බ්‍රයන් ෂෙඩීක් වංචා නඩුවේ විත්තිකරු, පාම උදය ගම්මන්පිලට විදේශගතවීම තහනම්!

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඩික් මහතාට අයත් ‘ඩිජිටල් නොමිනීස්’ සමාගමෙන් මිලදීගෙන තිබූ ‘පෑන් ඒෂියා’ බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටොර්නි බලපත්‍රයක් හරහා වණික් ඉන් කෝර්පරේෂන් සමාගමට වංචනිකව විකිණීම සම්බන්ධව උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිතුමා විසින් මහාධිකරණයේ ගොනුකර ඇති 8394 නඩුවේ සාක්ෂි විභාග කිරීම අද(11) ප.ව. 1.00 ට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ සිදු කෙරිණි.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඩික් මහතාට අයත්ව තිබූ, මෙට්ල් රීසයික්ලින් කලම්බු ලිමිටඩ් ආයතනය, සිලෝන් ටී ගාර්ඩ්න්ස් ආයතනය, ට්‍රිපල් එස් ආයතනය, සහ තවත් ආයතනකිහිපයකින් උදය ගම්මන්පිල විසින් වංචනික අයුරින් විකුණා මුදල් උපයාගත් බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මේ කරුණු සම්බන්ධයෙන් අද කැඳවා තිබූ නඩුවේ සාක්ෂි විමසීමේදී විත්තියේ නීතිඥවරුන් දිගින් දිගටම ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ, ඔහු විසින් ආයතන ඇටෝනි බලපත්‍රය නීත්‍යානුකූල පරිද්දෙන් පී. ගම්මන්පිලට ලබාදුන්නේ නම් එය ව්‍යාජ එකක් වන්නේ කෙසේදැයි යන්නයි. දිගින් දිගටම එකම ප්‍රශ්නය විමසීමත්, ඒ ඔස්සේ තර්ජනාත්මක ස්වරූපයක් ස්මතුවීමත් සමඟ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා පවසා සිටියේ, එම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය සාක්ෂි සහ සටහන් පැහැදිළිව තහවුරු වී ඇති බවයි. එහෙයින් ඒ සම්බන්ධයෙන් නැවත නැවත විමසීම අත්‍යාවශ්‍ය නොවන බවයි.

තවද, බ්‍රයන් ෂැඩික්ගෙන් විත්තියේ නීතීඥයා විමසූයේ, මේ තත්ත්වය පිළිබඳව ඔස්ට්‍රේලියාවේ නීතියට යටත්ව කටයුතු නොකොට ශ්‍රී ලංකාවේ පැමිණිලි කළේ ඇයි ද යන්නයි. ඊට බ්‍රයන් ෂැඩික් ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙය ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් නොවන බවත්, තමන් විසින් ආයෝජනය කර පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වීම නිසාවෙන් එය ශ්‍රී ලංකාවේ නීතියට බලපාන හෙයින් මේ වංචාව සිදුකළ උදය පී. ගම්මන්පිල ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා තමන් ශ්‍රී ලංකාවේ පැමිණිළි කළ බවයි.

ඉතා කෙටි සාක්ෂි විමසීමක් අද සිදුකළ අතර නඩුව ඔක්තොම්බර් මස 17 වන දින ප.ව. 2.30 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් තීන්දු කෙරිණ.

විත්තියේ නීතිඥයින් එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය. එනම්, තම සේවාදායක උදය පී. ගම්මන්පිලට එරෙහිව තවත් නඩුවක් මහාධිකරණ අංක 02 හි පැවැත්වෙන බවත්, එම විනිසුරුගෙන් උදය පී. ගම්මන්පිලට නොවැම්බර් මස 17 විදෙස් ගතවීම සඳහා අසවසර ඉල්ලීමේදී පවසා සිටියේ, මහාධිකරණ අංක 05 හි නඩුකාරවරයාගේ තීන්දුව අනුව තමන් එය සලකා බලන බවයි. එහෙයින් තම සේවාදායක උදය පී. ගම්මන්පිලට නොවැම්බර් මස 17 වන දින ඉතාලියේ පැවැත්වෙන තරුණ බෞද්ධ සංගමයේ සැසිවාරයට සහභාගී වීම සඳහා විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙසයි.

එහිදී මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේ, සාක්ෂි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් උදය ගම්මන්පිලට විදෙස් ගතවීමට කිසිදු නෛතික අවසරයක් නොමැති බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *