රෝහින්ගයා වවාන කෑම – බණ්ඩාර උඩුරාවණ

මියන්මාරයේ රබින් පාළාතේ වෙසෙන රෝහින්ගයා ජනතාව සැලකියයුතු වන්නේ රටක් අහිමි ජනකොටසක් වශයෙනි. ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස පිළිගැනීමට මියන්මාරය සූදානම් නොමැති බැවිනි. රෝහින්ගයා ජනතාව මුස්ලිම් පිරිසකි. ඔවුන්ට එරෙහිව මියන්මා‍රයේ ඇතිව ඇති ගැටුම මේ වන විට ලෝක අවධානයට ලක් වී තිබේ. මියන්මාර් නායිකා ආවුසාන් සුකී ගේ නොබෙල් සාම ත්‍යාගය පවා අහිමිවේද යන මට්ටමට ඒ ගැටලුව උත්සන්න වී තිබේ. රෝහින්ගයාවරුනට එරෙහිව හමුදාවෙන් එල්ලවන ප්‍රහාර පිළිගැනීමට ආවුන්සාන් සුකී සුදානම් නැත. නමුත් ලෝක මතය වී ඇත්තේ ඇයට හමුදාව පාලනය කරගත නොහැකි බවයි. අවුන්සාන් සුකී ඉක්මවා එරට හමුදාව බලවත් වී ඇති සැටියකි.

අගෝස්තු 25 ගැටුම් ආරම්භ වූ පසුව බංගලිදේශයට 4‍80,000ක රෝහින්ගයා පිරිසක් සංක්‍රමණය වී ඇති බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ප්‍රධානී ෆිල්පෝ ග්‍රැන්ඩ් ද ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන ලෙස මියන්මාර් බලධාරින්ගෙන් ඉල්ලා තිබුණි.

ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ලක්වීම හේතුවෙන් රෝහින්ගයා ජනතාව බෝට්ටු මගින් වෙනත් රටවලට පැනයාමට උත්සාහ දරති. ග්‍රැන්ඩ් පවසන පරිදි රෝහින්ගයා අනාථයින් 300,000ක් ඇතුළුව 700,000ක් 800,000ක් අතර අනාථ පිරිසක් බංගලිදේශයේ සනීපාරක්ෂක පහසුකම් පවා නොමැතිව අනාථ කඳවුරුවල ගාල් වී සිටිති. සහනධාර බෙදා දෙනවිට පොරකා මියයන තරමට ඒවාහි තදබදය උග්‍රය. සරණගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී පවසන ආකාරයට කඳවුරු තුළ වසංගත පැතිර යාමට ඇති අවධානම බහුලය.

පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී ප්‍රහාරයකට ලක්වූයේ එසේ බෝට්ටුවලින් පලායාමට උත්සාහ කරන අතර මුහුදේදී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වී රඳවා සිටි පිරිසකි. වසර හතරක් ඉන්දියාවේ ජීවත් වී ඇති මේ පිරිස පසුගිය අප්‍රියෙල් මාසයේ නීති විරෝධීව ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ඇත. නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසුව නීත්‍යානුකූලව සහ පිළිගත් ක්‍රමවේද අනුව කටයුතු කෙරුණු බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා තිබුණි.

සරණාගතයන් පිළිබඳ ගැටළුවේදී රජය කිසි විටෙකත් පවතින නීති රාමුවෙන් සහ නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු නොකරන බවද ඒ මහතා ප්‍රකාශකර තිබුණි. කිසිදු සරණාගතයකුට මෙරට පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීමට තීරණය කර නොමැති බවද අමාත්‍යාංශ ලේකම් වරයා අවධාරණය කර තිබුණි.

මෙරට නීතිය අනුව විදේශීකයකුට මෙරට පුරවැසිභාවය ලබා දීමට ඉඩ ඇත්තේ ද නැත. ඒ 1948 අංක 20 දරණ ආගමික විගාමික පනත හේතුවෙනි. ස්ථිර පුරවැසිභාවය හෝ PR යනුවෙන් හැදින්වෙන තත්ත්වය විදේශිකයකුට ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් සරණාගතයන් බාර ගැනීමට ලංකාවට හැකියාවක්ද නැත. සරණාගතයන් බාරගන්නා ලෙස හෝ ස්ථිර පුරවැසිභාවය ලබාදෙන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටීමට එක්සත්ජාතීන්ගේ සංවිධානයට පවා හැකියාවක් ද නැත. ලංකිකයෙකු සමග විවාහ වන වි‍දේශික කාන්තාවකට පවා මෙරට පුරවැසිභාවය ලැබෙන්නේ නැත. එවැනි කාන්තාවකට පවා හිමිවන්නේ කාලථයාගේ වීසා බලපත්‍රය පමණි.

ගල්කිස්සේ රඳවා සිටි රෝහින්ගයා පිරිස පිළිබඳ සඳහන් කරමින් ඇතැමුන් පවසා තිබුණේ ඔවුන් මෙරටට බරක් වීමට ඉඩ ඇති බවය. එම පිරිස අතර ත්‍රස්තවාදීන් සිටියහැකි බවද සමහරු කීහ.

ත්‍රස්තවාදින් නම් අඹුදරුවන් සම්‍ග බෝට්ටුවල නැගී එන්නේ නැත. ඔවුන්ගේ ගමනේ විලාසය අනුව පැහැදිලි වන්නේ ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් මිදී සරණ පතා පලායන පිරිසක් බවය. ලංකාවේ දැන් සිටින මියන්මාර් පිරිස 30 කි. ඉන් 14ක් වැඩිහිටියන්ය. ඉතිරි පිරිස දරුවන්ය. ලංකාවේ දී එක් දරුවෙකු ඉපදී තිබේ. තත්ත්වය එසේ නම් අඩුම තරමින් ගල්කිස්සේ සිටි පිරිසවත් ත්‍රස්තවාදීන් නොවන බව පැහැදිලිය. මෙහිදී උපන් දරුවාට හෝ මෙරට පුරවැසිභාවය ලබාදීමට නීතියෙන් ඉඩක් ද නැත. රෝහින්ගයා ජනතාව මෙරටට බරක් වනු ඇතැයි පවසන පිරිසට හොඳම පිළිතුර මෙරට දී උපත ලද මියන්මාර් දරුවාය. ඒ දරුවාට පවා මෙරට පුරවැසිභාවයට අවසර නැතිනම් අන් අය ගැන කතා කිරීමද තේරුමක් නැත.

ජාත්‍යන්තර නීතිය අනුව මේ පිරිස මෙරට රැඳී සිට ඇත්තේ එක්සත් ජාතින්ගේ රැකවරණ යටතේය. ඔවුන්ගේ සියලුම අවශ්‍යතා එනම්, ආහාරපාන, ඇඳුම් ආදිය පවා සපයා ඇත්තේ එක්සත් ජාතින් ගේ සංවිධානය විසිනි. දරුවන්ට අවශ්‍ය පෑන පැන්සල, සේල්ලම්බඩු පවා ලබා දෙනුයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින්ම ය.

එකී සරණාගතයන් මෙරට තුළ දිගටම රඳවා ගැනීමට බලාපොරොත්තුවක් එක්සත් ද එක්සත් ජාතින්ට නොමැති බව පැහැදිලිය. ඒ ඔවුනට රැකවරණ සලසා දීමට බටහිර රටවල් කිහිපයක් සමග එක්සත්ජාතින් සාකච්ඡා කරමින් සිටින බැවිනි. මෙයට පෙර එනම් 2012 දී සිදු වූ ආකාරයටම මෙකී සරණාගතයන්ට ද ඇමරිකාව කැනඩාව වැනි සරණාගතයනට රැකවරණ සපයන රටක රැකවරණ හිමිවනු ඇත.

රෝහින්ගයා සරණාගතයින් මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. 2012 දී ද පිරිසක් මෙරටට පැමිණ තිබේ. එක්සත් ජාතින්ගේ භාරයේ තබාගනිමින් ඔවුන් වෙනත් රටකට බාර දෙන තුරු මෙරටෙහි රැඳීසිටියහ. එහෙත් ඒ මොහොතේ කිසිවකු විරෝධය පෑවේ නැත. අද විරෝධයපාන සංවිධාන එදා නොතිබුණා නොවේ. මෙවර විරෝධය පැහැදිලි ලෙසම දේශපාලන උවමනාවන් මත සිදුවූ බොරු රඟපෑමක් ලෙස හැඳුනාගතයුතු වන්නේ එහෙයිනි. පැහැදිලි ලෙසම ඔවුන් දේශපාලන හස්තයකට අනුව නැටවෙන රූකඩ පිරිසකි. එහෙත් ඒ රූකඩ සංදර්ශනයෙන් මෙරට කීර්ති නාමයට සිදු වූ කැළල සුළුපටු නැත.

මුහුදේ පාවි ආ අසරණයෙකුටවත් අනුකම්පා නොකර මිලේච්ඡ ඡාතියක් වෙසෙන රටක් ලෙස පිටරැටියන්ට ලංකා පෙනෙන්නේ නම් පුදුම විය යුතු නැත.

ගල්කිස්සේ සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකු මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කවර තරාතිරමක වුවද උපරිම ‍දඬුවම් පැමිණවීමට වගබලා යුතුය. සිවුරු දරා සිටියද ඔවුන් භික්ෂුන් නොවන බව වටහා ගැනීමට සරණාගතයන් කෙරෙහිත් පොලිසිය කෙරෙහිත් හැසිරුණු ආකාරය වුව ප්‍රමාණවත්ය.

භික්ෂූත්වයට ශාසනයට මුවා වී වරදකරුවන් ආරක්ෂාකරන්නටද පිරිසක් සූදානම්වනවාට සැකයක් නැත. එසේ ඉදිරිපත් වන්නන් ඉදිරියේ කොන්ද කෙළින් තබා ගැනීමට ආණ්ඩුවට ශක්තියක් තිබිය යුතුය. දඩ සිඟා වැඩි භික්ෂූන්ට කැළණියේ දී සංග්‍රහ කළ අකාරය වැනි උපක්‍රම එවැනි විරෝධතා මැඬපැවැත්වීමට යොදාගත්තාට පවු සිදුවන්නේ නැත.

බණ්ඩාර උඩුරාවණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *