|

මහින්ද ඥානක්කාගේ පිහිට සොයා යයි

* දුම්කොළ ප්‍රශ්නය ගැන ජනපති යළිත් කියයි
* එජාප ප්‍රශ්න ඉක්මනින් විසඳන්න පොරොන්දුවක්
* වජිරගෙන් රාජ්‍ය සේවයේ බය අරින කතාවක්
* සජිත් අයවැයෙන් වැඩියෙන් ඉල්ලයි

පාසල් දරුවන්ට සෞඛ්‍ය හා පුද්ගල රක්ෂණාවරණයක් පිරිනැමීමේ වැඩසටහන පසුගියදා ක්‍රියාවට නැගුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වුණා. එයට අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඇමැති කබිර් හෂීම්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති රාධා ක්‍රිෂ්ණන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා.

සුරක්ෂා නමින් හඳුන්වනු ලබන මෙම රක්ෂණාවරණය මඟින් හතළිස් ලක්ෂයක් වන මෙරට පාසල් ළමයින්ට රෝගාබාධවලදී හා හදිසි අනතුරුවලදී රෝහල් ගාස්තු හා වන්දි පිරිනැමීමට කටයුතු කොට තිබෙනවා. එමෙන්ම මාපියන් හෝ භාරකරුවන් මියගියවිට වන්දි ලබාදීමට හා දරුවාගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාමට ආධාර දීමද මෙමගින් සිදුවනවා. හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා වැනි අවස්ථා සඳහා ඉහළම වන්දි හා රෝහල් ගාස්තු හිමිවනවා. මෙය මෙරට පාසල් දරුවන්ගේ සුරක්ෂිතතාව සඳහා ගත් දැවැන්ත පියවරක්. අධ්‍යාපන අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්වයි.

එම අවස්ථාවට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ ‍කළේ රටක දියුණුව සඳහා කළ හැකි හා කළ යුතු දිගුකාලීන ප්‍රමුඛතාව හා වැදගත්ම ආයෝජනය වන්නේ අධ්‍යාපනය සඳහා ආයෝජනය බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ක්‍රියාවට නගන ලද සුරක්ෂා රක්ෂණාවරණ ක්‍රමය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක්වුණා. “සදා සුරකිමු දැයේ දරුවන්” රක්ෂණාවරණ ක්‍රමය නිල වශයෙන් ආරම්භ කරමින් සිසුවියකට රක්ෂණයක් පිරිනැමීමද මෙහිදී ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතින් සිදුවුණා.

ලෝක ළමා දිනය වෙනුවෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකටද ජනාධිපතිතුමා එක්වුණා. වැඩසටහන ආරම්භ කොට තිබුණේ කොළඹ ආනන්ද විද්‍යාලයත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයත් එක්වයි.

එහිදි කතා කළ ජනාධිපතිතුමා කීවේ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ව්‍යාපාරවල නායකත්වය ගැනීමට දරුවන් ඉදිරියට ආ යුතු බවයි. නිවසේ වූවද මත්ද්‍රව්‍ය භාවිත ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගැන ක්‍රියා කරන ලෙස ජනාධිපතිතුමා පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක් කළා.

තමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී දුම්කොළ සමාගමෙන් සිදුවූ හිරිහැර ගැනද ජනාධිපතිතුමා කතා කළා. මෙරට ඇත්තේ බ්‍රිතාන්‍ය අමෙරිකානු දුම්කොළ සමාගමක් වූවත් එය නම්කොට ඇත්තේ ලංකා දුම්කොළ සමාගම ලෙස බවද ජනාධිපතිතුමා කීවා. 2020 න් පසුව මෙරට දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

අපරාධයක් සිදුවන බොහෝ අවස්ථාවලදී අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කොට සිටි බවත්, මෑතකදී නඩු තීන්දුව දුන් විද්‍යා ඝාතනයේදීත් ඊට පෙර සිදුවූ එබඳු සිදුවීම්වලදීත් මෙම තත්ත්වය පැහැදිලි වූ බවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වී වසර හැත්තෑවක් සැමරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පසුගිය අඟහරුවාදා පවැත්වුණා. සාර්ක් කලාපයේ රටවල පාර්ලිමේන්තු කතානායකවරුන්, නියෝජ්‍ය කතානායකවරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙම අවස්ථාවට එක්වූ ජනාධිපතිතුමා කීවේ මහජන අයිතීන් රැකීමට මෙරට පාර්ලිමේන්තුව ශක්තිමත්ව නැගී සිටි බවයි. විධායක ජනාධිපති ක්‍රමය නිසා මෙරට පාර්ලිමේන්තු බලය තරමක් හෑල්ලු වූ බව කී ජනාධිපතිතුමා එය වෙනස් කිරීමට දැන් කටයුතු සිදුවී තිබෙන බවද කීවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරමින් බලය බෙදන ඒකීය රටක් ගොඩනැගීම තම අපේක්ෂාව බව කී ජනාධිපතිතුමා ඒ සඳහා ශක්තිමත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවයද පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තය ගත කළේ අනුරාධපුර සහ පො‍‍‍ළොන්නරුව ප්‍රදේශවල. සෙනසුරාදා උදේ තලාව සහ හවස කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවලට අගමැතිවරයා එක් වුණා. වසර ගණනාවක් තිස්සේ විපක්ෂයේ සිටිමින් ගැහැට විඳි එක්සත් ජාතික පාක්ෂිකයින්ට තමන්ගේ ආණ්ඩුවක් ලැබිලත් සිය ප්‍රශ්න නොවිසඳුණු නිසා සමහර පාක්ෂිකයින්ට යම් පසුතැවිල්ලක් ඇති බව පෙනෙන්නට තිබුණා. එම රැස්වීම් අමතමින් අගමැතිවරයා සහ මහ ලේකම්වරයා පැවසුවේ සිය පාක්ෂිකයින්ගේ ප්‍රශ්න ඉක්මනින්ම විසඳන බවයි.

සෙනසුරාදා හවස අගමැති වික්‍රමසිංහ මහතා අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් හමු වී සුවදුක් විමසා ශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගි වි ආශිර්වාද ලබා ගත්තා. ඉන්පසුව අනුරාධපුර සාරානන්ද පිරිවෙනට ගොස් ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ සුවදුක් ද විමසුවා.

ඉරිදා පක්ෂ ක්‍රියාකාරි හමුව පැවතියේ හිඟුරක්ගොඩයි. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සිඩ්නි ජයරත්න මහතා හමුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ධූරයට පත් කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයින් ජිවිත පරදුවට තබමින් සිය ගෙවල් දොරවල් ගැන නොබලා වැඩ කළත් තම පාක්ෂිකයින්ගේ ප්‍රශ්න සියල්ල පක්ෂය කරමත පැටවී ඇති බවට නෝක්කඩුවක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් පසුගිය රජය සමයේ වධ හිංසාවලට මුහුණ දුන් තම පාක්ෂිකයින්ට ‍පසුගිය වසර දෙකහමාර තුළ නිදහසේ හුස්ම ගැනිමට ලැබීම ගැන ඔහු සතුට පළ කළා.

රජයේ ජනතාවාදි ජන මෙහෙවරක් වන දැයේ දූදරුවන් උදෙසා පිරිනැමෙන සුරක්ෂා රක්ෂණ වැඩ සටහන එළි දැක්විමේ සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. පාසල් දරුවන්ගේ මෙම රක්ෂණ ආවරණය සඳහා රජය වසරකට මිලියන 2900 ක් වෙන් කරන බව කී අගමැතිවරයා රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිමට ගත් පියවර නිසා මෙම මුදල් වෙන් කිරීමට හැකි වු බව පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයාත් තමාත් අධ්‍යාපනය ලබා ඇත්තේ නිදහස් අධ්‍යාපනය හරහා බව කී අගමැතිවරයා එය ආරක්ෂා කිරීම දෙදෙනාගේම යුතුකමක් බව පෙන්වා දුන්නා. දරුවෙක් පාසලට ඇතුළත් විමේ සිට ඉන් ඉවත් වී රැකියාවක් ලබා ගැනිම දක්වාත් අවශ්‍ය සියලුම වැඩ කටයුතු රජය යටතේ සිදු කරන බවට අගමැතිවරයා එහිදි පොරොන්දුවක් දුන්නා.

අගමැතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ අලුයම ජර්මනිය බලා පිටත් වූ අතර එම සංචාරයෙන් පසුව 09 දා නිල සංචාරයක් සඳහා ෆින්ලන්තය බලා යෑමට නියමිතයි. එහිදි ෆින්ලන්ත අගමැති යුහා සිපිලර් මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

ලෝක ජනාවාස දිනය යෙදී තිබුණු ඔක්තෝබර් 02වන සඳුදා එම නිල උත්සවයට පෙර බෙලිඅත්ත මෝදරවාන පවුල් 480කට පානීය ජලය සැපයීම සඳහා රුපියල් ලක්ෂ 32 වියදමින් තැනෙන ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ වැඩ ඇරඹීම සඳහා එහි ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා දුටුවේ උත්සවය පැවැත්වෙන ස්ථානයේ සවිකර තිබූ තමන්ගේ සහ අගමැතිවරයාගේ රුපවල හිස් කොටස් කඩා දමා ඇති බවයි.

මාතර පැවැත්වෙන ජනාවාස දින උත්සවයට ඒමට මදක් ප්‍රමාද විය හැකි බව මංගල සමරවීර ඇමැතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන් සජිත් ඇසුවේ අපි කොහෙදිද හමුවන්නේ කියාය.“අපේ ගෙදරට එන්න “ මංගල කියද්දී සජිත් කීවේ “මාත් එක්ක බුද්ධිකත් ඉන්නවා කියාය “ එවර මංගල කීවේ අපේ ගෙදර බුද්ධික ඕනැ තරම් ඇවිත් තියෙනවා එයත් එක්කම එන්න“ කියාය ඒ අනුව සජිත් බුද්ධිකද සමග මංගලගේ නිවසට ගියා.නිවසේ තිබු මංගලගේ පියා වන මහානාම සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ඡායාරූප පෙන්වමින් මංගල ඒවා ගැන විස්තර කළා.උත්සවයට සජිත් , මංගල සහ බුද්ධික ගියේ එකම ජීප් රථයේ. උත්සව භූමියට ඒ වන විටත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයාද පැමිණ සිටියා. උත්සවයේදී පවුල් 1500කට රුපියල් ලක්ෂ 1605ක ප්‍රතිලාභ හිමිකර දෙද්දී මංගල කීවේ “මේ වගේ සහන තොගයක් මාතරට ලැබුණමයි“ කියා සජිත් සිය කතාවේදී කීවේ “ඔබතුමා අය වැය කතාව කරගෙන යනකොට නිවාස අමාත්‍යාංශයට ලොකුම හැන්දෙන් බෙදන්න ඕනෑ කියා.

පසුගිය බ්‍රහස්පතින් දා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් හමුවීමට එහි ගියා. මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ද සහභාගී වූ අමාත්‍යවරයා ඉන් අනතුරුව පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් මියන්මාරයෙන් සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට යමින් සිටිය දී අත්අඩංගුවට පත්ව රඳවා සිටින සරණාගතයන් සම්බන්ධ සිද්ධියේ දී බෞද්ධයන් අබෞද්ධයන් ලෙස කටයුතු කළේ යැයි කීවා. ඉන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ නිලධාරී හමුව පැවැත්වුණා. එහි දී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඔවුන් හමුවේ මෙසේ කීවා.

”රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දෙනවානම් දෙන්න පුළුවන් වෙන්නේ ආයතන සංග්‍රහය අනුව පමණයි. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. අපරාධයක් කළොත් විතරයි වෙනත් නීති බලපාන්නේ. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් තමන් අමාරුවේ වැටේවි කියා හිතලා බය වෙන්න එපා.”

එදින ම සවස වජිර අබේවර්ධන අමාත්‍යවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මා හිමියන් බැහැ දුටුවා. එහි දී මල්වතු හිමියන් ප්‍රාදේශීය සංවර්ධනය ගැන අමාත්‍යවරයා විසින් අවධානය යොමු කර තිබීම ගැන ප්‍රශංසා කළ අතරම ඇතැම් ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරයකු නොසිටීම ගැන සිය කණගාටුව ප්‍රකාශ කළා.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී යළි කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීමත් සමග මේ ගැටලුව මතු නොවන බවයි. එවිට කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු බිහිවන බව ද අමාත්‍යවරයා පැවසුවා.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය පවා ඇතැම් අවස්ථාවල දී තොරතුරු වැරදියට වාර්තා කරන බවත් 1978 ව්‍යවස්ථාවෙන් මනාප ක්‍රමය ස්ථාපිත කරපු බවට ගෙනයන ප්‍රචාරය ද එවැන්නක් බවත් මනාප ක්‍රමය ඇති කළේ ඉන් පසුව ව්‍යවස්ථා සංශෝධනයකින් බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහ නා හිමියන්ට කීවා.

එදින සවස ම අමාත්‍යවරයා නුවරඑළිය බලා පිටත්වූයේ පසු දා නුවරඑළියේ පැවැති නිලධාරී හමුවට එක්වීමේ අපේක්ෂාවෙන්. එහි ගිය අමාත්‍ය වජිර අබේවර්ධන රාජ්‍ය සේවය පිළිබඳවත් රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිවීම පිළිබඳවත් දීර්ඝ විස්තරයක් කළේ තමන් කියන දේ බොරුවක් යැයි කවරකු හෝ සනාථ කරන්නේ නම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ද කියමිනි.

”මේ රජය තරම් පඩි වැඩි කරපු වෙනත් කිසිම රජයක් මේ රටේ තිබුණේ නැහැ. අපි 2015 රජය පිහිටුවන විට වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 42,000යි. දැන් ඒ පඩිය අවස්ථා තුනක දී වැඩි වෙලා තියෙනවා. 2020 වනවිට මේ මූලික වැටුප රුපියල් 125,000 දක්වා වැඩි වෙනවා. කැමැත්තෙන් විශ්‍රාම යවන්න චක්‍රලේඛයක් ගෙනාවොත් කිසිම රජයේ සේවකයෙක් විශ්‍රාම යන්නේ නැහැ. පඩි වැඩිවෙනකන් බලාගෙන ඉන්නවා. ඒත් ඒ අය 2020 පඩියත් අරගෙන කැමැත්තෙන් විශ්‍රාම යාවි.”

සෙනසුරාදා අමාත්‍ය වජිර අබේවර්ධන මන්නාරමට ගියේ නිල මෙහෙවර වැඩසටහනට සහභාගී වීමේ අපේක්ෂාවෙනි. එම වැඩසටහන අවසන් කළ අමාත්‍යවරයා මන්නාරම අගරදගුරු තුමා හමුවූණා. රටේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අගරදගුරුතුමා සමග සාකච්ඡාකළ ඇමතිවරයා පිටත්ව යාමට පැමිණෙන විට තවත් සුවිශේෂී පුද්ගලයකු අගරදගුරුතුමා හමුවීමට පැමිණියා. ඒ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාය. සම්බන්ධන් මහතා සමග කෙටි පිළිසඳරක යෙදුණු අමාත්‍ය වජිර අබේවර්ධන කොළඹ එන අතරතුර මඩු පල්ලියට ගොස් එහි පියතුමා හමුවීමට ද අමතක කළේ නැහැ.

අඟහරුවාදා කැබිනට් රැස්වීම අවසන් වී ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් සංස්කෘතික ඇමති එස්.බී.නාවින්න මහතාත් සමග ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාත් එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකුත් ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට එක්වූණා. මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ 2018 වර්ෂයේ පැවැත්වීමට නියමිත 70 වැනි නිදහස් සමරු උත්සවයේ සංවිධාන කටයුතු මෙහෙයවීමයි. එය මෙතෙක් පැවැති සම්ප්‍රදායික උත්සව රටාවෙන් මිදුණු අතීත ශ්‍රී විභූතිය මෙන් ම අනාගත සංවර්ධන කාර්යයන් පිළිබඳව ද නිරූපනය වන ආකාරයේ උත්සවයක් විය යුතුය යන්න අමාත්‍යවරුන්ගේ අදහස වුණා.

ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය හෙවත් පොහොට්ටු පක්ෂයේ නිල නොවන නායකයා ලෙස ක්‍රියාකරන බැසිල් රාජපක්ෂ මහතා සති අන්තයේ යාපනයේ කළ සංචාරය ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකට හේතු වුණා. බැසිල්ගේ මෙම සංචාරයේ අරමුණ වූයේ පොහොට්ටු පක්ෂයේ යාපනයේ ශාඛාව ගොඩනගා ගැනීමයි.

සෙනසුරාදා නල්ලුර් බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා එහිදී පිළිගනු ලැබුවේ මහින්ද රාජපක්ෂපාලන සමයේ ‘උතුරු වසන්තය’ වැඩ පිළිවෙළේ ව්‍යාපාරික කටයුතු හා සැපයුම් කටයුතු සිදු කළ කණ්ඩායමක් විසින් පිළිගනු ලැබුවා. නල්ලුර් කෝවිලට ගොස් පුද පූජා පැවැත්වීමට බැසිල් රාජපක්ෂමහතා සමග මෙම පිරිසද එක්වූවා. කෝවිලට ඇතුළුවීමට උඩුකය නිරුවත් කළ විට බැසිල් රාජපක්ෂ මහතා එම ප්‍රදේශයේම ශාලාවක පොදු ජන පක්ෂයේ ආධාරකරුවන් හමු වුණා. එයට පැමිණ සිටි පිරිසද “උතුරු වසන්තය’ ට විවිධ ආකාරයෙන් සම්බන්ධ වී සිටි උදවිය බව පෙනෙන්නට තිබුණා. තමන් උතුරු සංවර්ධනයට ක්‍රියා කළ බව බැසිල් එහිදී කීවා.

ඉරිදා සවස යාපනයේදී බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් පිරිසක් හමුවුණා. එහිදී එක් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ මහතා අණදුන් හමුදාව අපරාධ කළ බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙනි. එයට බැසිල් උත්තර දුන්නේ මේ ගැන කතා කරන්න තමන් අකමැති බවද කියමින්. හමුදාව ‘යුද අපරාධ’ නොකළ නමුත් ‘අපරාධ’ කළ බවත් එය යුද්ධයෙන් පසුවද සිදු වූ බවත් බැසිල් ප්‍රකාශ කළා. යුද හමුදාවට නායකත්වය දුන් හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා ඒ ගැන ප්‍රකාශ කිරීම වැරදි බවද බැසිල් කීවා.

හමුදාව පදිංචිව සිටින උතුරේ ජනයාගේ ඉඩම් ආපසු දිය යුතු බවත් අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නයට ඉක්මන් මානුෂීය විසඳුම් අවශ්‍ය බවත් බැසිල් ප්‍රකාශ කළා. ආන්දෝලනාත්මක ප්‍රකාශ වූ මෙම අදහස් දකුණේ දේශපාලනයටද දැනෙන්නට වුණා. ඒකාබද්ධ විපක්ෂය කලබල වී මෙම කතාව බොරුවක් බව කීවද බැසිල්ගේ කතාවේ හඬ පටය අන්තර්ජාලයට එක්කොට තිබීම නිසා වෙනත් කතා නිෂේධ වුණා. මෙයින් ඒකාබද්ධ විපක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල සිටින්නේ තම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නැවත සලකා බලමින් දවදත් ජෝතිෂය හා ශාස්ත්‍රකරුවන් ගැන විශ්වාස තබමින් දේශපාලන සැලසුම් හදන රාජපක්ෂ මහතා පසුගියදා අනුරාධපුර ගියේ දැන් ප්‍රසිද්ධියට පත්වී සිටින ඥානක්කා නැමැති මෑණියන් හමුවී තම අනාගතය දැනගැනීමට හා ආශිර්වාද ලබා ගැනීමටයි. සුප්‍රසිද්ධ බස් සමාගමක හිමිකරුවකුගේ නිවසේ දිනක් නැවතී සිටිමින් රාජපක්ෂ මහතා ඥානක්කාගේ උපදෙස් අනුව පුද පූජා කරමින් ආශිර්වාද ලබා ගත්තා.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *