යක්ෂයා යළි ශක්තිමත් කළොත් – භාතිය බරුකන්ද

යක්කු, යක්ෂයෝ ගැන ලංකාවේ අපිට තියෙන්නේ ඉතාමත් පැරණි ඉතිහාසයක්. බුදුන් වහන්සේ මහියංගනයට වැඬම කළා කියන්නේ යක්කු දමනය කරන්න. ඒ වගේම ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගොඩ බැහැපු විජය කුමාරයා කුවේණි කියන යක්ෂ ගෝත‍්‍රික නායිකාවගේ උපකාරයෙන් ලංකාවේ යක්කු සේරම විනාශ කරලා රජ වුණා කියලා මහා වංශය කියනවා. උම්මාද චිත‍්‍රා කතාවෙත් යක්ෂ ගෝත‍්‍රික සම්බන්ධයක් තියෙනවා.
මේ කතාවලින් පස්සේ ලංකාවේ අපට යක්කු, යක්ෂයෝ ගැන කතා අහන්න ලැබෙන්නේ ඉඳහිටලා. ඒත් එදා ඉඳන් යක්කු, යක්ෂයෝ අපිත් එක්ක ජීවත් වුණා. උන් අපිට අණවිණ කළා. ලෙඩ දුක් ඇති කළා. පුළුවන් අවස්ථාවක් බලලා මරලා ලේ බිව්වා කියලත් කියනවා. මෙහෙම යක්ෂ බැල්ම වැටුණාම, යක්කුන්ගේ බලය වැඩි වුණාම කළේ කට්ටඩියෙක් ගෙනත් තොවිලයක් නටලා, බිලි දීලා යක්ෂ බය නැති කර ගැනීම. එදා ඉඳන් අද දක්වාම අපි යක්කු, යක්ෂයෝ සම්බන්ධයෙන් කරන්නේ ඒක.
‘‘යක්ෂයා’’ ‘‘යකා’’ මේ කවුරු වුණත් කිසිම සමාජයක් යක්ෂයෝ එක්ක ගනුදෙනුවට කැමැති නැහැ. මොකද යක්කු එක්ක ගනුදෙනුව කොතැනින් කොහොම කෙළවර වෙයිද කියලා කියනන් බැරි නිසා. ඒ වගේම තමයි යක්කු බලාපොරොත්තු වෙන්නේ බිලි. ඕනෑම යකෙක් නර බිලිවලට පුදුමාකාර කැමැත්තක් දක්වන බවයි කියන්නේ. ඒ වගේම යක්කු කැමැතියි ලේ දකින්න. ලේ දකින්න නම් මිනිස්සු ගහමාරා ගන්න ඕනෑ.
යක්ෂයින් දමනය කළ කතාව
යක්කු, යක්ෂයා පරාජය කළ අවස්ථා ගැන අපට කතා හමුවෙන්නේ ජනකතා, ගම කතාවල. ඒ වගේම සුරංගනා කතා බොහොමයකත් යක්කු පරාජය කළ කතා තියෙනවා. යක්ෂයාව පරාජය කරලා ජනතාව, රට බේරගත්ත කුමාරයෝ, වීරයෝ ගැන කතා කියවන්න අපි කවුරුත් කැමැතියි.
ඒත් ලක්ෂ 62ක් එකතු වෙලා යක්ෂයාව පරාජය කළ කතා පරණ පොත්වල, ජනකතාවල නැහැ. එහෙම කතා අපි කවුරුත් අහල නැත්තේ ඒ නිසා වෙන්න ඇති. ඒත් ලංකාවේ යක්කු. යක්ෂයෝ ගැන මහා ඉතිහාසයක් තියෙන ලංකාවේ එහෙම දෙයක් හැබෑවටම සිද්ධ වුණා. ඒ 2015 ජනවාරි 08 වැනිදා. දශකයකට ආසන්න කාලයක් යක්ෂයාගේ බලයට අහුවෙලා අපා දුක් වින්ඳ මුළු රට පුරාම ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ජනතාව ලක්ෂ 62ක් ඡුන්ද පොළට ගිහින් කතිරයක් ගැහුවා. ඒ ‘හංසයෙක් ඉදිරියේ. මේ කතිරේ බලේ කොතරම් බලවත් ද කියනවා නම් එදා ඒ කතිර බලේට පුළුවන් වුණා යක්ෂයාව පරාජය කරලා පළවා හරින්න.
යක්ෂයා එහෙම යන කොට ගත්ත පොරොන්දු ගැන අපි දන්නේ නැතත් කොහොම හරි යක්ෂයාගේ බලය පරාජය කරන්න ජනතාවට පුළුවන් වුණා.
කතාවට කියන්නා වාගේ යක්කු පළවා හැරියත් අවස්ථාව ආපු ගමන් නැවත ඔළුව උස්සන්න බලනවා. ඒකට පොඩි ප‍්‍රමාදයක්, අවස්ථාවක් ඇති. එහෙම වුනොත් ඉතිං මුලදි කළ සේරම දේවල් අහවරයි. යක්ෂ බලය හිතා ගන්නත් බැරි තරම් වේගයෙන් පැතිරෙනවා. තැන් තැන්වල ලැඟලා හිටිය යක්ෂයෝ, කුම්භාණ්ඩයෝ, මළ පේ‍්‍රතයෝ සේරම එකම තැනකට වෙනවා. එහෙම වුණොත් ඉතිං, ආතුරයා වාගේම කට්ටඩියටත් දෙවියන්ගේ පිහිටයි කියලයි ගම්වල මිනිස්සු නම් කියන්නේ.
ජනවාරි 08 පළවා හැරි යක්ෂයා
ජනවාරි 08 වැනිදා 62 ලක්ෂයක් ජනතාව විසින් යක්ෂයා සදහටම පරාජය කළා කියලා ජනතාව හිතුවත් ඒක එහෙම නොවුණ බව අපි බොහොම කෙටි කාලයකින් දැක්කා. විධායක විමනය අත් හැරලා යන්න වුණාට පස්සේ යක්ෂයා කොහොම හරි තමන්ගේ ගොදුරු බිමෙනුත් බොහොම ඇත ගමකින් පාර්ලිමේන්තුවට රිංග ගත්තා. ඒ මොන උප්පරවැට්ටියකින් හරි මහ පුටුවටම නගින්න තියෙන කෑදරකම නිසා මිසක් වෙන මොකවත් නිසා නොවෙයි. දශකයකට ආසන්න කාලයක් මුළු රටේම ඊරි උරා බොමින් ගත කළ කුමාර ජීවිතය යක්ෂයාට මොන හිතකින්වත් අමතක කරන්න බැරි බව තමයි මේ වන විට බොහොම හොඳින් පැහැදිලි වන්නේ. ඒ නිසා තමන් මහ පුටුවේ ඉන්න කාලේ හන්දියක් හන්දියක් ගානේ නඩත්තු කළ පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ සේරම නැවතත් ළංකරන් මේ යක්ෂයා තවත් අඩව්වක් අල්ලන්න හදන විත්තිය මේ වන විට අපට පේනවා.
ඒකට අවශ්‍ය අඩුම කුඩුම හොයා ගන්න තමයි අද හැම තැනම, හැමදාම උද්ඝෝෂණ, වර්ජන තර්ජන තියෙන්නේ. ලේ පිපාසේ නොසන්සිදුණ නිසා තමයි නැවත වරක් කොහොම හරි ලේ විලක් දකින්න වුවමනා කරන හැමදේම කරන්නේ. පසුගිය දා යාපනේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කිව්වේ මෙන්න මේ යක්ෂා ගැනයි.
යක්ෂයා ශක්තිමත් කිරීම
‘‘යම් යම් විරෝධතා කරලා, යම් යම් උද්ඝෝෂණ කරලා මාව දුර්වල කළොත් ශක්තිමත් වෙන්නේ කවුද කියලා දන්නවාද ? සියලූ ජාතීන්ගේ සමගිය, සහෝදරත්වය ගොඩනගන්නයි මම තමුන්නාන්සෙලා වෙනුවෙන් මේ වගකීම භාර අරගෙන තියෙන්නේ. සියලූ දෙනා අතරේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තරහා නැති කරන්නයි මම මේ වගකීම ඉෂ්ට කරන්න බාරගත්තේ. හැම දරුවෙකුටම, හැම මිනිසෙකුටම සමාන, සාධාරණ සමාජයක ජීවත් වෙන්නයි මම මගේ රජය යටතේ කටයුතු කරන්නේ. මාව දුර්වල කළොත් ශක්තිමත් වෙන්නේ යක්ෂයා බව අමතක කරන්න එපා’’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය 14 වැනිදා යාපනයේ හින්දු විද්‍යාලයේ පැවැති ජාතික දෙමළ භාෂා දින සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රකාශ කළා.
ජනාධිපතිවරයා කියන කතාවේ මූලික හරය වන්නේ ජාතිවාදය, ආගම්වාදය, සමානාත්මතාවයට පක්ෂ, ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වන තමාව දුර්වල කරන විට ශක්තිමත් වෙන්නේ ජාතිවාදය, ආගම්වාදය, වෛරය මත පදනම් වුණ පරාජිත යක්ෂයින් බවයි.
ජනපතිවරයාට මෙවැනි බරපතළ ප‍්‍රකාශයක් කරන්න පසුගිය කාලය තුළ පෙළ ගැසුණු කරුණු කාරණා රැුසක් හේතු වෙන්න ඇති. ඒ අතර ආසන්න සිදුවීම වශයෙන් අපට සැලකිය හැක්කේ ජනාධිපතිවරයා හින්දු මහා විද්‍යාලයට පැමිණෙමින් සිටි මග අවහිර කරමින් දමිළ ජාතික සන්ධානයේ ප‍්‍රාදේශීය නායකයින් ඇතුළු ස්වේච්ඡුා සංවිධාන විසින් පැවැත් වූ උද්ඝෝෂණය විය හැකියි.
‘දමිළ සිරකරුවන් නිදහස් කරන ලෙස’ ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි මෙම උද්ඝෝෂකයින් හමුවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණි අතර එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ‘සාකච්ඡුාවෙන්’ මෙම ප‍්‍රශ්න විසඳා ගැනීමට තමන් හැමවිටම සූදානම් බවයි. උද්ඝෝෂකයින් හමුවේ සුපුරුදු සැහැල්ලූවෙන් කතා කළ ජනාධිපතිවරයා හින්දු මහා විද්‍යාලයේදී කළ කතාවට මේ උද්ඝෝෂණයේ කම්පනයත් යම් ආකාරයකින් බලපාන්න ඇති. මොකද 13 වැනිදාත් මේ ඉල්ලීමම ඉදිරිපත් කරමින් යාපනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් වුණා. ඒ හේතුවෙන් යාපනයේ සාමාන්‍ය ජනජීවිතය අඩාල වුණා.
මේ උද්ඝෝෂණ ව්‍යාපාර පිටුපස සිටින්නේ ඉතාම පැහැදිලිව උතුරේ අන්තවාදීන්් බව අපට වටහා ගත හැකියි. ඔවුන්ට වුවමනා කර තිබෙන්නේ ජනාධිපතිවරයා මීට පෙර එක්සත් ජාතීන් හමුවේ අවධාරණය කළ ආකාරයෙන් ‘‘ඉක්මන් ගමනක්’’ යාමටයි. ඒ ඉක්මන නිසා ඔවුන්ට දකුණේ අන්තවාදය ශක්තිමත් වන බවක් පෙනී යන්නේ නැහැ. එසේ නැතිනම් ඔවුන්ට අවශ්‍ය කරන්නේ දකුණේ අන්තවාදීන්ට රට ගිනි තියන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්න විය හැකියි. අද උතුරේ හා දකුණේ අන්තවාදය අපට සැලකිය හැක්කේ එකම කාසියේ දෙපැත්තක් වශයෙනුයි.

මෛත‍්‍රී දුර්වල කළොත් වෙන දේ

ජනාධිපතිවරයාගේ ‘‘මාව දුර්වල කළොත් ශක්තිමත් වෙන්නේ යක්ෂයා බව අමතක කරන්න එපා’’යන අවධාරණාත්මක ප‍්‍රකාශය අපගේ විමසුමට ලක්විය යුත්තේ මේ පසුබිම තුළයි.
ජනාධිපතිවරයා දුර්වල කිරීම සහ ඒ තුළින් අවධි වන යක්ෂයා කවුද ? යන්න මේ සමග ප‍්‍රශ්නයක් විය හැකියි. මේ කරුණ ගැන වඩාත් විමසිල්ලෙන් බලන විට අපට පෙනී යන්නේ ජනපතිවරයා කියන යක්ෂයා උතුරේ සහ දකුණේ අන්තවාදය බවයි. එය උතුරේදී සහ දකුණේ දී විවිධාකාරයෙන් ක‍්‍රියාත්මක විය හැකියි. උදාහරණයක් ලෙස උතුරේ යක්ෂයා ශක්තිමත් වීමට, මානව හිමිකම්, පෙඩරල් විසඳුම්, අන්තර්ජාතික අධිකරණ, අධි ආරක්ෂිත කලාප ඉඩම් මුදා හැරීම හේතු වන විට එය දකුණේ දී ක‍්‍රියාත්මක වන්නේ උතුරේ ඉල්ලීම්වල පැහැදිලි විලෝමය වශයෙනුයි. උදාහරණයක් ලෙස උතුරෙන් ඉදිරිපත් වන අන්තවාදී පෙඩරල් ඉල්ලීම්වල දකුණේ ඉතා පැහැදිලි විලෝමය වන්නේ ‘‘ඒකීයභාවය’ වන අතර, යුක්තිය ඉටු කිරීම දකුණේ දී අර්ථකථනය වන්නේ ‘‘රණවිරුවන් විදුලි පුටුවට යැවීමක්’’ වශයෙනුයි. මේ අනුව උතුරේ ඇතැම් දේශපාලන අන්තවාදීන් විසින් ක‍්‍රමෝපායික වශයෙන් ඉදිරිපත් කරන ඇතැම් ඉල්ලීම් ක්ෂණයෙන් දකුණේ කම්පනයක් පමණක් ඇති කිරීමට සමත් වන බව අප වටහා ගත යුතුයි.
අලූත් ආණ්ඩුන‍්‍රම ව්‍යවස්ථාව ගැන ප‍්‍රබල සංවාදයක් තිබෙන මේ අවස්ථාවේ උතුරේ සහ දකුණේ වර්ධන වෙමින් පවතින දේශපාලන ප‍්‍රවණතා කෙරෙහි ජනපතිවරයාගේ මෙම ප‍්‍රකාශය අතිෂයින් වැදගත් වනවා. ඒ සඳහා හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ඉතාමත් වැදගත් කරුණ වන්නේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දකුණේ අන්තවාදය මේ මොහොත වන විට එකපිට එක පරාජයන් ලබමින් සිටීම. මෙහි වර්ණවත්ම අවස්ථාව වශයෙන් මල්වතු මහ නාහිමියන් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනට කළ අවධාරණය සැලකිය හැකියි.
‘‘යමක් කරන්න යන සෑම අවස්ථාවකම ඊට විරුද්ධ වන පිරිසක් රටේ ඉන්නවා. බණ්ඩාරනායක – චෙල්වනාගයම් ගිවිසුම අත්සන් කිරීමට ගිය අවස්ථාවේ මේවාගේ විරෝධතා ඇති වුණා. ඒකෙන් සිදු වුණේ රට ආපස්සට යෑම’’ යැයි මහා නාහිමියෝ තම ස්ථාවරය පැහැදිලි කරමින්ට දිනේෂ් ගුණවර්ධනට කළ අවධාරණාත්මක ප‍්‍රකාශය අද ඒකාබද්ධ විපක්ෂයේ සහ දකුණේ අන්තවාදීන්ට පාරාවළල්ලක්ව තිබෙන බවක් පෙනී යනවා. ඒ බව මනාව පැහැදිලි කරමින් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් සේම අන්තවාදයට කපුකම් කරන ඇතැම් ජාතික මාධ්‍ය මල්මතු නාහිමියන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් සිටින බවක් අපට පැහැදිලිව දැකිය හැකියි. ඔවුන් මේ උත්්සාහ කරමින් සිටින්නේ ව්‍යවස්ථා බිල්ලා ගැන මල්වතු නාහිමියන් කළ හෙළිකිරීම කෙසේ හෝ යළි ආපස්සට හැරවීමට බව අපට පැහැදිලියි.
මෙහි තවත් තීරණාත්මක පියවරක් පසුගිය 17 වැනි දා සිදු වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම දැඩි විරෝධය පළ කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමගයි. එහිදී හිටපු ජනාධිපතිවරයා තමන් ඇතුළු තම කල්ලිය පසුගිය කාලය පුරාම සිටින ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව පැහැදිලි කරමින් අවධාරණය කළේ අලූත් ව්‍යවස්ථාව ‘‘විනාශකාරී ව්‍යවස්ථා සංශෝධනයක් ’’ බවයි. එහිදී ඔහු තම සුපුරුදු ගොබෙල්වාදී තර්කය සහ ව්‍යවස්ථා බිල්ලා ඉදිරියට දමමින් අවධාරණය කරන්නේ ‘‘ජාතිවාදි පදනමක් මත පාලන ඒකක වෙන් කිරීමත්, ඒවාට පුළුල් බලතල පැවරීමත් මේ රටේ කිසිසේත්ම සිදු නොවිය යුතුය. මා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිිටින්නේ මේ විනාශකාරී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ඔවුන් මුලදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථා සංශෝධන කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසය’’
මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රට හමුවේ කියාපෑමට අදහස් කරන්නේ, මෙරට දෙමළ ජනතාව දීර්ඝ කාලයක් පුරා ඉල්ලා සිටින අවම ඉල්ලීමවත් ඉටු නොකළ යුතු බව නම් මුලින්ම අවධාරණය කළ යුතු වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බලතල ද ඉක්මවා යන ‘‘13 ප්ලස්’’ගැන මුලින්ම ඉන්දියාවට පොරොන්දුවක් ලබා දුන්නේ අද මේ ආණ්ඩුවට තර්ජනය කරන මහින්ද රාජපක්ෂ විසින්ම බවයි. එදා යුධ ජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීමේ උපායක් වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් ලබා දුන් 13 ප්ලස් පොරොන්දුව මහින්දටම පසුව පාරාවළලක් වුණේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ලංකාවට එරෙහිව දිගින් දිගටම ක‍්‍රියාත්මක වීම සමගිනි. ඒ එක යුගයක්ය. අනෙක් අතට අපට අවධාරණය කිරීමට සිදුවන්නේ හිටපු ජනාධිපතිවරයා තම මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කරන ආකාරයවට ‘‘ මුලදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථා සංශෝධන’’ පමණක් කරන්නේ නම් එහි ප‍්‍රධාන පොරොන්දුව වන්නේ අද මහින්ද ඇතුළු ශ‍්‍රීලනිපය එකහෙළා විරෝධය පළ කරන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම බවයි. ඒ ගැන වචනයක් කතා නොකර හොරගල් අහුලන මහින්ද රාජපක්ෂ අද යහපාලන ආණ්ඩුවට තමන්ගේ පොරොන්දු ගැන මතක් කිරීම හාස්‍යජනකය.
අද මහින්ද රාජපක්ෂලාට අවශ්‍ය වෙලා තිබෙන්නේ සිංහල බෞද්ධ සමාජයට අතිසංවේදී ‘‘බලය බෙදීම’’ කියන මතයේ දිගින් දිගටම එල්ලී ගෙන ආණ්ඩුවත්, සමස්ත සමාජයත් අර්බුදයට තල්ලූ කිරීම බව අපට වටහාගත හැකියි. මොකද මහින්දට යළි බලයට එන්න ජාතිවාදය, ආගම්වාදය වැනි පටු මාවතක් මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව වැනි පුළුල් මාවතක් නැහැ. ඔහුට අවශ්‍ය පටු, කෙටිමං වලින් පැමිණ යළි බලය අත්පත් කර ගැනීමටයි. අද උතුරේ වේවා, දකුණේ වේවා සිදුවන සියලූම උද්ඝෝෂණ, වැඩවර්ජන මගින් පාර කපන්නේ මහින්දට යළි බලය අල්ලා ගැනීමට මිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අවධාරණය කරන ආකාරයේ සංහිඳියාත්මක දේශයක් බිහි කිරීම නොවෙයි. මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 17 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් මේ බව යළි යළිත් තහවුරු වෙනවා.
යක්ෂයා යළි බලයට ගෙන එමුද ?

අපි සියලූ දෙනා හමුවේ තිබෙන පැහැදිලි තෝරා ගැනීම මෙයයි. සුළුජාතීන් සහ ආගමිකයින් සමග බලය බෙදාහදා ගැනීමේ කිිසිදු සූදානමක් නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව ගැන කිසිදු අදහසක් නැති පුද්ගලයෙක් සහ කල්ලියක් යළි බලයට ගෙන ඒම සඳහා අපි සමාජයක් ලෙස යළි පාවඩ එළිය යුතුද ? එසේ නැතිනම් දශක ගණනාවකට පසුව විවර වුණ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් ලෙස භාවිතයට ගනිමින් අතීතය යළි නිවැරදි කර ගන්නාවද ? මල්වතු නාහිමියන් දිනේෂ් ගුණවර්දනට කළ අවවාදය සේම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා යාපනයේදී කළ කතාවත් අපට වැදගත් වන්නේ මේ අවස්ථාවේදීයි. එනිසා අපි මෙහිදී අවධාරණය කරන්නේ ජනවාරි 08 වැනිදා පළවා හැරි යක්ෂාට යළි බලය අල්ලා ගැනීමට දොළ පිදේනි නොදිය යුතු බවයි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *