බෞද්ධ විරෝධි ගෞතම බුදුන් වහන්සේ

‘ඉස්කොලෙ මහත්තය මෙදා පෝයට පන්සලේ දැක්කෙ නැහැ.’ කඩේ මුදලාලි කීවේ, ඉස්කොලෙ මහත්තය ඉල්ලූ සීනි කිලෝව කිරන්නට කඩදාසි ගොට්ට හදන අතරවාරේය. පරිසර හිතකාමී වෙළෙන්දෙකුවන කඩේ මුදලාලි පොලිතීන් කවර කවරදාකවත් පාවිච්චි කළේ නැත.

තමා ඇසූ ප්‍රශ්නය ඉස්කෝලෙ මහත්තයාට ඇසුණේ නැතිද කියා මුදලාලිට සිතුණේ ඔහු ඊට පිළිතුරක් නොදු නිසාය. ඔහු වෙනත් වටයකින් ප්‍රශ්නය ඉස්කෝලේ මහත්තයාට එල්ල කළේය. ‘හාමුදුරුවොත් කීව පෝයදා පන්‍සලේ ඉස්කෝලෙ මහත්තයා පෙන්න හිටියෙ නැහැ කියල’

‘මම බුදුන් වැඳිල්ල නතර කළා මුදලාලි’

ඉස්කෝලෙ මහත්තයා කීවේය.

‘අප්පද බොල ඒ මොක ඒ?’

බුදුන්වහන්නේසේ බෞද්ධ විරෝධියි කියල හිතුණ.’

ඉස්කෝලෙ මහත්තයා කීවේය.

‘අප්පද බොල ඒ මොන කටකැඩිච්ච කතාවක්ද?’

මුදලාලි අත තිබුණු සීනි ගොට්ට බිම නොවැටී බේරුණේ ‘ඇයි ඉස්කෝලෙ මහත්තයා එහෙම කතාවක් කිව්වෙ?’

‘සිදුහත්කුමාරයා උපන් දවසෙ නැකැත් බමුණන්කීව අනාවැකිය මුදලාලි දන්නවද?’ ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

‘සමහර බමුණො කීව සක්විති රජ වෙනව නැත්නම් බුදුවෙනව කියල. එක බමුණෙක් කීව ඒකාන්තයෙන්ම බුදු වෙනව කියල’ මුදලාලි කීවේය.

‘හොඳයි සිදුහත් කුමාරයා බුදු වුණේ නැතිනම් ඊළඟට වෙන්න තිබුණේ මොකක්ද?’ ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

‘බුදු නොවුණනම් සක්විති රජ වෙනව’ මුදලාලි කීවේය.

‘සක්විති රජ කෙනෙක් කියන්නේ කාටද?’

ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

සක්විති කියන්නේ ලෝකෙම ලොක්කා, ලෝකෙම රජ්ජුරුවෝ.’

‘අන්න ඒකයි මම කියන්නේ ගෞතම බුදුන් බෞද්ධ විරෝධියි කියල’ ඉස්කෝලෙ මහත්තයා කීවේය.

‘ඒ මොන කුණුහබ්බයක්ද ඉස්කොලෙ මහත්තයෝ? සක්විති රජ නොවී බුදු වීම බෞද්ධ විරෝධී කියන්නේ මොන දහමට අනුවද?’

‘දැන් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සෙලා කතාකරනව නේද ලංකාවෙ භෞමික අඛණ්ඩතාව ගැන?’ ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

‘ඔවු රට නොකැඩෙන්න වගබලාගැනීම බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙ වගකීම’ මුදලාලි කීවේය.

ඒකනේ මම කියන්න බුදු නොවී හිටියනම් සිදුහත්ටත් තිබුණ ලෝකෙම එක්සේසත් කරන්න. ලෝකෙම එක රටක්, ලෝකෙ කොටස්වලට කැඩෙන් නැතුව එකට තියාගන්න තිබුණ. හාමුදුරුවො රටේ භෞමික අඛණ්ඩතාවය ගැන කියන විදිහට බුදුහාමුදුරු‍වොත් ලෝකෙ භෞමික අඛණ්ඩතාවය කල්පනා කළේ නැහැ නේද? ඉතිං අපේ හාමුදුරුවන්ගෙ දර්ශනේ හැටියට බුදුන් බෞද්ධ විරෝධියි.’ ඉස්කෝලෙ මහත්තයා පැහැදිලි කළේය. මුදලාලි බලා සිටියේ කිසිවක් කියාගත නොහැකිවය.

‘දැන් බලන්න ශාඛ්‍ය කෝලිය යුද්ධය’ ඉස්කොලෙ මහත්තයා කීවේය. ‘ශාඛ්‍ය කෝලිය යුද්ධය ගැන මුදලාලි දන්නවා නේද? ඒ යුද්ධෙදි බුදු හාමුදුරුවො ගත්තෙ කාගෙ පැත්තද?’

‘උන්වහන්සෙ මධ්‍යස්ථව හිටියා. දෙගොල්ලටම සාමය දේශනා කළා’ මුදලාලි කීවේය.

අපේ හාමුදුරුවො කියන ආකාරයට ඒකත් වැරදි පිළිවෙතක්’ ඉස්කෝලෙ මහත්තයා කීවේය. ‘හරිනම් අපේ හාමුදුරුවරු කරනවා වගේ බුදුන් වහන්සේටත් ශාඛ්‍ය වංශිකයන්ගෙ පැත්ත ගන්න තිබුණ. ශාඛ්‍ය වංශය බුදුන්ගෙ වංශය. තමන්ගෙ ලේ වලට විරුද්ධව එනව නම් විරුද්ධ වෙන්න ඕන. යුද්දෙට ගියාම නිවන් දකින්නත් ඒ පින ඇති කියල නේද ඇල්ලේ උන්නාන්සේ දේශනා කරන බුදු දහමේ තියෙන්නෙ?

දැන් රෝහින්ග්‍යා ප්‍රශ්නෙ අරන් බලන්න. බුදුහාමුදුරුවො සෝපාකට පිහිට වුණා. අක්මීමන හාමුදුරුවො රෝහින්ග්‍යා අනාථයන්ට ගල් ගැහුවා. අක්මීමන බුදු දහම අනුව බුදුන් කරන්න ඕන සෝපාකට කනට ගහන එක. එහෙම නොකළේ බුදුන් බෞද්ධ විරෝධී නිසා නේද?

පන්සල් යන්නැති හේතුව ඒකයි. මම හිතාන ඉන්නෙ ගෙදර මිදුලෙ අක්මීමනගෙයි ගලගොඩඅත්තෙගෙයි අස්ගිරියෙ මුහුණත් එහෙම එකතු කරල කතරගම දෙයියන්ගෙ වගේ මූණු ගොඩක් තියෙන බුදු පිළිමයක් හදන්න. මුදලාලිටත් එතකොට එන්න පුළුවන් වන්දනා මාන කරන්න.

ඉස්කෝල මහත්තයා යන්න පිටත්වූයේය. මුදලාලි නිකටේ අත තබාන කල්පනා කරන්නට පටන්ගත්තේය.

නරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *