දිනේෂ් ඇන ගනී බැසිල් නා ගනී – භාතිය බරුකන්ද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව දඩමීමා කරගනිමින් දිනේෂ් ගුණවර්ධනලා සිංහල බෞද්ධ ජනතාව කුපිත කරමින් යළිත් රට අවුලට ඇඳ දැමීමට තැත් කරමින් සිටියදී මල්වතු මහා නාහිමියන් දැක්වූ අදහස් රටක් වශයෙන් අප සියලු දෙනාගේ දැඩි විමසුමට ලක්විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ගැන මල්වතු මහා නාහිමියන්ට මුසා බස් කියන්න ගොස් ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇන ගනිද්දී, “හමුදාව අපරාධ කළා” යැයි යාපනයේදී ප්‍රකාශ කළ පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයා වන බැසිල් රාජපක්ෂ නා ගත් බව ජනතාව කියන්නේ කිසියම් හාස්‍යයක් ද සමගිනි. මේ ඒ ගැන විමසා බැලීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව දේශපාලන ගිනි කෙළියක් සඳහා භාවිත කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් සැලසුම් අතේ පත්තු වෙමින් තිබෙන ආකාරයක් මේ වන විට දැකිය හැකිය.

ඒ අතර සිදු වූ ඉතාම වැදගත් සිදුවීම වශයෙන් සැලකිය හැක්කේ පසුගිය 02 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා යැයි කියා ගන්නා දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ථාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මුහුණ දුන් අනපේක්ෂිත තත්ත්වයි.

දිනේෂ් ගුණවර්ධන හදිසියේම මල්වතු මහා නාහිමියන් බැහැදැකීමට ගියේ ඊට දින කිහිපයකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභා ගත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ගැන මහා නාහිමියන්ට ඒකාබද්ධ විපක්ෂයේ මැසිවිලි ඉදිරිපත් කිරීමට වුවත් ඔහු ඉතා පැහැදිලිව එම ගමන මගින් බලාපොරොත්තු වූයේ අතුරු වාර්තාව ගැන සිංහල බෞද්ධයන් ඇවිළිය හැකි ප්‍රකාශයක් මහා නාහිමියන් වෙතින් ලබා ගැනීමට බව පැහැදිලිය.

“මේ ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවය අහෝසි වෙනවා” බුද්ධාගමට ඇති තැන නැති වෙන්න යනවා” යැයි පසුගිය කාලය පුරාම දිනේෂ් ගුණවර්ධන ඇතුළු රාජපක්ෂවාදී ජාතිවාදී නඩය විසින් මතුරමින් සිටින ගොබෙල්ස්වාදී මුසාවාදය කිසිදු චකිතයකින් තොරව නාහිමියන් හමුවේ ඇද බෑ දිනේෂ් ගුණවර්ධනට මල්වතු නාහිමියන් වෙතින් ලැබුණේ ඔහු හෝ රාජපක්ෂ කල්ලිය කිසිදා සිහිනෙන් පවා අපේක්ෂා නොකරන ආකාරයේ පිළිතුරකි.

“නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීයභාවය වගේම බෞද්ධාගමට හිමිතැන සුරක්ෂිත වෙනවා කියලා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රටට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ගැන විශ්වාසය තැබිය හැකියි” මහා නාහිමියේ දිනේෂ් ගුණවර්ධනට ඉතා පැහැදිලිව අවධාරණය කළේ නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවය අහෝසි වන්නේ ඇයි දිනේෂ් ගුණවර්ධන කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

නාහිමියන්ගේ මේ අනපේක්ෂිත පිළිතුරෙන් දිනේෂ් ගුණවර්ධන දැඩි අපහසුතාවකට පත්ව ඉතා අසීරුවෙන් යළිත් එකී කරුණම අවධාරණය කරද්දී මහ නාහිමියේ පවසා සිටියේ, “රටේ බලයේ සිටි ප්‍රධානීන් දෙදෙනා එවැන්නක් සිදු නොවන බව ස්ථිරව ප්‍රකාශ කරද්දී තවත් ප්‍රශ්න කරන්න දෙයක් තිබෙනවාද?” යන්නයි.

දිනේෂ් ගුණවර්ධනලා පසුගිය කාලය පුරාම ප්‍රදර්ශනය කළ දේශපාලන කුහකත්වය හා අවස්ථාවාදී බව මහා නාහිමියන් හමුවේ රටටම හෙළි වූයේ ඊට පසුවය.

“යමක් කරන්න යන සෑම අවස්ථාවකම ඊට විරුද්ධ වන පිරිසක් රටේ ඉන්නවා. බණ්ඩාරනායක – චෙල්වනාගයම් ගිවිසුම අත්සන් කිරීමට ගිය අවස්ථාවේ මේවාගේ විරෝධතා ඇති වුණා. ඒකෙන් සිදු වුණේ රට ආපස්සට යෑම” යැයි මහා නාහිමියෝ තම ස්ථාවරය පැහැදිලි කරමින්ට දිනේෂ් ගුණවර්ධනට කීහ.

මහ නාහිමියන් සහ දිනේෂ් ගුණවර්ධන අතර ඇති වූ මේ සංවාදය එදින රූපවාහිනියෙන් දුටු බොහෝ දෙනෙකු වහා ප්‍රකාශ කළේ “ අද දිනේෂ් ඇනගත්තා නේද ?” යන්නය.

මහා නාහිමියන්ගේ ස්ථාවරය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව දඩමීමා කරගනිමින් දිනේෂ් ගුණවර්ධනලා සිංහල බෞද්ධ ජනතාව කුපිත කරමින් යළිත් රට අවුලට ඇඳ දැමීමට තැත් කරමින් සිටියදී මල්වතු මහා නාහිමියන් දැක්වූ අදහස් රටක් වශයෙන් අප සියලු දෙනාගේ දැඩි විමසුමට ලක්විය යුතුය.

විශේෂයෙන් “යමක් කරන්න යන සෑම අවස්ථාවකම ඊට විරුද්ධ වන පිරිසක් රටේ ඉන්නවා. බණ්ඩාරනායක – චෙල්වනාගයම් ගිවිසුම අත්සන් කිරීමට ගිය අවස්ථාවේ මේවාගේ විරෝධතා ඇති වුණා. ඒකෙන් සිදු වුණේ රට ආපස්සට යෑම” යන්න කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු විය යුතුය.

මන්ද මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ රාජපක්ෂ කල්ලියේ මතය යම් ආකාරයකින් ජයග්‍රහණය කළහොත් හෝ ආණ්ඩුව ඔවුන්ගේ බලපෑම් හමුවේ යම්කිසි ආකාරයක තිගැස්මකට, පසුබෑමකට ලක් වුවහොත් ඉතාම ඛේදනීය ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික ගැටලුව ඇතුළු ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දුව අවසන් අවස්ථාව ඉතාමත් කනගාටුදායක ආකාරයෙන් ගිලිහී යාමට ඉඩ ඇති හෙයිනි.

මේ තත්ත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වචනයෙන්ම උපුටා දක්වන්නේ නම් “මේ කැච් එක අල්ල ගත්තොත් මැච් එක දිනුම්. අත හැරියොත් මැච් එක පරාදයි”. එවිට ඉතා පැහැදැලිවම ජයගනු ඇත්තේ යළිත් වරක් ජාතිවාදය, ආගම්වාදය සහ අවස්ථාවාදය මගින් බලය අල්ලා ගැනීමට කැසකවමින් සිටින රාජපක්ෂ කල්ලිය මිසි වෙන කිසිවෙක් නොවේ.

එරෙහි වීමේ ඉතිහාසය

මහා නාහිමියන් දැඩිව අවධාරණය කළ ආකාරයට ශ්‍රී ලංකාවේ පසුගිය දේශපාලන ඉතිහාසය තුළ දැකිය හැකි ඉතාමත් සුවිශේෂ ලක්ෂණය වන්නේ දේශපාලන බලය වෙනුවෙන් සමස්ත රට, ජාතියම බිල්ලට දීමට අවස්ථාවාදී දේශපාලනඥයන් දක්වන නැඹුරුවය. විශේෂයෙන් මේ තත්ත්වය නිදහසින් පසු ශ්‍රී ලංකාව රටක් වශයන්, ජාතියක් වශයෙන් දැවැන්ත ව්‍යසනයකට මුහුණදීමට පසුබිම සැකසූ “බලය බෙදාහදා ගැනීම” සම්බන්ධයෙන් වඩාත් අදාළ විය.

1956දී “බණ්ඩාරනායක – චෙල්වනායගම්” 1966 දී “ඩඩ්ලි – චෙල්වනායගම්” මෙන්ම 1987 “ඉන්දු – ලංකා ගිවිසුම” 2000 ව්‍යවස්ථාව, 2002 සටන් විරාම ගිවිසුම” ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට තිරසර දේශපාලන විසඳුමක් ලබාදීමට තිබූ සියලුම අවස්ථාව අන්තවාදය සහ අවස්ථාවාදය විසින් පැහැර ගත්තේ මල්වතු මහා නාහිමියන් අවධාරණය කළ ආකාරයට “රට ආපස්සට යෑමට” මං සලසා දෙමින්ය. අද දිනේෂ් ගුණවර්ධනලා මහා සංඝා වහන්සේලා හමුවට යමින් රට අවුළුවන්න පුළුවන් එක වචනයක් හෝ සොයමින් කල් යල් බලන්නේ යළිත් හනුමා සේ රට ගිනි තැබීමට මිස ජනපති-අගමැති ගන්නා සංහිඳියාත්මක ප්‍රවේශයට ශක්තිමයක් වන්නට නම් නොවේ.

දිනේෂ්ලා කියන්නේ ඇත්තද ?

අද දිනේෂ් ගුණවර්ධනලා තේරුම් නොගෙන තිබෙන සත්‍යය වන්නේ මහ නාහිමිවරුන් පමණක් නොව සාමාන්‍ය ජනතාව පවා රාජපක්ෂ යුගයට වඩා දැනුමින් සන්නද්ධ බවය. ඔවුන් වෙත ඉතා පහසුවෙන් තොරතුරු ප්‍රවේශ වන බවය. අනෙක් අතින් ගොබොල්ස්වාදී රාජපක්ෂ කල්ලියට වඩා ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ කියන, කරන දේ ගැන ජනතාව තුළ මෙන්ම මහ නාහිමිවරුන් තුළ ද විශ්වාසයක් තිබෙන බවය.

උදාහරණයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කළ දිනේෂ් ගුණවර්ධන අදාළ අතුරු කමිටු වාර්තාවේ සඳහන් දේ ගැන සත්‍ය තොරතුරු නොදැන සිටින්නට හැකියාවක් නැත. ( ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඔබ ඇතුළු කිහිප දෙනකු ආණ්ඩුක්‍රම වව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවල සාමාජිකත්වය දැරුවා නේද ?” යැයි මහා නාහිමියෝ දිනේෂ් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරන්නේ මේ නිසා විය හැකිය)

අද දිනේෂ් ගුණවර්ධනලාට මහත් ගැටලුවක් වී ඇති රාජ්‍යයේ (ශ්‍රී ලංකාවේ) ඒකීයභාවය ගැන අතුරු වාර්තාවේ ඇති යෝජනා මෙසේය.

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 හා 2 පරිච්ඡේදවලින් ආවරණය වන කරුණු.

1 හා 2 වගන්ති

■ ශ්‍රී ලංකාවේ පරිමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටනු ඇති අතර එය අත්හළ නොහැකි හා බෙදිය නොහැකි වනු ඇත.

■ ශ්‍රී ලංකාව එක් නොබෙදූ සහ බෙදිය නොහැකි රටක් වනු ඇත.

■ රටින් වෙන්වී යාම (රට බෙදීම) වළක්වාලීම සඳහා වන විශේෂ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ඇත.

■ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වනු ඇත.

මෙහිදී ඉහත තත්ත්වයන් හමුවේ මතු වන ගැටලු ගැන ද සඳහනක් අතුරු වාර්තාවේ සඳහන්ය.

ගැටලු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ දකුණේ ජනතාව “පෙඩරල්” නැමති වචනයට බියක් දක්වන්නා සේම උතුරේ ජනතාව “ඒකීය” යන වචනයට බියක් දක්වන බවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු බියක් දැක්විය යුතු ලේඛනයක් නොවේ.

“යුනිටරි ස්ටේට්” (Unitary State)යන ඉංග්‍රීසි පදයේ සම්ප්‍රදායික නිර්වචනය වෙනස්කම්වලට භාජනය වී තිබේ. උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන්ව යා හැකි තත්ත්වයක් වර්තමානය වන විට එක්සත් රාජධානියේ පවතී. එම නිසා “යුනිටරි ස්ටේට්” (Unitary State)යන ඉංග්‍රීසි පදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතයට සුදුසු නොවේ.

“ඒකීය රාජ්‍ය” නැමති සිංහල පදයේ නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් යන්න මනාව විස්තර වේ. මේ හා සමාන දෙමළ පදය වන්නේ “ඔරුමිත්ත නාඩු” යන්නයි.

මේ වාතාවරණය යටතේ පහත දක්වෙන සූත්‍රණය සැලකිල්ලට ගත හැකිය.

ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්තිව වන ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්ත නාඩු වනු ඇත.

මෙම ව්‍යවස්ථාවෙහි ඒකීය රාජ්‍යය/ ඔරුමිත්ත නාඩු යන්නෙන් අදහස් වන්නේ නොබෙදු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාළ තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත.

අද දිනේෂ් ගුණවර්ධනලා “ගොරකා දඩමස් න්‍යාය” භාවිත කරමින් සිංහල බෞද්ධ ජනතාව හමුවේ වසං කරන්න උත්සාහ කරන්නේ ඔහුද සහභාගී වූ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් “ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක්” වනු ඇත යන මේ සඳහනයි. මෙයින් එහා ගිය වෙනත් වචනයක් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී ඊනියා ඒකාබද්ධ විපක්ෂයට තිබේ දැයි ජනතාව දිනේෂ් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළ යුතු වන්නේය.

බුද්ධාගම ගැන කියන බොරු

දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ රාජපක්ෂ කල්ලිය පපුවේ අත තබා දිවුරුමින් කියන්නේ නව ව්‍යවස්ථාවෙන් මේ දක්වා බුද්ධාගම සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථාමය ප්‍රමුඛතාව අහෝසි වන බවයි.

එහෙත් අපට යළිත් අවධාරණය කරන්න සිදුව ඇත්තේ දිනේෂ්ලා මේ ආකාරයෙන් චේතිය බොරු කියමින් රවටන්න උත්සාහ ගන්නේ කවුරුන්ද යන්නයි. බුද්ධාගම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ වන සඳහන වන්නේ,

II පරිච්ඡේදය/9 වගන්තිය

පහත දැක්වෙන සූත්‍රණය සැලකිල්ලට ලක් කළ හැකි වේ.

ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1)වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

හෝ

ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් සියලුම ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සකලමින් හා වෙන් කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයින්ට සහතික කරමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

■මෙවැනි සඳහනක් මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ඉතාම පැහැදිලිව ඇති බව දැන දැනම දිනේෂ් ගුණවර්ධන මල්වතු මහ නාහිමියන් හමුවේ බොරු කියන්නේද, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ කල්ලිය රට වටා යමින්, මාධ්‍ය හමු තියමින් බොරු කියන්නේ ද කෙසේ හෝ, කුමනාකාරයකින් හෝ යළි බලය අත්පත් කොට ගැනීමට ඔවුන් සතුව බොරුවම හැර වෙනත් අවියක් නොමැති නිසා ය.

දෙමළ ජාතික සන්ධානයේ මතය

එල්ටීටීඊය සමූල ඝාතනය කරමින් රට මුදා ගත්තාය කියමින් 2009 මැයි 19 වැනිදා සිට මේ රටේ ජනතාවගේ ඡන්දය ලබාගත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය යළිත් මළ කොටි අවතාරවට පණ දීමට යෑම තුළ ඇත්තේ දේශපාලනය හාස්‍යය නොව අවස්ථාවාදය පමණය. අනෙක් අතින් දමිළ ජනතාවගේ ප්‍රධාන නියෝජනය වශයෙන් සැලකිය හැකි දෙමළ ජාතික සන්ධානය ඉතා පැහැදිලිව ‘නොබෙදුණු රටක්” යන තම ස්ථාවරය දැඩිව අවධාරණය කරද්දී රට බෙදීමක් ගැන සිංහල ජනතාව තුළ භීතියක් ඇති කිරීම ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව සඳහා කිසිසේත් යහපත් වන්නේ නැත. මන්ද දෙමළ ජාතික සන්ධානය ඉතා පැහැදිලිවම අවධාරණය කරමින් සිටින්නේ ‘නොබෙදුණු රටක් තුළ බලය බෙදාහදා ගැනීමට තමන් සූදානම් බවයි. ඒ බව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරමින් මෙවර ද දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර ඇත.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් (සිංහල පරිවර්තනය) ඔවුන් විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ,

1. ශ්‍රී ලංකාව පළාත්/ජනපද ඒකාබද්ධ වූ රාජ්‍යයක් විය යුතුය. එක්සත්/නොබෙදුණු හා නොබෙදිය හැකි රටක් යන රාමුව තුළ ශ්‍රී ලංකාව සන්ධීය රාජ්‍යයක් විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව මධ්‍යම රජය සහ පළාත්/ජනපද සිය ශක්නුවත් ක්ෂේත්‍රය තුළ තමන්ට අනන්‍ය බලතල ව්‍යාපරණය කළ යුතුය.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය ඉතා පැහැදිලිව අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව නොබෙදුණු හා නොබෙදිය හැකි රටක් යන රාමුව තුළ සන්ධීය රටක් විය යුතු බවය. එහි බෙදී වෙන්ව යාමේ හෝ එවැනි කිසිඳු ආකාරයක අනතුරක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට පිරිනමා ඇති ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ එක් අදහසක් වන්නේ (මෙය දකුණේද පවතින අදහසකි)“ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය, යන්නයි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීමට පක්ෂව බහුතරය එකඟවන්නේ නම් එයට අදාළ නියමයන් හා කොන්දේසි නිශ්චිතව දැක්විය යුතුය” යන්න දෙමළ ජාතික සන්ධානයේ ඉතා පැහැදිලි ස්ථාවරයයි.

අප වටහා ගත යුත් සත්‍යය

අද දිනේෂ් ගුණවර්ධනලා, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ කල්ලිය ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් යළිත් මහා නාහිමිවරුන් ඇතුළු සිංහල බෞද්ධයින් මුළා කරමින් රට වළට ඇඳගෙන යාමට කැස කවන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ ඉතාම පැහැදිලි යථාර්ථයක් ජනතාව හමුවේ පවතිද්දීය. අද ඔවුන්ට අවශ්‍යව ඇත්තේ 2005 සිට මේ දක්වා වගා කළ ජාතිවාදයේ, ආගම්වාදයේ අස්වැන්න හැකිතාක් ඉක්මනින් නෙළා ගෙන කඩිනමින් බලය තහවුරු කරගැනීමටය.

එහෙත් පසුගිය දා මල්වතු මහා නාහිමියන් දිනේෂ් ගුණවර්ධනට කළ පැහැදිලි කිරීමෙන් සේම, ජනපති-අගමැති දෙපොළ විසින් දක්වා ඇති දේශපාලන සුජාතභාවය හමුවේද මේ වන විට ඊනියා ඒකාබද්ධයේ මෙන්ම රාජපක්ෂවරුන්ගේ ද සළුපිළි ක්‍රමයෙන් ගැලවෙමින් තිබෙන බවක් මේ වන විට දැකිය හැකි වේ.

ජී.එල්. පීරිස් මහතා විසින් නායකත්වය දරන බව කියන ඊනියා පොහොට්ටු පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ජනහමුවේදී “හමුදා අපරාධ කළ බව” පිළිගනිමින් බැසිල් රාජපක්ෂ කළ කතාව අපට සැලකිය හැක්කේ ජාතිවාදය, ආගම්වාදය සහ අවස්ථාවාදය හමුවේ දකුණේදී ගැලවෙන සළුපිළි වෙනුවට අලුත් තාලයක් වාදනය කරමින් උතුරෙන් රෙදිකඩක් හෝ සොයා ගැනීමේ වෑයමක ඒකාබද්ධ කල්ලිය සහ රාජපක්ෂ පවුල නියැලෙන බවයි.

අද අප හමුවේ පවතින වගකීම වන්නේ ක්‍රමයෙන් නිරුවත් වෙමින් සිටින දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලන අවස්ථාවදීන් සේම ඔවුන්ගේ සෙවණැල්ල යට හැංඟි හැංඟි වෙස් බඳිමින් සිටින ප්‍රධාන නළුවන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට වියතක රෙදිකඩක් හෝ සපයා ගැනීමට කිසිදු ආකාරයක අවස්ථාවක් ලබා නොදීමයි. මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් අවධාරණය කළ ආකාරයට රට ආපස්සට යාම වළකා ගත හැකි වනු ඇත්තේ එවැනි වගකීමක් අප සියලු දෙනා විසින් නොබියව දරන්නේ නම් පමණය.

සටහන – භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *