“රට බෙදන” බිල්ලා – සී. ජේ. අමරතුංග

 “මේ කැච් එක අල්ලාගත්තොත් අපි මැච් එක දිනුම්. කැච් එක අතෑරියොත් මැච් එක පරාදයි කියා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගාල්ලේදී ප්‍රකාශ කළේය. ‘කැච්’ එක යයි අගමැතිතුමා කීවේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ අවස්ථාවය. එහිදී අගමැතිතුමා වඩාත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පිළිගැනීමටත්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමටත් මෙරට සුළුතර ජනයා නියෝජනය කරන පක්ෂ ඉතිහාසයේ ප්‍රථමවරට කැමැත්ත පළකොට තිබීමයි. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය එයට කැමැත්ත පළකොට තිබීම වැදගත්ය. දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්දන් මහතා පසුගියදා ප්‍රකාශ කළේ මේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නියමාකාරයෙන් සකස්කරන්නේ මෙවර බවයි. ඒ කීවේ මහජන අදහස් ලබාගෙන, සියලු පක්ෂ සහභාගී කරගෙන සැමදෙනාගේම අදහස් සාකච්ඡාවට ගන්නා ක්‍රියාවලියකින් රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමයි.

නිදහසින් පසු කාලයේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් ක්‍රියාත්මක වීය. පළමුවැන්න සකස්කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. සෝල්බරි ව්‍යවස්ථාව ලෙස හැඳින්වෙන එය සැකසීමේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් අදහස් විමසුව ද එය මෙරට ජනතාවගේ සහභාගිත්වයෙන් ගොඩනැඟූ ව්‍යවස්ථාවක් නොවීය.

බලකාමී ව්‍යවස්ථා

හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව ලෙස හඳුන්වනු ලබන ව්‍යවස්ථාව සකස් කළේ නවසිය හැත්තෑවේ බලයට පැමිණි සමගි පෙරමුණු රජය විසිනි. එය සකස් කරන ලද්දේ බලයේ සිටි ආණ්ඩුවේ අදහස් අනුවය. දෙමළ පක්ෂ එම ක්‍රියාවලියට සම්බන්ධ කරගත්තේ නැත.

නවසිය හැත්තෑ අටේ සම්මත කළ ව්‍යවස්ථාව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව සකස්කරන ලද්දකි. විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වාදුන් එම ව්‍යවස්ථාවට මුල සිටම විරෝධතා පැවැත්විණි. හයෙන් පහක බලයක් තිබූ එම ආණ්ඩුව වෙනත් පක්ෂවල අදහස් සලකා නොබලා එම ව්‍යවස්ථාව සම්මතකොට ක්‍රියාත්මක කළේය එදා සිට දිගින් දිගටම එම ව්‍යවස්ථාවේ තිබෙන හානිකර තත්ත්වය පෙනීගිය අතර එය වෙනස් කරන්නට මහජන හඬ නැගීමක් ද ඇතිවීය.

හැත්තෑ අටේ ව්‍යවස්ථාවෙන් මෙරටට හඳුන්වාදුන් විධායක ජනාධිපති ක්‍රමයේ විනාශකාරී ලක්ෂණ හොඳින්ම පෙනීගියේ 2005 – 2015 දක්වා පැවැති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. රටට දකින්නට ලැබුණේ ඒකාධිපතියකුගේ පාලනයකි. කිසිවකුට එයට එරෙහි වන්නට ඉඩ තැබුවේ නැත. මාධ්‍යවේදීන් මරාදැමීම, අතුරුදන්කිරීම, මරාදැමීමට තැත් කිරීම, විරුද්ධවාදීන් සුදු වෑන්වලින් පැහැරගෙන අතුරුදන් කිරීම ඇතුළු දරුණු භීෂණයක් එම යුගයේදී අපට දකින්නට ලැබිණි. අගවිනිසුරුවරිය ඉවත්කිරීම දක්වා සිදුවූ වෙනත් අත්තනෝමතික ක්‍රියා ගැන නැවත නැවත කීම අනවශ්‍ය ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ජනමතය වඩාත් ප්‍රබලව මතුවූයේත් ඒ සඳහා මහජන ව්‍යාපාරයක් බිහිවූයේත් ඉහත කී තත්ත්වය හේතුවෙනි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය බිහිවූයේත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වය වටා ජන බලයක් ඒකරාශිවූයේත් ඒ නිසාය. පුරවැසි බලය වැනි සංවිධාන සහ සිවිල් මහජන ව්‍යාපාර රාශියක් එම අරමුණ වෙනුවෙන් පෙරමුණට පැමිණියේ පාලනයේ වෙනසක් සඳහා ද කැපවෙමිනි. එම බලවේගයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වීමත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එජාපය එම ව්‍යාපාරයට කැපවීමත් දිගු ගමනකට මගපෑදීමක් විය. යහපාලන ආණ්ඩුව බිහිවූයේ ඒ ආකාරයෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පෙර කළයුතුව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රාශියක් ආණ්ඩුව මේ වනවිට සිදුකොට හමාරය. ජනාධිපති බලතල සීමාකිරීම, මුක්තිය ඉවත් කිරීම, ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම ආදී ප්‍රතිසංස්කරණ ගණනාවක් එයට ඇතුළත්ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුත්තට ද ආණ්ඩුව අතගැසුවේ වෙනස්ම ආකාරයෙනි. මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම ආරම්භ කළේම එය සමස්ත ජනතාවගේ කටයුත්තක් ලෙස සලකමිනි. ලාල් විජේනායක මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් පත්කොට රට වටාගොස් මහජන අදහස් ලබාගෙන වාර්තාවක් ලබාගත්තේ එහි පළමු පියවර වශයෙනි. මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාව සැකසීම තනි පක්ෂයක හෝ ආණ්ඩුවේ හෝ කටයුත්තක් ලෙස නොව සියලු පක්ෂවල කටයුත්තක් බවට පත්කිරීම දෙවන පියවර වීය. එය සිදුකරන ලද්දේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීම මගිනි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් සිදු කළේය. එමෙන්ම සර්වපාක්ෂික මෙහෙයුම් මණ්ඩලයක් ද පත්කරගන්නා ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව නව ව්‍යවස්ථාවක් සැකසීමේදී වැදගත් වන ක්ෂේත්‍ර 12ක් හඳුනාගන්නා ලද අතර ඉන් වැදගත් හයක් ගැන සාකච්ඡාකොට වාර්තා කිරීමට අනු කමිටු හයක් පත්කරනු ලැබීය. එම අනු කමිටුවලද සියලු පක්ෂවල සහභාගීත්වයක් වූ අතර ඇතැම් කමිටුවල සභාපතිත්වය හිමිවූයේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට වීමද විශේෂත්වයකි. එලෙස පත්කළ කමිටුවල වාර්තා ද සැලකිල්ලට ගෙන මෙහෙයුම් කමිටුව සකස්කළ ප්‍රථම අතුරු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. රටට නව ව්‍යවස්ථාවක් හැදීම නියම ආකාරයෙන් සිදුවන්නේ මෙවර බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ප්‍රකාශ කළේ ඒ අවස්ථාවේදීය.

අදහස්වලට ඉඩදීම

මෙම වාර්තාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ. එහි සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ඇතිකරගෙන තිබෙන එකඟතා පිළිබඳවයි. එහි ඇතැම් අදහස්වලට තිබෙන වෙනත් අදහස් ද වෙනමම සඳහන් කොට තිබෙන්නේ ඇමිණුම් වශයෙනි. පක්ෂවලට තමන්ගේ වෙනස් අදහස් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබාදී ති‍ෙබ්. එහි තේරුම නම් නව ව්‍යවස්ථාව සම්පාදනය තව පියවර ගණනාවකින් සිදුවන ක්‍රියාවලියක් බවයි. මෙයින් පෙන්නුම් කරනුයේ මූලික එකඟත්වයක් පමණකි. ඇතැම් කරුණු සම්බන්ධයෙන් විකල්ප යෙදුම් ගැන ද සඳහන් ය.

විපක්ෂයේ සුළු පිරිසක් කියන්නට හදන්නේ මෙය රට බෙදන ව්‍යවස්ථාවක් බවයි. උතුරු, නැ‍ඟෙනහි රට ස්වයං පාලනයක් දෙන්නට යන බව ඔවුහු කියා සිටිති. එමගින් රට බෙදීමට මග හදන බව කියා යළිත් වරක් බිල්ලකු මැවීමට ඔවුහු උත්සාහ දරමින් සිටිති. නව ව්‍යවස්ථාවක් එපා කියමින් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයන්නට ද භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉදිරිපත්වන බව වාර්තාවීය. ඒ මෙමගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමිවන බවට හා රට බෙදන බවට කෙරෙන ප්‍රචාරයන් ද සමඟය. මෙහෙයුම් කමිටුවේ වාර්තාව බැලූවිට පෙනීයන්නේ මේ සියලු ප්‍රචාර පල් බොරු බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාවේ, දෙවන වගන්තියෙන්ම කියන්නේ ශ්‍රී ලංකාව නොබෙදුනු හා බෙදිය නොහැකි රාජ්‍යයක් විය යුතු බවයි. එය සිංහල භාෂාවෙන් ‘ඒකීය රාජ්‍යයක්’ ලෙසත් දෙමළ භාෂාවෙන් ‘ඔරාමත්ත නාඩු’ ලෙසත් සඳහන් කළ හැකි බව වාර්තාවේ සඳහන්ය. එමෙන්ම රට බෙදීමක් සඳහා කිසිදු ආකාරයකින් ක්‍රියා කිරීම, යෝජනා කිරීම තහනම් බවට ද වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කිරීමට එකඟත්වයක් ඇතිකරගෙන තිබීම ද විශේෂත්වයකි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දියයුතු බවත්, එය ආරක්ෂාකොට පෝෂණය කිරීම රජයේ වගකීම බවත් වාර්තාවේ සඳහන් වන අතර අන් ආගම්වලට හානියක් නොවන ලෙස කටයුතු කළ යුතු බව ද සඳහන් ය. ඉතාමත් වැදගත් වන්නේ මෙම කරුණු ගැන එකඟත්වයක් ඇතිවී තිබීමයි.

ආගම ගැන බොරු මත

දෙමළ, මුස්ලිම් පක්ෂ මෙම කරුණු පිළිගැනීමට සූදානම්වී සිටීමයි. අගමැතිතුමා කියන්නේ මේ මහඟු අවස්ථාව අත නොහැරිය යුතු බවයි. ‘කැච්’එක අතෑරියොත් ‘මැච්’එක පාරදයි කීවේ ඒ නිසායි.

විපක්ෂයේ සුළු පිරිසකට අවශ්‍යව තිබෙන්නේ මේ මැච් එක පරද්දවන්නටය. එසේ කරන්නේ ආණ්ඩුව පරද්දන්නට හිතාගෙනය. එහෙත් පරදින්නේ රටමය. රටේ සියලු ප්‍රශ්න ගැන සලකා මේ අවස්ථාවේ සම්මුතියක් ඇතිකර නොගතහොත් විනාශවන්නේ රටේ අනාගතයයි. මැච් එක පරදින්නේ ආණ්ඩුව නොව ශ්‍රී ලංකාවයි. විපක්ෂයේ ඇතැමුන්ට අවශ්‍ය රටට කෙළවුණත් තමන් ගොඩයන්නටය.

සිංහල ජාතිවාදී අදහස් දරන සුළු පිරිසක් විරෝධය දක්වන්නේ නව ව්‍යවස්ථාව මගින් බලය බෙදීම පිළිබඳවය. ඒ ගැන වාර්තාවේ සඳහන් වන්නේ බලය බෙදීමේ ඒකකය පළාත බවයි. පළාත්වලට එකතුවීමට ඉඩ නොදීමට ද යෝජනාවී ඇත. එමෙන්ම බලය බෙදන්නේ අනුපූරකතා මූලධර්මය අනුව බව ද සඳහන්ය. එනම් පහළ ආයතනයෙන් කළ හැකි දේ එයට පැවරීමයි. පළාත්පාලන ආයතනවලට හැකි දේ එයට පවරන අතර පළාත් සභා මට්ටමින් කළ හැකි, කළ යුතු දේ පළාත් සභාවන්ට පැවරිය යුතුය. මධ්‍යම රජය විසින් කළයුතු කාර්යයන් එයට ලබාදිය යුතුය. මෙම මූලධර්මයට එකඟත්වයක් ඇතිවී තිබීම ද යහපත්ය.

ඉතිහාසයෙන් ඉගෙන ගනිමු

විපක්ෂයේ සුළු පිරිසක් සිතන බව පෙනෙන්නට තිබෙන්නේ රට ගිනි තබා හෝ තමන්ට දේශපාලන වාසියක් ගැනීමට අවස්ථාවක් දැන් උදාවී තිබෙන බව විය හැකිය. ඔවුන්ට අවශ්‍යවී තිබෙන්නේ රටට මහා විපතක් වන්නට යන බව මවා පෙන්වන්නටය. එමගින් රටේ ගැලවුම්කරුවන් තමන් බව පෙන්වන්නටය. තමන්ට නැති දේශපාලන පදනම ‍‍ගොඩනගා ගන්නටය. හනුමන්තලා වී රට ගිනි තියන්න හදන්නේ ඒකටය.

අතීතයේදී මෙලෙස හැසිරුණු පිරිස් නිසා රටට සිදුවූ විනාශය අතිවිශාලය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම මෙන්ම ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ද ඉරා දමන්නට සිදුවීය. දෙමළ භාෂාවට සාධාරණ තැනක් දෙන්නට එදා සිටි ජාතිවාදීන් ඉඩ දුන්නේ නැත. පළාත් සභා ක්‍රමය ගෙනෙනවිටද රට ගිනි තැබීම සිදුවීය. ඒ සියල්ල ‍තේරුමක් නැති දේ බව දැන් පැහැදිලිය. ජනතාව බියකර ඇත්තේ බොරු බිල්ලන් මවාපාමින් බව ඉතා පැහැදිලිය. මේ රට බෙදන්නට ඉල්ලීම් කළ නායකයෝ සිටියහ. ඒත් ඔවුන්ට ඇත්තටම වෙනම රාජ්‍යයක් අවශ්‍ය වූයේ නැත. එම ඉල්ලීම ඉදිරියට දැම්මේ තම ජනයාගේ ප්‍රශ්නය විසඳාගන්නට ය.

ඇත්තටම දෙමළ ඊළමක් අවශ්‍ය වූයේ එක් අයකුටය. ඒ ප්‍රභාකරන් මිස අනෙකකු නොවේ. දෙමළ නායකයින් බොහෝදෙනකු ඝාතනය කිරීමට ප්‍රභාකරන් යොමුවූයේ ඔවුන් ‘ද්‍රෝහීන්’ කියාය. ඒ කියන්නේ වෙනම රාජ්‍යයක් ඇත්තටම ඕනෑ නැති නිසාය. පළාත් සභා ක්‍රමය ගෙනෙනවිට ප්‍රභාකරන් හැර සියලු දෙමළ පක්ෂ එය පිළිගන්නේ ඒකය. මේවා දැන් මහජනයා දන්නා කතාය.

ප්‍රභාකරන් දැන් නැත. වෙනම රාජ්‍යයක් ඉල්ලන ව්‍යාපාරය ද අද නැත. ප්‍රභාකරන්ගේ විනාශයට හේතුවූයේ ද මෙරට දෙමළ ජනයාට රට බෙදීමේ වුවමනාවක් නොතිබූ නිසා බව ද අප තේරුම් ගත යුතු කරුණකි. එබැවින් රට බෙදීමක් ගැන දැන් කරන කතාව බොරු බිල්ලකු මවාපෑමකි. “රට බෙදන බිල්ලා” කරළියට ගෙන එන්නට මෑතකාලයේ දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වීය. එයට හේතුව නම් මෙරට ජනතාවගේ දැනුවත්භාවය බො‍හෝසේ වර්ධනය වී තිබීමයි. දැන් ජනමාධ්‍ය ද පුළුල් ලෙස පැතිරී ඇත. මහජනයාට බොහෝ තොරතුරු ලැබේ. ජනතාවගේ සාක්ෂරතාවය ද ඉතා ඉහළය. ඒ නිසා ‍බොරුවෙන් ජනතාව රැවටීම කළ නොහැකිය.

අනෙක් අතට ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩු කරමින් නව ව්‍යවස්ථාවක් සැකසීමට සියලු පක්ෂ සහභාගී කරගත්විට විශාල ශක්තියක් ගොනුවන බව ද ඉතා පැහැදිලිය.

වැඩිදෙනකුගේ අදහස් රැගෙන සියලු පක්ෂ සම්මුතියකින් ව්‍යවස්ථාව සැකසීමේ උත්සාහය සුළු පිරිසකට කඩාකප්පල් කළ හැකි යැයි සිතීම මුළාවකි. එබැවින් ‘රට බෙදන බිල්ලා’ මවාගනිමින් රටට විනාශය කැඳවමින් රට ගිනි තබන්නට හදන හනුමන්තලා මෙවරනම් සාර්ථකත්වය නොලබන බව ඉතා පැහැදිලිය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *