|

මානව හිමිකම් ජාත්‍යන්තර ප්‍රශ්නය සදහටම නවතී

* දිසාපති සමුළුවට නොසිතු විටෙක ආගන්තුක අමුත්තෙක්
* වසර 13ක් සැදු නිවාස ව්‍යාපෘතියක් ජනතාවට පවරයි
* පළාත් ඡන්ද පනතේ දුරාවබෝධය ජවිපෙ අවධානය

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි වීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සඳුදා දිවයිනට පැමිණියේ සාර්ථක සංචාරයකින් පසුවයි. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සියලු සහාය ලබා දෙන බව එජා මහ ලේකම්වරයාත් බොහෝ රාජ්‍ය නායකයනුත් ජනාධිපතිතුමාට පොරොන්දු වී සිටියා. මහින්ද සමරසිංහ ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය දිගින් දිගට මතුකිරීමෙන් වළකින බව එජා මානව හිමිකම් කොමසාරිස්වරයාද ජනාධිපතිතුමාට සහතික වූ බවයි.

දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 58 වන ගුණ සමරුව හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසල දී පසුගිය 26 දා පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් බණ්ඩාරනායක සමාධියට පූජෝපහාර දැක්වූවා. හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමැති පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේත් අනුර බණ්ඩාරනායක මහතාගේත් ගුණ සැමරීමද ඒ සමගම සිදු කෙරුණා.

දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගට කැපවී කටයුතු කළ අරමුණක්, බස්නාහිර පළාත් කෘෂිකර්ම හා සත්ව පාලන ප්‍රදර්ශනයේ ප්‍රථම දිනයේ ආරම්භක උත්සවයට කළුතර බෝඹුවලදී ජනාධිපතිතුමා එක්වූයේ ඉතා කැමැත්තෙන්. බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාත්, පළාත් කෘෂිකර්ම ඇමැති ගාමිණී තිලකසිරි මහතාත් ඒ අවස්ථාවට එක්ව සිටියා.

උත්සවය අමතමින් ජනාධිපතිතුමා කීවේ විදේශයෙන් ගෙන්වල ලද ලොකු ලූනු සඳහා සියයට සියයක බද්දක් පැනවීමට තමා නියෝග කළ බවයි. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන හා සෞඛ්‍යයට අහිතකර ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නැවැත්වීම සඳහා නීති පැනවීමට ජාතික ආර්ථික සභාව මඟින් තමා කටයුතු කරන බව ජනාධිපතිතුමා කීවා. තමා කෘෂිකර්ම ඇමැතිව සිටියදී “අපි වවමු රට හදමු” වැඩසටහන හඳුන්වා දෙමින් කෘෂිකර්මය නඟා සිටුවීමට කටයුතු කළ ආකාරයද ජනාධිපතිතුමා මතක් කළා.

ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ගැන කළ පර්යේෂණ ග්‍රන්ථයක් එළි දැක්වීමේ උලෙළ පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පැවැත්වුණා. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා කීවේ අපේ රටේ පුරා විද්‍යාවත් දැන් පුරා විද්‍යාවට ගොස් ඇති බවයි. එහි ඉහළ තනතුරුවලට පත්කිරීම ගැන නිලධාරීන් වසර දහයක් තිස්සේ නඩු කියාගන්නා බවත්, තනතුරුවලට සුදුස්සන් නැති බව දෙපාර්තමේන්තුව ඇතුළේම අය කියන නමුත් පිටින් කිසිවකු පත් කරන්නට ඉඩ නොදෙන බවද ජනාධිපතිතුමා මෙහිදී හෙළිදරව් කළා.

මේ රටේ ආරක්ෂා කළ යුතු පුරා විද්‍යා ස්ථාන ගැන ලැයිස්තුවක් දෙන්නැයි තමා පුරා විද්‍යා කොමසාරිස් තුමාගෙන් ඉල්ලා වසරක් ගියත් තවමත් එය ලැබී නැති බවද ජනාධිපතිතුමා කීවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බදාදා දිනයේ බදුල්ලේ නිල වැඩ සටහන් ගණනාවකටම සහභාගී වුණා. ඇල්ල – හාලිඇල ප්‍රදේශවල එක් ලක්ෂ දස දහසක ජනයාට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියත්, බදුල්ලේ ‍මෝටර් රථ අංගනයත් විවෘත කරන ලද්දේ ජනාධිපතිවරයාගේ අතින්. අලුතෙන් පත්වීම් ලැබූ රජයේ නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි බෙදාදීමද මෙහිදී සිදුවුණා. උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා කීවේ රටේ ආර්ථික සංවර්ධනයට කාලගුණ හා දේශගුණික සාධක බලපා ඇති බවයි. එම කාලගුණික ප්‍රශ්න අපට විශේෂ වී නැති බවත් ජනාධිපතිතුමා කීවා. පසුගිය දා ඇමෙරිකාවේ ගිය අවස්ථාවේදී තමා දැක්කේ ඇමෙරිකාව පුරා සුළි සුළං, ලැව් ගිනි හා ගංවතුර වැනි ආපදා පවතින බව යැයි ජනාධිපතිතුමා සඳහන් කළා.

පළාත් සභා මැතිවරණ පනතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබාගෙන සම්මත කර ගැනීම ගැනත් ජනාධිපතිතුමා මෙහිදී කතා කළා . පසුගිය සතියේ ලබාගත් තුනෙන් දෙකක ඡන්දය මඟින් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර බව රටට ඔප්පු කළ බවද ජනාධිපතිතුමා අවධාරණය කළා.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයට පැමිණ රාජකාරි ඇරඹීමට පෙර පැමිණ සිටි මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් හමුවූණා.

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව හොඳ බව බොහෝ දෙනකුගේ අදහසයි. මම මහනාහිමිවරුන්ටත් පිටපත් දීලා කරුණු පැහැදිලි කළා. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

ශ්‍රීලනිපයත් බලය බෙදීමට එකඟයි. බුදුදහමට තිබෙන ප්‍රමුඛත්වය තියාගෙන අනිත් ආගම්වලටත් මදිපුංචිකමක් නොකරන පදනම කවුරුත් අගය කරනවා. දයා ගමගේ මහතා කීවා.

බුදු දහමට ප්‍රමුඛත්වය දීම අනිවාර්යෙන් කරන ගමන් අනිකුත් ආගම්වලට මදි පුංචිකම් නොකළ යුතුයි කියන යෝජනාවට ශ්‍රීලනිපය විරුද්ධයිලු. රවී කරුණානායක මෙන්ම රන්ජන් රාමනායක කීවේ එකම කතාවක්.

විධායක ජනපතිකම අහෝසි කරන්නත් ශ්‍රීලනිපය විරුද්ධයිලු. ජනාධිපතිතුමා ආවේ එය අහෝසි කරන්නයි. ඒත් පළාත් සභාවලට අදාළ විධායක බලතල ජනාධිපතිතුමා ළඟ තිබීම ගැටලුවක් නොවන බව කාගේත් අදහස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

මේ ගැන ජවිපෙ ස්ථාවරය අහන්න ඕනෑ. ඔවුන්ට දැන් ඇත්ත තේරෙනවා වගේ. නවීන් දිසානායක කීවා.

මේ කෙටුම්පතේ තිබුණේ යෝජනා විතරයි. සාකච්ඡා ඔක්තෝබර් විතර වෙනකම් යනවා. අවසන් කෙටුම්පත එන්නේ ඊට පස්සේ. එජාපය කරන්නේ සියලු පක්ෂ එකතු කරල පුළුල්ව කතා කරල ගැටලු ලිහන එකයි”අගමැතිවරයා ඇමතිවරුන්ට කිව්වා.

අලුත් ඡන්ද ක්‍රමයේ 60% – 40% තිබුණු කේවල හා සමානුපාතික එක 50% – 50% කළා කියල ඒකාබද්ධය කෑ ගහනවා” වජිර අබේවර්ධන මහතා කිව්වා.

පළාත් පාලනවල 60% – 40% එහෙමම තියෙනවා. පළාත් සභා වලයි 50% – 50% කළේ. සුළු පක්ෂ හා සුළු ජාතික පක්ෂ ගැන නොහිතා ප්‍රධාන පක්ෂ 02 ට විතරක් වාසි ලැබෙන ක්‍රම හදලා රටකට ඉදිරියට යන්න බෑ” අගමැතිවරයා පැහැදිලි කළා.

අර රොහින්ග්‍යා සරණාගතයන්ට අපේ හාමුදුරුවරුයි තරුණ පිරිසකුයි කරපු පහත් වැඩෙන් බුදු දහමටයි ලංකාවටයි ලොකු කැළලක් වුණා.” රන්ජන් රාමනායක කීදේ සියලු දෙනාම අනුමත කළා.

රාජිතයි, මංගලයි ඒකට හොඳට උත්තර දුන්නා.2008 දී හා 2013 දී මහින්දගෙ කාලෙ 55 ක් හා 170 ක් ඒ සරණාගතයො ලංකාවට ඇවිත් තියෙනවා.ඔවුන් ලංකාවට එනව නෙවෙයි අපේ මුහුදු සීමාවේදී අපේ නාවික අංශ අල්ල ගන්නවා. කලින් ආපු අය එජා සරණාගත කාර්යාලය හරහා ඇමෙරිකාවට, කැනඩාවට යවල තියෙනවා. ඕස්ට්‍රේලියාවට යද්දී මේ පාර අල්ල ගත්ත 30දෙනාත් ඉක්මනින් යවාවි. එක්සත් ජාතීන්ගේ සරණාගත ගිවිසුමට 2005 දී අත්සන් කළෙත් මහින්ද රාජපක්ෂයි. අපේ අයත් යුද්ධ කාලෙ ලක්ෂ 22ක් සරණාගතයො ලෙස පිටරට ගිහින් තියෙනවා. හාමුදුරුවරු හා ඒ තරුණ පිරිස මේවා නොදැන පහත් ලෙස හැසිරීම ඉතා කනගාටුදායකයි” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා..

බැඳුම්කර පරීක්ෂණවලට ආණ්ඩුව මැදිහත් වෙන්න එපා කියලා සජිත් නවීන් හා රුවන් ඇමතිවරු ඔබතුමා හමුවෙලා බලපෑම් කළා කියල ප්‍රවෘත්තියක් ගිහින් තිබුණා. වජිර අබේවර්ධන සහ දයා ගමගේ මහත්වරුන් අගමැති වික්‍රමසිංහ මහතාගෙන් ඇසුවා.

මම හම්බ වුණෙත් නෑ. එහෙම කතාවක් ඇති වුණෙත් නෑ. ඒ ප්‍රවෘත්තිය පළවුණේ කොහොමද කියල ඒ තුන්දනාගෙන් අහන්න අගමැතිවරයා කිව්වා.

පොල් හිඟයට හේතුව නියඟය හා පරිසර හේතුයි. ගෑස් මිල ලෝක වෙ‍ළෙඳ පොළේ ඉහළ ගියා. මාස 02ක් ඒ බර ජනතාවට නොදී ආණ්ඩුව දරාගෙන හිටියා අගමැතිවරයා කිව්වා.

එජාපයට ,ජනපති හා අගමැතිට ආණ්ඩුවට හා රණවිරුවන්ට සෙත් පතා සහ මියගිය රණ විරුවන්ට පින් දීමට අරලිය ගහ මැදුරේ තියපු දානයට එන්න එපා කියල ගම්මන්පිල සවුත්තු වුණා. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

හාමුදුරුවරුන් හොරු වෙනුවෙන් මුදල් ගරන්න පිණ්ඩපාතේ යවන්න හොඳයි. ඒත් දානයකට වඩින්න නරකයි. ගම්මන්පිලගෙ බුදු දහමේ දැනුම පරික්ෂා කරන්න කියලයි උපාසක අම්මල කීප දෙනෙක් මට කිව්වේ” රන්ජන් රාමනායක මහතා කව්වා.

සූරියවැව ජාතික පාසලට වසර 50ක් පිරීම නිමිත්තෙන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පිරිනැමූෙවේ රුපියල් ලක්ෂ 71ක් වටිනා ආසන 42කින් සමන්විත වායු සමනය කළ අලුත්ම කහපාට බස් රථයක්. මීට පෙර දෙබරවැව ජාතික පාසලේ 80වැනි සංවත්සරයටද සජිත් මෙවැනිම කහ පාට බස් රථයක් තෑගි දී තිබුණා. දෙබරවැව ජාතික පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරු, සිසුන්, ආදි සිසුන් පිරිසක් ඔවුන්ගේ බස් රථයෙන් මේ උත්සවයට නෑගම් ඒමද විශේෂ සිද්ධියක් වුණා. සජිත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිට කිලෝ මීටර් 2ක් පමණ බසය පදවාගෙන විදුහල වෙත ආවේ පාසලේ සිසු-සිසුවියන් පිරිසක්ද බසයට නංවාගෙනයි. බස්රියට ඉදිරියෙන් නළා ශබ්ද කරමින් ඉදිරිපස විදුලි පහන් දල්වාගත් ප්‍රදේශවාසීන්ගේ වාහන සහ මෝටර් සයිකල් පෙළපාලියක් පැමිණියා. බස් රථය පසුපසින් ආවේ දෙබරවැව ජාතික පාසලේ බස් රියයි. කහකුරුල්ලන් දෙදෙනා දුර තියා දුටු දරු- දැරියන් හා මාපියන් විදුහලේ කොඩි වනමින් ප්‍රීති ඝෝෂා පළ කළා. බස්රථය මිලදී ගැනීමට මුදල් ලබා දී තිබුණේ සජිත්ගේ ඉල්ලීම පරිදි පරිත්‍යාගශීලී දානපතියන් පිරිසක්. සංකේතයක් ලෙස නිර්මාණය කළ යතුරක් සජිත් පාසලේ සිසුවියක හා සිසුවෙකු වෙත භාර දුන්නා. “අපේ දුප්පත් දරුවො වෙනුවෙන් මෙතුවක් කාලෙකට කවුරුවත් මෙහෙව් සැලකිල්ලක් කරල නෑ සර්” සජිත් වටකර ගත් මාපියන් කියද්දී සජිත් කීවේ ‘සල්ලිත් තිබුණු, බලයත් තිබුණු කාලේ මොනවත්ම සිද්ධ වෙලා නෑ තමයි. මම මේ ළමයින්ට ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයකුත් හදල දෙනවා. මේ දේවල් කරන්න මට අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අගමැතිතුමාගෙන් ආශිර්වාදය, දිරිගැන්වීම නොඅඩුව ලැබෙනවා” කියායි.

වජිර අබේවර්ධන ඇමතිවරයා පසුගිය සිකුරාදා රිච්මන්ඩ් විද්‍යාලයේ ”හරිත උදාන 2017″ කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයට සහභාගී වූයේ එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින්.මේ උත්සවයට ඇමති ගයන්ත කරුණාතිලක හා විජේපාල හෙට්ටිආරච්චි මහත්වරුන් ද පැමිණීමට නියමිතව තිබුණා.

ගයන්ත හා විජේපාල මහත්වරැන් පැමිණිමෙන් අනතුරුව තිදෙනා රැගත් තූර්ය වාදක කණ්ඩායම ප්‍රදර්ශනය පැවැත්වෙන ගොවිපොළ වෙත යද්දී වැසි වැටුණ ද වැස්සේ ම ඔවුහු එහි ගියා.

ප්‍රදර්ශනය විවෘත කළ වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ රිච්මන්ඩ් විද්‍යාලය සතුව ඇති කටුගොඩ ඉඩම සම්බන්ධයෙන් ගැටලුවක් පැණ නැගුණු අවස්ථාවේ දී තමන් රිච්මන්ඩ්වරයකු නොවූව ද මහින්දීයයකු ලෙස මෙම ප්‍රශ්නයට මැදහත් වී ඉඩම බේරා ගැනීමට කටයුතු කළ බවයි.කැබිනට් මණ්ඩලයේ දී තමන් සෘජුව තම අදහස ප්‍රකාශ කළ බවත් රිච්මන්ඩ් උන්නතිය වෙනුවෙන් නිතරම කටයුතු කරන බවත් කියා ඔහු එතැනින් ඉක්මණින් ඉවත්ව ගියේ අගමැතිවරයා පැමිණෙන හෙලිකොප්ටර් යානය ගොඩබස්වන සමනල ක්‍රීඩාංගණයට යාමේ අපේක්ෂාවෙන්.

අගමැති රනිල් ගාල්ලට පැමිණියේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැකුණුගොඩ රජයේ නිවාස සංකීර්ණයේ නිල නිවාස 100ක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමේ අපේක්ෂාවෙන්.

රජයේ නිලධාරීන්ට ලබාදීම සඳහා වැකුණුගොඩ හා හබරාදුව නිවාස සංකීර්ණ දෙක ඉදිකරන ලද්දේ 2001 -2004 එක්සත් ජාතික පක්ෂ රජය පැවැති කාලයේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වූ වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන්.අවුරුදු 13 ට පසු එම නිවාස සංකීර්ණ විවෘත කරන ලද්දේ ඔහු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස යළි පත්වීමෙන් අනතුරුවයි. අගමැතිවරයාත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිරත් මේ අතීත කතාව මතක් කළා.නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මේ උත්සවයට එක්ව සිටියා.

එදින ම සවස ගාල්ල ගිංතොට ඉදි වූ නව තරුපහේ හෝටලයක් වූ අමාරි හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූණා. අගමැතිවරයා එතැනට ඒමට පෙර ආරක්ෂක අංශයෙන් මාධ්‍යවේදීන්ට පණිවිඩයක් ලැබුණා.

”අගමැතිතුමා කාර් එකෙන් බහිනවා ෆෝටෝ ගන්න එපා. උඩ කාමරයකට ගිහින් ඇඳුම් මාරුකරගෙන එන්නේ” ඉන් කියවුණා.

අගමැතිවරයා රැගත් කාරය හෝටලය ඉදිරිපිට නතරවුණා. කිසිවෙකු ඡායාරූප ගත්තේ නැහැ. සුදු පැහැති කමිසයකින් සැරසී සිටි අගමැතිවරයා එතැන සිටි වජිර අබේවර්ධන ඇමතිවරයාටත්, මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයාටත් යමක් කියා හෝටලය ඇතුළට ගියා. මද වේලාවකින් වෙනත් ඇඳුමකින් සැරසුණු අගමැතිවරයා රැගත් නැටුම් කණ්ඩායම යළි හෝටලය විවෘත වන ස්ථානයට පැමිණෙන අයුරු දක්නට ලැබුණා. අගමැතිවරයා තනියම පැමිණිය ද ඊට පිටුපසින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද හෙමින් හෙමින් පැමිණියේ උත්සවය මෙහෙයවන අයට නොදැනෙන ලෙසින්.

සඳුදා සහ අඟහරුවාදා කොළඹ මිලෝදා මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී දිසාපති සමුළුව ආරම්භ වූයේ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.රට පුරා සංවර්ධන යෝජනා ක්‍රම හා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටයි. දිස්ත්‍රික් ලේකම්වරු සමග දින දෙකම සම්පූර්ණයෙන් ම ගත කරමින් සිටි ඇමති වජිර ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කළ පා ගමනකට සහභාගී වීමට ගියා.

දිසාපති සමුළුවේ දෙවැනි දිනයට හදිසියේ ම අමුත්තකු පැමිණියා. කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි එසේ පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා කියා සිටියේ තමන් දිසාපති සමුළුව නියෝජනය කළ වසර හයක කාලයට කිසිදු ජනාධිපතිවරයකු මේ සමුළුවට සහභාගී නොවූ බවයි. ජනාධිපතිවරයා ද වජිර අබේවර්ධන ඇමතිවරයා සහ දිසාපතිවරු සමග රටේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ගැන සාකච්ඡා කළා.

නියඟයෙන් හා ගංවතුරෙන් සිදු වූ වගා විනාශ හේතුවෙන් කෘෂිකර්මාන්තයේ කඩා වැටීම නිසා ඔක්තෝබර් මාසයේ 06 දා සිට කෘෂි කර්මාන්තය නගා සිටුවීමේ දැවැන්ත වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනින් නික්ම ගියේ දිසාපති සමුළුවට සුබ පතමින් සහ ඉදිරියේ හැකි සෑම අවස්ථාවක දී ම දිසාපති සමුළුවට සහභාගීවන බව ද ප්‍රකාශ කරමින්.

පසුගිය අඟහරුවාදා දිනයේ දී ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී රැස් වුණා. එහි දී විශේෂයෙන් අවධානයට ගැනුණේ, පළාත් සභා පනත සංශෝධනය කිරීම පිළිබඳව මතුවී ඇති තත්ත්වය සහ විගණන පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳවයි. ”පළාත් සභා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය වීම ගැන කරුණු හරිහැටි ජනතාව අතරට ගියේ නැහැ. සමහරු තවමත් හිතාගෙන ඉන්නේ 20 සංශෝධනය අධිකරණය තීන්දුවට පිටුපාලා 2/3න් සම්මත කර ගත්තා කියලා. ඒ වගේම තමන්ගේ දේශපාලන සිහිනය බිඳ වැටුණු ඒකාබද්ධ විපක්ෂය අපේ පක්ෂයට මඩ ගහනවා. මේ කරුණු නිසා පනත ගැන නිවැරදි දේශපාලන සංවාදයක් ජනතාව අතරට ගියේ නෑ” ටිල්වින් සිල්වා කියා සිටියා. “රාජපක්ෂ කණ්ඩායම මුල දී පළාත් පාලන මැතිවරණය ඕනෑ කියලා කෑගැහුව්වා. දැන් පළාත් සභා ඕන කියලා කෑ ගහනවා. එක එක වෙලාවට තමන්ට වාසිවෙයි කියලා හිතෙන දේශපාලන ප්‍රකාශ සිදුකරනවා. රාජපක්ෂ කණ්ඩායම ඡන්ද ඉල්ලූවට ඇත්තටම ඡන්දවලට බයයි.කොහොමත් ඡන්දයක දී ශ්‍රීලනිපය දෙකඩ වෙනවා.ඒකට බයයි. ඒකයි ඇත්ත කතාව.ඒකාබද්ධෙට ප්‍රාදේශීය සභා මැතිවරණය ආවාම අපේක්ෂකයෝ තෝර ගන්න එක අර්බුදයක් වෙනවා ඒකයි පළාත් සභා මැතිවරණයට බය. ඒක වහගන්න අපිට මඩ ගහනවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

“පළාත් සභා පනතට සංශෝධන ගෙනාපු විදියේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ කියන එකට තවත් හොඳම උදාහරණයක් තමයි මේක. නමුත් මේ පනතෙන් පළාත් සභා මැතිවරණයටත් මනාප නැති ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක රටටත් ජනතාවටත් වැදගත්.කවුරු මොනවා කිව්වත් ඒ වගේ දෙයකට ඡන්දය දෙන එක අපේ වගකීමක්.රාජපක්ෂ කණ්ඩායම දෙවැනි වර කියවන අවස්ථාවට ඡන්දය දුන්නේ නැහැ. ඒ කියන්නේ කාන්තා නියෝජනයට විරුද්ධයි. ඒ වෙලාවේ 44ක් විරුද්ධ වුණා. නමුත් සංශෝධනවලට ඡන්දය දුන්නේ 37යි. 7ක්ම ඡන්දෙට හිටියෙත් නැහැ.මහින්ද රාජපක්ෂ ආවෙත් නැහැ.තමන්ගේ මන්ත්‍රීවරු ටිකවත් එක තීරණයක තියාගන්න බැරි බංකොළොත් කණ්ඩායමක් තමයි අපිට චෝදනා කරන්නේ.” අනුර දිසානායක කියා සිටියා.”ඔව්, රාජපක්ෂ කණ්ඩායම කියන තරම් මේ පනත මාරාන්තික නම් පනතට ඡන්දෙ දීලා තමන්ගේ විරෝධය පළ කරන්න ඕනෑ.අපි වැඩ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. රනිල්වත් මහින්දවත් සතුටු කරන්න නෙවෙයි කියලා අපි රටට පැහැදිලි කළ යුතුයි.” ටිල්වින් සිල්වා කීවා. “ඇත්තටම මේ වෙලාවේ ජනතාවට ඕනෑ අවුරුදු දෙකහමාරක් විතර පස්සට ගිය පළාත් පාලන ඡන්දේ. පළාත් සභා ආවනම් ඡන්දේ තියෙන්නේ පළාත් සභා 03ක විතරයි.පළාත් සභා 03ක ඡන්දය ආවානම් ආණ්ඩුව ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලේ බැහැලා බඩු බෙදලා, ආණ්ඩුවේ සම්පත් පාවිච්චි කරලා ඡන්දෙ කරයි. ඊට වඩා මුළු රටේම ඡන්දය තියෙන එක අපිටත් හොඳයි ජනතාවටත් හොඳයි. ඒ නිසා අපි හරි දේ වෙනුවෙන් පෙනී හිටිය බව මඩවලට රැවටෙන්න නො දී ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ.” ලාල්කාන්ත කියා සිටියා.

පසුගිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කොට ඝාතනය කරන ලද විද්‍යාගේ සිදුවීමට සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව සැප්.27වෙනිදා යාපනය මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත්කෙරැණා. එදින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා, යාපනය දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද අධිකරණය වෙත ගොස් සිටියා.මෙහි දී විශාල පිරිසක් තීන්දුව දැනගැනීම සඳහා උසාවි භූමියට පැමිණ සිටියා. බිමල් රත්නායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නඩු තීන්දුවට පෙර විද්‍යාගේ මව හමුවීමට අවස්ථාවක් උදාකර ගත්තා. විද්‍යාගේ සිදුවීමෙන් සතියකට පමණ පසු බිමල් රත්නායක මන්ත්‍රීවරයා විද්‍යාගේ මව හමු වූ අතර ඇයට ඔවුන් මතකයේ රැඳී තිබුණා.මව ඉතාම සංවේදීව දියණිය ගැන සිහිපත් කළා.

ජනාධිපතිවරයා මේ දැරියගේ ඝාතනයෙන් පස්සේ යාපනයට ආවා. ඇවිත් පොරොන්දු වුණා ළමා අපචාර සිදුවීම් පිළිබඳව විභාග කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ නඩු තීන්දුවවත් පාදක කරගෙන ළමා අපචාර සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියලා. ඒකෙන් තමයි ළමයින්ට සිදුවන අපචාරවලට යම් නීතිමය ආවරණයක් ලැබෙන්නේ.” බිමල් රත්නායක මන්ත්‍රීවරයා යාපනයේ සිට මාධ්‍ය මගින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්ද කළා.

මහජන චීන සමූහාණ්ඩුවේ 68 වන සංවත්සරය නැතහොත් චීන ජාතික දිනය පසුගිය 26 දාට යෙදී තිබුණා.1949 දී සභාපති මා ඕ සේතුංගේ නායකත්වයෙන් චීන විප්ලවය ජයගෙන චීන සමූහාණ්ඩුව බිහි කිරීමේ සංවත්සරය චීන ජාතික දිනය ලෙස සලකා සමරනු ලබනවා. චීනය සමඟ බැඳීමකින් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේදී පැවැති මෙම සැමරුමට එක්දහස් පන්සියයකට අධික පිරිසක් එක්ව සිටියා. මහින්ද රාජපක්ෂ මහතා සමඟ විමල් වීරවංශ,නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක්ද එයට එක්ව සිටියා. මෙම සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතායි. ඒ මහතා සමුළුවේ ආරාධිත දේශනය කළා. සමරුවට පැමිණ සිටි ජෝන් අමරතුංග, මහින්ද සමරසිංහ, ඇමැතිවරුන් සමඟ මහින්ද රාජපක්ෂ මහතා සුහද කතාබහක යෙදී සිටියා. මෙම සමරු උළෙල අවසානය දක්වා සහභාගී නොවූ මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු පිරිස ඉක්මනින්ම ඉන් ඉවත්ව යෑම බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ සිදුවීමක් වුණා.

ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවෙන් එකතුවන කණ්ඩායමක් ගැන කාලයක් තිස්සේ කතාබහ වුවද එවැන්නක් සිදුවූයේ නැහැ. පසුගිය සතියේ එය ස්ථිරවම සිදුවන බව කීවද කිසිවකු පැමිණියේ නැහැ.කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුවේ ඇමැති පිරිස නව ව්‍යවස්ථාවට විරුද්ධ වී විපක්ෂයට ඒමට බලාසිටින බවයි.මේ පිළිබඳව විශ්වාස නොකරන විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම කියන්නේ ආණ්ඩුවේ ඇමති පිරිස බොරු රැවටීමක් කරමින් සිටින බවයි. ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ විවිධ මත ඉදිරිපත් වී තිබෙනවා. බලාපොරොත්තු පෙරැළිය සිදු නොවීම පිළිබඳව ඇතැමුන් සිටින්නේ කලකිරීමෙන්.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය අද (29) දා සිට දින තුනක් තිස්සේ පැවැත්වෙන්නේ කොළඹ නාරාහේන්පිට ශාලිකා ශාලාවේදීයි. සාමාන්‍යයෙන් මෙවැනි සමුළුවකට එම පක්ෂය ඉදිරිපත් කරන දේශපාලන වාර්තාවට හා සංවිධාන වාර්තාවට අමතරව ස්වයං විවේචන වාර්තාවක් හා ජාත්‍යන්තර තත්ත්ව වාර්තාවක්ද මෙවර ඉදිරිපත් කොට සම්මත කරගැනීමට නියමිතයි. පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවලට සම්බන්ධව සිටි 1994 – 2014 කාලයේ කළ වැරදි ගැන ස්වයංවිවේචන වාර්තාවේ සඳහන් වෙනවා. එම වාර්තාව මගින් තම වැරදි පිළිගෙන යළි එම වැරදි නොකිරීමට කැපවීම ප්‍රකාශයට පත් කෙරෙනවා. පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව පත්කර ගැනීමද මෙහිදී සිදුකිරීමට නියමිතයි. එය පක්ෂයේ සිටින මහින්ද හිතවාදීන් හා එයට විරුද්ධ පිරිස අතර බල අරගලයක් වන බව පෙනෙන්නට තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *