මල්වත්ත-අස්ගිරිය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය – එම්.ඕ.ඒ. ද සොයිසා

මේ රට පාලනය කරන්නේ කවුරුන් විසින්ද? මල්වත්ත-අස්ගිරිය ප්‍රධාන කොට ගත් මේ රටේ වැඩ වාසය කරන 30,000 ක් පමණ වන බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින්ද නැතිනම් දෙකෝටි විසි ලක්ෂයකට ආසන්න ගිහි ජනතාවගේ ඡන්ද බලය හිමි පුරවැසියන්ගේ බහුතර කැමැත්තෙන් ප්‍රජාතාන්ත්‍රිකව තෝරාපත් කරගත් පාලකයින් විසින් මෙහෙයවන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින්ද? මේ ප්‍රශ්නය ඇසීමට සිදුව තිබෙන්නේ වෙනත් කිසිඳු හේතුවක් නිසා නොව මේ රටේ වැඩ වාසය කරන ඉහත දැක්වූ 30,000 ක් පමණ වන භික්ෂූන් වහන්සේලා සියලුම දෙනා නොවුණත් එයින් කොටසක් විසින් රාජ්‍ය පාලනය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට දේශපාලනයට මැදිහත් වෙමින් කරන කෙළවරක් නොමැති අයථා බලපෑම් කිරීම නිසාවෙනි.

මල්වතු-අස්ගිරි පාර්ශ්ව දෙක ප්‍රධාන කොටගත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් විසින් කරන ලද අලුත්ම මැදිහත් වීම වන්නේ මෙයට දින තුන හතරකට පෙරදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම නතර කරන මෙන් ඉල්ලා සිටිමින් ආණ්ඩුවට කරන ලද බරපතළ තර්ජනයයි.

මෙම භික්ෂූන් වහන්සේලා කණ්ඩායම ප්‍රකාශ කළ අදහස්වලින් අවධාරණය කළ ප්‍රධාන කරුණු දෙකක් විය. මෙයින් එකක් වූයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වහාම නතර කළ යුතු බවය. හේතුව, සෑදීමට යන නව ව්‍යවස්ථාව මඟින් මෙරට ඒකීයභාවය නැතිවී ගොස් ඊලාම් රාජ්‍යයක් බිහි වීමට අවශ්‍ය ව්‍යවස්ථානුකූල පදනම වැටෙන බැවිනි. දෙවැන්න වූයේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එනම්, 1978 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එයාකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවය. එය වෙනස් කිරීම නොව අඩුම වශයෙන් එය සංශෝධනය කිරීමකටවත් ලක් නොකළ යුතුය.

මල්වතු-අස්ගිරි පාර්ශ්ව දෙකේ කාරක සංඝ සභාවන්හි භික්ෂූන් වහන්සේලා විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ඉහත සඳහන් අදහස් පිළිගත හැකිද? නැතිනම් අනුමත කළ හැකිද? මේ සම්බන්ධයෙන් තාර්කික අවසාන නිගමනයකට එළඹීමට නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඉහත දැක්වූ අදහස්වල යුක්ති යුක්තභාවය හා නිවැරදිභාවය සලකා බැලීමය. එයින් ප්‍රථම කරුණ සලකා බලන විට නිරායාසයෙන්ම මතක් වන්නේ පාසැල් යන අවධියේ පළමු හෝ දෙවන ශ්‍රේණියේදී අධ්‍යයනය කළ ‘කුමාරෝදය’ පාඨ ග්‍රන්ථයේ තිබුණ එක් පාඩමක් වූ හාවා සහ බෙලි ගෙඩියේ කථාන්තරයයි.

කථාන්තරයේ හරය වූයේ තල් ගසක් යට නිදා සිටියදී බෙලි ගෙඩියක් තල් අත්තක් මතට වැටීමෙන් හාවකුට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ය. බෙලි ගෙඩිය තල් අත්ත මතට වැටීමෙන් ඇති වූ මහා ශබ්දයෙන් නින්දෙන් අවධි වන හාවා සිදු වූ දෙය යථා පරිදි අවබෝධ කර ගැනීමට බැරිවීම හේතුවෙන් කළේ අහස කඩා වැටෙනවාය යනුවෙන් මවා ගත් බියක් මුල්කර ගෙන මහ හයියෙන් මොර තියමින් අනෙක් සතුන්ද බිය කරමින් ඔළුව හැරුණ අත දිවීමට පටන් ගැනීමය. අද මල්වතු-අස්ගිරි පාර්ශ්ව දෙකේ කාරක සංඝ සභාවල සාමාජික භික්ෂූන් වහන්සේලා සහ උන් වහන්සේලා සමඟ එක්ව සිටින අනෙක් භික්ෂූන් වහන්සේලා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා කලාපය ඉහත දැක්වූ හාවාගේ ක්‍රියා කලාපයට කිසිසේත්ම නොදෙවෙනි බව කරුණු විමසීමේදී පෙනී යනව.

හේතුව, නොදුටු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන මොර තියමින් ඒ පිළිබඳව ව්‍යාජ අදහස් මාලාවක් සමාජගත කරමින් ඒ හරහා ජනතාව කුලප්පු කරවමින් උන් වහන්සේලා රට පුරා දිවීමට පටන් ගැනීම මනෝමූලික ව්‍යාජ බියක් මුල්කර ගනිමින් මහ වනාන්තරය දෙවනත් කරමින් දිවීමට පටන් ගත් හාවාගේ හැසිරීමට මුලුමණින්ම සමාන වීමය.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ වනවිට සම්පාදනය කර නොමැතිවා පමණක් නොව අඩුම වශයෙන් එවැනි ව්‍යවස්ථාවක් පිළිබඳව එක වචනයක්වත් මේ දක්වාම කෙටුම්පත් කර නොමැති බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉතාම දැඩි වගකීමකින් යුතුව දිගින් දිගටම ප්‍රකාශ කර සිටියදීත් එය පිළිගන්නේ නැතිව කහ සිවුරට තිබෙන සමාජ ගෞරවය හා සැළකීම අවභාවිත කරමින් මල්වතු-අස්ගිරි කාරක සංඝ සභා සාමාජිකයින් ප්‍රධාන අනෙක් භික්ෂූන් වහන්සේලා මේ අවස්ථාවේදී ගෙනයන වැඩපිළිවෙළින් පැහැදිලිවම ප්‍රදර්ශනය වන්නේ කාගේ හෝ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් මේ ආණ්ඩුව පෙරලා දැමීමට උන් වහන්සේලා ක්‍රියා කරන බව මිස එසේ නොමැතිව සෑදීමට යනවා යැයි කියන නව ව්‍යවස්ථාව යටතේ නැතිවෙලා යනවා යැයි ප්‍රකාශ කරන රටේ ඒකීයභාවය හා බුද්ධාගම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් උන් වහන්සේලා පෙනී නොසිටින බවය.

මෙයින් එළඹිය හැකි නිගමනය කුමක්ද? ව්‍යාජ මනෝරාජික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නැතිනම් සිතේ මවාගත් ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රටේ ඒකීයභාවය හා බුද්ධාගම ආරක්ෂා කිරීම යන ආවරණවලට මුවා වී ඒවායේ ආරක්ෂාව ලබා ගනිමින් උන්වහන්සේලා ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටින බවය. මේ බව වඩාත් පැහැදිලි වන්නේ අතුරු වාර්තාව සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතර පවතින වෙනසවත් තේරුම් නොගෙන උන් වහන්සේලා තම අන්තවාදී අදහස් ප්‍රකාශ කර තිබෙන ආකාරය දෙස බලන විටය. එසේනම් එම අදහස් ආණ්ඩුව හෝ ජනතාව පිළිගත යුතුද? ඇදහිය යුතුද? දියහැකි එකම පිළිතුර වන්නේ නැත යන්නය. ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා නම් සත පහකට ගණන් නොගත යුතු බවය.

මල්වතු-අස්ගිරි කාරක සංඝ සභාවල භික්ෂූන් වහන්සේලා විසින් තම විරෝධතා ප්‍රකාශනය මඟින් අවධාරණය කළ අනෙක් කරුණ වූයේ පවතින ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කිසිඳු වෙනසකට භාජනය නොකර එසේම තවදුරටත් පවත්වා ගෙන යා යුතු බවය. මෙම ප්‍රකාශය දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යන ජනතා විරෝධී කරුණු දෙකක් තිබේ.

එයින් එකක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් මේ රට තුළ ස්ථාපිත කරනවාට උන් වහන්සේලා කිසිසේත්ම කැමැති නොවන බවය. දෙවන කරුණ වන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් ජේ. ආර්. ජයවර්ධන නිර්මාණය කළ වියරු ආඥාදායක පාලන ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යාමට උන් වහන්සේලා කිසිඳු පැකිලීමකින් තොරව පෙනී සිටින බවය. මෙයින් ගම්‍ය වන්නේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව උන් වහන්සේලාට පැහැදිලි සහ නිරවුල් අවබෝධයක් නොමැති බවය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පැන නැගීම සම්බන්ධයෙන් බලපා තිබෙන හේතු සාධක සමස්ථයක් ලෙස ගෙන බලන විට කොටස් දෙකකට බෙදිය හැක.

මෙයින් ප්‍රධානම සහ මූලිකම කරුණ වන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ගොඩ නගනු ලැබූ වියරු ආඥාදායක පාලන ක්‍රමයෙන් මේ රට සහ ජනතාව මුදවා ගෙන රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාමට ඇති අවශ්‍යතාවයයි. මෙය අද ඊයේ පැන නැගුන එකක් නොව 1978 වර්ෂයේදී එම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවූ දින සිටම පැනනැගී ඉදිරියට ආ ජනතා අවශ්‍යතාවයක් වේ. මෙම අවශ්‍යතාවය වඩාත් උත්සන්න වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන නිල කාලය තුළ ක්‍රියාත්මක වූ අධි ආඥාදායක පාලනය සමඟ බැඳී තිබුණ මිනීමරු සුදුපාට වෑන් සංස්කෘතිය සමඟය.

පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය කොතරම් භයානක එකක්ද යන්න මේ රටේ ජනතාව අවබෝධ කර ගත්තේ සහ වටහා ගත්තේ මෙම තත්ත්වය තුළිනුයි. එම නිසයි එම ආඥාදායක ආණ්ඩු ක්‍රමය නැතිකර දැමීම සඳහා ජනතාව නැඟී සිටින්නේ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව බලපෑ දෙවන කරුණ වන්නේ ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා පුළුල් බලතල බෙදීමක් කරා යා යුතුය යනුවෙන් කාලයක් තිස්සේ මේ රට තුළ පැනනැඟී ඉදිරියට ආ සමාජ කථිකාවතයි.

එවැනි බල බෙදීමකින් තොරව මේ රට තුළ ජාතික සංහිඳියාව ගොඩ නැගීමට නොහැකි බව පැහැදිලිවම පෙනීගිය අතර ජාතික සංහිඳියාව ගොඩ නගන්නේ නැතිව රට තුළ දේශපාලන ස්ථාවරභාවය ගොඩ නැඟීම කළ නොහැකි බවත් දේශපාලන ස්ථාවරභාවය ගොඩ නඟන්නේ නැතිව රට ආර්ථික වශයෙන් ඉදිරියට මෙහෙයවීමට නොහැකි බවත් ඒ සමඟම පෙනීගිය අනෙක් කරුණු විය. නමුත් මේ කරුණු දෙකම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන සංඝයා වහන්සේලා අවබෝධ කරගෙන නැති බව උන් වහන්සේලාගේ හැසිරීමෙන් සහ ක්‍රියා කලාපයෙන් ඉතාම හොඳින් පැහැදිලි වෙනව. රටේ ඒකීයභාවය හා බුද්ධාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් මිනීමරු ආඥාදායක පාලන ක්‍රමයක් පවත්වා ගෙන යා යුතුය යනුවෙන් උන් වහන්සේලා කරන ඉල්ලීම මඟින් පෙනී යන්නේ එම නොදැනුවත්භාවය බව මේ අවස්ථාවේදී කණගාටුවෙන් වූවද ප්‍රකාශ කිරීමට සිදු වෙනව.

අනෙක් අතට බලය බෙදීම අවශ්‍ය වන්නේ රට දෙකට බෙදා ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමට නොව මේ රට මේ මොහොතේ වැටී තිබෙන දේශපාලන හා ආර්ථික අගාධයෙන් ගොඩගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වචනවලින්ම කියනවා නම් රටට සහ ජනතාවට සුභ අනාගතයක් අයත් කර දීමට තිබෙන උවමනාව නිසාය යන කරුණද උන් වහන්සේලා අවබෝධ කරගෙන නැති බව පෙනී යනව. එසේ නම් කරුණු කාරණා පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව හුදෙක් ආවේග හා හැඟීම් මත පදනම් වී සංඝයා වහන්සේලා කරන දේශනාවලට ජනතාව අවනතිය දැක්විය යුතුද? නිශ්චිත හා අවසාන පිළිතුර වන්නේ ‘නැත’ යන්නය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *