ට්‍රැවිස් සින්නයියා යහපාලනය සහ සංහි‍ඳියා පැතුම – අනුර සූරියබණ්ඩාර

නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සේවා දිගුව පිළිබඳ ප්‍රශ්නය මෙරට ජනතාවගේ සංහිඳියා බලාපොරොත්තුව මෙන්ම යහපාලන අපේක්ෂාවද යම් පමණකට හෙල්ලුම්කවන හේතුවක් වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම ගත් ඉමහත් වටිනාකමකින් යුතු තීරණයක් වූයේ ශ්‍රී පවන් මහතා අග විනිසුරු වශයෙන් පත්කිරීමය. දේශපාලන පත්වීම් හේතුවෙන් වල්බිහිවී තිබුණු මෙරට අධිකරණ පද්ධතිය එකී පත්කිරීම හේතුවෙන් අලෝකවත් වූ බව යුක්තිය අපේක්ෂා කරන බහුතර පොදු ජනතාවගේ අදහස විය. අනෙක් කරුණ පවන් මහතා එවක සිටි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වීමයි. යහපාලනය යටතේ සුදුස්සාට සුදුසුතැන ලැබෙනු ඇත යන අපේක්ෂාව මල්පල ගැන්වූ අවස්ථාවක් ලෙස එය සැලකිණ.

ට්‍රැවිස් සින්නයි මහතාගේ පත්වීමද යුක්තිය සාධාරණත්වය අපේක්ෂාකරන මෙරට ජනතාව පිළිගත්තේ තවත් යහපාලන බලාපොරොත්තුවක් සඵල වීමක් වශයෙනි. එක් අතකින් ඔහු දෙමළ ජාතිකයකු වීම සුළු ජනතාවට නිසිතැන සහ හිමිතැන ලැබෙන බවට සින්නයියා මහතා නිදර්ශනයක් බඳුවිය. අනෙක ඒ මහතාට පසුගිය රෙජිමය යටතේ අද්දකින්නට සිදු වූ අඩන්තෙට්ටම්ය. මහේෂ් සේනානායක මහතා මහින්ද රෙජිමය විසින් නෙරපා හරිනු ලැබූ අයුරින්ම ට්‍රැවිස් සින්නයියා මහතාට ද නාවුක හමුදාව එපාවන තරමට කටයුතු සිකුකෙරී තිබුණි. ඒ අනුව ගත්කල යහපාලන අපේක්ෂාවෙන් පසු වූ බහුතර ජනතාවට ට්‍රැවිස් සින්නයියා මහතා නාවුක හමුදාපති ධුරයට පත්වීම පෙනුනේ මහින්ද රෙජිමයෙන් සිදු කළ වරදක් නිවැරදි කිරීමක් වශයෙනි.

යුද හමුදා පතිවරයකු ගුවන් හමුදාපති වරයකු හෝ නාවුක හමුදාපතිවරයකු එම දූරයට සුදුසුකම් ලබන්නේ විශ්‍රාම වයසට ආසන්නයේ වීම සාමාන්‍ය දෙයකි. මෙතෙක් පැවතුණු සිරිත වූයේ එසේ පත්වනු ලබන නාවුක, ගුවන් හෝ යුද යමුදාපතිවරුනට මාස හයක් හෝ වසරක සේවාදිගුවක් ලබා දීමය.

වත්මන් නාවුක හමුදාපතිවරයා එම ධූරයට පත් වූයේ පසුගිය අගෝස්තු මාසයේ වන අතර සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ වයස අවුරුදු පනස්පහ එනම් විශ්‍රාම වයස සම්පූර්ණ විය. එසේ හෙයින් සින්නයියා මහතා සේවා දිගුවක් ඉල්ලා ඇති අතර ඔහුට සේවා දිගුවක් ලබා දී ඇත්තේ මාසයක කාලයකට පමණි. එවැන්නක් මෙරට ඉතිහාසයේ මීට පෙර දිසිදා සිදු වී නොමැති බවද පැවසේ.

නාවුක හමුදාපතිවරයාගේ අනාගතය විසදෙන්නේ කුමන ආකාරයෙන්ද යන වග පැහැදිලි වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. එනම් ඔක්තොබර් 26 දැන දක්වා පමණි.

සින්නයියා මහතා තමා නීති ගරුක මෙන්ම යුක්තිගරුක නිලධාරියකු බව ආරම්භයේදීම පෙන්නුම් කළ තැනැත්තෙකි. ඒ සඳහා එක් නිදසුනක් වන්නේ නාවුක හමුදාවේ පුද්ගලයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියැවෙන තරුණයන් එකොළොස් දෙනා සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ පිළිවෙතයි. එහිදී නාවුක හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා ප්‍රකාශ කළේ අපරාධකරුවන් රණවිරුවන් නොවන බවයි. එනම් රණවිරු ලේබලය අලවා අපරාධකාරයින් රකින්නට ඇතැමුන් දරන උත්සාහයට ඔහු එකඟ නැති බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමට දායක වූ ජනතාවගේ එක් අපේක්ෂාවක් වූයේද අපරාධකාරයනට සහ දූෂිතයනට දඬුවම් ලබාදීමය. එක්නැලිගොඩ අතුරුදන් කිරීම, තාජුදීන් ඝාතනය, ලසන්ත ඝාතනය ආදිය එතෙක් යටපත් වෙමින් පරීක්ෂණ දිග්ගැස්සෙමින් පැවතියේ අදාළ අංශ වෙතින් අවශ්‍ය තොරතුරු ලබා නොදීම සාක්ෂි වසන්කිරීම ආදි හේතු නිසාවෙනි. නාවුක හමුදාවේ පිරිසක් සම්බන්ධයැයි පැවසෙන තරුණයන් අතුරුදන් කරවීම පිළිබඳ ප්‍රශ්නයේදී සින්නයියා මහතා කළ ප්‍රකාශය දේශපාලනයේ ඇතැම් ස්ථානවලට ප්‍රශ්නයක් වියහැකිවුවද යුක්තිය අපේක්ෂා කරන ජනතාවට නම් ප්‍රශ්නයක් වූයේ නැත.

වැටුප් සහ දීමනා සහිතව විහාරස්ථාන කිහිපයක සේවයෙහි යොදවා සිටි නාවුක හමුදා සෙබළුන් පිරිසක් ට්‍රැවිස් සින්නයියා මහතා නාවුක හමුදාපතිධුරයට පත්වූ පසුව ඉවත්කරගත් බවටද තොරතුරු හෙළිවේ. එකී පිරිස වසර හතඅටක් තිස්සේ කඳවුරුවලට වාර්තාකර නොතිබූ බවද පැවසේ. එම නාවික හමුදා පිරිස දහසකට ආසන්න වන අතර එකී පිරිස නැවත කැඳවා වෙනත් පිරිසක් ඒ සඳහා යොදවන ලෙසත් එම පිරිසද දිගු කාලයක් එකතැන රඳවා නොතබා විටින්විට මාරු කරන ලෙසත් නාවුක හමුදාපතිවරයා උපදෙස් දී ඇතැයි පැවසේ. අදාළ විහාරස්ථානවල භික්ෂුන්වහන්සේලාගේ උදහසට එකී තීරණය හේතු වන බවත් සින්නයියා මහතාගේ සේවා දිගුවක් ලැබීම හෝ නොලැබීම කෙරෙහි එම තීන්දුව බලපානු ඇති පවටත් මතයක් පවතී.

තත්ත්වය එසේනම් යහපාලන ආණ්ඩුවට ලිට්මස් පරීක්ෂාව වශයෙන් සින්නයියා මහතාගේ සේවා දිගුව බලපැවැත්වීම නොවැලැක්විය හැකිවනු ඇත. එනම් ඒ මහතාට සේවා දිගුවක් නොලැබීමට හේතුව;

  1. නාවුක හමුදාව විසින් අතුරදන් කළබව කියැවෙන තරුණයන් 11 දෙනා සම්බන්ධයෙන් ඒ පහතාගේ පිළිවෙත.
  2. ii. විහාරස්ථානවල සේවය සඳහා යොදවා සිටි නාවුක හමුදා පිරිස සම්බන්ධයෙන් සින්නයියා මහතා ගත් තීරණය;

යන කරුණු දෙකය යන මතය සමාජ ගත වීමය.

තරුණයන් 11 දෙනාගේ අතුරුදන් වීමට නාවුක හමුදාවේ පිරිසක් සම්බන්ධ වී සිටි බව නිවැරදිව සාධාරණ නඩු විභායකින් ඔප්පු වන්නේ නම් අදාළ තැනැත්තන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් යහපාලනයට දායක වූ වැඩි පිරිසකගේ විරෝධයක් එල්ලවනු ඇතැයි සිතිය නොහැකිය. යහපාලනය වෙනුවෙන් කතිරය පාවිච්චි කළ සැවොම අපේක්ෂා කළේ සුදු වෑන් සංස්කෘතිය අවසන් කිරීම වන බැවිනි.

විහාරස්ථානවලින් නාවුක සාමජිකයන් කැඳවීමේ ප්‍රශ්නය ගත් කල, එසේ විහාරස්ථානවල සේවය කිරීම නාවුක හමුදාවට අදාළ වන්නේ නැත. අනෙක් අතට වෙනත් ආගමික සිද්ධස්ථානවලට නොදක්වන සැලකිල්ලක් නාවක හමුදාව බෞද්ධ සිද්ධස්ථානවලට දැක්වීම සංහිඳියාව අපේක්ෂාවෙන් පසුවන සමාජයකට ගැලපෙන්නේ නැත. ඇත්තෙන්ම කළ යුතුව තිබුණේ විහාරස්ථානවලට යොදවා සිටි පිරිස කැඳවා වෙනත් පිරිසක් යෙදවීම නොව යොදවා සිටි පිරිස කඳවුරැවලට කැඳවා ගැනීමය. එසේ නොවීම හමුදා ප්‍රධානියකු මෙන්ම රජයේ නිලධාරියකු වශයෙන්ද සින්නයියා මහතා පෙනු වූ දුර්වලතාවයකි.

විහාරස්ථානවල සිටි නාවුක පිරිස මාරු කිරීම සින්නයියා මහතාගේ සේවා දිගුවට නරක ආකාරයෙන් බලපෑවේය යන මතයක් සමාජ ගත වුවහොත් එය සාමාව දිය නොහැකි වරදකි. ඒ අනුව රටතුළත් ජාත්‍යන්තරවත් පැතිරිය හැකි වන්නේ අප රට ආගමික උන්මාදයෙන් යුතු රටක්ය යන මතය නිසාය. මෙරට සුළු ජාතික හා බෞද්ධයන් නොවන ආගමිකයන් කෙරෙහිද එම මතය නරක ආකාරයකින් බලපැවැත්විය හැකි බවද අමුතුවෙන් කිවයුතු නැත.

ට්‍රැවිස් සින්නයියා මහතා සම්බන්ධයෙන් ආණ්ඩුවට තීරණයක් ගැනීමට ඔක්තෝබර් 26 දා දක්වා කාලය තිබේ. ඔහුට තවත් මාස හයක් හෝ වසරක් හෝ ඊටත් වැඩි කාලයක් හෝ සේවා දිගුවක් ලබා දෙන්නේ නම් එහි ගැටලුවක් නැත. නොදෙන්නේනම් නිදහසින් පසුව මෙරට අඩුම කාලයක් හමුදාපති තනතුරක් දැරූ තැනැත්තා වශයෙන් සින්නයියා මහතා ඉතිහාසයට එක්වනු ඇත.  (ඔහුගේ නාවුක හමුදාපති ධූර කාලය මාස දෙකකි) සින්නයියා මහතා එසේ ඉතිහාස ගතවුවහොත් ආණ්ඩුව, යහපාලනයට දායක වූ සහ සංහිඳියාව අපේක්ෂා කළ ජනතාව හමුවේ හේතු පැහැදිලි කළ යුතුය.

අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *