අතුරුදන් පනත ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත සාර්ථකව නීති ගත කිරීමට නායකත්වය දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ උතුරේ මෙන්ම දකුණේ ද විශාල පිරිසක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වී ඇතැයි ද , ඉන් ලංකාවේ සමාජයට විශාල බලපෑමක් ඇති වීයැයි ද මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසික් සුරැකීමෙහිලා අති විශාල වැදගත්කමකින් යුත් මෙම පනත් කෙටුම්පත අනුමතකර ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව ද එම කොමිසම ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කරවූ පුද්ගලයකු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලැබෙන තෙක් ඔහුට කුමක් සිදුවීදැයි නොදන්නා නිසා මෙය දීර්ඝ කාලීනව සිදුවන අපරාධයක් සේ සලකන බවත්, එනිසා මේ සඳහා ඉදිරිපත් කරන පනතේ ද එය ‘අඛණ්ඩව‘ සිදුවන අපරාධයක් ලෙස සඳහන් කිරීම වඩාත් සුදුසු බවත් කොමිසම ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

පුද්ගලයන් රඳවා තබන ස්ථානයකට යෑමේ බලය මේ වන විටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී ඇති බැවින් එම බලයම අතුරුදන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයට ද ලබා දිය යුතු යැයි ද, මහාධිකරණයට ලැබෙන පැමිණිල්ලක් විමර්ශනය සඳහා අවශ්‍ය නම් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට යොමු කිරීමේ බලය ද පනතට ඇතුළත් කර යුතු යැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති පරිදි අතුරුදන් කිරීමක් ගැන නඩු විභාග කිරීමේ බලය කොළඹ මහාධිකරණයට පමණක් සීමා නොකර එය වරද සිදු කරන ලද ප්‍රදේශයේ මහාධිකරණවලට ලබා දි යුතු බව ද මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ අතර වේ.

ඊට අමතරවව දැනට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බව පෙන්වා දී ඇති කොමිසම ඒ සඳහා එකතු කළ යුතු වගන්ති ද නිර්දේශ කර තිබේ.

lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *