|

“ෂයිලොක්ලා”සහ ‘සයිටම්’ලා – සී.ජේ අමරතුංග

 ෂයිලොක්ගේ නම ප්‍රසිද්ධ වන්නේ මස් රාත්තලම ඉල්ලීමේ කතාවත් සමඟය. එය සත්‍ය කතාවක් නොවූවත් සත්‍ය ලෝකය නිරූපණය කරන කලා කෘතියක චරිතයකි. ඔහුට මස් රාත්තලම අවශ්‍ය වූයේ පොරොන්දුව ඉටුකිරීමක් වශයෙනි. එයද පපුව මැද්දෙන්ම අවශ්‍ය විය. එයට වෙනත් අරමුණුද තිබිණි. එසේ වූවද ෂයිලොක්ට මස් රාත්තල ලබාගත නොහැකිවිය. වෙනත් අරමුණුද ඉටුවූයේ නැත.

දැන් අප රටේ කතාබහ කරන්නේ සයිටම්ලා පිළිබඳවය. සයිටම්ලා කියන්නේ සයිටම් එපා කියලාය. ඒ සඳහා ජන ජීවිතය කඩාකප්පල් කරන්නට ඔවුහු දිගටම උත්සාහ දැරුවෝය. පා ගමන් ගියෝය. වැඩ වර්ජන කළෝය. මහා වැඩ වර්ජන කරන බවට තර්ජනය කළෝය. මහජනයා පාරට බස්සන බව කීවෝය. එසේ වූවද මහජනයාගේ මුලින් තිබූ අනුකම්පාව පවා සයිටම්ලාට අහිමි විය. ඔවුන් සමඟ වැඩ වර්ජන කරන්නට හෝ පාරට බහින්නට ආවේ අන්තවාදී පක්ෂවල සුළු පිරිසකි. මහජනයා දිගින් දිගට තේරුම් ගත්තේ සයිටම්ලාද මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා පිරිසක් බවයි.

සයිටම්ලාගේ අන්තිම තුරුම්පුව වී ඇත්තේ මහානායක හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමයි. ඒ සඳහා කීමට අනුවේදනීය කතාවක් ද ගොතාගෙන තිබිණි. රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් මාස ගණනක් තිස්සේ මහපාරේ බව එම කතාවයි. එමෙන්ම ‘සයිටම්’ දෙමාපියන්ගේ සහයද එම සටනට ඇති බව පෙන්වීම තවත් කතාවකි. ඉතින් දැන් කියන්නේ ප්‍රශ්නයට කාටත් පිළිගත හැකි විසඳුමක් කඩිනමින් දිය යුතු බවයි. මහානායක හිමිවරුන් කළේද එම ඉල්ලීමයි.

කාටත් පිළිගත හැකි විසඳුමක් ගැන මහානායක හිමිවරුන් ඉල්ලීම් කළේ සයිටම්ලාගේද ඉල්ලීම අනුවය. ඒ සමඟම සයිටම්ලා රජයට කියන්නේ සයිටම් අහෝසි කිරීම හැර වෙන විසඳුමකට තමන් එකඟ නැති බවයි. කතන්දර දෙක එකට ගත්තම කියන්නේ සයිටම් අහෝසි කිරීමම කළ යුතු බවයි. සයිටම්ලා හා ෂයිලොක්ලා සමාන වන්නේ එතැනදීය.

මහජන අනුකම්පාව ඉවරයි

සයිටම් යනු පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. එහි විවිධ ආකාරයේ උපාධි පාඨමාලා මෙන්ම ඩිප්ලෝමා හා වෙනත් පාඨමාලාද ක්‍රියාත්මකය. ඒ අතර වෛද්‍ය පීඨයක්ද ඇත. මේ මහා විරෝධය ඇත්තේ වෛද්‍ය පීඨයටය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ එයට ඉඩදෙන්නට බැරි බවයි. අනිවාර්යයෙන්ම එය රජයට පවරාගත යුතු බවයි.

සයිටම්ලාගේ මෙම ඉල්ලීමට සයිටම් සිසුන්ගේ මව්පියන්ද කැමැතිවීම පුදුමයක් නොවේ. එවිට දැන් එහි මුදල් ගෙවා ඉගෙනුම ලබන සිසුන්ට නොමිලයේම එම අවස්ථාව ලබාගත හැකිවනු ඇත. එහෙම වුණොත් එය ඔවුන්ට ලොතරැයි වාසනාවක් වැනිය. සයිටම්ලා දැන් සයිටම් මව්පියන්ද වැෙඩ්ට ඈඳාගෙන ඇත්තේ එම මහා වාසනාව පෙන්වා විය යුතුය.

සයිටම් විශ්වවිද්‍යාලය ඇරඹූ යුගයේ මේ කිසිම උද්ඝෝෂණයක් නොතිබුණි. එයට සියලු පිළිගැනීම් ලැබී තිබිණ. මහින්දගේ ආණ්ඩුව තිබුණා නම් මෙහෙම ප්‍රශ්නයක්වත් මතුවන්නේ නැත. දැන් සියලු උද්ඝෝෂණ කරන්නේ බලය පෙන්වා තමන්ට අවශ්‍ය ‍දේ කර ගන්නටය.

බලය යෙදවීම සාධාරණ වන්නේ යහපත් දෙයක් කර ගැනීමේදීය. අසාධාරණයකට එරෙහිවීමේදීය. යුක්තිගරුක දෙයක් කර ගන්නටය. එහිදී තීරකයා වන්නේ මහජනතාවයි. පසුගිය කාලයේ මේ ‘සයිටම්’ලාගේ ප්‍රශ්නය ගැන බොහෝ වාද විවාද රට තුළ ඇතිවිය. සයිටම් අහෝසි කළ යුතුයි කියන සයිටම්ලාගේ අදහස මෙන්ම අධ්‍යාපනයේ නිදහස තිබිය යුතු බව මෙන්ම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ තිබිය යුතුයි කියන පිරිසගේ අදහස්වලටද මහජනයා සවන් දුන්හ. ප්‍රතිඵලය වූයේ ‘සයිටම් අහෝසි කරනු’ කියන පිරිසකගේ මස් රාත්තලේ ඉල්ලීමට කිසිදු මහජන සහයක් නොමැතිවීමයි. ඔවුන් කෙරෙහි තිබූ අනුකම්පාවද ටිකින් ටික වියැකී යාමයි.

මෙබඳු ප්‍රශ්න විසඳා ගැනීමේදී අපේ සමාජයට තිබෙන අනෙක් යාන්ත්‍රණය නම් නීතියේ පිළිසරණ පැතීමයි. එනම් අධිකරණයේ තීන්දුවක් ලබාගෙන එයට ගරුකිරීමයි. මෙම ප්‍රශ්නයද අධිකරණය ඉදිරියට ගියේ සයිටම් උපාධිධාරින්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොදීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් වශයෙනි. අධිකරණය එහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් ලබාගෙන තීන්දු කළේ සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දිය යුතු බවයි. සයිටම් අහෝසි කරනු කියාගෙන කට්ටිය පාරට බැස්සේ එම අධිකරණ තීන්දුවත් සමඟය. ඒ අධිකරණ තීන්දුව නොපිළිගෙන ආණ්ඩුවට බලපෑම් කොට තගරියෙන් තම සිතැඟි ඉටුකර ගැනීමටය. මෙය තේරුම්ගත යුත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැර බලයක් වශයෙනි.

විසඳුම් දී අවසානයි

අධිකරණයේ මුල් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව අභියාචනයක් ගොනුකොට ඇත. දැන් එය විභාග වෙමින් පවතියි. හැම පාර්ශ්වයකටම කරුණු දැක්වීමට අධිකරණයේදී ඉඩ ලැබී තිබේ. අධිකරණයේ තීන්දුව ඉදිරි කාලයේ ලැබෙනු ඇත.

සයිටම්ලා හෙවත් සයිටම් අහෝසි කරනු කණ්ඩායම උද්ඝෝෂණ කරන්නේ වහාම ප්‍රශ්නය විසඳනු කියාය. ඒ කියන්නේ සයිටම් උපාධියේ යම් ප්‍රශ්නයක් ඇත්නම් එයට විසඳුම් දෙනු කියා නොවේ. සයිටමය වසා දමනු කියාය. නැතහොත් රජයට ‍ගනු කියාය.

රජය ‍ෙම් වනවිට සයිටම් ප්‍රශ්නයට විසඳුම් දී අවසානය. වෛද්‍ය උපාධිය ප්‍රදානය සඳහා ප්‍රමිති සකස්කොට ගැසට් කිරීමට කටයුතු කොට ඇත. සයිටම් වෛද්‍ය උපාධිය සඳහා සායනික පුහුණුව දෙන නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් සේ දියුණු කිරීමටද පියවර ගත්තේ සයිටම්ලාගේ වි‍රෝධය මධ්‍යයේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කීවේ එයින් සයිටම් වෛද්‍ය උපාධිධාරින්ගේ ප්‍රශ්නය විස‍ඳෙන නිසා තමන් එයට විරුද්ධ බවයි. වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ප්‍රසිද්ධියේ කීවේ සයිටම් උපාධියේ ප්‍රමිතිය සියයට සියයක් තිබුණත් තමන් එයට විරුද්ධ බවයි. බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙතැනදීය.

රජයේ සූදානම

සයිටම් ආයතනයේ පෞද්ගලික අයිතිය වෙනස්කොට එය පොදු සමාගමක් බවට පත්කරන්නටත්, කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි කරන්නටත් ආණ්ඩුව සූදානම්ය. එයට පාලක මණ්ඩලයක් පත්කරන්නටද සූදානම්ය. පෞද්ගලික අයිතිය හා ලාභ අපේක්ෂාව ප්‍රශ්නයක් නම් එය විසැඳීමට එබඳු ක්‍රමවේද ක්‍රියාත්මක කළ හැකියි. එසේ වූවද ‘සයිටම්’ලා හෙවත් සයිටම් අහෝසි කරනු කියන කල්ලියට ඒ කිසිදු විසඳුමක් දිරවන්නේ නැත. හේතුව නම් එමගින් සයිටම් වෛද්‍ය පීඨයේ උපාධියේ ගුණාත්මකභාවයද ආරක්ෂා වී එම උපාධිය තහවුරු වීමයි. මොවුන් මේ බියවී තිබෙන්නේ ඒකටය.

නිදහස් අධ්‍යාපනය රැකගනිමු! පෞද්ගලික අධ්‍යාපන කඩ වසා දමමු! ආදී නොයෙකුත් සටන්පාඨ මොවුන් අත තිබෙනු දැකිය හැකිය. එසේ වූවද අධ්‍යාපන කඩයකට ගොඩ නොවූ එකදු ශිෂ්‍යයකු මේ අතර නැති බව අපි හොඳාකාරවම දනිමු. මේ සියලුදෙනා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වූයේ අධ්‍යාපන කඩවලට පිංසිදුවන්නටය. වෛද්‍ය පීඨවලට පිවිසෙන්න ලකුණු ලබාගත්තේ අධ්‍යාපන කඩයට ගොස් අධ්‍යාපනය මුදලට ලබාගෙනය. මුදලට අධ්‍යාපනය විකිණීමට මොවුන් විරුද්ධ වන්නේ රෙදි ඇඳගෙන දැයි අපි නොදනිමු.

අධ්‍යාපනයේ ෙඛ්දවාචකය

අද නිදහස් අධ්‍යාපනයේ තිබෙන ලොකුම ප්‍රශ්නය නම් රජයේ පාසල්වල පන්තිවලට සිසුන් සහභාගී නොවීමයි. බොහෝ පාසල්වල උසස් පෙළ පංති පැවැත්වෙන්නේම නැති බව යථාර්ථයකි. එයට හේතුව නම් සිසුන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්නේ අධ්‍යාපන කඩයෙන් වීමයි. අප මුහුණ දී සිටින ඛේදජනක යථාර්ථය එයයි. ඇත්තටම විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නය තිබෙන්නේ එතැනය. එම ප්‍රශ්නයට විසඳුම් නොදී අධ්‍යාපන කඩ ගැන කතා කිරීමද විහිළුවකි.

රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ගේ බිය ඇත්තේ තමන්ට වඩා ගුණාත්මක බවින් උසස් වෛද්‍යවරුන් පිරිසක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහිවෙතැයි කියා විය හැකියි. එසේනම් සටන් කළ යුතුව ඇත්තේ රජයේ වෛද්‍ය පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටය. ඒ වෙනුවට අද සටන තිබෙන්නේ තමන්ට තරගකරුවන් බිහිවන මාර්ග අහුරන්නටය. සයිටම් විරෝධී සටන් පිටුපස තිබෙන්නේ එම කුහකත්වය බව හඳුනාගැනීම අපහසු නැත. මෙම ඊනියා සටනට අප රටේ ජනතාවගේ කිසිදු අනුකම්පාවක් හිමිවී නැත්තේ මෙම කාරණය මෙරට බහුතර ජනයා තේරුම්ගෙන සිටින නිසාය.

සයිටම් අහෝසි කරනු කියන විට එයින් බලපෑමට ලක්වන්නේ සයිටම් ආයතනය හෝ එහි සිසුන් පමණක් නොවේ. එයින් අභියෝගයට ලක්වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියයි. එනම් පෞද්ගලික අංශයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩි ඉඩකඩ විවෘත කරදීමයි. වෛද්‍යවරුන් හා වෙනත් වෘත්තිකයන් රටට අවශ්‍ය තරමින් බිහිකිරීමට මහජන බදු මුදලින් කරන ආයෝජන ප්‍රමාණවත් නොවීම එයට හේතුවයි.

රටට විපතක්

මෙය රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක්ද වෙයි. මේ රට සංවර්ධනය කිරීමේ එක් උපාය මාර්ගයක් වන්නේ මෙය දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි. එනම් දකුණු ආසියාවටම උගන්වන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන පද්ධතියක් ගොඩනගාගෙන ඒ මඟින් විදේශ විනිමය උපයා ගැනීමයි. එය වත්මන් ආණ්ඩුව මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද පිළිගෙන තිබූ ක්‍රියාමාර්ගයකි. මහින්ද පාලනය යටතේ සයිටම් බිහිවුණේද ඒ දර්ශනය අනුවය. දැන් කවුරුන් හෝ උද්ඝෝෂණ කළා කියා සයිටම් වසා දැමුවහොත් හෝ රජයට පවරාගතහොත් තවත් ආයෝජකයින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ගෙන්වා ගැනීම කළ නොහැකි වනු ඇත. එසේ වුවහොත් එය රටටම කරන විපතකි. ෂයිලොක්ලා පිරිසක් වී ඇති සයිටම්ලාගේ ඉල්ලීම ශ්‍රී ලංකාවට මාරාන්තික වන්නේ එහෙයිනි.

සයිටම් ප්‍රශ්නය කියා දැන් විසඳන්නට ඉතිරිව තිබෙන්නේ එක ප්‍රශ්නයකි. එය නම් තවමත් දේශනවලට සහභාගි නොවන වෛද්‍ය සිසුන් ඊනියා උද්ඝෝෂණ අතහැර දේශනවලට යොමුවීමයි. මොවුන් අතරමං කර බොරු පොරොන්දු දී පාරට ඇද දැමූ වෛද්‍ය සංගමය මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුද ක්‍රියාත්මක විය යුත්තේ ඒ සඳහාය.

මහානායක ස්වාමින් වහන්සේලාද මේ සිසුන්ට අනුශාසනා කළ යුතු වන්නේ තවදුරටත් ෂයිලොක් චරිත රඟපාන්නේ නැතිව රජයේ විසඳුම් පිළිගෙන විශ්වවිද්‍යාලයට පැමිණ දේශනවලට සහභාගී වන ලෙසයි. එසේ නොවුණහොත් තවදුරටත් නාස්තිවන්නේ ඔවුන්ගේම තරුණ ජීවිතයි.

සී.ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *