|

හොරුන්ගේ සටන් – සී. ජේ. අමරතුංග

 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඇතැයි කියති. එසේ වුවද එයට ගුවන් යානා පැමිණෙන්නේ හාවා හඳ දකින්නා වාගේය. සතියකට ගුවන් ගමන් කිහිපයකි. එයද ලාභයට ගුවන් සේවා සපයන ගුවන් සමාගමකිනි. නැතහොත් අහඹු ගමනක් එන ගුවන් යානයකි. මේ ගුවන් ගමන් කිහිපය සඳහා ගුවන් තොටක් නඩත්තු කරන්න සිදුවී තිබේ. ඒ නඩත්තු මුදල සොයාගැනීම පමණක් නොව මෙය ගොඩනැගීමට ගත් ණය ගෙවීමද ප්‍රශ්නයකි. ආණ්ඩුව හදන්නේ එයට ආයෝජකයකු ගෙන්වා ගැනීමටය. ඒ ගුවන් යානා ගෙන්වාගෙන මෙය සැබෑවටම ක්‍රියාකාරි ගුවන් තොටක් කරන්නටය. එවිට පිරිසක් එයට විරුද්ධය. ඔවුන් කියන්නේ මේ මහා සම්පතට අත තියන්න එපා කියාය. ඒ කියන්නේ සුදු අලි‍ ලෙස නඩත්තු කරන්නය. මහජනයාගෙන් බදු ගනිමින් පවත්වාගෙන යන්නය. ණය ගෙවීමේ බර ජනතාවගේ කර මත පටවන්නය.

මේ කියන ගුවන්තොටුපළත් ජනතාවට ප්‍රයෝජන අත්වී තිබිණි. මෙයට යන එන පාරවල් මහජනයා භාවිත කළේ වී ටික, ධාන්‍ය ටික වේලා ගන්නටය. එයට කිසිදු බාධාවක් නොවූයේ වාහන ගමනාගමනයක් පවා සිදු නොවූ නිසාය. වරෙක මෙය ප්‍රයෝජනයට ගත්තේ වී ගබඩාවක් වශයෙනි. ගුවන් තොටුපළක වී ගබඩා කරනවා කියා ඝෝෂාවක්ද ඒ මොහොතේ අසන්නට ලැබිණි. එසේ වුවද සියල්ලට හේතුව ගුවන් යානා නොපැමිණීමය. එකම විසඳුම ගුවන් යානා ගෙන්වා ගන්නා ව්‍යාපාරයක් බවට මෙය පත්කිරීමය. එය කරන්න අපට බැරිනම් පුළුවන් කෙනෙකු සම්බන්ධ කරගත යුතුය. මේ අංචි අදින්න හදන්නේ ඒකටය.

හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගණය වැනි රාජපක්ෂ පාලනයේ අනෙක් වැඩ මෙන්ම මත්තල ගුවන් තොටද ඉදි කළේ නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරවය. ඒ කියන්නේ එහි අවශ්‍යතාවය, ප්‍රයෝජනය ගැන සොයා බලන්නේ නැතිවය. මේවා අවශ්‍ය ව්‍යාපෘතිද යන්න සොයා බැලීම එකකි. දෙවැන්න නම් ඒවා අවශ්‍ය කෙටි කාලයේද කියා සොයා බැලීමයි. තව අවුරුදු පහකින් දහයකින් අවශ්‍ය දේ දැන් දඩි බිඩියේ ඉදිකිරීම විශාල මුදල් නාස්තියකි. අපරාධයකි. වරායවලට නැව් නොඑන්නේ, ගුවන් තොටට ගුවන් යානා නොඑන්නේ, ක්‍රීඩාංගණයට තරඟ නොලැබෙන්නේ ඒකය. දැන් යහපාලන ආණ්ඩුවට කර ගසන්නට වී තිබෙන්නේ මේ නාස්තිකාර ව්‍යාපෘති ආදායම් ලබන තත්ත්වයට පත්කිරීමේ කාර්ය‍යටය. මේ විරෝධතා දකින්නේ ආණ්ඩුව එය කරන විටය.

රාජපක්ෂවරුන් සාර්ථක ව්‍යාපෘති යැයි පෙන්වන්න හදන්නේ අධිවේගී මාර්ගයි. එකම වෙනස නම් ඒවා ගැන අධ්‍යයනයක් කළේ තීරණ ගත්තේ හා වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ බලයට පත්වෙන්නට පෙර වීමයි. දක්ෂිණ අධිවේගී මඟ සඳහා අධ්‍යයනය පටන්ගත්තේ 1989 පමණ සිටය. කටුනායක අධිවේගයද එතරම්ම පැරණි යෝජනාවකි. ජනතා විරෝධතා නිසා ඇතැම් වෙනස්කම්ද සිදුකරන්නට විය. රාජපක්ෂ පාලනය එන විට එම ව්‍යාපෘතිවල වැඩ අරඹා තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ කළේ ඒවාටත් තමන්ගේ නම යොදා ගැනීමය. ඒවායේ තිබෙන ප්‍රයෝජනය රාජපක්ෂ සමයේ ආරම්භකළ ව්‍යාපෘතිවල දකින්ට නැත්තේ එකී ව්‍යාපෘති නිසි අධ්‍යනයකින් තොරව සිදුකිරීම නිසාය.

පරිසරවේදීන්ට සවන් නොදීම

මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට පරිසරවේදීන්ගේ දැඩි විරෝධයක් තිබිණි. ඔවුන් කීවේ මෙය කුරුළු පාරාදීසයක් බවයි. එවැනි තැනක ගුවන් තොටක් ඉදිකිරීමෙන් කුරුල්ලන්ට මෙන්ම ගුවන් යානාවලටද අනතුරුවලට මුහුණදීමට සිදුවන බව ඔවුහු කීහ. ඒවා තුට්ටුවකට ගණන් ගන්නේ නැත. අද තියෙන ආකාරයේ උද්ඝෝෂණ එදා කරන්නට ගියානම් කුරුල්ලන්ගේ මරණ නොව මිනිසුන්ගේ ජීවිතද අනතුරට ලක්වන්නේය. ඒ නිසා එවැනි දෑ සිදුවූයේ නැත. එසේ වුවද පරිසරවේදීන් කී කතාවේ ඇත්ත නැත්ත ගැන දැන් පැහැදිලිය. මත්තල ගුවන්තොට පවත්වාගෙන යාමට මොනරුන් හා සටන් වදින්නට සිදුව තිබෙන බව ඇත්ත කතාවයි. එහෙත් දැන් වෙන කරන්නට දෙයක් නැත. රාජපක්ෂ පාලනය විසින් මෙරට ජනයා තල්ලු කර ඇත්තේ එබඳු දිග්ගැසෙන ඛේදවාචක වෙතටය.

ආණ්ඩුව දැන් හදන්නේ මත්තලට සැබෑ ගුවන් තොටුපළක් ලබා දෙන්නටය. එනම් ගුවන් යානා එන යන, සංචාරකයන් පැමිණෙන, බඩු භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ගුවන් තොටක් කරන්නටය. එයට සාකච්ඡා කරමින් සිටින්නේ ඉන්දියානු සමාගමක් සමඟය. ඒ මෙය කළ හැක්කේ එබඳු සමාගම්වලට වීම නිසාය. භූ දේශපාලනික හේතුද එයට බලපා තිබිය හැකිය. හම්බන්තොට වරාය සංවර්ධනයට චීනය සම්බන්ධකරගත් නිසා මත්තලට ඉන්දියාව සම්බන්ධ කරගැනීම වැදගත් විය හැකිය. භූ දේශපාලන තුලනය කිරීමක්ද එහි එක් අරමුණක් විය හැකිය. රටක ආරක්ෂාව හා ස්වෛරිභාවය පවත්වාගෙන යාමට එයද වැදගත් වෙයි. ඒ සමඟම ආර්ථිකයද ගොඩ යා යුතුයි.

ආර්ථික දියුණුවට අකුල් හෙළීම

දැන් රාජපක්ෂවරුන් මාරාන්තික විරෝධයක් දක්වන්නේ මත්තල මෙලෙස සංවර්ධනය කරනවාටය. ඔවුන් කියන්න හදන්නේ මෙය මත්තල විකිණීමක් නිසාය. ඇත්තටම නම් විකුණන්නට තරම් වටිනා යමක් මේ වනවිට එහි නොතිබීමයි. එහි කිසිදු ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් නැත. තිබෙන්නේ ණය කන්දරාවක් සමග නඩත්තු වියදමකි. එකම දේ එය සම්පතක් බවට පත්කර ගැනීමේ හැකියාව පැවතීමයි. එයද අපට කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සුදුසු කෙනෙකු සොයා ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාවට නැගිය යුතුය. එමගින් මෙය සැබෑ ගුවන් තොටුපළක් වනවිට එයින්ම රටටත් ජනතාවටත් සෙතක් වනු ඇත.

ඒකාබද්ධ විපක්ෂය ඇත්තටම විරුද්ධ වන්නේ මෙම උත්සාහයටය. රටේ ආර්ථිකය ගොඩ යනවා දකින්නට ඔවුහු කැමැති නැත. ඒ එය ඔවුන්ට විනාශයක් වන නිසාය. ජනතාව මත තිබෙන ණය බර බදු බර අඩුවනවා දකින්නට ඔවුන් කැමැතිවන්නේ නැත. ජනතාවට රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා ලැබීම ඔවුනට පෙන්නන්න බැරි වැඩකි. මේ සියල්ල මගින් සිදුවන්නේ ඒකාබද්ධ විපක්ෂයත් රාජපක්ෂ වාදීන්ගේත් දේශපාලන මිනීවළ කැපීමයි. දැන් මාරාන්තික විරෝධතා උද්ඝෝෂණ කරන්නේ එය නවතා ගැනීමටය.

ජනතා සටන් කියා දෙයක් ඇත. එනම් දුෂ්ඨ පාලකයින් ජනතා විරෝධී තීරණ ගන්නාවිට ඊට එරෙහිව සටන් වැදීමයි. නැතහොත් ජනතාවගේ ප්‍රශ්නයන් ගැන ක්‍රියා නොකරන පාලකයන්ට එරෙහිව සටන් වැදීමයි. එබඳු සටන් සාධාරණ බවට පොදු පිළිගැනීමක් ඇත.රතු පස්වලදී මහජනයා නැගීසිටියේ බීමට වතුර ඉල්ලා සිටිමිනි. නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන් සටන් කළේ තමන්ගේ අර්ථ සාධකය රැක ගන්නටය. මහින්ද රාජපක්ෂ පාලනය එම ජනතා සටන්වලට පිළිතුරු දුන්නේ වෙඩි උණ්ඩවලිනි. කුරිරු පාලකයන් ජනතා සටන් මඩින්නේ එහෙමය.

ඊයේ පෙරේදා මත්තලදී සිදුවුණේ එබඳු ජනතා සටනක් නොවේ. නොයෙක් ජනතාවාදී සළු පිළි එල්ලන්නට හැදුවද එය ජනතා විරෝධී සටනකි. ජනතාවගේ පීඩාව දුරුකිරීමට එරෙහි සටනකි. රටේ ආර්ථිකය ගොඩගැනීමට එරෙහි සටනකි. ජනතාවට රැකියා අවස්ථා වැඩි කරනවාට එරෙහි සටනකි. එමෙන්ම එය ජනතාවාදී ආණ්ඩුවකට එරෙහි සටනකි.

අනෙක් අතට නාමල් රාජපක්ෂලා උසාවි නියෝගද කඩ කරමින් ක්‍රියා කළද පොලිසිය එම විරෝධතාවන් මැඩලීමට වෙඩි උණ්ඩ යොදාගන්නේ නැත. හමුදාව කැඳවා උද්ඝෝෂකයන්ට වෙඩි තැබුවේ නැත. උද්ඝෝෂණය පාලනය කළේ අවම බලය යොදාගෙනය. ඒ යහපාලනයේ හැටිය. උද්ඝෝෂකයන් චන්ඩින් වී සිටින්නේ මේ ප්‍රතිපත්තිය නිසාය. දිගින් දිගට තැනින් තැන‍ කෝලාහල කරන්නේ ඒ නිසාය. ජනතාව දැන් කියන්න පටන්ගෙන තියෙන්නේ මේ ජනතා විරෝධින්ට හොඳ සංග්‍රහයක් කළ යුතු බවයි. ඉවසුවා ඇති බවයි. ජන ජීවිතවලට බලපෑම් කිරීම නතර කළ යුතු බවයි. මෙම තදියම් විරෝධතා මෙලෙස කලඑළි බැසීමට තවත් ප්‍රබල හේතු ඇත.

තොණ්ඩුව වැටීමට බියෙන් දඟලන්නෝ

එනම් මේ උද්ඝෝෂණ මෙහෙයවන උදවියගේ අතීත ක්‍රියා හේතුවෙන් ඔවුන්ගේ ගෙලට තොණ්ඩු වැටීමට පටන්ගෙන තිබීම හේතුවෙනි. ඒ ගැන දැන් දිගින් දිගට වාර්තා පතුරවමින් පවතියි. නාමල් රාජපක්ෂලා හම්බන්තොට උද්ඝෝෂණ සංවිධානය කරන්නේ මුදල් විශුද්ධිකරණය ගැන චෝදනා විභාගවන තත්ත්වයට වර්ධනය වෙද්දීය. විදේශගතව සැඟ වී සිටි ලේකම්වරිය අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වෙද්දීය. උද්ඝෝෂණ දින නියම වන්නේ සිදුවන්නට යන දේ ඉව වැටී තිබියදීය. තමන්ට එල්ලවන දූෂණ චෝදනාවලට දේශපාලන පාටක් එක්කර පෙන්වීමට උත්සාහ දැරීම මෙහි එක් යටි අරමුණකි. අනෙක නම් ගෙල හිරවන්නට පෙර හැකිනම් ආණ්ඩු පෙරළන්න උත්සාහ දැරීමයි. එය බැරි වුණත් මොවුන්ට නිකම් ඉන්න බැරිය. දැන් මොවුන් සිටින්නේ උලත් එකයි පිලත් එකයි තත්ත්වයෙනි.

මොවුන් දැන් කරමින් සිටින්නේ නීතියේ තිබෙන හිල් භාවිත කරමින් තම ඉරණම කල් දමා ගැනීමයි .විමල් වීරවංශගේ නීතිඥයා නඩුවාර තුනකදීම උසාවි පැමිණියේ නැත. ඒ නඩු විභාග දින කල් දමා ගැනීමටය. මෙවර එම පාර්ශ්වයට අවසන් අවවාදයත් උසාවියෙන් ලැබුණා. ප්‍රසන්න රණතුංගගේ නඩුවට දින නියම වී ඇත. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුගේ නඩු පෝලිමේ පැමිණීමට නියමිතය. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කඩිනම්වීමට එය ප්‍රධාන හේතුවකි.

මොවුන් සමඟ උද්ඝෝෂණවලට එන්නේ ද සාමාන්‍ය මහජනයා නොවේ. රාජපක්ෂ පාලන සමයේ ඉහළ සිට පහළට ගොඩනගා තිබු මහජන ධනය කොල්ලකෑමේ යාන්ත්‍රණයේ විවිධ මට්ටම්වල උදවිය මෙහි සිටිති. ඉහළම මට්ටමින් සුපිරි කොල්ල කෑම් සිදුවෙද්දී ගමේ පළාත් පාලන ආයතනයේ කොන්ත්‍රාත්වලින් හම්බකර ගැනීමටද පිරිසකට ඉඩ දී තිබිණි. අතරමැද සියලු මට්ටම්වලද තත්ත්වය ඒකය. රාජපක්ෂ පාලනයේ දූෂිත පාලන තන්ත්‍රය ගොඩනගා තිබුණේ එහෙමය. ඒ විවිධ තැන්වලින් වරප්‍රසාද ලැබූ පිරිස තම ධන උපාය මාර්ග අහිමිවීමෙන් කෝපයට පත්ව සිටිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ එම දූෂිත පාලන තන්ත්‍රය යළි බලයට පත් කර ගන්නටය. මේ සියලු සටන් ඒ සඳහාය.

මොවුන් කතා කරන්නේ නම් රට බේරා ගැනීමටය. ඒ ගැනද කිවයුතුය. රටේ ජාතික ධනය ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ උදවිය දේශප්‍රේමීන් වන්නේ කෙලෙසද යන්න ප්‍රශ්නයකි. මේ හොරුන් බොහෝ දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත්ව ඇතත් ඒවා තවම ඔප්පු වී නැතිබව ඇත්තකි. හැබැයි සිදුවු හොරකම්වල ප්‍රමාණය මහජනයාගෙන් සඟවන්න දැන් බැරිය. අයිතිකරුවන් නැති මහා මන්දිර ගැන කතා ඩේසි ආච්චිලාට ලැබුණු මැණික් මලු මෙන්ම, විවිධ ගිණුම්වලින් එළියට ආ මුදල්ද ඒ සියල්ලට සාක්ෂි සපයයි. මහජනයාගේ ඇස් වලට වැලි ගහන්නට හිතාගෙන දැන් මේ උද්ඝෝෂණ කරන්නේ ජනතාවගේ ධනය කොල්ල කමින් රට අගාධයට තල්ලු කළ හොරුන් පිරිසක් මිස සැබෑ ජනතාව නම් නොවේ. මේ සටන් කරන්නේ ජනතාවට එරෙහිවය. මේ සටන් ජනතා ද්‍රෝහී වන්නේ ඒ නිසාය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *