විද්‍යා ඝාතන නඩුවේ පොදු ජනතා ශක්තිය – අනුර සුරියබණ්ඩාර

යාපනය සිසුවිය විද්‍යා ඝාතනයත් ඝාතකයනට අත් වූ ඉරණමත් මේ වන විට ප්‍රසිද්ධ කාරණයකි. බොහෝ ‍අය අර්ථ දක්වන්නේ එය මෑත යුගයේ අධිකරණ ක්ෂේත්‍රයේ ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි. හේතුව එම ඝාතන නඩුව දේශපාලනයත් මෙරට නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය වන පොලීසියත් බරපතළ ලෙස ප්‍රශ්න කළ සාධකයක් වීමයි. නීතිය දේශපාලනය පමණක් නොව විද්‍යා ඝාතන නඩුවේ දී මේ රටේ සාමාජ චින්තනයේ බංකොලොත් බවත් බරපතළ ලෙස ප්‍රදර්ශනය වූ බව පිළිගත යුතුවේ.

විද්‍යා ඝාතන නඩුවේ මූලික කාරණයක් වූයේ අපරාධකාරයන් බේරා ගැනීමට දේශපාලන හස්තයක මැදිහත්වීමක් සිදු වී ඇති බවය. මෑත ඉතිහා‍සයේ බොහොමයක් අපරාධකරුවන් බේරා ගැනීමට හෝ ‍ඔවුනට නීතියෙන් ගැලවී නිරුපද්‍රිතවීමට දේශපාලන ශක්තිය ඉවහල් වී ඇති ආකාරය පැහැදිලිය. දකුණේදී විදේශික සංචාරකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂ්‍ය කිරීම පිටුපස බලපැවැත් වූ ශක්තිය දේශපාලනයයි. නූරි වතුයායේ වතු අධිකාරිවරයා ඝාතනය කිරීම පිටුපස පැවැති ශක්තිය වූයේ ද දේශපාලනයයි. තාජුදීන්ගේ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදී මේ සියල්ල පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බව නඩු විභාග අනුවත් සාක්ෂි විභාග අනුවත් ඉතා සූක්ෂම ආකාරයෙන් හෙළිදරවු වෙමින් තිබේ.

දෙවැනි කාරණය නීතියේ ක්‍රියාකාරිත්වයේ දෙබිඩි පිළිවෙතයි. එනම් සාමාන්‍ය මිනිසකු අපරාධයක් හෝ වරදක් කළ විට හඹාගොස් අත්අඩංගුවට ගන්නා, මාරාන්තික ලෙස ප්‍රශ්න කරන නීතියම බලවතුන් හමුවේ නඟුට කකුල් අස්සේ රුවා ගන්නා බවයි. නූරි වතුයායේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය දැක්වූ පමාව, විදේශික සංචාරකයා ඝාතනය කළ අවස්ථාවේ පොලීසිය හැසිරුණු ආකාරය, තාජුදීන් ඝාතනයේ ඇත්ත වසන් කිරීමට, තොරතුරු සැඟවීමට පොලිසිය සහය වී ඇති ආකාරය ආදිය අනුව ඒ බව පැහැදිලි වේ. සියල්ල ඒ ආකාරයට සිදු වී අත්තේ පොලිසියේ අවශ්‍යතාව අනුව නොව දේශපාලනයේ අවශ්‍යතාව අනුවය. විද්‍යා ඝාතනයේ දී ප්‍රධාන සැකකරු නිදහස් කර යැවීමට පොලිසිය උත්සහ දරා ඇත්තේ ද දේශපාලයේ මැදිහත්වීම මතය.

විද්‍යා ඝාතනයෙන් හෙළිවන වඩාත් බරපතලම ගැටළුව වන්නේ සමාජ චින්තන‍යේ බංකොලොත් භාවය යැයි කිව හැකිය. විද්‍යා ඝාතනය යනු එක්තරා ඝාතනයක්, ස්ත්‍රී දූෂණයක් හෝ දූෂණය කර මරාදැමීමක් ‍නොවේ. එක් ආකාරයකින් ගත් කල්හී එය සැලකිය හැක්කේ ව්‍යාපාරික අරමුණකින් කළ ස්ත්‍රි දූෂණයක්, දූෂණයකර මරා දැමීමක් වශයෙනි. ඔවුන් එසේ කර ඇත්තේ සිද්ධිය රූපගතකර විදේශයක දී විකිණීමේ බලාපොරොත්තුව ඇතිව බැවිනි. ඒ අනුව විද්‍යා ඝාතනය මෙරට ස්ත්‍රී දූෂණ ඉතිහාසයේ එක් භයානක සංසිධස්ථානයක් වශයෙන් හඳුනා ගැනීම වරදක් නොවේ.

විද්‍යා ඝාතනය යනු තනි පුද්ගලයකු තම කායික සන්තර්පනය උදෙසා කළ සරල කටයුත්තක් නොවේ. සාමාන්‍ය සමූහ දූෂණයක් හෝ දූෂණයකර මරා දැමීමක් ද නොවන්නේ එය පිටුපස භයානක සමාජ අර්බුදයක් දක්නට ලැබෙන බැවිනි. එය සාමාන්‍ය සංවිධානාත්මක අපරාධයක් ද ඉක්මවා සිටින්නකි. මුදල් ඉපැයීම සඳහා කළ අපරාධයක් යන අර්ථයෙන් සලකා බලන කල එය මෙතෙක් අප අත්දැක ඇති පාතාල ඝාතන, කුලියට මිනීමැරුම් ආදිය සමග කෙසේවත් සන්සන්දනය කරන්නට පුළුවන්කමක් නැත. සමාන කරන්නට පුළුවන්කමක් නැත. මිලේච්ඡත්වයෙන් විද්‍යා ඝාතනය ඒ සැම දෙයක්ම ඉක්මවා සිටින බැවිනි. කෙටියෙන්ම කියන්නේ නම් මිනිසුන්ට අපරාධ කළ හැකි වුවත් ඒ තරම් මිලේච්ඡ අරමුණක් වෙනුවෙන් ඒ තරම් තුච්ඡ අපරාධයක් කළ හැකි බව පැහැදිලි වූයේ ඉතිහාසයේ මුල් වතාවටය. ඊට සම්බන්ධ වූවෝ සම්බන්ධ වූයේ මුදල් ඉපැයීම සඳහා කරන රූපගත කිරීමකටය. ස්ත්‍රී දූෂණයක්, මිනිස් ඝාතනයක් පිළිබඳ ඒ තරම් සරල මට්ටමින් කල්පනාකරන්නට අදාළ තැනැත්තන් පෙළඹී සිටියේ සමාජයේ කවර වරදක් හේතුවෙන්ද යන්න අමුතුවෙන් විමසා බැලිය යුතුය. අධිකරණයේදී කෙරෙන්නේ පවතින නීතියට අනුව වරද හෝ නිවරද තීරණය කිරීමය. උසාවියකින් කෙරෙන දඬුවම් දීමකින් පමණක් මෙවැනි තත්ත්වයන්ට විසඳුම් සෙවිය නොහැකිය. මක්නිසාදයත් විද්‍යා ඝාතනය යනු යම් හේතුවක ඵලයක් මිස හේතුව නොවන නිසාය. තිස් අවුරුදු යුද්ධයකින් පසුව අපේ සමාජයට මිනිස් ජීවිතවල වටිනාකම පිළිබඳ හැඟීම් නැතිවී තිබේ. පොදිපිටින් මිනිසුන් එක්වර මියයනු මස්වැදලි තාප්පවල ඇලී තිබෙනු දුටු සමාජයකට මිනිස් ජීවිතවල වටිනාකම අමතක වීම පුදුමයක් නොවේ. කාලයක් තිස්සේ යුද්ධවලට මැදිවී සිටින කාම්බෝජය වැනි රටවලද මේ තත්ත්වය පොදුය. සෝමාලි මැම් නමැති කම්බෝජියානු සමාජ සේවිකාව වරක් කියා තිබුණේ, එවැනි සමාජයක දී පුදුම විය යුත්තේ නරක මිනිසුන් නරක මොකද කියා නොව හොඳ මිනිසුන් හොඳ මොකද කියා බවයි. උසාවිය ඉක්මවා ගිය සමාජ විද්‍යාත්මක කාරණයක් විද්‍යා ඝාතනය පිටුපස ඇතිබව ඉතා පැහැදිලිය. දඬුවම් පැමිණවීමෙන් පමණක් එවැනි කරුණුවලට විසඳුමක් නොලැබෙනු ඇත.

වැරදි කරුවන් යළි යළිත් වැරදි කරන වටපිටාවක් අප සමාජයේ ගොඩ නැඟී ති‍බීමෙන් ද ඒ බව පැහැදිලිවේ. නිදසුනක් වශයෙන් කුලියාපිටිය ප්‍රදේශයේ පාඩම් කරමින් සිටි දැරියක් දූෂණය කර මරා දැමූ පුද්ගලයා ඊට පෙරත් එවැනි වරදකට චෝදනා ලැබ වරදකරුවී දඬුවම් ලැබ නිදහස්ව ආ තැනැත්තෙකි. ඔහු නැවතත් ඒ වරදට පෙළඹී ඇත්තේ ද දඬුවම නිමවා ඉතා කෙටි කාලයක් තුළය. දඬුවමින් යහපතක් වී තිබේද යන්න අප සලකා බැලියයුතු වන්නේ එහෙයිනි. අප මේ ගෙවමින් සිටින්නේ දඬුවම් නොව උපදේශන, මනෝ උපදේශන, මනෝ ප්‍රතිකාර අවශ්‍ය වී තිබෙන සමාජ වටපිටාවකි. අවම වශයෙන් වැරදිකර සිරගත කෙරෙන අය සඳහා හෝ එවැනි වැඩපිළිවෙලක අවශ්‍යතාව සමාජය තේරුම්ගත යුතුය.

විද්‍යා ඝාතනයේ වඩාත්ම වැදගත් කරුණ එය නොවේ. සාධාරණත්වය යුක්තිය ඉල්ලා විද්‍යා ඝාතනයත් සමඟ උතුරේ සාමාජයේ ඇති වූ පෙළගැස්මයි. ඔවුන්ගේ උද්ඝෝෂණ හර්තාල් විරෝධතා නොවන්නට විද්‍යා ඝාතනයත් තවත් එක් මිනීමරුමක් ස්ත්‍රී දූෂණයක්, දූෂණය කර මාරාදැමීමක් බවට පත්වන්නට තිබුණි. එසේ නොවී එකී ඝාතනය පිටුපස තිබුණු දේශපාලන බළල් අත්, පොලිස් උප්පරවැට්ටි සියල්ල පරාජය කෙරුණේ උතුරේ ජනතා නැඟිටීම හේතුවෙනි. දකුණේ ඝාතන හමුවේ දකුණේ සමාජය ලජ්ජාවියයුතු කාරණය ද එයයි. විද්‍යා ඝාතනය ඉදිරියේ උතුරේ ජනතාව වීදි බැස්සේය. තාජුදීන් ඝාතනය වෙද්දී දකුණේ සමාජය නිදා සිටි‍යේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *