අපේ සිහින විද්‍යාර්ථියා – නිශාන්ත කමලදාස
ඔහු භෞතික විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකි. එතෙකුදු ඔහු විසින් මිලදී ගන්නා ලද නවීන ජපන් රථයේ යට බඳෙහි දෙහි ගෙඩියක් මිරිස් කරලක් සහිත අපූරු දම්වැලක් එල්ලෙමින් තිබේ. ඊයේ ඔහු තම රථයේ ආරක්ෂාව දෙවියන්ට බාර දීම සඳහා කතරගම ගොස් රු 5000 ක් සහිත මල්වට්ටියක් ද පූජා කර පැමිණ තිබේ. මේ අපේ විද්‍යාර්ථීයා පිළිබඳ අගනා පැති කඩක් පෙන්වන කතාන්දරයකි.
නවීන ජපන් රථය වෙළෙඳ පොළට ඉදිරිපත් කර ඇත්තේ විවිධ පරීක්ෂණ හරහා එහි ශක්තිය විමසා බැලීමෙන් පසු ය. හදිසියක දී ඉලිල්පී එන වායු බැලුනයකින් සැපයෙන ආරක්ෂාවක් සහිත ය. භෞතික විද්‍යාවේ ඉගැන්වීම්වලට අනුකූලව ය.එහෙත් අපේ භෞතික විද්‍යාඥයාගේ සිතට ඒවා මදි ය.තමන් දන්නා විද්‍යාව පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් ඔහුට නැත. එහෙත් නොදන්නා නොදුටු දෙවි කෙනකු ගැන ඔහුට විශ්වාසයක් තිබේ. නැත්නම් මේ කරදර ඔහු විඳින්නේ නැත.
විද්‍යාව ආගමක් මෙන් නොවේ.එය නිත්‍ය නැත.අද අප ලෝකය දකින ආකාරය එයින් විස්තර කෙරෙතත් නව සාක්කි ලැබෙතොත් ඒවා වෙනස් කිරීමට විද්‍යාව සූදානම් ය.විද්‍යාව දිනෙන් දින දියුණු වන්නේ නව මානයන් සොයා ගන්නේ මේ නම්‍යශීලිත්වය නිසා ය.ඒ නිසා ම මේ විද්‍යාඥයාගේ විද්‍යාව සම්බන්ධයෙන් ඇති අවිශ්වාසය ගැන ප්‍රශ්න කරන්නට අපට බැරි ය. එහෙත් ඔහු සතුව අප සඳහන් කළ විද්‍යාත්මකව සත්‍යතාවය තහවුරු කර නැති ඇදහිලි සම්බන්ධයෙන් වන විශ්වාසය ප්‍රශ්න නොකරම ඇති කර ගත් එකක් නොවේ ද යන්න ඔහුගෙන් අපට ඇසිය හැකි ය.
ඉතින් අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු. ඔහු මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු කර නැත. එසේ සිදු කර ඇත්නම් ඒ ගැන ලෝකයට දැන්වීම විද්‍යාර්ථියෙකු ලෙස ඔහුගේ යුතුකමකි. ඔහු කිසි දා එසේ ද කර නැත. ඒ නිසා ඔහුගේ විශ්වාසය ගැනෙන්නේ “ඇතත් නැතත් දෙවියන් සුදනෙනි මහත, කළොත් යෙහෙකි පුද පූජා උන් නමට“ කියන ගණයට ය.
විද්‍යාත්මක ක්‍රමය හා විශ්වාස
විද්‍යාත්මක ක්‍රමය එය නොවේ. විද්‍යාර්ථියෙකුට විශ්වාසයක් දැරීමට ඉඩ තිබෙන්නේ ඔහු ඒ පිළිබඳව නිසි පරීක්ෂණයන් සිදු කොට හගිස්සවාගෙන ඇත්නම් පමණ ය. නැතිනම් ඔහු වැටෙන්නේ ද රටේ අවශේෂ මිනිසුන්ගේ ගානට ය. ඇත්තට ම අපේ උගත් විද්‍යාර්ථීන් වැඩි ගණනක් එවැනි අතිශය සාමාන්‍ය මිනිසුන් ය.ශත වර්ෂ ගණනාවකට පෙර ගස් ගල් වැන්ද පරපුරේ ආදී මුතුන් මිත්තන්ට වඩා විශාල වශයෙන් ඔවුන් වෙනස් නැත.
කිසිදු පදනමක් නැති දේ ප්‍රශ්න නොකර විශ්වාස කරන කෙනෙකුට, ඒවා අනුයන කෙනෙකුට, තමන් විධිමත්ව උගත් දෑ කොහොමටත් ප්‍රශ්න කරන්නට බැරි ය. ඒ නිසා ම මේ විද්‍යාර්ථීන් කිසිවෙකුට නව දේ සොයා ගැනීමට බැරි ය. කළ හැකි එකම දෙය තමන් උගත් දේ වැමෑරීම ය.
මේ මිනිසුන්ගේ කල් ක්‍රියාව අන් මිනිසුන්ට සපයන්නේ වැරදි ආදර්ශයකි. මෙවැන්නන් වරක් දෙවියන් වඳින විට සෙසු මිනිස්සු පෙරලී පෙරලී දහස්වර දෙවියන් වඳින්නෝ ය.රට පසුගාමී වීම සම්බන්ධයෙන් මේ නිසා වැඩිපුර වගකිව යුත්තේ මෙවැනි විද්‍යාර්ථීහු ය.
අවාසනාව නම් මෙවැනි විකාර නොකරන විද්‍යාර්ථීන් පවා මේවා පිළිබඳව සිය සංවාදයන්හි දී ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වීම කලාතුරකින් දක්නට ලැබීම ය.ඒ නිසා ම රටට ලැබිය යුතු නායකත්වය නොලැබී යෑම ය.
වෘත්තිය දැනුම පසෙකලා පෞද්ගලික විශ්වාස බෙදා ගැනීම
මෙහි තව පැත්තක් තිබේ. එය මේතරම්වත් අහිංසක නැත. ඒ මේ විශ්වාස සිය වෘත්තීය කටයුතු සමග ද මිශ්‍ර කර ගැනීම ය. රජරට පැතිර ඇති වකුගඩු රෝගයට හේතුව තවම සොයා ගෙන නැතැයි විද්‍යාර්ථීන් බොහෝ දෙනෙකු කියද්දී කැළණිය “විශ්වවිද්‍යාලයේ” මහාචාර්යවරියක් එයට හේතුව ආසනික් බව සොයා ගන්නේ නින්දේ දී දුටු සිහිනයක් ඇසුරෙනි. ඒ සිහිනයේ මේ සොයාගැනීම ඇය වෙත දන්වා තිබුණේ නාථ දෙවියන් ය. ඉදින් පරීක්ෂණ කුමට ද? පරීක්ෂණයක ප්‍රතිඵලයකටත් වඩා විශ්වාසයෙන් ඇය මේ සොයා ගැනීම ජාතියට ඉදිරිපත් කළා ය. තවත් විද්‍යාර්ථීහු පිරිසක් එයට සාදු නාද දුන්හ.
මෙවැනි විද්‍යාර්ථීන් ලත් රටක් මීටත් වඩා පල්ලම් නොබැස මේ තත්වයේ තියෙන්නේ නම් යම් අනුහසකින් විය යුතු යැයි බොහෝ අයට සිතෙනු ඇත්තේ ය.
මේ මිශ්‍ර කිරීම ඇතැම් වෛද්‍යවරුද කරති. ඒ තමන් උගත් වෛද්‍ය විද්‍යාව පසෙකලා තමන්ගේ මතවාදයන් හා විශ්වාසයන් ඔස්සේ මිනිසුන්ට උවදෙස් දීමට යෑම ය.අප වෛද්‍යවරයකු ළඟට යන්නේ සාස්තරකාරයකු ළඟට යෑමට බැරි නිසා නොවේ. ඒවා වෛද්‍ය විද්‍යාව තරමට විශ්වාස නොකරන නිසා ය. එහෙත් අපට එහි දී හමුවන්නේ වෛද්‍යවරයෙකු නොව වෙනත් විශ්වාසයන් අදහන දෙවියන්ගේ නියෝජිතයෙකු නම් ඉතින් අප මේ අවනඩුව කිව යුත්තේ කාට ද?
ඇතැම් තැනක මේ උවදෙස් ලැබෙන්නේ දේශීයත්වය සමග කළවම් කර ගෙන ය. එවිට දෙවියන්ගේ තැන ගෙන ඇත්තේ ඒ තරමටම අභූත විශ්වාසයකි. මතවාදයකි.
සමාජ බලය
මේ විද්‍යාර්ථීන් සතුව විශාල සමාජ බලයක් තිබේ. ඔවුන් සතු ආකර්ෂණීය සුදුසුකම් මාලාව දෙස බලන කෙනකුට ඔවුන් ප්‍රශ්න කිරීමට පෙර දෙවරක් සිතීමට සිදු ව තිබේ.ඒ නිසා ම ඔවුහු තම අත්සන කඩේ යවති. තම ප්‍රතිරූපය කඩේ යවති. එසේ කරන්නේ ප්‍රතිපත්ති වෙනුවෙන් නොවේ. තමන්ට ලැබෙන වරප්‍රසාද වෙනුවෙනි. කඩේ යන්නේ දේශපාලනඥයන් වෙනුවෙනි. එසේත් නැතිනම් ඉහළ තනතුරු හොබවන තමන් වැනිම විද්‍යාර්ථීන් වෙනුවෙනි. ඇත්තටම කියන්නේ නම් ඔවුන් ඒ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට ද වඩා අන්ත ය. තමන් ව විශ්වාසයට ගෙන ඇති මිනිසුන් පාවා දෙන බැවිනි. ඒ විශ්වාසය වරප්‍රසාද වෙනුවෙන් විකුණා ඇති බැවිනි.
මේ බොහෝ දෙනකු සමාජ වුවමනාවන් වෙනුවෙන්, ජනතා අභිලාෂයන් වෙනුවෙන්,පෙනී සිටින්නේ නැත.
සමාජය අභියස පෙනී සිටින මේ බොහෝ දෙනකු කරන්නේ රටේ පවතින ජනප්‍රිය රැල්ල තෝරාගෙන ඒ මත පිහිනා සිය පෞද්ගලික අපේක්ෂා සොයා යෑම ය. ඒ නිසා මේ අය බැරි වෙලාවත් උඩුගං බලා පීනන්නේ නැත. එයින් ඵල ප්‍රයෝජනයක් නැති බැවිනි. ඒ වෙනුවට ගල්මුල් තමන් සොයා ගෙන එන්නට ඉඩ ඇතැයි සිතන බැවිනි. එය කාලය නාස්ති කිරීමක් ලෙස ඔවුන් සළකන බැවිනි.
ඔවුන් ගැලී ඉන්නේ සතර අගතියේ ය. තමන්ගේ කැමැත්ත, තමන් තුළ ඇති ද්වේශය, ලෝභය හා බය ඔවුන් මෙහෙයවන සාධක ය.
මිටියේ ගැටලුව
එහෙම නැති විද්‍යාර්ථීහු පිරිසක් ද සිටිති. ඒ අයගෙන් බොහෝමයක් ද අල්ලා ගෙන ඉන්නේ ප්‍රශ්නවල වැරදි කොන් ය. ස්වාර්ථය නොසොයොතත් ඔවුන් ප්‍රශ්නයක් හඳුනා ගන්නට දන්නේ නැත. බොහෝ විශේෂඥයින් සතුව ඇති “මිටියේ“ ගැටලුවෙන් ඔවුහු පීඩා විඳිති. ඔවුන් සම කළ හැක්කේ මිටියක් අතින් ගත් මිනිසෙකුට ය. එවැන්නෙකු සොයා යන්නේ ඇණයකි. මක්නිසා ද යත් තමන් සතු මිටියෙන් කළ හැක්කේ ඇණ ගැසීමත් ගැලවීමත් පමණක් බැවිනි. ඕනෑ ම දෙයක ඇණයක් සොයන නිසා වෙනත් දේ ඔවුන්ගේ ග්‍රහණයෙන් ගිලිහී යයි. විද්‍යාර්ථීන්ට තිබෙන ලෙඩේ නම් තමන්ගේ ක්ෂේත්‍රයේ යම් සමත්කමක් දැක්වුව ද ඉන් පිට වූ විට අසරණ වීම ය. මේ ඇතැම් විද්‍යාර්ථීන්ගේ වැඩ විමසන විට පෙනෙන්නේ ඔවුන් බොහෝ දේ සම්බන්ධයෙන් මොන්ටිසෝරියවත් පාස් කර නැති බව ය.
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳවම පශ්චාත් උපාධියක් ලද වෛද්‍යවරයකු මේ මෑතක පවත්වන ලද රූපවාහිනී වැඩ සටහනක දී කියා සිටියේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කළ යුත්තේ පරිස්සමින් බව ය. හේතුව හෙට අනිද්දා වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් ඇති වීමේ ඉඩක් පැවතීම බව ද ඔහු කියා සිටියේ ය.
ජනගහණයේ දහසකට ඉන්නා වෛද්‍යවරු සංඛ්‍යාව අතින් ලංකාව තවමත් ඉන්නේ ලෝකයේ රටවල් අතර 127 වැනි ස්ථානයේ ය. ඒ කියන්නේ රටවල් 126 ක වෛද්‍යවරු සංඛ්‍යාව අපට වඩා වැඩි මට්ටමක පවතින බව ය. අප රටේ වෛද්‍යවරු වඩා හොඳ ජීවන තත්වයක් ඇති රටවල් බලා යන ප්‍රවණතාවයක් ද පවතී. එය වැඩිවන බව මිස අඩුවන බවක් පෙනෙන්නේ නැත. ඊට අමතරව අප ඇති කළ යුත්තේ රටේ පමණට සරිලන තරමක් වෛද්‍යවරු ද? ලෝකයේ අද පවතින එක් ප්‍රවණතාවක් නම් දියුණු රටවල වඩා වයසක ජනගහණයක් ඇති වීම ය. ඒ තත්වය යටතේ වෛද්‍යවරුන් රට පටවන්නට අපට බැරි වෙයි ද? දැනට අප රට යවන්නේ ගෘහ සේවිකාවන් ය. ඒ වෙනුවට වෛද්‍යවරුන් පිට රට යැවිය හැකි නම් එයින් වැඩි වාසියක් ලැබිය නොහැකි ද? මේ සියල්ල ගත් විට වෛද්‍ය අධ්‍යාපනය ගැන විද්වත් මතය ප්‍රශ්න කිරීමට අපට සිදු වේ. කනගාටුවට කාරණය ඔවුන්ගේ මැදිහත් වීම තුළ මේ එක ද කාරණයක් වත් සැලකිල්ලට නොගැනීම ය.
වැරදි ප්‍රශ්න සමාජ ගත කිරීම
ප්‍රශ්නයක වැරදි කොණින් අල්ලා ගැනීමට වෙනුවට ඔවුහු තව වැඩක් කරති. ඒ වැරදි ප්‍රශ්න සමාජ ගත කිරීම ය. සහජීවනය වෙනුවට එකිනෙකා කෙරෙහි සැකයෙන් බියෙන් බැලීමට ඔවුහු ජනතාවට උල්පන්දම් දෙති. බලය විමධ්‍යගත කිරීම රට බෙදීම ලෙස දක්වා සිටිති. බලාහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීමට ගෙන එන පනත රණවිරුවන් බිල්ලට දීමේ දහං ගැටයක් ලෙස අර්ථ දක්වති.
වැරදි ප්‍රශ්න සමාජගත කරන අතරේ සැබෑ ප්‍රශ්න පසුබිමට තල්ලු කර දමති. එවැනි ප්‍රශ්නයක පැවැත්ම පවා පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. වාර්ගික අර්බුදය ලංකාවේ 30 අවුරුදු යුද්ධයකට තුඩු දුන්නේ ය. එහෙම ප්‍රශ්නයක් නැතැයි ඔවුහු හඬ නගා කියති. මෑතක දී වේදිකාව අරක් ගෙන ඇති ආගමික අන්තවාදය ගැන ඔවුහු කිසිවක් නොකියති. ඇතැම් විට එක පාර්ශවයක අන්තවාදයට පමණක් විරුද්ධ වන ඔවුහු තමන්ගේ පාර්ශවයේ අන්තවාදය කතා කළ යුතු තරම් වැදගත් නැතැයි කියමින් බැහැර කරති.
විද්‍යාර්ථීන්ගේ භයංකර නිශ්ශබ්දතාවය
බහුතරයක් විද්‍යාර්ථීහු මේ කිසිවක් නොකරති. ඔවුන් කරන්නේ මුණිවත රැකීම ය. ඔවුන් කරන්නේ අවට සිදු වන දෑ නොදුටුවා සේ සිටීම ය. නොඇසුණා සේ සිටීම ය. ඒ වැඩි දෙනෙක් කරන්නේ තමන්ගේ වැඩක් බලා ගෙන සිටීම ය. කලින් අයගේ මෙන් නරකක් ඔවුන්ගෙන් සමාජයට සිදු නොවේ. එහෙමට කියා හොඳකුත් සිදු නොවේ. ඇත්තටම උන් පතෝල වගේ ය. අවසානයේ ඛේදවාචකය වන්නේ නරක මිනිසුන් කීප දෙනෙකුගේ කෘරත්වය නොවේ. එය ඉවසීමට ඉදිරිපත් වන හොඳ මිනිසුන්ගේ නිශ්ශබ්දතාවය යි. එසේ කීවේ කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිංග් ය. මිනිසුන් ටික දෙනෙකුගේ ඝෝෂාව බහුතර මතය ලෙස සමාජ ගත වන්නේ මාර්ටින් ලූතර් කිංග් කියන මේ නිහඩතාවය නිසා ය.
මේ දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් ප්‍රශ්න කීපයක් ගැන රටේ සංවාදයක් පවතී. ඉන් එකක් ගබ්සාව පිළිබඳව ය. ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප දන්නා තරමින් මේ ගැන නිහඬ ය. ඒ නිසා ම තනි තනි වෛද්‍යවරුන් කීප දෙනෙකු හැරුණු විට ඒ ගැන කතා කරන්නේ ඒ පිළිබඳව මෙලෝ සංසාරයක් නොදන්නා ආගමික නායකයන් ය. සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ද සමලිංගිකයන් ගැන ද වෛද්‍ය මතය ඔවුන් සමාජයට කියන්නේ නැත. එසේ නොකිරීම හරහා මේ පීඩිත ජන කොට්ඨාෂයට තමන් පිළිබඳව තනියම පෙනී සිටීමට සිදු ව තිබේ. රටේ ප්‍රධාන ප්‍රශ්නයක්ව පවතින වාහන තදබදය සම්බන්ධයෙන් ඉංජිනේරු වෘත්තිකයන් ද අධ්‍යාපනයේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් අධ්‍යාපනඥයන් ද ඒ තරමට ම නිහඩ ය.
ඇතැම් විද්‍යාර්ථීන් තම මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සොයා ගෙන යන්නේ නැත. ඒ ඇතැම් විට සිය අභිමානය ද නිසා ය. ඇතැම් විට ඒ සඳහා වේදිකාවක් සපයන්නට කවුරුන්වත් නැති නිසා ය. තවත් විටක ඉතිහාසයේ එසේ කොට පාඩම් ඉගෙන ගෙන ඇති නිසා ය. නැතිනම් ඔවුන් බිය ගන්වා ඇති නිසා ය. ඕනෑම කරුණකට හේතු ඉදිරිපත් කළ හැකි ය. අපට අවශ්‍ය සිය මුණිවත සම්බන්ධයෙන් සමාවට කාරණා කියන විද්‍යාර්ථීන් නොව අප්‍රතිහත ධෛර්යෙන් ලැබෙන කුඩා ඉඩකින් හෝ ප්‍රයෝජන ගැනීමට සූදානම් විද්‍යාර්ථීන් ය. අඩු වශයෙන් නිදහස් වේදිකාවක් සේ සැලකෙන සමාජ ජාලා වෙබ් අඩවි හරහාවත් තම මතය සමාජ ගත කිරීමට වෙහෙසෙන විද්‍යාර්ථීන් ය.
ඇයි විද්‍යාර්ථීන්?
විද්‍යාර්ථීන් අපේ විශේෂ ඉලක්කය වී ඇත්තේ ඇයි? මේ වංචනික බොරුව හා රැවටිල්ල කිරීම සම්බන්ධයෙන් ද තමන්ගේ පටු හැසිරීම සම්බන්ධයෙන් ද දැඩි නිහඩතාවය සම්බන්ධයෙන් ද විද්‍යාර්ථීන් වෙත අපේ ඇඟිල්ල දිගු කළේ මන්ද?
පළමුව මේ අස්ථානයෙන් ගැලවීමට අවශ්‍ය නුවණ ඔවුන් සතු යැයි අප විශ්වාස කරන නිසා ය. දෙවැන්න ඔවුන් සතුව ඇති සමාජ බලය (දැන් වන විට ඔවුන් විසින් ම එය දිය කර හරිමින් තිබෙන අතරේ වුව ද තවමත් ශේෂව ඇති සමාජ බලය) නිසා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හෝ අක්‍රීයකාරිත්වය නිසා ඇති වන විපාක වඩා දරුණු නිසා ය. තෙවැන්න මේ සමාජ බලය නිසා ම ඔවුන් විශේෂ වරප්‍රසාද විඳින බැවින් ඒ හේතුවෙන් මේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වීමට ඔවුන්ට වගකීමක් තිබෙන නිසා ය.
ඇතැම් විද්‍යාර්ථීන්ගේ අනුග්‍රහය හා බහුතරයේ නිශ්ශබ්දතාවය, නිසා රට පුරා මිථ්‍යා විශ්වාස පැතිර ගොස් ඇත. වාලම්පූරි විකුණා සුර සැප විඳින වෙළෙන්දන් වැඩි වී ඇත. සාස්තර කියමින් මිනිසුන් අමාරුවේ දමා ගාන කඩා ගන්නා හොරුන් රට වසගයට ගෙන ඇත. සැබෑ ප්‍රශ්න පිටුපසට තල්ලු කරමින් මවා ගත් ප්‍රශ්න ඉදිරියට දමන සමාජ ප්‍රවණතාවන් රට ම වෙලා ගෙන ඇත.
අපේ සිහිනය
මේ තත්වයට එරෙහිව උඩුගං බලා පිහිනන විද්‍යාර්ථීන් ද අපි දැක ඇත්තෙමු. ඒ පෙරදාක ඒබ්‍රහම් ටී කොවුර් පුරෝගාමියා වූ ද මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දායකත්වය ලැබුවා වූ ද යථාර්ථවාදී සංගමයේ වැඩ කටයුතුවල දී ය. මෑතක දී වෛද්‍ය වෘත්තිකයන් කීප දෙනෙකු ද සහභාගී වන රූපවාහිනියේ යථාරූපි වැඩසටහන තුළ ය. ඇතැම් විටක අහම්බෙන් අප දකින පුවත්පත් පිටුවක ය. නැත්නම් රූපවාහීනි වැඩ සටහනක ය. කනගාටුවට කාරණය නම් එවැනි මැදිහත් වීම් අවම වීම ය.
අපේ සිහිනය තුළ එවැන්නන් වැඩි වැඩියෙන් බිහිවෙනවා දකින්නට අපි කැමැත්තෙමු.
මිනිසුන්ට මේ දේ කරන්නැයි හෝ නොකරන්නැයි උපදෙස් දෙන විද්‍යාර්ථීන් වෙනුවට ඒ දේ කළ යුත්තේ ඇයි දැයි නොකළ යුත්තේ ඇයි දැයි කියන විද්‍යාර්ථීන් දකින්නට ද අපි කැමැත්තෙමු. මිනිසුන් තමන්ගේ අන්ධ අනුගාමිකයන් කර ගන්නා විද්‍යාර්ථීන් වෙනුවට මිනිසුන්ට හිතන්නට පොළඹවන විද්‍යාර්ථීන් දකින්නට අපි කැමැත්තෙමු.
“ඇතත් නැතත් දෙවියන් සුදනෙනි මහත, කළොත් යෙහෙකි පුද පූජා උන් නමට“ කියන කමකට නැති විද්‍යාර්ථීන් වෙනුවට ඉන්නා බව හෝ නොඉන්නා බව (වඩාත් නිවැරදිව කියන්නේ නම් මේ පූජා ලබන්නවුන්ට -අද්භූත බලවේගයන්ට- අභ්‍යාස කරන්නට පුළුවන් යැයි කියනු ලබන බලය තිබෙන්නේ ද නැද්ද යන බව) පරීක්ෂා කිරීමට සූදානම් විද්‍යාර්ථීන් ය. සෙසු මිනිසුන් කරන්නන් වාලේ යම් යම් දේ කරමින් උන් පසු පස යන විද්‍යාර්ථීන් වෙනුවට ඒවා ප්‍රශ්න කිරීමට සූදානම්, ඒවායේ සැබෑව උරගා බලන්නට සූදානම්, විද්‍යාර්ථීන් ය.
අපට අවශ්‍ය මවාගෙන ඇති ප්‍රශ්නවල යුක්ති යුක්තභාවය ප්‍රශ්න කරන විද්‍යාර්ථීන් ය. පිටුපසට තල්ලු කර ඇති ප්‍රශ්න ප්‍රධාන වේදිකාවට ගෙන ඒවාට උත්තර සෙවීමට සූදානම් විද්‍යාර්ථීන් ය. සතර අගතියෙන් තොරව පටු දැක්මෙන් ඔබ්බට බලමින් යම් ප්‍රශ්නයක සියලු පැති කඩ නිරාවරණය කර ගැනීමට සමත් විද්‍යාර්ථීන් ය.
තමන්ගේ ක්ෂේත්‍රයට සීමා නොවී ලෝකය පළල් ලෙස අවබෝධ කර ගැනීමේ අටියෙන් අධ්‍යයනයන්හි නිරත වන විද්‍යාර්ථීන් ය. තමන් ඉගෙන ගත් දෙයට සීමා නොවී නව දැනුම සොයා යන විද්‍යාර්ථීන් ය. ගවේෂණය කරන, පරීක්ෂන කරන, විද්‍යාර්ථීන් ය. තමන් ඉන්නා මතයට විරුද්ධ මතයන් දෙස පවා විමසන මනසකින් බැලීමට සූදානම් විද්‍යාර්ථීන් ය.
ප්‍රශ්නයක එක් කොනක් අල්ලා ගෙන කෑ මොර දෙන විද්‍යාර්ථීන් වෙනුවට සියලු පැතිකඩ දෙස බැලීමට තරම් සංයමයක් ඇති විද්‍යාර්ථීන් ය.
මුණිවත රැකීමට ප්‍රතිඥා දී ඇති විද්‍යාර්ථීන් වෙනුවට අවශ්‍ය තැනක සිය කටහඬ අවදි කිරීමට සූදානම් අභීත විද්‍යාර්ථීන් ය.
රටක් ඉදිරියට යනවා ද පසුපසට යනවා ද යන්න තීරණය කිරීමේ ලා විද්‍යාර්ථීන්ගේ ක්‍රියාකාරිත්වය අතිශයින් තීරණාත්මක ය. ඔවුන්ට පමණක් මේ බර දැරිය නොහැකි බව ඇත්ත ය. ඔවුන්ගේ හඬට පියාපත් ලැබිය යුතු ය. ඒ සඳහා මාධ්‍ය සැදී පැහැදී සිටිය යුතු ය. හැඟීම්වලින් මෙහෙයවෙන්නේ නැතිව ඔවුන්ගේ හඬට සවන් දීමට සූදානම් ජනතාවක් ද ඒ සඳහා අවශ්‍ය ය.
ඒ සියල්ලන් එක මිටට එකතු කර ගත හැකි දැයි බැලීම මේ සිහින දැකීමේ අරමුණ ය.
නිශාන්ත කමලදාස
දිනමිණ