|

බැසිල්ට දිව දෙකයි – සී. ජේ. අමරතුංග

 යුද සමයේ මෙන්ම ඉන් පසුවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ ඇතැම් නිලධාරීන් ‘අපරාධ’ කළ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා යාපනයේදී ප්‍රකාශ කළ බව වාර්තා වීය. ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ යාපනය ශාඛාව පිහිටුවීමේ රැස්වීමකින් පසුව ඒ මහතා මෙම ප්‍රකාශය කළේ යාපනයේ මාධ්‍යවේදීන්ගේ සමාජයේදී මාධ්‍යවේදීන් මුණගැසී කළ සාකච්ඡාවකදීය. බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ හමුදාවේ ඇතැම් නිලධාරීන් අපරාධ කළ බවට හිටපු හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දී ඇත්තේ එබඳු අපරාධ සිදුවූ බව පිළිගනිමිනි. එසේ වුවද ඒවා ‘යුද අපරාධ’ ලෙස නොව ‘අපරාධ’ ලෙස හැඳින්විය හැකි බව ද රාජපක්ෂ මහතා කියා ඇත. සිය සහෝදරයා අණ දුන් හමුදාව අපරාධ කළ බව මෙලෙස පිළිගැනීම යාපනයේ මාධ්‍යවේදීන්ගේ විමතියට හේතු වූ බව ද කියැවේ.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා ඇත්තේ යුද හමුදාව අත්කරගෙන සිටින මහජනයාගේ ඉඩම් සියල්ල නැවත ලබාදිය යුතු බවයි. එමෙන්ම යුද්ධයේදී අතුරුදන් වූ දසදහස් ගණනක් ජනතාව ගැන සොයා බලා කටයුතු කළ යුතු බව ද ඒ මහතා කියා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් දකුණේ ජනයාට කියන කතාවලට සම්පූර්ණයෙන් වෙනස් කතාවක් බැසිල් රාජපක්ෂ මහතා යාපනයේ මාධ්‍යවේදීන් සමඟ කර ඇත්තේ කුමන අරමුණකින්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එය මොවුන්ගේ දෙබිඩි දේශපාලනයේම තව පියවරක් ‍මිස අනෙකක් නොවේ.

දකුණට එකක් උතුරට තව එකක්

රාජපක්ෂවාදීන් දකුණේ කියන්නේ හමුදාවේ කිසිවකු අපරාධ නොකළ බවයි. එමෙන්ම කොටි හිතවාදීන් ජාත්‍යන්තරයේ නඟන එබඳු ඕනෑම චෝදනාවක් අල්ලාගෙන ආණ්ඩුව හමුදාව පාවාදෙන්නට යනවා යැයි කියන්නටද රාජපක්ෂවාදීහු උත්සාහ දරති. එවැනි කිසිවක් සිදු නොවන බව ආණ්ඩුව කෙතෙක් කීවද මොවුන් ඒවා ගණනකට නොගෙන වෙනත් ප්‍රචාර ගෙන යන්නේ දකුණේ ජනතාව අතර දේශපාලන වාසියක් ලබාගැනීමට බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ වුවද යාපනයේදී මොවුන් කරන්නට යන්නේ ඊට ඉඳුරාම වෙනස් දේශපාලනයක් බව බැසිල් රාජපක්ෂ මහතාගේ කතාවෙන් පැහැදිලි වෙයි. කෙසේ වෙතත් එම කතාව දකුණේදී ඔවුන්ටම පාරාවළල්ලක් වන බව පෙනී යන විට සුපුරුදු පරිදි කළේ එම කතාව ප්‍රතික්ෂේප කිරීමය. ඒත් එහි කියා තිබුණේ හමුදාව යුද අපරාධ කළ බව බැසිල් නොකී බවය. යාපනයෙන් වාර්තා වී තිබුණේද යුද අපරාධ කතාවක් නොවේ, බැසිල් කියා ඇත්තේ හමුදාව කළේ යුද අපරාධ නොව අපරාධ බවයි. ඒ දෙක අතර වෙනස ගැන පහදාදීමක් කර තිබුණේ නැත.

හමුදාව අත්පත් කරගත් ඉඩම් ආපසු දීම ගැනත් අතුරුදන් වූවන් ගැන කළ කතාව ගැනත් කිසිවක් පොදුජන පක්ෂයේ ප්‍රති‍ක්ෂේප කිරීමේ නිවේදනයෙහි නැත. එයට හේතුව වන්නට ඇත්තේ යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ කළ ප්‍රකාශය එහෙම පහසුවෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා විය හැකිය. ඒ සමඟම උත්සාහ කරන්නේ උතුරේදී බැසිල් දකුණේ මහින්දවාදීන්ගේ මතයට එරෙහිව කතා කළ බව සැඟවීමටය. දෙබිඩි දේශපාලනයකින් දෙපැත්ත රැවටීමේ උත්සාහය දිගටම ක්‍රියාත්මක කරන්නටය. එසේ වුවද බැසිල් යාපනයේ කළ කතාවේ හඩ පටයක් ප්‍රචාරය වීම නිසා එම උත්සාහයද අසාර්ථක වී ඇත.

උතුරේ ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක් යුද්ධය පැවති කාලයේ හමුදාවේ ප්‍රයෝජනය සඳහා පවරාගත් බව ඇත්තකි. මේ වන විට ඉන් විශාල ප්‍රමාණයක් ආපසු ලබා දී ඇතත් තවත් ප්‍රමාණයක් තවමත් හමුදාව සතුව ඇත. එම ඉඩම් නැවත ලබාදීම උතුරේ ජනතාවගේ ඉල්ලීමකි. ඔවුන් එසේ ඉල්ලන විට දකුණේ රාජපක්ෂවාදීන් එය අර්ථ දක්වන්නේ හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කරන ඉල්ලීමක් වශයෙනි. ඒ දකුණේ ජනයා කුපිත කරන්නටය. එමඟින් දේශපාලන වාසියක් ලබාගන්නටය.

අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය ද උතුරට තදින්ම බලපාන්නකි. තම දූ දරුවන්ට, සැමියන්ට, බිරියන්ට, මව්පියන්ට සිදුවූ දේ නොදන්නා දසදහස් ගණනක් දෙනා උතුරේ සිටිති. ඔවුනට තම ඥාතියා ගැන කිසිදු තොරතුරක් නැත. ඇතැමෙක් සිතන්නේ ඔවුන් කොතැනක හෝ රඳවාගෙන සිටින බවයි. එවැනි කිසිවකු රඳවාගෙන නැති බව රජය කීවද ඔවුන් විශ්වාස නොකරන්නේ තම ඥාතියා ජීවත්ව සිටිතැයි යන විශ්වාසය බිඳවැටෙන හෙයිනි. මේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට යම් පිළිසරණක් වීමට අතුරුදන්වූවන් සඳහා කාර්යාලයක් හදන විට දකුණේ රාජපක්ෂවාදීන් එය ද බිල්ලෙකු කරන්නට උත්සාහ කළේය. ඔවුන් කීවේ අතුරුදන්වූවන් ගැන සොයන්න අධිකරණයක් හදන්න යන බවය. රණවිරුවන් ජාත්‍යන්තරයට පාවාදෙන්න හොර පාරක් හදන බවය. එහෙම කතා කීවේ ජනතාව අතර බොරු බියක් පතුරුවන්නටය. ඔවුන් කුපිතකොට වාසියක් ගන්නටය. දකුණේ ජනතාව දැන් ඒ කතා විශ්වාස කරන්නේ නැති නිසා ලැබුණු දේශපාලන වාසියක් ද නැත.

‍ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය වීම

රාජපක්ෂවාදී නඩයේ උදවිය දකුණේදී එබඳු කතා කීවද බැසිල් රාජපක්ෂ මහතාට යාපනයේදී එහෙම කතා කියන්නට බැරිය. මහජනයාගේ ඉඩම් දෙන්න කීම හමුදා කඳවුරු ඉවත් කිරීමක් යැයි කියන්නට බැරිය. එසේ ඉල්ලන්නේ බෙදුම්වාදීන් යැයි යාපනයේ මාධ්‍යවේදීන්ට කියන්නට බැරිය. අතුරුදන්වූවන් ගැන සොයන්නේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන්න යැයි කිව්වොත් බැසිල්ගේ පටි රෝල් ය. යාපනයේ සිටින්නේ උතුරේ සිදුවූ දේත් සිදුවන දේත් හොඳින් දන්න පිරිසකි. ඔවුන්ව ගොනාට අන්දන්නට බැසිල්ට බැරිය. එම ජනයා අන්දාගැනීමට බැසිල් හදන්නේ වෙනත් ආකාරයකටය. ඒ එම ජනයා ගැන කිඹුල් කඳුළු හෙළීමෙනි. යාපනයේ මාධ්‍යවේදීන් ඉදිරියේ බැසිල් පෙර කී කතාව කරන්නේ ඒ සඳහාය.

බැසිල් රාජපක්ෂ මහතා යාපනයට යවන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ තමන්ගේ පක්ෂය ගොඩනඟන්නටය. අනාගතයේ යම් දවසක නැවත දේශපාලන බලය ගන්නට හිතනවා නම් යාපනයේ පදනමක් දාගැනීම අවශ්‍යය. රජයේ මුදලින් කප්පම් ගෙවා දෙමළ ජනයාගේ ඡන්ද වර්ජනය කරවන්නට ප්‍රභාකරන් කෙනෙක් දැන් එහි නැත. ඒ නිසා 2005 වැනි වැඩ කරන්නට බැරිය. බිය සැක ආදිය ද දෙමළ ජනතාව වෙතින් තුරන්වෙලාය. දකුණේදී ජනයා බියගන්වා මවන බෙදුම්වාදී බිල්ලා උතුරට වලංගු නැත. එහෙම බිල්ලෙකු නැති බව ඒ ජනතාව දනිති. ඒ නිසා දැන් හදන්නේ අමුතු පොතක් පෙරළන්නටය. හැබැයි උතුරට පොත පෙරළනකොට දකුණේ දේශපාලනයට අර්බුදයකි. ඒකට තවත් කතාවක් කිව යුතුය. එවිට සිදුවන්නේ හතර අතට බොරු කියන්නටය. කිසිදු ලජ්ජාවක් ගෑවිලාවත් නැති රාජපක්ෂ නඩයට එය එතරම්ම අමාරු කාර්යයක් ද නොවේ. අමාරු කාරිය වන්නේ කියන බොරු ඒත්තු ගන්වන්නටය. ඒ දිගින් දිගටම බොරු කියා හසුවී ඇති නිසාය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා මල්වතු මහනාහිමියන් බැහැදකින්නට ගියේ මේ ව්‍යාපෘතියේම තවත් කටයුත්තකටය. ඒ ආණ්ඩුව ගෙන එන නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව නැතිවෙන බවත්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැතිවන බවත් කියන්නටය. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ උදවිය මේ දිනවල වචන හරඹ කරති. මේ වචනය මෙතෙන තිබුණාම මෙහෙම වෙනවා. එයින් මේ මේ ආකාරයට කරුණු සිදු වී ඒකීය බව නැතිවෙනවා. බුද්ධාගමට තැන නැතිවෙනවා යයි කියන්නට වචන හරඹ කරනු මේ දිනවල දැකගත හැකිය.

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් තවමත් ඉදිරිපත් කොට නැත. ඉදිරිපත් කොට තිබෙන්නේ මෙහෙයුම් කමිටු වාර්තාවකි. එය ද ආණ්ඩුවේ එකක් නොවේ, ව්‍යවස්ථා සම්පාදනය සිදුකරන්නේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කරමිනි. මේ ඉදිරිපත් කළේ එයින් සකස් කළ වාර්තාවකි. එහි ඇත්තේ ව්‍යවස්ථාවක් හැදීමට පදනම් කරගන්නා අදහස් ය. ඒකීයභාවය ගැනත් බුද්ධාගමට මුල්තැන දීම ගැනත් එහි පැහැදිලිව සඳහන්ය. මේ එකක්වත් වෙනස් නොකරන බව ජනාධිපතිත්, අගමැතිත් ආණ්ඩුව වෙනුවෙන් ද ප්‍රතිඥා දී ඇත. ඒකාබද්ධ විපක්ෂයට ඒ කිසිවක් වැඩකට නැත. අරක, මේක නැතිවෙනවාය කියන්නට යන්නේ හරියට හොරෙන් කරන්න ගියා වගේය. නව ව්‍යවස්ථාවක් නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් මෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත කරගත යුතු බව මොවුන් නොදන්නවා නොවේ. උත්සාහය වී තිබෙන්නේ කිසිවක් කරන්නට පෙර අවුලක් ඇතිකරන්නටය.

‍මල්වතු පාර්ශ්වයෙන් ලැබුණු උපදේශය

මල්වතු මහ නාහිමියන් හමුවූ දිනේෂ්ට හොඳ පිළිතුරක් ලැබී තිබිණි. ‘ජනපතිගෙයි, අගමැතිගෙයි ප්‍රතිඥා විශ්වාස කරන්න’ යන්න එම පිළිතුරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන කමිටුවේ විපක්ෂයත් ඉන්නවා නේදැයි උන්වහන්සේ විමසා ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට ලජ්ජා හිතෙන ආකාරයටය.

හැමෝටම ලනු දීම මහින්ද රාජපක්ෂ පාලනයේ තිබූ සුවිශේෂ ලක්ෂණයකි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද ඔවුන් කීවේ ඒ අයට ගැළපෙන දේවල්ය. ඉන්දියාවට හා අමෙරිකාවට ද නොයෙක් පොරොන්දු දුන්නේය. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා සමඟ ගිවිසුමක් ද අත්සන් කළේය. ඉන්පසුව ඒ සියල්ල ඉවත දැමුවේ කිසිදු හිරිකිතයක් නැතිවය. ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තරය ඉදිරියේ රට අප්‍රසාදයට පත්වීමයි. රටට තිබූ පිළිගැනීම බින්දුවට වැටීමයි. එසේ වුවත් ඔවුන් බොරු කීමත්, බොරු පොරොන්දු දීමත් නවතා දැමුවේ හෝ අඩු කළේ හෝ නැත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැම පැත්තකටම සිග්නල් දැමූ වාහනයක් වගේ යැයි වරෙක කීවේ විමල් වීරවංශ ය. දැන් ඔහු එක පැත්තක සිග්නල් දැමීම බාරගෙනය. බැසිල් තව පැත්තකටත්, දිනේෂ් තවත් පැත්තකටත් සිග්නල් දමන බව පෙනෙන්නට තිබේ. හොඳින් බැලූ විට පෙනෙන්නේ අටකොණේම සිග්නල් වැඩ කරන බවකි. ආණ්ඩුවේ නොව දැන් විපක්ෂයේ සිටින නිසා වැඩේ තවත් පහසුය. ඒ කිසිදු වගකීමක් නැති නිසාය. තියෙන වගකීමක් වුවත් ගණන් ගන්නේ ද නැති නිසාය.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ කණ්ඩායම මේ මොහොතේ සිටින්නේ සැලකිය යුතු තදියමකය. මේ කණ්ඩායමේ වැඩිදෙනකුට දූෂණ හා අපරාධ නඩු පැවරී ඇත. තවත් අයට නඩු පැවරෙන තත්ත්වයක් ඇත. ඒවා විභාග වූ විට සිදුවන දේ සිතාගත හැකිය. නොයෙක් උප්පරවැට්ටි මඟින් නඩු කල් දාගත්ත ද එයට ද සීමාවක් ඇත. මේවායින් ගැලවිය හැක්කේ යළි බලය ගෙන එම බලය යොදවා අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමෙනි. මේ උත්සාහය ඒකටය. හැම පැත්තටම සිග්නල් දමමින් බොරු කියමින් මේ දඟලන්නේ අනාගතයේ එන විනාශය දන්නා නිසාය.

මෙබඳු කුහක දූෂිත දේශපාලනයක් මෙරටට අවශ්‍ය නැත. අතීතයේ ඉතා විනාශකාරී ලෙස ක්‍රියාත්මක වූ මේ විනාශකාරී දේශපාලනය 2015 ජනවාරි 08 වනදා පරාජය කළේ මේ රටේ ජනතාවයි. එය තනි පක්ෂයක හෝ දෙකක වැඩක් නොවේ, විශාල ජනතාවක් සහභාගි වූ සටනකි. එයට සහභාගි වූවෝ තවම ක්‍රියාත්මකව සිටිති. රාජපක්ෂවාදීන්ගේ විනාශය සහතික වන්නේ එම ජනතා බලවේගයේ ක්‍රියාකාරීත්වයෙනි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *