ඔරුමිත්ත නාඩු – එම්. ඕ . ඒ . ද සොයිසා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාව විසින් සළකා බැලීම සඳහා පසුගිය 21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවේ බෙහෙවින්ම වාද විවාදයට භාජනය වී තිබෙන පදයක් බවට ‘ඔරුමිත්ත නාඩු’ පත් වී ඇත. හේතුව 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක යටතේ රාජ්‍යයේ ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා භාවිතයට ගැනුණු ‘ඒකීය’ යන පදය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කොට ඒ වෙනුවට ‘එක්සත්’ නැතිනම් ‘එකතු වූ’ යන අර්ථය (සමහරු අර්ථකථනය කරන ආකාරයට) හැඟවෙන ‘ඔරුමිත්ත නාඩු’ යන පදය යොදා ගැනීමේ උත්සාහයක් තිබෙන බව මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව මඟින් පෙනී යාමය.

මෙහෙයුම් කමිටු වාර්තාවේ දැක්වෙන ආකාරයට; ‘ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වනු ඇත’. එම වාර්තාවේ තවදුරටත් දැක්වෙන ආකාරයට; ‘මෙම ව්‍යවස්ථාවෙහි ඒකීය රාජ්‍ය/ඔරුමිත්ත නාඩු යන්නෙන් අදහස් වන්නේ නොබෙඳු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාළ වන තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත’. ඒකීය යන සිංහල පදය හැඳින්වීම සඳහා ද්‍රවිඩ භාෂාවේ ඒ හා සමාන අර්ථයක් ඇති, එමෙන්ම 1972 සහ 1978 ව්‍යවස්ථා යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය හැඳින්වීම සඳහා භාවිතයට ගැනුණ ‘ඔට්ට්‍රියාච්ච්’ යන දමිළ පදය මෙහෙයුම් කමිටු සාමාජිකයින් විසි යොදා නොගත්තේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ.

මේ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙවැනි අදහසක්ය. ‘යුනිටරි ස්ටේට්’ (Unitary State) යන ඉංග‍්‍රීසි පදයේ සම්ප්‍රදායක නිර්වචනය වෙනස්කම්වලට භාජනය වී තිබේ. උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන්ව යාහැකි තත්වයක් වර්තමානය වනවිට එක්සත් රාජධානියේ පවතී. එමනිසා ‘යුනිටරි ස්ටේට්’ (Unitary State) යන ඉංග‍්‍රීසි පදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතයට සුදුසු නොවේ’.

එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන ආකාරයට; ‘‘ඒකීය රාජ්‍ය’’ නමැති සිංහල පදයේ නොබෙදුන සහ බෙදිය නොහැකි රටක් යන්න මනාව විස්තර වේ. මේ හා සමාන දෙමළ පදය වන්නේ ‘‘ඔරුමිත්ත නාඩු’’ යන්නයි.’ මෙම අර්ථනිරූපණය සත්‍ය වශයෙන්ම නිවැරදි එකක් ලෙස පිළිගන්නවා නම් ‘ඔරුමිත්ත නාඩු’ යන පදයෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව නොබෙදුණ සහ බෙදිය නොහැකි රටක් වනවා මිස ‘එක්සත්’ වූ හෝ නැතිනම් ‘එකතු වූ’රටක් නොවන බවය.

නමුත් මෙහිදී මතුවී තිබෙන ප්‍රශ්නය වන්නේ ඉහත අර්ථකථනය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් පිළිනොගැනීමය. ඔවුන් කියා සිටින්නේ ඔරුමිත්ත නාඩු යන පදයෙන් අදහස් වන්නේ එක්සත් නැතිනම් එක් වූ රාජ්‍යයක් යන්න බවය. නිදසුන් ලෙස බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය විසින් නිකුත් කරන ලද 29.09. 17 දින ලංකාදීප පුවත් පතේ පළවූ ප්‍රකාශය පෙන්වා දියහැක. එහි සඳහන් වන ආකාරයට; ‘වර්තමාන ව්‍යවස්ථාවේ දමිළ පිටපතේ ‘‘ඒකීය’’ යන අරුත දෙන ‘‘ඔට්ට්‍රියාච්ච්’’ යන පදය ඒකීය රාජ්‍ය විස්තර කිරීමට යොදා ගනු ලැබුණි. රජයේ නව ව්‍යවස්ථා යෝජනාවල එම ‘‘ඔට්ට්‍රියාච්ච්’’ යන පදය යොදා නොගෙන ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනය ඊට යොදා ඇත.

‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනයේ අරුත ‘‘එක්සත්’’ (පෙඩරල්) යන්නයි. ‘‘ඔට්ට්‍රියාච්ච්’’ යනු ‘‘ඒකීය’’ යන්නයි. තවද මෙහි සඳහන් කළයුතු තවත් කරුණක් වන්නේ අනෙකුත් පනත් මෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ පිටපත් අභිබවා සිංහල පිටපත බලාත්මක වන බව ව්‍යවස්ථාවේ සඳහන් නොවීමයි’. එහි තවදුරටත් සඳහන් වන ආකාරයට; ‘එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සිංහල පිටපතේ ‘‘ඒකීය රාජ්‍ය’’ යන පදයට නව අර්ථනිරූපණයක් ලබා දී ඇත. එයට අනුව ඒකීය රාජ්‍යයක් යනු නොබෙදිය හැකි රාජ්‍යයක් ලෙස හඳුන්වා දී ඇත.

පෙඩරල් රාජ්‍යයක් අවශ්‍යයෙන්ම බෙදා වෙන් කළ හැකි රාජ්‍යයක් නොවේ. යම් රාජ්‍යයක් බෙදිය නොහැකි වූ පමණින් එය ඒකීය රාජ්‍යයක් වන්නේ නැත. ඉන්දියාව පෙඩරල් රාජ්‍යයකි. එහෙත් එය බෙදිය නොහැකිය. ඒකීය යන පදයට නව අරුතක් එක් කරමින් එහි අදහස බෙදිය නොහැකි රාජ්‍යයක් ලෙස පැවසීම හුදෙක් ‘‘Unitary’’ යන ඉංග්‍රීසි පදයේ සම්ප්‍රදායික සෘජු අරුත හිතාමතාම අදාළ කර නොගැනීමට දරා ඇති ප්‍රයත්නයකි’.

බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ මෙම ප්‍රකාශනය ඒකීය රාජ්‍ය සහ පෙඩරල් රාජ්‍ය යන රාජ්‍ය වර්ග දෙක පිළිබඳව අදාල වන දේශපාලන සහ නීතිමය න්‍යායාත්මක මූලධර්ම නිසි පරිදි අධ්‍යයනය කිරීමකින් තොරව හුදෙක් ආවේග හා හැඟීම් පදනම් කරගෙන නිකුත් කරන ලද එකක් බව පැහැදිලිවම පෙනී යයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඒකීය රාජ්‍ය නමින් හඳුන්වන විශේෂිත රාජ්‍ය වර්ගයක් දේශපාලන විද්‍යාව තුළ නොමැති බවය.

රාජ්‍ය යනු භූමිය, ජනගහනය, ආණ්ඩුව සහ ස්වාධිපති බලය යන සාධක හතරේ සංයුතියෙන් ගොඩ නැගුණ දේශපාලන සංගතයක් වන රාජ්‍යයක් ඒකීය ද නැතිනම් පෙඩරල් ද යන්න තීරණය වන්නේ රාජ්‍යයේ ස්වාධිපති බලය ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය තුළ ගොඩනගා තිබෙන ආණ්ඩු යාන්ත්‍රණයේ ස්වභාවය අනුවය.

මේ අනුව යම් රාජ්‍යයක ස්වාධිපති බලය ක්‍රියාවට නංවන්නේ එක් තනි ආණ්ඩුවක් විසින් නම් එවැනි රාජ්‍යයන් හඳුන්වන්නේ ඒකීය රාජ්‍යයන් ලෙසය. අනෙක් අතට යම් රාජ්‍යයක ස්වාධිපති බලය ක්‍රියාවට නංවන්නේ මධ්‍යම ආණ්ඩුවක් සහ සමාන බලැති තවත් ආණ්ඩු කිහිපයක් විසින් නම් එවැනි රාජ්‍යයන් හඳුන්වන්නේ සන්ධීය හෙවත් පෙඩරල් ආණ්ඩු ලෙසටය.

ආණ්ඩුක්‍රම ගැන කතාකරන අය මෙම වෙනස හොඳින් අවබෝධ කරගත යුතුය. එනම් රාජ්‍යයක ඒකීයභාවය හෝ පෙඩරල්භාවය තීරණය වන්නේ හුදෙක් දෛනිකව භාවිතා කරන දේශපාලන වචන අනුව නොව රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම සඳහා යොදා ගැනෙන ආණ්ඩු යාන්ත‍්‍රණයේ ස්වභාවය අනුව බවය.

මී ලඟට සළකා බැලිය යුත්තේ ඔරුමිත්ත නාඩු යන පදය යෙදීම මඟින් ශ්‍රී ලංකා ජනරජය පෙඩරල් රාජ්‍යයක් බවට පත්වනවාද යන කරුණය. මෙහිදී අවශ්‍යයෙන්ම අවධානය යොමුකළ යුතු වන්නේ වර්තමාන ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපති බලය ක්‍රියාවට නැංවීම සඳහා භාවිතා වන ආණ්ඩු යාන්ත්‍රණයේ ස්වභාවය පිළිබඳව ය. කවුරුන් කෙසේ අර්ථකථනය කළද මේ වනවිට ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපති බලය ක්‍රියාවට නැංවෙන්නේ මධ්‍යම ආණ්ඩුවක් සහ පළාත් සභා ආණ්ඩු නවයක් විසිනි. පළාත් සභා පිහිටුවනු ලැබූයේ සහ ඒවාට බලය පවරනු ලැබූයේ 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 13 වන සංශෝධනය මඟිනි.

මේ පදනම මත සළකා බලනවා නම් ශ්‍රී ලංකාවේ දැනටමත් පවතින්නේ ඉන්දියාවේ පවතින තත්වයට සමානව යන්නාවූ අර්ධ පෙඩරල් ආණ්ඩුක්‍රමයකි. පෙඩරල් ආණ්ඩුක්‍රමයක පවතින නෛසර්ගික ගුණාංගයක් වන්නේ පෙඩරල් ක්‍රමයට සම්බන්ධ කොටස් කැඩී වෙන්වී යාම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පවතින තර්ජනයයි. එසේනම් ඔරුමිත්ත නාඩු යන පදය යෙදීම මඟින් මෙහෙයුම් කමිටුව කර තිබෙන්නේ එක් අතකින් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා ආණ්ඩු එකට එක්සත් කොට බැඳ තබා ගැනීමට ඉතාම දැඩි නීතිමය බන්ධනයක් ව්‍යවස්ථාව මඟින් යෙදීමය. අනෙක් අතින් පෙඩරල් ක්‍රමයට සම්බන්ධ සියලූම කොටස් වල පොදු අභිමතයක් සහිතව ශ්‍රී ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රාජ්‍යයක් වනවාය යන අදහස ව්‍යවස්ථානුගත කිරීමය.

මේ අනුව පෙනී යන්නේ සම්පාදනය කිරීමට යන නව ව්‍යවස්ථාව මඟින් 1987 වර්ෂයේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අර්ධ වශයෙන් කෑලි නවයකට බෙදන ලද ශ්‍රී ලංකා රාජ්‍ය යළි එක්සත් කොට ඒකීය රාජ්‍යයක තත්වයකට ගෙන එමින් ඒ තූළ පළාත් ආණ්ඩු වලට බලය බෙදා හරිමින් රටේ දේශපාලන ස්ථාවරභාවය ආරක්‍ෂා කොට පවත්වා ගෙන යාමට ස්ථිරසාර නෛතික පදනමක් දමා ඇති බවය. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය තේරුම් ගෙන නැත්තේ මෙම කරුණය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *