වයිමලාගේ පොල්බෑයේ දේශපාලනය – භාතිය බරුකන්ද

එදා බන්දුල ගුණවර්ධනලාට මෙවැනි පුහු තර්ක ඉදිරිපත් කිරීමට සිදු වුණේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට ඉහළ ගිය නිසා මිස ඒවා දිගින් දිගටම පහළ ගිහින් ජනතාව සුඛිත මුදිත වෙලා ජීවත් වුණ නිසා නෙමෙයි. එහෙම වුණා නම් ‘‘අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැහැ’’ කියලා කියන්න බන්දුල ගුණවර්ධනලා ඉදිරිපත් වෙන්නේ නැහැ.

“වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාට ලූනු මිල පාලනය කිරීමට පවා සිදුවෙලා තිබෙනවා. ගෑස් මිල රුපියල් 110කින් ඉහළ ගියේ කෘත්‍රීම ලෙස මිල පාලනය කිරීමට හිටපු මුදල් ඇමැතිවරයා උපදෙස් ලබා දුන්න හින්දයි. සහල්, පොල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම පාලනය කර ගැනීමේ අවශ්‍යතාවක් මතු වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ අමාත්‍යාංශ කිහිපයක් එක්ව පත් කළ කමිටුවක් මගින් භාණ්ඩවල මිල පාලනය කළා. ඒ කාලේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙළෙඳ ඇමැතිවරයා ලෙස මට උපදෙස් ලබා දෙමින් භාණ්ඩ මිල පාලනය කළා. එදා ජනාධිපතිවරයා එම කමිටුවට මැදිහත් වුණේ නැහැ. එම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම වළක්වා ගැනීමට මුදල්, කෘෂිකර්ම හා වෙළෙඳ යන අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි” මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වෙළෙඳ ඇමැතිවරයාව සිටි ආර්ථික විශේෂඥයකු වශයෙන් සැලකෙන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පසුගිය 26 වැනිදා පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී කළ කතාවේ සාරාංශයකි.

මේ කතාවට නිමිත්ත වුණේ ගෑස් සිලින්ඩරයක මිල (කිලෝ 12.5) රුපියල් 110කින් ඉහළ දැමීමට පියවර ගැනීම. ගෑස් ගන්නේ උයන්න පිහින්න නිසා බන්දුල ගුණවර්ධන මහතා මේ සමඟ හාල්, පොල් මිල ඉහළ යාම ගැනත් කතා කළා. ඊට පස්සේ තමයි තමන්ගේ කාලේ කළ වික්‍රමයන් ගැන පුරාජේරු කතා කිවුවේ.

ඉතිහාසය අමතක කර කරන කතා

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ගැන අද මැසිවිලි නගමින් එය නතර කළ හැකි ආකාරය ගැන ආණ්ඩුවට උපදෙස් දෙන බන්දුල ගුණවර්ධන මහතා තමන් වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ මුහුණ දුන් සත්‍ය තත්ත්වය අද වසං කරමින් සුපුරුදු පරිදි ජනතාව මුලාවට පත් කිරීමට තැත් කිරීම හාස්‍යජනකයි. ඒකට හේතුව වන්නේ ‘‘රුපියල් 2500කින් සාමාන්‍ය පවුලකට කාලා බීලා මාසයක් හොඳට ජීවත් වෙන්න පුළුවන්’’ කියන කුප්‍රකට තර්කය ඉදිරිපත් කළේ එදා වෙළෙඳ ඇමැතිවරයාව සිටි මේ කියන බන්දුල ගුණවර්ධන මහතාම වීමයි. ඒ වගේම ‘‘භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටත් බැහැ’’ කියලා එදා හත්පොළේ ගා ගත්තේ මේ බන්දුල ගුණවර්ධනම තමයි.

එදා බන්දුල ගුණවර්ධනලාට මෙවැනි පුහු තර්ක ඉදිරිපත් කිරීමට සිදු වුණේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට ඉහළ ගිය නිසා මිස ඒවා දිගින් දිගටම පහළ ගිහින් ජනතාව සුඛිත මුදිත වෙලා ජීවත් වුණ නිසා නෙමෙයි. එහෙම වුණා නම් ‘‘අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැහැ’’ කියලා කියන්න බන්දුල ගුණවර්ධනලා ඉදිරිපත් වෙන්නේ නැහැ.

‘‘අද ලූනු මිල පාලනය කිරීමට පවා ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා’’ කියලා බන්දුල ගුණවර්ධන මහතා කියනවා. ඒත් අපට අහන්න තිබෙන්නේ ‘‘ ඔබතුමා ඇත්තටම රාජපක්ෂ යුගයේ දී ඔය කියන ආකාරයට අන්තර් අමාත්‍යාංශ කමිටු දාගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කළාද?’’ කියන ප්‍රශ්නයයි. මොකද අපි රාජපක්ෂ පාලනය තුළ ස්වාධීනව කටයුතු කරන කිසිම ඇමැති කෙනෙක් දැක්කේ නැති නිසයි. මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට එන්න බලපෑ ප්‍රධාන හේතුවක් වුණෙත් හැමදේටම ජනාධිපතිවරයා ඇඟිලි ගැසීම බව අපට පහසුවෙන් අමතක කරන්න බැහැ.

ඒ වගේම තමයි අද ගෑස් ගැන කතා කරන බන්දුල ගුණවර්ධන මහත්තයට එදා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල විශාල වශයෙන් පහළ වැටුණාම ඒ සහනය ලබා ගන්න ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට පවා සිදු වූ බව අමතකයි වගේ. වහාම ඛනිජ තෙල් මිල ගණන් පහළ දාන්න කියලා එදා අගවිනිසුරු සරත් එන් සිල්වා දුන්න තීන්දුව පවා ක්‍රියාත්මක කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගත්තේ නැති බව අද බන්දුල ගුණවර්ධනලාට අමතක වුණාට මේ රටේ සාමාන්‍ය ජනතාවට නම් හොඳින් මතකයි.

මහින්ද රාජපක්ෂ යුගයේ වැටුප් වැඩි නොවීම හමුවේ දිගින් දිගටම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම නිසා පීඩාවට පත් වුණු ජනතාව 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් කිරීමට තමන්ගේ ඡන්දය භාවිත කළ බව අප අමතක නොකළ යුතුයි. එදා රාජපක්ෂ ආණ්ඩුවට අවසන් ඇණයත් ගසන්න ජනතාව පොළඹවන්න මේ ආර්ථික ඔස්තාර් කෙනෙක් වන බන්දුල ගුණවර්ධනත් ප්‍රබල හේතුවක් වුණු බව අපට අමතක කරන්න බැහැ.

ජනවාරි 08 කළ වෙනස

ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැප වුණු, රාජපක්ෂ යුගයේ දැඩි ආර්ථික අහේනියකට ගොදුරුව සිටි ජනතාවගේ ජීවන වියදම කඩිනමින් පහත හෙළීම සඳහා යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් විශාල වශයෙන් පහත හෙළු බව අපට අමතක කළ නොහැකියි. මේ අතර ඉදිරියෙන්ම තිබුණේ ගෑස් මිලයි. මේ ලේඛකයාගේ මතකය අනුව 2015 ජනවාරි 08 වැනිදා වන විට රුපියල් 2400කට ආසන්න අගයක පැවැති ගෑස් මිල යහපාලන ආණ්ඩුව ‘දින 100 වැඩසටහන’ මගින් රුපියල් 1300කට ආසන්න අගයක් දක්වා දැවැන්ත ලෙස පහත හෙළුවා. මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පවා පහළ දමා ගැනීමට නොහැකිව තිබූ ඉන්ධන මිල යහපාලන ආණ්ඩුව ඉතිහාසගත අගයකින් පහළ දැමුවා. වත්මන් ගෑස් මිල සංශෝධනයේ දී පවා ගෑස් සමාගම් අවධාරණය කරන්නේ 2016 වසරේ දෙසැම්බර් මස සිට මිල ඉහළ දැමීම ගැන තමන් කළ ඉල්ලීමට ආණ්ඩුව එකඟ වුණේ මේ අවස්ථාවේ බවයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල වශයෙන් පහත දමමින් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10, 000කින් ද පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500කින් ද යහපාලන ආණ්ඩුව විසින් ඉහළ දැම්මා. එදා මේ සියලූ සහන ගණනය කළ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ 2015 පෙබරවාරි වන විට ශ්‍රී ලංකාවේ එක් ගෘහයකට රුපියල් 16, 000කට ආසන්න මුදල් අලූතින් එක් වූ බවයි. එදා ඒ ගැන, ජනතාවගේ ජීවන වියදම විශාල වශයෙන් පහත වැටීමට පියවර ගැනීම ගැන ආණ්ඩුවට ප්‍රශංසා නොකළ බන්දුල ගුණවර්ධනලා ඒ සියලූ සහනදීම් ගැන මුනිවත රකිමින් සිට අද මාධ්‍ය හමුවේ වහසි බස් දෙඩීම ඇත්තටම හාස්‍යයට කරුණක්.

භූමියේ ආර්ථික යථාර්ථය

සහල්, පොල්, එළවළු ඇතුළු භාණ්ඩ ඉහළ යාම ගැන ජනතාව, විශේෂයෙන් අඩු ආදායම්ලාභී ජනතාව වඩාත්ම මැසිවිලි නඟන්නේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඔවුන්ගේ දෛනික ආදායමින් විශාල ප්‍රතිශතයක් වැය වන නිසා බව අපට අමතක කළ නොහැකියි. උදාහරණයක් ලෙස රුපියල් 30, 000කට ආසන්න මාසික වැටුපක් ලබා ගන්නා රාජ්‍ය සේවකයකුට රුපියල් 100ක් හෝ 80ක් ගෙවා පොල් ගෙඩියක් මිල දී ගැනීම වඩාත් පීඩාකාරී වන බව පැහැදිලියි. හාල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම විධිමත් පාලනයකට යටත් කිරීම ගැන ජනතාව නිරන්තරයෙන් පාලකයන්ට මැසිවිලි නඟන්නේ මේ හේතුව නිසයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ මේ සියලූම කාරණා විධිමත්ව කළමනාකරණය කිරීමට ආණ්ඩුවකට හැකියාවක් තිබෙනවාද යන්නයි. උදාහරණයක් ලෙස මේ ලේඛකයා ජීවත් වන හොරණ ප්‍රදේශයේ සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 60ක් වන විට එදිනම කඩවත ප්‍රදේශයේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල රුපියල් 90ක් වන්නේ කුමන පදනමකින් ද යන්න ආර්ථික විද්‍යාවට අනුව පැහැදිලි කළ හැකිද ? යන්න ප්‍රශ්නයක්.

මේ සම්බන්ධයෙන් මේ ලේඛකයා කළ පෞද්ගලික සොයා බැලීමේ දී ඉතාම පැහැදිලිව දැකිය හැකි වුණේ ගමේ සිල්ලර කඩයට පොල් ගෙන එන්නේ ගමේම හෝ ආසන්න ප්‍රදේශක කුඩා පොල් වතු හිමියන් හෝ පොල් ගසක් දෙකක් ඇති පුද්ගලයන් විසින් බවයි. බොහෝ විට සිදුවන්නේ ග්‍රාමීය හෝ අර්ධ නාගරික ගෙවතුවල ඇති පොල් ගස් කිහිපයෙන් තම දෛනික පාරිභෝජනයට පොල් ගෙඩි කිහිපයක් තබා ගෙන අතිරික්තය අසල කඩයකට විකුණා දැමීමයි. මෙය ලංකාව පුරාම දැකිය හැකි පොදු සහ බොහොම පැරණි තත්ත්වයක්. මෙහි දී පොල් විකුණන පුද්ගලයා හෝ සිල්ලර කඩ මුදලාලි ඉල්ලූම සැපයුම් න්‍යායට වඩා සලකා බලන්නේ හැකි ඉහළම මිලක් ලබා ගැනීම පමණයි. ඒ නිසා වත්මන් පොල් මිල ඉහළ යාම හෝ මේ මිල ගණන්වල රැඳී සිටීම අපට ග්‍රාමීය ආර්ථිකය යථාර්ථයක් වශයෙන් පිළිගැනීමට සිදු වෙනවා. ඒ නිසා ‘‘පොල් බෑයේ දේශපාලනය’’ ගමේ ගොඩේ මිනිහාගේ බඩට ගහන එකක් වනවාට කිසිම සැකයක් නැහැ.

කළ දුටු කළ වළ ඉහ ගැනීම

දේශපාලන අවස්ථාවාදයේ කෙළ පැමිණි පුද්ගලයින් වන බන්දුල ගුණවර්ධන ආදීන් අද ජනතාව හමුවේ තමන්ගේ ප්‍රජාපීඩක අතීතය අමතක කරමින් කිඹුල් කඳුළු හෙළද් දී ‘‘කළ දුටු කළ වළ ඉහ ගැනීමට සූදානම්’’ ව්‍යාපාරික ප්‍රජාව ගැනත් ආණ්ඩුව යළිත් අවධානය යොමු කළ යුතුයි. ඊට හේතුව වන්නේ පසුගිය කාලය පුරාම සියලූම ආණ්ඩු විසින් ජනතාවට ලබා දුන් සහන නිසි පරිදි ජනතාවට ගලා නොයාමට මේ ඊනියා ව්‍යාපාරික ජුන්ටාව ප්‍රබල හේතුවක් වීමයි. උදාහරණයක් ලෙස යහපාලන ආණ්ඩුවේ දින 100යේ වැඩසටහන මගින් ජනතාවට ලබා දුන් පාරිභෝගික භාණ්ඩ මිල අඩු කිරීමේ, ඉන්ධන හා ගෑස් මිල අඩු කිරීමේ සහනයෙන් දැවැන්තම කොටසක් ගසා කෑවේ මේ ඊනියා ව්‍යාපාරික ප්‍රජාව විසින් බව අප අමතක නොකළ යුතුයි. ‘මිල වැඩි වූ වහා මිල වැඩි කරන, මිල අඩු වූ විට ඒ ගැන වගේ වගක් නැති ’ මේ ඊනියා ව්‍යාපාරිකයින් යහපාලනය විසින් දෑවැන්ත අගයකින් ලබා දුන් ගෑස් හා ඛනිජ තෙල් සහනය ගසා කෑ අන්දම අපට කිසිසේත් අමතක කළ නොහැකියි. මේ ව්‍යාපාරිකයන් මේ සෙල්ලම හිතූමතේ යළි යළිත් අභ්‍යාස කරමින් සිටින බව රුපියල් 110කින් ගෑස් මිල ඉහළ යාම සමඟ යළිත් සනාථ )

පසුගියදා (26)මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ‘සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ’’ ජාතික සංවිධායකවරයා කියා තිබුණේ ගෑස් මිල රුපියල් 110කින් ඉහළ දැමීම සමඟ බත් පාර්සලය, තේ කහට කෝප්පය සහ අප්පවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තම සංගමය තීරණය කර ඇති බවයි. මේ සංගමය මෙවැනිම ත්‍රස්තවාදී තර්ජනයක් පොලිතින් තහනම පැනවීම සමඟ ද කළ බව අප අමතක නොකළ යුතුයි. ඒ අවස්ථාවේ ඔවුන් අවධාරණය කරමින් කියා සිටියේ ‘‘ලන්ච් ෂීට්’’ තහනම් කිරීම සමඟ බත් පාර්සලයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට සිදුවන බවයි.

රජය මතු පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීමට ගන්නා තීන්දුවල දී පවා කඩාකල්පල්කාරී භූමිකාවක් නිරූපණය කරන, ඛනිජ තෙල්, ගෑස්, විදුලිය ඇතුළු ජනතාවට ලබා දෙන සියලූ සහන ජනතාව වෙත ගලා යාමට ඉඩ නො දී ඒවා ගිල දමන මෙවැනි අවස්ථාවාදී ව්‍යාපාරික මාෆියා ගැන මේ අවස්ථාවේ දී වඩාත් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඊට හේතුව වන්නේ ආණ්ඩුව ජනතාවට ලබා දෙන සහනාධාර නිසි පරිදි ජනතාවට ගලා නොයාම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට කිසිසේත් සුදුසු නොවන නිසයි.

ආණ්ඩුවේ තිරසර ප්‍රවේශය

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් උච්චාවචනය වීම සඳහා තිරසර පියවර ගැනීම ගැන යහපාලන ආණ්ඩුවේ අවධානය යොමු වුණේ 2015 වසරේ ආණ්ඩු බලය ලබාගත් අවස්ථාවේ සිටයි. එහි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත් පැහැදිලි ප්‍රවේශ දෙකක් අනුගමනය කරන ආකාරයක් අපි දැක්කා. එහි දී ජනපතිවරයාගේ ප්‍රවේශ වුණේ එතුමාට දීර්ඝ කාලීන අත්දැකීම් හා දැක්මක් ඇති කෘෂිකර්මාන්තයයි. ‘‘ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන’’ සැලසුම් වන්නේ මේ පදනම තුළයි.

පසුගිය කාලය පුරාම පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වුණ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ඔක්තෝබර් මස 06 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. ජනපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය මත සිදුවන මේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ආහාර නිෂ්පාදන ආනයනය සඳහා පිට රටට ඇ දී යන ජාතික ධනය රට තුළ ඉතිරි කර ගනිමින් යළි ස්වයංපෝෂිතභාවය අත්පත් කර ගැනීමයි. මේ අරමුණ ඉතා සරල ආකාරයෙන් පැහැදිලි කළහොත් ‘ස්වයංපෝෂිත ආර්ථිකයක්’ බිහි කර ගැනීමයි මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ.

තුන් අවුරුදු සැලසුමක් යටතේ ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් බන්දුල ගුණවර්ධන මහතා පවසන ආකාරයට ‘‘ලූනු ගෙඩියේ මිල පවා තීරණය කිරීමට’’ ජනපතිවරයාට මැදිහත් වීමට සිදු නොවන බව පැහැදිලියි.

අතමිට සරු කිරීමට පියවර

හාල් කිලෝවේ, පොල් ගෙඩියේ මිල සුළු වශයෙන් හෝ ඉහළ යන විට මේ රටේ සාමාන්‍ය ජනතාවට මැසිවිලි කියන්න වෙලා තිබෙන්නේ ඔවුන් ජීවත්වීම සඳහා ප්‍රමාණවත් වැටුපක් හෝ ආදායමක් නොලබන තත්ත්වයක් දීර්ඝ කාලයක් පුරා පැවැති නිසයි. ජනතාවගේ අතමිට සරු කරන ආර්ථිකයක් වෙනුවට රාජපක්ෂ පවුලේ දේශපාලන පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් කැප වුණු බැසිල් රාජපක්ෂ මහතාගේ ඊනියා ගෙවතු දස ලක්ෂයේ වැඩසටහන වැනි ව්‍යාපෘති විසින් ද හම්බන්තොට, මත්තල වැනි දැවැන්ත සුදු අලි විසින් ද කිසිදු ආදායමක් උත්පාදනය නොකිරීම නිසා වේගයෙන් හැකිළුණු නාගරික හා ග්‍රාමීය ආර්ථිකය යළි නඟාසිටුවීමකින් තොරව ජනතාවගේ අතමිට සරු කළ නොහැකි බව අගමැතිවරයා මනාව වටහා ගෙන තිබෙනවා.

ග්‍රාමීය හා නාගරික ජනතාව පොදුවේ මුහුණපාන මේ දුෂ්කර අභියෝගය ජය ගැනීම සඳහා නව රැකියා උත්පාදනය කිරීම සඳහා වන ප්‍රායෝගික හා නිර්මාණශීලී ප්‍රවේශයක් රජය විසින් මේ වන විට ගෙන තිබෙනවා. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යළි දිනා ගැනීම හරහා යළි විවර වන ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා වඩාත් වාසිදායක ලෙස ජනතාව වෙත ලබා දීමයි මෙහි දී අගමැතිවරයාගේ ප්‍රවේශය වන්නේ. එමෙන්ම රාජපක්ෂ පාලනයේ නොහැකියාව නිසා ඌන උපයෝගී තත්ත්වයට පත් හම්බන්තොට, මත්තල වැනි දැවැන්ත ආයෝජන නිසි පරිදි කළමනාකරණය කිරීම මගින් යළිත් ජනතාවගේ අතමිට සරු කළ හැකිවනු ඇති බව ආණ්ඩුවේ විශ්වාසයයි. එමෙන්ම ආණ්ඩුවේ ආර්ථික සැලසුම්වල ප්‍රතිඵල වශයෙන් වේගවත් වර්ධනයක් පෙන්වන විදේශ ආයෝජන හරහා බිහිවන නව රැකියා අවස්ථා ද අතමිට හිඟ මැසිවිලි නඟන දුප්පතුන් වෙනුවට අතමිට සරු විදයම් කරන පුරවැසියන් බිහි කරනු ඇති බව අපට විශ්වාස කළ හැකියි.

මේ රටේ 62 ලක්ෂයක් ජනතාව 2015 ජනවාරි 08 වැනිදා ඡන්දය දුන්නේ ‘‘අතමිට සරු කරන ’’ පාලනයක් බලාපොරොත්තුවෙන් බව අප අමතක නොකළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ බන්දුල ගුණවර්ධනලාගේ පොල්බෑයේ දේශපාලනයත්, ජනතාවගේ සහන ගසා කන ව්‍යාපාරික ජුන්ටාවේ අවස්ථාවාදීභාවයත් අහෝසි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *