයුතුය. වගකිවයුතු පරිදි මාධ්‍ය හසුරුවනු ඇතැයි විශ්වාස කළ හැකි පිරිසි අතට පමණක් සංඛාත පත්වන වටපිටාවක් නොපමාව සකසාගත යුතුය.

බණ්ඩාර උඩුරාවන

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *