බැසිල්-ගෝඨා විරසකය උග්‍ර වෙයි

 ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇතමුන් ‘අපරාධ’ කළ බව පිළිගනිමින් බැසිල් රාජපක්ෂ මහතා යාපනයේදී කළ කතාව නිසා ඔහු හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර කලක් තිස්සේ පැවැති ආරවුල වඩාත් උත්සන්න වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එකල ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙය සෘජුවම තමන්ට පහරගැසීමක් බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දිගටම කියා සිටියේ තමන් යටතේ සිටි හමුදාව යුද අපරාධ හෝ අපරාධ සිදු නොකළ බවයි. හමුදාව ක්‍රියා කළේ යුද ගැටුමේදී සාමාන්‍ය ජනයාට කිසිදු හානියක් සිදු නොවන ලෙස නැතහොත් පුරවැසිහානි බිංදුවට තබාගෙන බව එකල රජය ප්‍රකාශ කළ කතාවයි. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය මඟින් එම ස්ථාවරයට සෘජු ලෙසම ප්‍රහාර එල්ල වී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා එබඳු ප්‍රකාශයක් සිදු නොකළ බව පොදුජන පක්ෂය නිවේදනයක් මගින් කියා සිටියද ඔහුගේ ප්‍රකාශය ඇතුළත් හඬ පටයක් නිකුත් වී තිබීමෙන් එම ප්‍රකාශය සිදු කළ බව තහවුරු වී ඇත.

රාජපක්ෂ පවුලේ සොහොයුරන් වුවද බැසිල් රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විරසකයක් කලෙක සිට පවතින බව ප්‍රසිද්ධ කරුණකි. බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ වැඩකටයුතු වලට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී නොවූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සංවිධානය කළ ‘වියත් මග’ ට හෝ එය අසාර්ථකවීමෙන් පසුව යළි ආරම්භ කළ ‘එළිය’ වැඩසටහනට හෝ බැසිල් රාජපක්ෂ මහතාගේ සහය ලැබුණේ නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා අණදුන් හමුදාවේ උදවිය අපරාධ සිදු කොට ඇති බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම්ත සමඟ මෙම පැරණි විරසකය වඩාත් බරපතළ අතට හැරී තිබේ.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *