අපේ සිහින ගුරුවරයා – නිශාන්ත කමලදාස

 ගුරු දිනය යෙදී තිබුණේ පසු ගිය සතියට ය. ඒ වෙනුවෙන් ගුරු උපහාර උළෙලවල් විශේෂයෙන් පාසල් පාදක කොට ගෙන පවත්වනු දක්නට ලැබුණේ ය. ඇතැම් අය තමන් අකුරු කළ ගුරුවරුන් සිහිපත් කරමින් ලියූ සටහන් ද අපට කියවන්නට ලැබිණි. ඒ සියල්ල අපට අපේ සිහින ගුරුවරයා මතු කර ගැනීමට දිරි දුන්නේ ය.

ගුරුවරුන්ට ළමයින්ගේ අනාගතය යහපත් කරන්නට මෙන් ම අඳුරු කරන්නට ද පුළුවන. ළමුන්ට තහංචි දැමීම සහ තහංචි කඩන තෙක් බලා සිට ඔවුන්ට දඬුවම් කිරීම එසේ සිසු අනාගතය අඳුරු කරවන ගුරුවරුන්ගේ විනෝදයකි. ඔවුන් හරියට හැංගී සිට දඩ ගහන රථවාහන පොලීසියේ රාළහාමිලා වගේ ය. ළමුන් අවමානයට පත් කිරීම, මානසික හා ශාරීරික හිරිහැර කිරීම, එවැනි ගුරුවරයෙකුගේ සිරිත ය. ඔවුන් නිතර කියන කතාවක් නම් හැඳි නොගා හදන හොද්දත් ගුටි නොදී හදන ළමයාත් වැඩක් නැති බව ය.

ඇස උකුසු වුණාට ළමයකුගේ හොඳක් නම් ඔවුන්ගේ ඒ උකුසු ඇසට හසු වන්නේ නැත. හසුවුණත් දකින බවක් පෙන්නන්නේ නැත. ඒ ගැන වචනයක් පිට කරන්නේ නැත. පිට කරතත් ඒ හොඳ වැඩේ තුළ සිදුවුණු යම් අඩුපාඩුවක් ගැන ය. හොඳ වැඩ මග හැර යන ඔවුන් කරන්නේ තවත් උනන්දු වි නරකක් ම අල්ලා ගැනීමට දැල එලීම ය. යම් සුළු හෝ මග හැරිමක් වෙතොත් ඒවා නම් අඩුපාඩුවක් නැතිව ම අල්ලා ගැනේ. ඇතැම් විට නැති අඩුපාඩු ද මවා ගැනේ.

පාසල ළමයින්ට තිත්ත පීළිකුල් බිය ජනක තැනක් බවට පත්වන බවට ඔවුහු වග බලා ගනිති. මිනිසුන් පිළිබඳ විශ්වාසය බිඳ හෙළා දමති. ලෝකය දුක් කරදර පිරුණු තැනක් බවට පත් කිරීම ඔවුහු සිය ආදර්ශ පාඨය කර ගනිති.

නිවැරදි වෙන්න විධියක් නෑ

කනගාටුවට කාරණය වන්නේ ඔවුන් මේ සියල්ල කරන්නේ ළමයින්ගේ අනාගතය නාමයෙන් වීම ය. ළමයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වීම ය. එක අතකට ඒ සම්බන්ධයෙන් මේ ගුරුවරුනට පමණක් දොස් කිමේ තේරුමක් නැත. මෙසේ ගුටි කෑ බයෙන් ජීවත් වූ සිසුන් වැඩිහිටියන් වූ පසු ගුටි කෑමේ ආනිශංස ගැන කියා මේ ගුරුවරුනට උල්පන්දම් දෙනු අප දකින නිසා ය. වැරදි වැඩක් හොඳ වැඩක් හැටියට දකින තත්වයක වැරදි වැඩ නිවැරදි වන්නට විදිහක් නැත.

මේ හිංසනය ඔය දඬුවම් ලැබූ අය පසු කලෙක වර්ණනා කොට කියතත් අහිංසක එකක් නම් නොවේ. එය විසින් ළමයාට ඇති කරන ආතතියට පීඩාවට අමතරව, ළමා මනස තුළ පැලපදියම් කරන්නේ යමක් කර ගැනීමට පහසු ම මග බලය පාවිච්චි කිරීම බව ය. එහි ප්‍රතිඵල අහිංසක නැත. හරි වැරැද්ද ගැන සංවාදයක් කරනු වෙනුවට එය බලය යොදා තීරණය කිරීමට මිනිසුන් පෙළඹවීම මෙහි ඇති භයානක ම අනතුර ය.

මෙසේ හිංසනය යොදාගෙන ආණ්ඩු මට්ටු කරන ගුරුවරුන් බොහෝ දෙනකුගේ පාසල් දිවිය පිරික්සා බැලුවහොත් ඔවුන් ද කුඩා කල හිංසනයේ ගොදුරු වී ඇති බව පැහැදිලි වනු ඇත. මේ පරපුරෙන් පරපුරට දායාද කරනු ලබන්නේ ඒ ලද හිංසනය යි. මෙය අපට සිහිපත් කරන්නේ නවක වදය සමයේ බියෙන් ජීවත් වෙමින් නවක වදයටත් එහි නිරත වන ජේෂ්ඨයන්ටත් සාප කළ නවකයෙකු ඊළග වසර වන විට එහි මහත් ඵල ආනිශංස කියමින් ඊළග පරපුරට ඒ පීඩනය ම එල්ල කරන්නට තැත් කරන විලාසය යි. ඊට ලක ලෑස්ති වන ආකාරය යි. පළමු වර නවක වදය ලැබීමෙන් පීචං වන සරසවි ශිෂ්‍යා දෙවැනි වර එය දීමෙන් පීචං වන ආකාරය යි.

හිංසනය භාවිතා කරන ඇතැම් ගුරුවරු එසේ කළේ වුව ද ඉගැන්වීම ද සිය ප්‍රථම රාජකාරිය ලෙස සලකා කටයුතු කිරීමට වග බලා ගනිති. එහෙත් වැඩි දෙනෙක් දන්නේ හිංසනයේ යෙදීමට පමණ ය. තමන්ගේ අදක්ෂකම හා නො හැකියාව යටපත් කර ගැනීමට මේ දෙවැනි කී කාණ්ඩය හිංසනය අමතර වශයෙන් භාවිතා කරනු දකින්නට පුළුවන.

ඊළග වර්ගය වන්නේ හිංසනය ද නොකරන ඉගැන්වීම ද නොකරන ගුරුවරු ය. ඒ අය ළමයින් ලවා කරවන එකම වැඩය පිටපත් ලිවීම ය. නැතිනම් බලා කියවීම ය. සරලව කියතොත් ඔවුන් උගැන්විම පිළිබඳ මෙලෝ සංසාරයක් දන්නේ නැත. වෙන දෙයක් දන්නේ ද නැත.

තවත් වර්ගයක් වන්නේ උගැන්වීමට වෙහෙස මහන්සි වන ගුරුවරු ය. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ සියලු ශක්තිය යොදා උගැන්වීමේ නිරත වෙතත් දරුවන්ට රසවත් වන ලෙස පාඩම සංවිධානය කර ගැනීමට ඔවුන්ට බැරි ය. ඒ සඳහා පුහුණු වීමක් ලැබි නැත. ඉඩ ඉස්පාසුවක් තිබී නැත. ඉගැන්වීමේ කලාව ඔවුන් දන්නේ නැත. ඒ බොහෝ දෙනෙකුට නිසි පුහුණුවක් ලැබී නැත.

තවත් ගුරුවරු වර්ගයක් ආල වට්ටම් දමා රසවත් ලෙස ඉගැන්වීමේ යෙදෙතත් දරුවන්ට එක දිසාවකට කෙරෙන දේශනයකට වැඩි යමක් දායාද කිරිමට ඔවුන්ට වෙලාව නැත. ඔවුන්ගේ දායකත්වය වටින්නේ ය. එහෙත් දරුවන් බලාත්මක කිරීමට ඔවුන්ගෙන් සිදු වන වැඩ කොටස නම් අල්ප ය.

අපේ සිහින ගුරුවරයා ඊට වෙනස් ය. ඔහු-ඇය විසින් සිසු ජීවිතය ද සිසු අනාගතය ද යන දෙකම එකවර එලිය කෙරේ. සිසු අනාගතය උදෙසා සිසු ජීවිතය අපායක් කළ යුතු ය යන අදහස ඔවුහු ප්‍රතික්ෂේප කරති. තමන්ගේ ම ජීවිතයේ ළමා කාලයේ ලද හිංසනයන් මතක් කර ගනිමින් ඒවා තමන්ගේ සිසු දරුවන් හරහා නිදහස් කර යවන්නට වුවමනාවක් ඔවුන්ට නැත. ඔවුන් තමන් ආ මග ඔස්සේ නැවත යන්නට නොව හිස් කොළයක සිසු ජීවිතයේ මාවත පාදා ගන්නට නව සැලැස්මක් ගොඩ නගා ගැනීමට සැදී පැහැදී සිටිති. තමන්ට වු ගැහැටෙන් නිදහස් ව ගොඩ නැගෙන ප්‍රීතිමත් ශිෂ්‍යයෙකු දැකීමට ඔවුන් කැමති ය.

එවැනි ගුරුවරයෙකු දැකීම ද සතුටට කාරණයකි. ඔවුන් හැමවිටම ඉන්නේ මද හසකින් මුව සරසා ගෙන ය. කාරුණික හදවතකින් විහිදෙන එලියක් ඇතුව ය. සිසුන්ට කන් දෙන කණ් දෙකක් ඇති ව ය. සිසුන් සමඟ මුසු වීමට සූදානම් ශරීරයක් හා ඔවුන්ගේ තැනට බැස සිතන්නට සූදානම් මනසක් ඇති ව ය. සිසුන්ට අනුකම්පා කරනු වෙනුවට ඔවුන් සමග සහකම්පනයක් ඇති කර ගැනීමට සූදානම් හැසිරීමක් ඇති ව ය.

බියෙන් තොර ළමයින්

සිය සිසුන්ගේ අනාගතය එලිය කරන ගුරුවරයා ළමුන් බලාත්මක කරයි. යමක් කියන්නට, කරන්නට, නිදහස හා ඉඩහසර ළමයින්ට සලසා දෙන ඒ ගුරුවරයා වැරදෙන්නට අවසර දෙයි. වැරදුන විට කරුණාවෙන් නිවැරදි කර ගන්නා ආකාරය කියා දෙයි. ඒ නිසා ම ඉංග්‍රීසි වැනි දුෂ්කර යැයි සැලකෙන විෂයයන් පවා ඉගෙනීම දුෂ්කර ක්‍රියාවක් නොවෙයි. වැරදි වැරදී කතා කරන්නට අවසර ඇති නිසා ද වැරදෙන විට ඒ දෙස උපේක්ෂාවෙන් බලන නිසා ද ළමයින් භීතියකින් තොරව ඉංග්‍රීසි කතා කරන්නට ඉදිරිපත් වේ.

එවැනි ගුරුවරුන් තම සිසුන්ට අභීතව නැගී සිටීමට දිරි දේ. ප්‍රශ්න අසන්නට උනන්දු කරයි. තර්ක කරන්නට ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්නට අවසර දෙයි.

පාසල ළමයින්ට ප්‍රියජනක තැනක් බවට පත් කරන්නට ඔවුහු වෙහෙස ගනිති. ළමයින්ගේ වැරදි ඉදිරියේ සන්සුන්ව කරුණු පහදා දීමට ද ඔවුන්ගේ දක්ෂකම් ගුණයහපත්කම් මතුකර ඒවා අගය කිරීමට ද ඔවුහු සැදී පැහැදී සිටිති. එවැනි ගුරුවරුන්ට අනුව පන්තියක හොඳ ළමයින් හා නරක ළමයින් යනුවෙන් ළමයින් වර්ග දෙකක් නැත. ඉන්නේ එක වර්ගයකි. ඒ ළමයි ය.

සිතිය යුත්තේ කුමක් ද යන්න කියනවා වෙනුවට සිතිය යුත්තේ කෙසේ දැයි ඔවුහු දරුවන්ට උගන්වති. ඒ නිසා හරි වැරැද්ද කුමක් ද යනු තේරුම් ගැනීමට බණ දේශනා කිරීමට සිදු නොවේ. සිසුන් ම තමන් ලද අභ්‍යාසයන්ගෙන් මග පෙන්වීම ලබමින් මේ දේ නිවැරදි ය මේ දේ වැරදි ය කියන්නට සමත් ය. මෙය නිවැරදි ය, මෙය වැරදි ය, යනුවෙන් අර්ථ නිරූපණ දෙනවා වෙනුවට හරි වැරැද්ද තෝරා ගත හැකි නිර්ණායක ඔවුන් විසින් සිය සිසුන්ට ලබා දීම ඒ හැකියාව පිටුපස තිබේ.

පාඩම සඳහා සිසුන් සහභාගී කර ගනු ලැබේ. පාඩම ඉදිරියට යන්නේ සිසුන් සමග කරන සාකච්ඡාවක ස්වරූපයෙනි. සිසුන්ගේ අදහස්වලින් පෝෂණය ලබමිනි. එක මතවාදයක් වෙනුවට බහු විධ මතවාද සාකච්ඡාවට ලක් කෙරේ.

ප්‍රශ්නයක හැම පැත්තක්ම

උදාහරණයක් ලෙස ගබ්සාව ගැන කරන සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් විවිධ ආගම්වල ඇති මතිමතාන්තර කුමක් ද යන්නත් වෛද්‍ය මතය කුමක් ද යන්නත් රටේ නීතිය ඒ සම්බන්ධයෙන් ගන්නා අස්ථානය කුමක් ද යන්නත් සාකච්ඡා කෙරේ. ඊට අමතරව විවිධ රටවල ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්වය ද ඉදිරිපත් කෙරේ. දරු කළලයේ පැත්තෙන් ද මවගේ පැත්තෙන් ද සමාජය පැත්තෙන් ද විවිධ අවස්ථාවල ඇතිවන ගැටලු ප්‍රතිවිපාක ද සාකච්ඡා කෙරේ. දූෂණයට භාජනය වුණු ගැහැනියකට ඒ නිසා උපන් කළලයක් දරා සිටීමේ හා ඒ හරහා දරුවෙකු බිහි කර හදා වඩා ගැනීමේ දී ඇති විය හැකි මානසික පීඩනය පමණක් නොව ඇයට හා දරුවාට සමාජයෙන් එල්ල වන ගැරහීම් ද සාකච්ඡා කෙරේ. ගබ්සාවකට ගැහැනියක් පෙළඹෙන අනෙකුත් සමාජ කාරණා ද මතු කෙරේ.

එසේ පෙළඹවෙන මවක දරණ අවදානම ද සංඛ්‍යා ලේඛන සහිත ව ඉදිරිපත් කෙරේ. ඒ හරහා ගබ්සාව සම්බන්ධයෙන් තමන් දැරිය යුතු අස්ථානය කවරේදැයි දරුවන්ට ම තීරණයකට එළඹිය හැකි වටපිටාවක් සැකසේ. මේ අභ්‍යාසය හරහා යන දරුවෙකු වෙන ඕනෑම ගැටලුවක දී වුව තමන් යම් ප්‍රශ්නයකට පිවිසිය යුත්තේ කෙසේ ද ඒ ප්‍රශ්නයේ විවිධ පැති කඩ විමසිය යුත්තේ කෙසේ ද ඒ එක් එක් පැති කඩ ගැඹුරින් විග්‍රහ කර ගත යුත්තේ කෙසේ දැයි උගනියි. ප්‍රශ්නයක පළල හා ගැඹුර යන දෙකම විමසමින් නිවැරදි අස්ථානයකට ආ හැක්කේ කෙසේ දැයි උගනියි.

විෂය රසවත් කිරීමට ඊට ආනුපාන එකතු කිරීමට ඔවුහු උත්සුක වෙති. ඒ සඳහා කතන්දර, චිත්‍ර, නැටුම්, ගීත, කවි උපයෝගී කර ගනිති. විෂයය කරුණු මතක තබා ගැනීම පහසු කරන ක්‍රම ඔවුහු හඳුන්වා දෙති. විෂයය කරුණු මතක තබා ගැනීම සඳහා කවි, ගී, නැටුම් ඇතුළු විවිධ නිර්මාණ කිරීමට දරුවන් ද පොළඹවති.

ඒ සිහින ගුරුවරයා එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ද එකිනෙකාට ඉගැන්වීමට ද සිසුන්ට අනුබල දෙයි. වඩාත් හොඳින් ඉගෙන ගත හැක්කේ අනුන්ට කියා දීම මගින් බව ඔහු-ඇය සිසුන්ට කියා දේ.

ඇස් රතු නොවෙන තාක් පාසල තුළ විහිළු තහළුවලට ඉඩක් තිබේ. ඔහු-ඇය තමන්ට ම සිනාසෙන්නට තරම් සරල ය. එතැනින් නොනැවතී තමන්ට ම තමන්ගේ දුර්වලකම්වලට ම සිනා සෙන්නට ද සිසුන් දිරිමත් කරවීමේ ලා දක්ෂ ය. විහිළු තහළුවේ සමත් සිසුන්ට පන්තිය තුළ පිළි ගැනීමක් ලැබේ. උත්ප්‍රාසය උත්තේජකයක් ලෙස සලකනු ලැබේ.

සැමට ප්‍රීතිමත් තැනක් වන පංතිය

පන්තිය හැමට ප්‍රීතිමත් තැනක් වනු දැක්ම ඔහුගේ අභිලාශය ය. ඒ නිසා ම සිසුන් උදෑසන නැගිට තමන්ගේම උනන්දුවෙන් පාසලට පිවිසෙනු දැකීම ඔහුගේ කැමැත්ත ය. ඒ සඳහා සෑම දරුවෙකු සතු කිසියම් ගුණයක් අගය කර ඒ සඳහා ප්‍රශංසාවක් කිරීමට ඔහු වග බලා ගනී.

අපේ සිහින ගුරුවරිය නිහතමානී ය. ඇය කුඩා සිසුන්ට ද නිසි ගෞරවය දෙමින් කතා කරන්නී ය. ඔවුන්ට ද සෙසු අයට ගෞරව කරන්නට මග පෙන්වන්නී ය. තමන්ගේ වැරැද්දකට නොපැකිල ව සිසුන්ගෙන් සමාව ගන්නා ඇය කරන ලද වැරැද්දක් පිළිගැනීමට ද ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට ද සිසුන් යොමු කරවන්නී ය.

ඔහු දරුවන් දණ ගසා වැඳීම හෝ කොන්ද නමාගෙන වැඳීම රුස්සන්නේ නැත. ඒ නිසා පෞර්ෂය අහිමිකර ගත් දරුවන් ඇතිවෙනු දැකීමට එවන් ගුරුවරයෙකුගේ කැමැත්තක් නැත. ලෝකෙට පරකාසෙට හෝ සමාජ සම්මුතියට දණ ගැසුවාට හදවතේ ඒ ගරුත්වය නැත්නම් එයින් ඵලක් නැතැයි ඔවුහු සිතති. ඒ නිසා ම ගෞරවය එලියට ප්‍රදර්ශනය කිරීමට වඩා හදවතේ රැඳී තිබෙනු දැකීමට ඔහු කැමති ය. ගෞරවයටත් වඩා දරුවන්ගේ සෙනෙහසත් ආදරයත් දිනා ගැනීමට ඔහු වඩාත් කැමති ය. ඍජු කයකින් නැගෙන ආයුබෝවන් හඩට එවන් ගුරුවරයෙකු දණ ගසා වැඳීමකට වඩා කැමති වන්නේ ද ඒ නිසා ය.

අපේ සිහින ගුරුවරයා වඩාත් තෘප්තිමත් වන්නේ තමන් ව ප්‍රශ්න කිරීමට දරුවන්ට හැකියාව ඇති කිරීමෙනි. ඔවුන් එසේ තමන් ප්‍රශ්න කරනු දැකීමෙනි. තමන්ගේ මතය පරදවමින් ප්‍රතිතර්ක ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු දැකීමෙනි. තමන් නොදුටු කිසි දා නොසිතූ මානයන් ඉදිරිපත් කරමින් තමන්ගේ ඉගැන්වීම් අභියෝගයට ලක් කිරීමට පොහොසත් කිරීමට සිසුන් ඉදිරිපත් වනු දැකීමෙනි. ඔවුන්ගෙන් ඉගෙනීමට අවස්ථාව තමන් ලැබීමෙනි.

ඒ නිසා ම මේ සිහින ගුරුවරයා දරුවන්ගෙන් අන්ධ කීකරු බවක් ඉල්ලා නොසිටී. ඒ වෙනුවට ඇතැම් තැනක අකීකරු වීම, කීකරු වීමට වඩා යහපත් යැයි දරුවන්ට ඉගැන්වේ. අහිංසක අංගුලිමාල වූයේ ගුරුවරයෙකුට විමසීමකින් තොරව කීකරු වීමේ වරද නිසා බව ඇය විසින් පසක් කර ගෙන තිබේ. ඒ නිසා හැම දෙයක් ම ප්‍රශ්න කිරීමට වැඩිහිටියන්ගේ උපදෙස් පවා ප්‍රශ්න කිරීමට ළමයාට ඇති අයිතිය ඇය අවධාරණය කරන්නී ය. ළමා අපචාර වැඩි හරියක් සිදු වන්නේ ළමුන්ට ආසන්න වැඩිහිටියෙකුගෙන් බව ඇය දනී. ඒවායින් ආරක්ෂා වීමට හොඳ ක්‍රමය නොමනා දෙයට අකීකරු වීම බව ඇය පෙන්නුම් කර දෙයි.

නිවැරදි දේ සොයා යාම

ඒ සමාන අවධාරණයකින් එවැනි ගුරුවරයෙකු – ගුරුවරියකු පැරණි විශ්වාසයන් පවා ඒ ලෙස පිළි ගන්නේ නැතිව ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි. නව දේ ඉදිරියට එන්නේ යල් පැන ගිය පැරණි දෙය විස්ථාපනය කිරීමෙන් බව ඒ ගුරුවරයා නැවත නැවතත් දරුවන්ට පෙන්වා දෙයි. ඒ නිසා ම පැරණි දේ ප්‍රශ්න කළ යුතු බවත් නව දේ සොයා යා යුතු බවත් ඔහු- ඇය කියයි.

බහුතරයේ මතය හැමවිටම නිවැරදි මතය නොවන බවත් වසර දහස් ගණනක් පැරණි වූ පලියට යමක් නිවැරදි නොවන බවත් එවන් ගුරුවරයෙකු පෙන්වා දෙයි. යම් දෙයක් පිළිබඳව ඇලීමෙන් ගැටීමෙන් තොරව ස්වාධීනව බැලීමේ අවශ්‍යතාව උදාහරණ දක්වමින් ඔහු පෙන්වයි. අපේ කෙනෙක් කළ විට යමක් හරි වන්නටත් ඒ දෙය ම වෙනත් කෙනෙක් කළ විට වැරදි වන්නටත් විදිහක් නැති බව ඔහු පෙන්වා දෙයි. ආලයෙන් හෝ ද්වේශයෙන් තොරව ප්‍රශ්නයක බාහිර පාර්ශවකරුවෙකු විදියට බලන විට එය වඩා හොඳින් තේරුම් ගත හැකි බව ඔහු තවදුරටත් අවධාරණය කරයි.

ජාති, ආගම්, කුල මල හා පන්ති හේද ඉවත දමමින් ද පිරිමි, ගැහැණු, සමලිංගික, විෂම ලිංගික වැනි භේද ද ඉවතලමින් ද මිනිසුන් දෙස මිනිසුන් හැටියට බලන්නට ළමයින් පෙළඹවීමට අපේ සිහින ගුරුවරයා කටයුතු කරයි. වෙනස්කම් පසෙකලා මිනිසුන්ට මිනිසුන් හැටියට ගරු කරන්නට ළමුන්ට ආත්ම ශක්තියක් එයින් ලැබේ යැයි ඇය විශ්වාස කරන්නී ය. ඒ නිසා ම ගැටුම් අවම ලෝකයක් බිහිවෙනු දැක්ම මේ සිහින ගුරුවරයාගේ පැතුම ය.

මෙවැනි සිහින ගුරුවරුන් නිසා දරුවන් ප්‍රීතිමත්ව ද ශක්තිමත් ව ද අභිමානයෙන් යුතු ව ද වැඩෙන අතර ඔවුන් වඩා ප්‍රයෝජනවත් පුරවැසියන් බව ට ද පත්වනු ඇත. අවසානයේ එයින් රටත් සමාජයත් බැබළෙනු ඇත. රටේ පුරවැසියන් සාමයෙන් සැනසුමෙන් ජීවත් වනු ඇත.

එවැනි ගුරුවරයෙකු උදෙසා නිබ්බුත පද ගැයීමට සැවොම ඉදිරිපත් වනු ඇත.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *