පළාත් සභා 03ක ඡුන්දයට වඩා රටේම පැවැත්වෙන පළාත් පාලන ඡන්දය රටටත් ජනතාවටත් වඩා හොඳයි – ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

සිල් රෙදි නඩුවෙන් වසර 03කට හිරගෙදරට ගිය වැරදිකරුවන් බේරගන්න රනිල් එක්ක ඞීල් දාපු, මේ ආණ්ඩුවත් එක්ක අවබෝදයෙන් වැඩ කරන මහින්ද රාජපක්ෂලා අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට මඩගහනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක, ආණ්ඩුවත් එක්ක ඞීල් කියලා. පුදුම වැඩක් මේක. මහින්ද රාජපක්ෂ පහුගිය කාලේ වැඩ කළේ කොහොමද කියලා පොඞ්ඩක් හිතලා බලන්න. ආණ්ඩුවේ වැරදි වැඩකට කිසිම මොහොතක මහින්ද රාජපක්ෂ විරුද්ධව අත උස්සලා නැහැ. අපි කියනවා මහින්ද වෙනුවෙන් කෑගහන අයට එහෙම එක අවස්ථාවක් පුළුවන්නම් පෙන්වන්න කියලා. කවදාවත් ආණ්ඩුවේ වැරදි වැඩකට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ අත උස්සලා නැහැ. එළියේ බොරුවට කයිවාරු ගහන මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මොකුත් කරන්නේ නැහැ. ඇයි ඒ? දෙගොල්ල අතර එකඟතාවයක් තියෙනවා. සිරිලිය ගිණුම ගැන පරීක්ෂණ කරන්නේ නැත්තේ ඒ එකඟතාවය නිසා. මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ වැරදි ගැන පරීක්ෂණ පැවැත්වෙන්නේ නැත්තේ ඒ එකඟතාවය නිසයි. රනිල් මහින්ද රකිනවා; මහින්ද, රනිල් රකිනවා. එහෙම කරන ගමන් ජනතාව රවටන්න හදනවා ජවිපෙ ආණ්ඩුවත් එක්ක ගණුදෙනුවක් තියෙනවා කියලා.
පසුගියදා පාර්ලිමේන්තුවට පළාත් සභා පනතට සංශෝධනයක් ගෙනාවා. ඒ සංශෝධන ජනතාවට වාසි වෙන නිසත් පළාත් සභා මැතිවරණය හරිවිදියට පවත්වන්න පුළුවන් නිසත් ජවිපෙ ඒකට පක්ෂව ඡුන්දය දුන්නා. අපේ පක්ෂය පාර්ලිමේන්තුවේ ඉන්නේ ගේන ගේන එකට විරුද්ධ වෙන්නත් නෙවෙයි; ගේන ගේන හැම එකටම පක්ෂ වෙන්නත් නෙවෙයි. අපි රටට අහිතකර දෙයක් ගෙනාවොත් අනිවාර්යෙන් ඊට එරෙහිව කටයුතු කරනවා. ඒ වගේම රටට ජනතාවට කිසියම් හෝ හොඳ දෙයක් ගෙනාවොත් ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒකට අපි බයවෙන්නේ, ලැජ්ජා වෙන්නේ නෑ. ඒක අපේ වගකීම. අපිට ජනතාව ඡුන්දය දුන්නේ ඒ වෙනුවෙන්. දැන් අපි පළාත් සභා සංශෝධනයට ඡුන්දය දුන්න එක පාවිච්චි කරලා කියනවා පළාත් සභා ඡුන්දය කල්දාන්න ජවිපෙ ඡුන්දය දුන්නා කියලා; ජවිපෙ සහ ආණ්ඩුව අතර ඞීල් එකක් තියෙනවා කියලා. අපිට අවලාද ගහන අයට උත්තර දෙන්න අපිට ඕනකමක් නැහැ. මොකද ඒ අය හොඳට දැනුවත්කමින් මේවා කරන්නේ. අපිට එක දෙයක් රාජපක්ෂ කණ්ඩායමෙන් අහන්න ඕනෑ. ගෙනාපු සංශෝධනය ඔය කියන තරම් මාරාන්තික එකක් නම් ඒකෙන් ඡුන්ද කල් යනවානම්, අහිතකරනම් මහින්ද රාජපක්ෂ ඒ පනතට එරෙහිව අත ඉස්සුවාද? විරුද්ධව ඡුන්දය දුන්නාද කියලා. මේ පනත රටට අහිතකර නම් මහින්ද රාජපක්ෂ කළ යුතුව තිබුණේ මේ පනත පරද්දන්න ඡුන්දය දෙන එකයි. පාර්ලිමේන්තුවේ හිටියෙත්් නැහැ. මොකද රනිල් එක්ක තියෙන ඞීල් එක නිසා. විරුද්ධව ඡුන්දය නොදී එළියට ඇවිත් පාක්ෂිකයා රවටන්න, ජනතාව රටවන්න දැන් බොරු බේගල් කියනවා.
අපේ රටේ බිම් මට්ටමේ ජනතාවගේ ඡුන්දය තමයි පළාත් පාලන මැතිවරණය. ගමේ නියෝජිතයා පත්වෙන්නේ ඒකෙන්. දැන් වසර දෙකකට වැඞී පළාත් පාලන ඡුන්දය කල් දාලා. දැන් ප‍්‍රාදේශීය සභාව නැහැ. නගර සභාව නැහැ. අපි අපේ ප‍්‍රශ්නය කියන්නේ කාටද? පාරේ බල්බ් එක නැත්නම් කියන්නේ කාටද? බොක්කුව කැඩිලනම් කියන්නේ කාටද? මන්ත‍්‍රීවරයෙක් ගමට නැහැ. මුලින් කල් දැම්මා ජනාධිපතිවරණය මහමැතිවරණය අස්සේ තියන්න බැහැ කියලා. ඊට පස්සේ ආණ්ඩුවටත් මේ ඡුන්දය කල් දාන්න ඕනකම තිබුණා.
මහින්ද රාජපක්ෂගේ කාලේ බැසිල් රාජපක්ෂලා, දිනේෂ් ගුණවර්ධලා එකතු වෙලා ගෙනාපු අලූත් පළාත් පාලන විධි විධාන පනතෙන් මනාප ක‍්‍රමය එපා කියලා කොට්ඨාශ ක‍්‍රමයක් හැදුවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී එකක්. බැසිල්ගේ පනතෙන් වෙන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකක් පමණක් ඉතිරිවෙලා අනෙක් පක්ෂ අතුගාලා දාන දෙයක්. මැතිවරණ කොමසාරිස් අපිත් ඉන්න සාකච්ඡුාවකදී කිව්වා මේ පනතේ වැරදි ගොඩක් තියෙන නිසා සංශෝධනය කරන්න ඕනෑ කියලා. කොට්ඨාශ බෙදීම් වැරදි, වෙනත් තාක්ෂණික ප‍්‍රශ්න ගොඩක් බැසිල්ලා ගෙනාපු පනතේ තිබුණා. ආණ්ඩුව ඒක පාවිච්චි කරලා තවදුරටත් පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. කොට්ඨාශ නිවැරදි ලෙස නීර්ණය කළත් පනතට අනුව ඡුන්දය තියන්න බැහැ. ඒ නිසා අපි කිව්වා මේ නීතිය වෙනස් කරන්න කියලා. නිවැරදි කරලා ඡුන්දය තියන්න බැරි නම් පරණ ක‍්‍රමයට ඡුන්දය තියන්න කිව්වා. ආණ්ඩුව කිව්වා අලූත් නීතියක් තියෙන නිසා පරණ එකට යන්න බැහැ කියලා. අපි ඇතුළු තවත් දේශපාලන පක්ෂ මේ පනත වෙනස් කරන්න බලපෑම් කළා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂලා හදපු අසාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රමය ඉවත් කරලා වඩාත් සාධාරණ කොට්ඨාශ හා සමානුපාතික ක‍්‍රමයක් ආදේශ කරන්න අපි බලපෑම් කළා. ඒක අපි ලබපු ජයග‍්‍රහණයක්. ඒ ජයග‍්‍රහණය ලබාගන්න පුළුවන් වුණේ ජවිපෙ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී හැරියට ක‍්‍රියාත්මක වුණු නිසයි. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. දැන් පළාත් පාලන මැතිවරණය එනවා කාටත් සාධාරණ ආකාරයට.
මේ විදියට පළාත් පාලන පනත නිවැරදි කරලා කටයුතු කරගෙන එනකොට ප‍්‍රශ්නයක් ආවා පළාත් සභා 03ක් කාලය අවසන් වෙන්න ළං වුණු නිසා. උතුරු මැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා ලබන මාසේ විසිරෙනවා. ආණ්ඩුව උත්සහ කළා 20වෙනි සංශෝධනය ගෙනල්ලා පළාත් සභා කල්දාන්න. අපි ඒකට එකඟ වුණේ නැහැ. පළාත් සභා එක දිනයක පවත්වන්න අපි එකඟයි නමුත් සියලූම පළාත් සභා අන්තිම පළාත් සභාව විසිරෙනකල් කල්දාන්න අපි එකඟ නැහැ කියලා අපි ආණ්ඩුවට කිව්වා. ඒ අතර උසාවිය තීන්දුවක් දුන්නා පළාත් සභා කල්දාන්න ජනමත විචාරණයක් ඕනෑ කියලා. ආණ්ඩුව 20 සංශෝධනය ඉවත් කළා.
නමුත් දැන් ගැටලූවක් මතුවුණා. පළාත් පාලන ඡුන්දය පැවැත්විය යුතු වුවත් එක්ට බාධාවක් වෙනවා පළාත් සභා 03ක් විසිරෙන එක. ඒ විතරක් නෙවෙයි පළාත් සභා ඡුන්දයට තියෙන්නේ පරණ ඡුන්ද ක‍්‍රමය. ඒකත් අවුලක්. ඒ නිසා පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයම පළාත් සභාවලටත් ගේන්න ඕනෑ. එම නිසා රටේ බොහෝ දෙනා කිව්ව මනාප ක‍්‍රමය ඉවත් කරපු වඩා සාධාරණ ඡුන්ද ක‍්‍රමයක් පළාත් සභා පනතට ගෙනල්ලා ලබන වසර මැද ඡුන්දය තියනව නම් අපි එකඟයි කියලා කිව්වා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය කලින් පැවැත්වීමට ඉඩ හදාගන්නත් පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයෙන් තොර කොට්ඨාශයට මන්ත‍්‍රීවරයෙක් පත්වන වඩා සාධාරණ ක‍්‍රමයට සකස් කරගන්න පළාත් සභා පනතට සංශෝධනයක් ගෙනාවා. ඒකට අපි ඡුන්දය දුන්නා. ඒ සංශෝධනයෙන් වාසි දෙකක් ලැබෙනවා. පළාත් පාලන මැතිවරණය කලින් පවත්වන එකයි පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයෙන් තොරව කොට්ඨාශයට මන්ත‍්‍රීවරයෙක් ලැබෙන එකයි ජනතාවට හොඳ නැද්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කයිවාරු ගහන මහත්වරුන්ගෙන් අපි අහනවා පළාත් 03ක ඡුන්දයක් වෙනුවෙන් රටේම ඡුන්දය කල් දාන එක හොඳයිද කියලා. උත්තර දෙන්න ඒකට. අපි විශ්වාස කරනවා පළාත් 03ක ඡුන්දයට වඩා රටේම ඡුන්දය වටිනවා කියලා. ඒ නිසා පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසේ තියන්න පුළුවන් විදියට අපි ඉඩ හදාගත්තා. අපි හිතනවා ඒක අපේ වගකීම කියලා. ඒ වගේම දැන් පනත සංශෝධනය කරලා තියෙන නිසා ලබන අවුරුද්දේ මැදි වෙනකොට පළාත් සභා මැතිවරණය තියන්නත් පුළුවන්. ඒක තමයි ඇත්තටම සිද්ධ වුණේ. ඇත්ත හංගපු මහින්ද රාජපක්ෂලයි දේශපාලනය ගැන අවබෝදයක් නැති පුංචි පුංචි කණ්ඩායම් එක් අල්ලගෙන කෑ ගහනවා. ඒ නිසා රටේ ජනතාවට අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ අපේ මරණය ඉදිරියේදී පවා ජනතාවගේ අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්හැරපු පාවාදීපු පක්ෂයක් නෙවෙයි කියලා. ඒක ඊයෙත් එහෙමයි අදත් එහෙමයි. හෙටත් එහෙමයි. දේශපාලනයේ ළදරුවන්ට නොතේරුණාට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරන්නේ ජනතාවගේ ජයග‍්‍රහණය වෙනුවෙන්. රනිල්ලට ඕන දේශපාලනය අපි කරන්නේ නැහැ. මහින්දට ඕන දේශපාලනය අපි කරන්නෙත් නැහැ. අපේ අරමුණ මහින්ද සතුටු කරන එක නෙවෙයි. අපේ අරමුණ ජනතාව ජයග‍්‍රහණය කරවන එකයි. මේ ආණ්ඩුවේ දුර්වලකම් පාවිච්චි කරලා ජනතාවට ජයග‍්‍රහණය ලබාගන්න පුළුවන් විදියට දේශපාලනය හසුරුවන එකයි ජනතා විමුක්ති පෙරමුණ කරමින් ඉන්නේ.

මනෝජ්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *