ඔසරිපොටක් මව්පිය පිරිසක් වෘත්තිය සමිතියක් – අනුර සූරියබණ්ඩාර

ලෝක වාර්තාවක් සඳහා සූදානම් වන මනමාලියක ගේ ඔසරිපොට දරා සිටීමට පාසල් ළමයින් පිරිසක් යොදාගැනීම පිළිබඳ කතාන්දරය මේ වන විට කවුරුත් දනිති. එය මේ මොහොතේ දේශපාලනයත් අධ්‍යාපන ක්ෂේත්‍රයන් බලවත් ආන්දෝලනයකට ලක් වූ පුවතක් බවට පත් වී තිබේ.

අදාළ පළාත් ආණ්ඩුකාරවරිය හමු වී අදාළ පාසලේ මවුපියන් විදුහල්පතිවරයාට දඬුවම් නොකරන්නැයි ද ඔහුට සමාව දෙන්නැයි ද ඉල්ලා ඇති බව පුවත්පත් වර්තාකර තිබුණි. විදුහල්පති වරයාට සමාව දෙන්නට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කර තිබුණේ ඔසරි පොට ඇල්ලීමට දරුවන් යොදා ගැනුණේ මවුපියන් වන තමන්ගේ ඉල්ලීම අනුව යන්නය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තිය සමිතියක් කියා තිබුණේ දේශපාලන බලවතුන්ගේ අණ පිළිපැදීමට යෑම හේතුවෙන් විදුහල්පතිවරයා අමාරුවේ වැටී ඇති බවය. පළාතේ මහ ඇමතිවරයා අදාළ කටයුත්තට දරුවන් යෙදවීමට විදුහල්පතිවරයාට අණකර ඇති බව එකී ගුරු සංගම් නිලධාරියාගේ මතය වී තිබුණි. පළාතේ ආණ්ඩුකාර කාර්යාලය කටයුතු කරන්නේ විදුහල්පතිවරයා බිලි දී දේශපාලන බලාධිකාරය ආරක්ෂා කරන්නට බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

මවු පියන්ගේ ප්‍රකාශත් ගුරු සංගම් නිලධාරියාගේ මතයත් අතර පැහැදිලි වෙනසක් තිබේ. නමුත් මවුපියන් මෙන්ම ගුරු සංගම් නිලධාරියා ද උත්සාහ කරන්නේ විදුහල්පති වරයාගේ නිවරද්‍යභාවය ඔප්පු කරන්නට බව පැහැදිලිය. ඉන් එක් පාර්ශවයක් වරද තමා වෙතට පවරා ගනිමින් විදුහල්පති ගලවා ගන්නට උත්සාහ කරන අතර අනෙක් පාර්ශ්වය දේශපාලන අධිකාරියට වරද පටවා විදුහල්පතිවරයා නිදහස් කිරීමට උත්සාහ ගනී. වෙනස එපමණය. මෙහිදී විදුහල්පතිවරයාගේ වැරදි හෝ නිවැරදි බව දෘෂ්ඨිකෝණ දෙකකින් විමසා බැලීමට පුළුවන. එනම්;

  1. මව්පියන්ගේ දෘෂ්ඨිකෝණය
  2. ගුරුසංගමයේ දෘෂ්ඨිකෝණය

මවුපියන්ගේ දෘෂ්ඨිකෝණය අනුව ඔසරි පොට අල්ලා ගැනීමට එක්වූයේ ඔවුන්ගේ දරුවන්ය. එසේ ඔසරිපොට අල්ලා ගැනීම සඳහා දරුවන් යොදා ගන්නා ලෙස මවුපියන් වශයෙන් ඔවුන් විදුහල්පති වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ. ඒ අනුව විදුහල්පති වරදක් කර නැත. ඔහු කර ඇත්තේ මවුපියන්ගේ ඉල්ලීමක් ඉටුකිරීම වන බැවිනි. මෙහි දී පැනනැ‍ඟෙන අතුරු ප්‍රශ්න දෙකකි. එනම්,

  1. දරුවන් ඔවුන්ගේ වූ පමණින් ඔවුන් රිසි රිසි පරිදි යොදා ගැනීමට මවුපියන්ට අයිතියක් තිබේද?
  2. පාසලට පැමිණි දරුවෙකු මවුපියන්ගේ ඉල්ලීම අනුව අධ්‍යාපන නොවන කටයුත්තක යෙදවීමට පාසලට අයිතියක් තිබේද?

දරුවන් පිළිබඳ සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ මවුපියන් තුළ ඇති නොදැනුවත්කම ඔවුන්ගේ ප්‍රකාශය අනුව පැහැදිළිය. දරුවන් යනු මවුපියන්ගේ වුවමනාව අනුව සිතූ සිතූ අයුරින් පරිහරණය කළ හැකි භාණ්ඩ හෝ උපකරණ සමූහයක් නොවන බව ඉහත කී මවුපියන් නොදන්නා සේය. ඔසරිපොට ඇල්ලීමට යොදා ගැනීම යනු පාසල් නොයවා හිදීම, රැකියාවක යෙදවීම වැනි කරුණක් නොවුව ද පාසල් භූමියට ඇතුළත් වූ දරුවකු අධ්‍යාපනික නොවන කටයුත්තකට යොදවන ලෙසට අවසර දීමට ඉල්ලා සිටීමට මවුපියන්ට අයිතියක් ඇත්තේ නැත. ඔසරිපොට ඇල්ලීමේ කාර්යයට සිය දරුවන් යෙදවීමට මවුපියනට අදහසක් සහ කැමැත්තක් තිබුණේ නම් ඔවුන් කළ යුතුව තිබුණේ දරුවන් පාසලට නොයවා ඔසරි පොට ඇල්ලීමේ කටයුත්තට සහභාගී කරවීමය.

දෙවනුව මවුපියන්ගේ ඉල්ලීම අනුව වුව පාසලට පැමිණි දරුවකු පාසල් අධ්‍යාපනයට අදාළ නොවන කටයුත්තකට යෙදවීමට විදුහල්පතිවරයකුට බලයක් තිබේද? එසේ සිතන්නේ නම් එකී විදුහල්පතිවරයා සාමාන්‍ය නීතිය පවා නොදන්නා තැනැත්තකු විය යුතුය. නීතිය අනුව නොව සාදාචාරය අනුව ගත්තද ඉගෙනීම සඳහා පාසලට පැමිණි දරුවකු වෙනත් කාර්යක යෙදවීමට සමාව දිය නොහැකිය. අදාළ කටයුත්තේ දී දරුවකු යම් අනතුරකට මුහුණ දුන්නේ නම් තත්ත්වය තවත් බරපතළ වනු ඇත. අනෙක එකී දරුවන් ඔසරිපොට ඇල්ලීමේ කටයුත්තට යොදවා තිබුණේ මහ මගය. අපහසු අසීරු පරිසර තත්ත්වයන් යටතේය. එය ළමයින්ගේ කැමැත්තෙන් තොරව ඔවුනට හෝ ඔවුනගේ අධ්‍යාපනයට අදාළ නොවන කටයුත්තක දරුවන් යෙදවීමකි. කෙටියෙන් කියන්නේ නම් විදුහල්පතිවරයාගේ හිතවත් පාර්ශ්වයක ගේ සිතැඟියක් වන ලෝක වාර්තා සිහිනයකට අධ්‍යාපන අවස්ථාව කඩාකප්පල් කර දරුවන් යොදා ගැනීමකි. ලෝකවාර්තාව පිහිටුවීම පිළිබඳ ගැටලුවක් නැත. එසේම ඔසරිපොට ඇල්ලීම සඳහා පාසල් දරුවන්ම යොදාගත යුතු යැයි නියමයක් ද නැත. අවශ්‍යනම් විවාහ මංගල්‍යයට ආ පිරිසම ඒ සඳහා යොදා ගත හැකි නොවේද? මවුපියන්ගේ ඉල්ලීම එය කෙරුණේ නම් වෙනත නොගැලපෙන කටයුත්තක දරුවන් යොදවන්නැයි මවුපියන් ඉල්ලූවිටෙකත් විදුහල්පතිවරයා ඒ ඉල්ලීම ඉටුකරන්නේදැයි විමසිය යුතුය. ඉහත කරුණු අනුව පෙනී යන්නේ එකී විදුහල්පතිවරයාට තමාගේ බලසීමාව සහ වගකීම පිළිබඳ අවබෝධයක් නොමැති බවය. එහෙයින්ම ඔහු විදුහල්පති වැනි වගකිවයුතු තනතුරකට හොබින්නේ නැත.

වෘත්තිය සමිතියේ අදහස අනුව විදුහල්පතිවරයා නිර්දෝශිවන්නේ ඔසරිපොට ඇල්ලීමට දරුවන් යෙදවීම දේශපාලන අධිකාරියේ නියෝගයක් මත සිදුවූවක් නිසාය. දේශපාලඥයන් සහභාගිවන රැස්වීම්වලට පාසල් දරුවන් යෙදවීමට පවා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන්නේ නැත. වෘත්තිය සමිති ප්‍රධානියාද ඒ බව නොදන්නවා විය නොහැකිය. අදාළ නොවන කටයුත්තකට පාසල් දරුවන් යොදවන්නැයි කිසිවකු ඉල්ලීමක් නොව නියෝගයක් වුව කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය විදුහල්පතිවරයාට තිබේ. වැදගත් වෘත්තීය සමිතියක වගකීම වන්නේ ඒ බව විදුහල්පතිවරයාට පැහැදිලි දර දීමය. එසේ නැතිව දේශපාලනයට ඇඟිල්ල දිගු කරමින් විදුහල්පතිවරයා කළ වරද යටපත් කිරීමට උත්සාහ කිරීම නොවේ. දේශපාලකයන් කී පමණින් සියල්ල කරන්නට යාම වරදක් බව රාජ්‍ය සේවකයාට පෙන්වා දීමත් එසේ එල්ල කෙරෙන බලපෑම් වලින් රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීමත් වෘත්තිය සමිති කාර්යභාරයයි. එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේපකර දඬුවමකට ලක් වූ රාජ්‍ය සේවකයකු ආරක්ෂා කිරීමට වෘත්තීය සමිතියක් ඉදිරිපත් වීම වටහාගත හැකිය. දේශපාලකයන්ගේ පදයට නටන්නට ගොස් අවමාරුවේ වැටුණු රජ්‍ය සේවකයකු (අදාල විදුහල්පතිට සිදුව ඇත්තේ එය නම්) ආරක්ෂා කිරීමට වෘත්තිට සමිති කෑකෝ ගැසීම වටහා ගත නොහැකිය. අනුමත කරන්නට ද පුළුවන්කමක් නැත. එය වනාහී දේශපාලකයන්ගේ පදයට නටමින් ජනාතා විරෝධිවීමට රාජ්‍ය සේවකයනට අනුබල දීමක් විය හැකි නිසාය.

අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *