මගීන්ගේ නිදහස් ගමන් අයිතිය කඩකළ දුම්රිය වර්ජනය – බණ්ඩාර උඩුරාවන
අද ඔක්තෝබර් දොළොස්වනදා ය. සවස 6.23ට ලැබුණු නිවුස් ඇලටයකින් කියැවුණේ? දුම්රිය රියැදුරන් විසින් ආරම්භ කෙරුණු වෘත්තීය ක්‍රියාමාර්ගය නොහොත් වැඩ වර්ජනය අවසන් කළ බවය. ඒ ජනාධිපති ලේකම් වරයා සම්‍ඟ කළ සාකච්ඡාවකින් පසුවය.
ඔක්තෝබර් එකොළොස් වැනිදා රාත්‍රියේ දුම්රිය රියැදුරු වර්ජනය ආරම්භ වූයේ හිටිඅඩියේය. එනම් පූර්ව දැනුම් දීමකින් තොරවය. මින් පෙර දුම්රිය වර්ජන කෙරුණේ කලින් දන්වා නියමිත දිනයේ රාත්‍රී දොළහෙන් පසුවය. මෙදින අදාළ දිනයේ රාත්‍රි හත වන විටත් දුම්රිය ධාවනය නතර වී තිබුණි. දුම්රිය ගමන්වාර සඳහා ඒ වන විටත් ප්‍රවේශ පත්‍ර පවා නිකුත් කර තිබුණි. දුරගමන් යාමේ අරමුණෙන් පැමිණි පිරිසට ඉන් සිදු වූයේ සම්පූර්ණයෙන්ම අතරමං වීමටය.ලොකුම අසීරුතාවට මුහුණ දුන්නෝ වාර ප්‍රවේශ පත්‍රවලින් ගමන් කරන දිනපතා සේවයට දුම්රියෙන් යන එන කාර්යාල රජයේ සහ පෞද්ගලික සේවකයන්ය.
දුම්රිය වර්ජනය ගැන සඳහන් කරමින් කාර්යාල සේවකයකු කීවේ, වෘත්තිය සමිතිවලට විරුද්ධව මානව හිමිකම් නඩු පැවරිය යුතු බවයි. මගීන්ගේ නිදහස් ගමන් අයිතිය හදිසි වර්ජනය නිසා කඩවී ඇති බැවිනි.
තවත් මගියකු කියනු ඇසුණේ වර්ජනයට හේතුව ආණ්ඩුවේ කොන්ද පණනැතිකම බවයි. වර්ජකයනට වෙඩි තැබියයුතු බවත් ඔහුගේ අදහස වී තිබුණි.
සෞඛ්‍ය අංශයේ එක්තරා වෘත්තිය සමිතියක් කියා තිබුණේ දුම්රිය සේවකයන්ගේ වැටුප් ඉල්ලීම ආණ්ඩුව ඉටු කරන්නේ නම් එකී සෞඛ්‍ය වෘත්තීය සමිතිය වර්ජනයකට එළඹෙන බවයි. දුම්රිය සේවකයන් ඉල්ලන වැටුප් ඉල්ලීම ඉටු කළහොත් දුම්රිය සේවකයන්ගේ වැටුප් තලය අදාළ සෞඛ්‍ය අංශයේ වැටුප් තලයට වඩා ඉහළ නැගෙන් බැවිනි. එසේ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිවීම අදාළ සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තිය ගරුත්වයට හානිවන බව ඔවුන්ගේ අදහසයි.
දැන් රටේ වර්ජන කෙළවරක් නැත. මෙතෙක් කෙරුණේ වැටුප් වැඩි කරනු කියා කරන වැඩ වැරුම් උද්ඝෝෂණ වුවද දැන් අසවල් වෘත්තියේ වැටුප් වැඩි නොකරවු! කියාද වැඩ වර්ජන කරනු පෙනේ. විදුලිබල මණ්ඩලයේ සති කිහිපයකට පෙර කෙරුණු වර්ජනය මෙනි. එක් පන්තියක විදුලිය සේවකයන්ගේ වැටුප වර්ධනය නොකරන්නැයි ඉල්ලමින් දින ගණනක් තිස්සේ විදුලිය සැපයුම අවධානමේ හෙළූ පිරිස තමන්ගේ වර්ධනය කර ගනිමින් සේවයට වාර්තා කළේය. ඉංජිනේරුවන්ගේ වැටුප වර්ධනය කිරීම විදුලි බල මණ්ඩලය අනතුරේ හෙළීමකි. මුදල් නාස්තිය කියා කී පිරිසට, තමන්ගේත් වැටුප් වැඩිවී ඉංජිනේරුවන්ගේත් වැටුප් වැඩි වූවාට ප්‍රශ්නයක් නැත. එවිට විදුලිබල මණ්ඩලය අනතුරේ වැටෙන්නේ ද නැත. සම්පත් නාස්තියක්ද සිදු වන්නේ නැත.
වර්ජන බහුල බවින් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ බහුලබවය කියා කෙනෙකුට තර්කයක් නගන්නට පුළුවන. සත්‍යය එය බව පිළිගත යුතුය. මහින්ද සමයේ ආරම්භ කළ දේවල් පවත්වාගෙන යාමට විරුද්ධව කෙරෙන උද්ඝෝෂණ සහ වර්ජන ඒ සඳහා සාක්ෂියකි. සයිටම් හොඳම නිදර්ශයකි. සයිටම් පටන්ගන්නා විට මීයන් මෙන් පුරු පුරුගෑ වෛද්‍ය සංගම්, ශිෂ්‍ය සංගම් ආදිය දැන් සිංහ වෙන් ගෙන දඟලනු පෙනේ. සයිටම් පටන් ගන්නා කාලයේත් මේ වෛද්‍යවරුම සිටි නමුත් මේ ශිෂ්‍ය සංගම් ද පැවතුණ නමුත් එකල මේ වර්ජන තිබුණේ නැත. සුදු වෑන්වලට උණ්ඩවලට තිබුණු බිය නිසා වන්නට ද පුළුවන. රාජපක්ෂවරුන්ට ලෙන්ගතු නිසා වන්නටද පුළුවන.
එක් රූපවාහිනි චැනලයක විකාශය කෙරුණේ පාරක් අලුත්වැඩියා නොකලාය කියා පාරට බැස මග හරස්කර උද්ඝෝෂණය කරන පිරිසකි. ඔවුන්ගේ ප්‍රකාශවලින් කියැවුණේ, වසර විස්සකින් පමණ පාර පිළිසකර කර නැති බවකි. අලුත් ආණ්ඩුවෙන් ඔවුහු පාර තනා දෙනේනැයි ඉල්ලති. පාර ද හරස් කරති. උද්ඝෝෂණ කරති. ඒ අසා මගේ බිරිඳ පැවසුවේ අලුත් ආණ්ඩුව පත් වෙන්නට පෙර පාර තනාගැනීමේ අවශ්‍යතාව තිබුණේ නැතිද කියාය. අලුත් ආණ්ඩුව නොආවානම් පාරේ යන්නේ කෙසේද කියාය. බිරියගේ කතාවේ ඇත්තක් තිබේ. අවුරුදු විස්සක් තිස්සේ අබලන් පාර මහින්ද පාලන සමයේ ද අබලන්ව තිබුණත් නිහඬව ආ ගිය අය පාර, අලුත්වැඩියා කරන්නට අවශ්‍ය බව මතක් වී ඇත්තේ යහපාලන ආණ්ඩුව ආවාට පසුවය.
වර්ජකයනට වෙඩි තැබිය යුතුය යන තර්කය වලංගු වන්නේ එතැනදීය. වර්ජකයනට වෙඩි තැබිය යුතු බව කී තැනැත්තා එය කීවේ, වෙඩි තැබිය යුතුය යන අදහසින්ම නොවේ. ඒ වචනවලින් පිටු වූයේ ඔහුගේ ආවේගයයි. ඔහු ද යහපාලනයට උපකාර කළ අයෙකි. රතුපස්වල වෙඩිතැබීම් වලට එරෙහිව අදහස් ප්‍රකාශකළ අයෙකි.
කම්කරු සටන් ප්‍රතික්ෂේ නොකරන්නකු වුවද ඔහුටත් මේ වනවිට වැඩවැරුම් උද්ඝෝෂණ එපා වී ඇති සැටියකි. හේතුව වර්ජනවලත් උද්ඝෝෂණවලත් කෙළවරක් නොමැති වීමයි. මේ වන විට ඒවා මහජන පීඩාවක් වන තරමටම වර්ධනය වී තිබේ.
ආණ්ඩුවේ පිළිවෙත වී ඇත්තේ වර්ජන උද්ඝෝෂණ ආදිය ඇදෙන්නට ඉඩ දී නිහඬව බලාහිඳීම ද යන සැකය ඇතැම්විට මතුවේ. ජනතා සහාය නොලැබී යාමෙන්, ජනතා විරෝධය එල්ල වීමෙන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්කිරීමෙන් වර්ජන උද්ඝෝෂණ දියාරු කිරීම ආණ්ඩුවේ අභිලාසය වන්නට පුළුවන. නිදසුනක් වශයෙන් සයිටම් අරගලය පත්ව ඇති ත්ත්වය දක්වන්නට පුළුවන. සයිටම් අරගලට මේ වනවිට ජනතාව අතර අප්‍රසාදයට ලක් වී තිබේ. දොස්තර වර්ජනය දිගින් දිගටම පැවතුනහොත් ජනතාව දොස්තරලාට බෙහෙත් දෙනු ඇති බව කාටුන් ශිල්පියකුද දක්වා තිබුණි.
නිහැඬියාවෙන් වර්ජන උද්ඝෝෂණ දියකර හැරිය හැකි බව සැබෑවකි. නමුත් ඒ නිහැඬියාව තුළ ජනතාවට විඳින්නට සිදුවන දුක් ගැහැට සහ ගෙවන්නට සිදු වන වන්දිය සුළුපටු නැත. සයිටම් අරගලය ඇසුරින්ම පැහැදිලි කරන්නේ නම්, එය හේතුවෙන් රෝගීන්ගේ ජීවිත කීයක් අනතුරේ වැටී තිබේද? ඇතැම් සායනයන් සඳහා රෝගියකු යායුතු වන්නේ මාසයකට වතාවකි. එසේ එළඹෙන දිනය වර්ජන දිනයක් වුවහොත් සමහර විට ඊළඟ සායනය එනතුරු මාසයක් ඉවසන්නට සිදුවනු ඇත. හෘද රෝගීන්, දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන් වැන්නන්ට එය බරපතළ තත්ත්වයකි. ඒ අතරතුර ආණ්ඩුවට එල්ලවන අප්‍රසාදයද ඉහළ නැඟේ.
දුම්රිය වර්ජනය දෙසට නැවත හැරුණොත් නොදන්වා වර්ජනයකට යාම වරදකි. දැන් ඔවුන් වර්ජනය අතහැර තිබේ. වර්ජනය අත්හැරියාය කියා වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් සිය දහස් ගණනකට සිදු වූ අපහසුතාව සමනය වන්නේ නැත. ඔක්තෝම්බර් එකොළහ දින අත්දුටු අපහසුව හේතුවෙන් බොහෝ කාර්යාල සේවකයන් දොළොස්වනදාට නිවාඩු ලබා ගත්හ. රැකියාවට ගොස් හවස නිවසට ඒමට නොහැකි වනු ඇතිය යන බිය හේතුවෙනි. එසේ නිවාඩු දැමීමෙන් රටට අහිමි වූ මිනිස් පැය ගණන ගැන වගකිව යුතු කවරහුද?
වර්ජන උද්ඝෝෂණ හරහා සිදුවන වඩාත් භයානක දෙය මහින්ද පාලනයේ මර්දනය සාධාරණයැයි ජනතාව සිතන්නට පටන් ගැනීමයි. ‘මහින්ද හිටියනම් ඔහොම නටන්න දෙන්නෙ නැහැ’ කියා සමහරු කියන්නේ එහෙයිනි.
වර්ජන උද්ගෝෂණ හරහා මහින්දට පාර කපන්නට දැනුවත්ව වැඩ කරන පිරිසක් සිටිති. ඔවුන් පැහැදිලිය. තවත් පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මහින්ද හොඳයැයි ජනතාවට හිතෙන තැනට රට පත්කරමින් සිටිති. ඒවාට මුහුණ දීමටත්, පිළිතුරු සැපයීමටත් යම් අරමුණු ඇතොත් හෙළිදරවු කිරීමත් ආණ්ඩුව වහා ඉක්මන් කළ යුතුය. ආණ්ඩුව බලයට පත් කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ කටුණායක වෙඩි තැබීම් නැවත ගෙන්වා ගැනීමටවත් උද්ඝෝෂණ වර්ජන නිසා එදනෙදා දිවිය කඩාකප්පල් කර ගැනීමටවත් නොවන බැවිනි.
බණ්ඩාර උඩුරාවන