අපේ සිහින තර්ක විතර්ක – නිශාන්ත කමලදාස

 පහුගිය දවසක මහත් ආන්දෝලනයක් ඇති කළ සුදු රෙදි නඩුව අපේ මිනිසුන් නගන තර්ක කෙතරම් බොල් ද යැයි හඳුනා ගැනීමට අගනා අවස්ථාවක් සැපයූවේ ය. බෙදුවේ සුදු රෙදි ය. නියම වුණේ හිරේට ය. දානමය පිංකමක් හිරේ යන වරදක් ලෙස ගැනිය නොහැකි යන්න තර්කයකි. අප රටේ මෙහෙම තර්ක වැහි වැහැලා ය. මේ මතුපිට තිබෙන සරල තර්කයෙන් එහාට යන්නට බොහෝ දෙනකුට නොහැකි ය.

ආණ්ඩුව බෞද්ධ ශාසනයේ උන්නතිය සඳහා බැඳී සිටී. සුදු රෙදි බෙදීම ඒ අනුව රජයක් විසින් කළ යුතුව ඇති කටයුත්තකි. එවැන්නක් සම්බන්ධයෙන් රජයේ නිලධාරියකු වැරදිකරුවකු කරන්නේ කෙසේ ද? බැලුවහම තර්කානුකූල ය. ඒ මතුපිට තර්කයෙන් ඔබ්බට නොයා බැලුවොත් ය.

ලලිත් වීරතුංග මහතා කාර්යක්ෂම නිහතමානී රාජ්‍ය සේවකයෙකි. එතුමා හොරකම් කළ කිසිවක් නැත. ඒ නිසා එතුමා හිරේට දැමීම නොහොබී. බැලුවහම ඇත්ත වගේ ය. පළමු වැකියේ සඳහන් දේ ගැන එකග නොවන කෙනකු නැත. ඔහු කාර්යක්ෂම නිහතමානී නිලධාරියෙකි. දෙවැනි වාක්‍යය ගැන ද බොහෝ දෙනකුට සැකයක් නැත. ඒ සමඟ එන තෙවැන්න පළමු වැකි දෙකෙන් එළඹෙන තර්කානුකූල නිගමනයක් බව මතුපිටින් බලන විට පෙනේ. ඇත්ත ඒක ද?

දත්ත මග හැරී යෑම

අප මේ දකින්නේ කුමක් ද? දත්ත තොරතුරු රාශියක් තිබෙන තැනකින් තමන්ට අවශ්‍ය දත්ත පමණක් තෝරා ගැනීමට පෙළඹෙන අනිත් දත්ත වුවමනාවෙන් මග හරින අප බොහෝ දෙනකු සතු ආත්මය ය.

දැන් අප මග හැර ගිය දත්ත දෙස බලමු.සුදු රෙදි බෙදුවේ මැතිවරණයක් ආසන්නයේ ය. ඒ සුදු රෙද්ද බහා ලූ පැකැට්ටුවේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ රුවක් ද ඔහුගේ පණිවුඩයක් ද තිබුණේ ය. ඒ සඳහා වැය කළේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන නොවේ.දුරකථන කොමිසමේ මුදල් ප්‍රතිපාදන ය. එය ද නිසි අනුමැතියකින් තොරව ය. ඒ සියල්ල සිදු වූයේ කඩිමුඩියේ ය. නිසි අවසරයක් ලබා ගැනීමට නොහැකි වීම ද මේ කඩිමුඩියට බලපෑවේ ය.හදිසි අවස්ථාවක දී එසේ කළේ නම් යම් සමාවක් දිය හැකි ව තිබුණ ද සුදු රෙදි එසේ හදිසියේ බෙදා දීමේ නිමිත්තක් රට තුළ තිබුණේ නැත.සුදු රෙදි නොලැබීම නිසා රට අර්බුදයකට යන තත්වයක් තිබුණේ නැත.මේ කටයුත්ත නොකට යුතු බවට එකල මැතිවරණ කොමසාරිස් විසින් නීතියක් ද පනවන්නට යෙදුණේ ඒ අනුව ය. එතුමා ද කීර්තිමත් රජයේ නිලධාරියෙකි. එතුමාට පෙනුන දේ ලලිත් වීරතුංග මහතාට නො පෙනුණේ ය. ඉහත ගොඩ නැගූ තර්කවලට මේ දත්ත ඇතුළු කළ විට ද මතුපිට තර්කයෙන් සෑහීමකට පත් නොවී ගැඹුරට තර්ක කළ විට ද ඉහත ඉදිරිපත් කළ මුල් තර්කයන් බොල් බව මනාව පැහැදිලි වේ.

උසාවිය තුළ මේ සියල්ල සලකා බැලෙන්නට ඇත. එහෙත් අපට ඇසෙන්නට ඉදිරිපත් වූ මුල් තර්ක තුන ම මතු වුණේ උසාවි නියෝගයෙන් පසු ය. ඊට අමතරව මේ සඳහා ඉදිරිපත් වූ ප්‍රති තර්කයක් ද තිබේ. හොරකම් කරන්නේ දන් දීම සඳහා නම් එය නිවැරදි ද යන්න ය.ඒ කිසිවක් නොසලකා මෙසේ තර්ක කරන්නට මිනිසුන් ඉදිරිපත් වූයේ ඇයි?

නිගමනයට එන්නේ හැඟීම්වලිනි

ඊට ප්‍රධාන හේතුව වන්නේ තමන්ගේ හෝ තමන්ගේ කෙනෙකුගේ වැරැද්දක් වැරැද්දක් හැටියට සමහරු නොසලකන නිසා ය.‍ ඔවුන්ට ඒ වගක් නොදැනෙන නිසා ය. එසේ කරන අය නිගමනයන්ට එන්නේ තර්ක පදනම් කර ගෙන නොවේ. හැඟිම් පදනම් කරගෙන ය. කරන්නේ එසේ පැමිණි නිගමනය සනාථ කිරීමට තර්ක ගෙන ඒම ය. ඒ තර්කවලට අදාළ කරුණු පමණක් තෝරා බේරා ගෙන ඉදිරිපත් කිරීම ය. අනිත් ඒවා නොදුටු සේ නොඇසුණු සේ නොදැනුණු සේ මග හැර යෑම ය.

ඒ අයට අනුව මිනිසෙකු හොඳ වෙන්නේ හෝ නරක වෙන්නේ ඒ පුද්ගලයාගෙන් තමන්ට වාසියක් ලැබෙන්නේ ද නැද්ද යන්න මත ය. ඒ මිනිසා වැරදි හෝ නිවැරදි වන්නේ ද ඒ අනුව ය. එවැනි මිනිසුන් සමග තර්ක කරන්නට ගිය විට අවසානයේ සිදු වන්නේ කුණුහරුපවලින් උත්තර අසා ගන්නට ය. මක්නිසා ද යත් ඔවුන් එතෙක් මෙහෙයවා ඇත්තේ ද හැගීම්වලින් ම නිසා ය. තර්කය ඒ හැගීම් සාධාරණය කිරීමට පමණක් ගොඩ නැගූ දේ නිසා ය. ඒවා බංකොළොත් තර්ක හා පුහු තර්ක නිසා ය. මතුපිට පමණක් අත ගාන තර්ක නිසා ය. ඒවා බිඳ දමන විට ඔවුන්ගේ හැගීම් ඇවිස්සෙන නිසා ය.

නැති දත්ත හා කරුණු නිර්මාණය

අප මෙතෙක් කතා කළේ තිබෙන දත්ත මග හැර යෑම ගැන ය.මේ පුද්ගලයින් එයින් ද නොනැවතී නව දත්තයන් සම්පාදනයේ ද යෙදෙන්නෝ ය. ඊට හොඳම උදාහරණය සැපයුණේ මෑතක දී සමාජ ජාලාවල පැන පැන බෙදා ගත් ලිපියකිනි. ඒ ලිපියේ ලිපි ශීර්ෂයේ සඳහන් ව තිබුණේ මුස්ලිම් සංවිධානයක් යැයි හැඟවෙන නමකි. ඒ ලිපියේ අන්තර්ගතය තුළ තිබුණේ මියන්මාරෙන් පැන එන සරණාගතයන් බාර ගැනීමට රජය ගෙන ඇති තීරණයක් පිළිබඳව ස්තුතියකි. එයින් මේ ලිපිය නිර්මාණය කළ අයට පෙන්වන්නට අවශ්‍ය වූයේ රජය සරණාගතයන් බාර ගැනීමට තීරණයක් ගෙන ඇති බව ය. පසුව මේ ලිපිය ව්‍යාජ එකක් බව පෙනී ගියේ ය. එහි වූ දෙමළ හා අරාබි අකුරු වැරදි ය. දුරකථනය ක්‍රියාන්විත නැති එකකි. එහෙම සංවිධානයක් රටේ ද නැත. එහෙත් මෙය දිගින් දිගට ප්‍රචාරය විය. ඒ නිසා ම තාමත් සමහරු විශ්වාස කරන්නේ රජය සරණාගතයන් බාර ගැනීමට තීරණය කර ඇති බව කි. මේ දත්ත සම්පාදනය කරන මිනිස්සු ඒවා නුදුරු දිනයක බොරු වන බව දනිති. එහෙත් ඒ හරහා ජන මනස තුළ ඇති කළ හැකි මැකීමට අපහසු, තාවකාලික යැයි අප හිතන, එහෙත් එසේ නොවන, සිතුවිල්ල පමණක් වුව ඔවුන්ට සෑහේ. අතීතයේ දෙමළ මිනිසුන් සම්බන්ධයෙන් ද වර්තමානයේ මුස්ලිම් මිනිසුන් සම්බන්ධයෙන් ද ගෙන යන දහසක් ප්‍රචාර මේ සඳහා දිය හැකි උදාහරණ ය. මෙයින් බොහෝමයක් අසත්‍ය ය. එහෙත් ජන මනස තුළ පැලපදියම් වූ චිත්‍රය වෙනස් කිරීමට ඒ අසත්‍ය බව ඔප්පු වූ පසු ද නොහැකි ව තිබේ.

තිබෙන දත්ත වුවමනාවෙන් මග හැර යෑමත් නැති දත්ත නිෂ්පාදනයටත් අමතරව ඔවුහු අදාළ නොවන දත්ත ද ඉදිරිපත් කර ඒවාට නැති සුජාතභාවයක් ලබා දෙති. ඒ තුන්වෙනි ක්‍රමය ය.

අදාළ නොවන කරුණු කාරණා

කෙනකුට ළමයි නැති වීම ඔහුගේ අදක්ෂභාවයක් ලෙස, අසාර්ථකත්වයක් ලෙස, දක්වා සිටීම එවැන්නකි. එහෙම දෙයක්වත් කර ගන්නට බැරි එකෙක්නෙ මෙහෙම කතා කරන්නේ යැයි කියමින් අදාළ පුද්ගලයා හෑල්ලුවට ලක් කරන්නට ඔවුහු ඉක්මන් වෙති. පිරිමියකුට ළමයෙක් බිහිකිරීමට යන්නේ විනාඩි ගණනකි. එය මහා ලොකු වැඩක් නොවේ.

එවැන්නෝ වැඩ කාරයෝ නම් එවැන්නන්ගෙන් අඩුවක් ලංකාවට නැත. එහෙත් ලංකාව සාර්ථක වී ඇත් ද? ළමුන් වැඩියෙන් ඉන්නා තාත්තලා වැඩ කාරයෝ ද? මේ අදාළ නොවන තර්කයන් නැවත විමසන්නට මේ තර්ක කරන්නන්ට ද ඒවා නැවත නැවත බෙදා ගන්නන්නට ද ඉස්පාසුවක් නැත. එයින් පෙනී යන්නේ ද ඔවුන් තර්කය ඔස්සේ නිගමනයකට පැමිණියා නොව හැගීම් ඔස්සේ පැමිණි නිගමනයකට පිළිසරණ පතා තර්ක සොයා ගියා පමණක් බව ය.

කෙනකුට රැවුලක් වවා තිබීම හෝ නැති වීම, කෙනකු උස හෝ මිටි වීම, කෙනකු ආගමික හෝ නිරාගමික වීම, ශරීරයේ පච්චයක් කොටා ගෙන සිටීම හෝ නැතිවීම, සතර පෝයට සිල් ගැනීම හෝ නො ගැනීම, ශරීරය මුළුමනින් වැසෙන සේ ඇඳීම හෝ විශාල කොටසක් නිරාවරණය වන සේ ඇඳීම, ඔහුගේ හෝ ඇයගේ හැකියාවට හෝ ගුණයහපත්කමට බලපාන්නේ නැත.

අපරාධ අඩු සාමකාමී රටවල වැඩි දෙනෙක් නිර්ආගමික ය. ඇතැම් රටවල මිනිසුන් වඩා ප්‍රිය ග්‍රීස්ම කාලයේ රස්නයට ඔරොත්තු දෙන සේ වඩා නිරාවරණය වූ ඇඳුම් ඇඳීමට ය.ගුණ යහපත්කමට මේවා බලපාන්නේ නැත.එහෙත් මේවා අවශ්‍ය වූ විට භාවිතා කළ හැකි අදාළ නොවන කාරණා ය.

අදාළ නොවන සංඛ්‍යාලේඛන

සිව්වෙනි ක්‍රමය ඊටත් වඩා ප්‍රතිඵල ජනක ය. ඒ නොගැළපෙන අදාළ නොවන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම හරහා ය. සංඛ්‍යාලේඛන කොහොමටත් නිකම්ම නිකම් කරුණුවලට වඩා ප්‍රබල ය. ඒත්තු ගන්නා සුළු ය.

එල්ලුම් ගස ගෙන ඒමට ඉදිරිපත් කළ හැකි එක් වැදගත් සංඛ්‍යාලේඛනයක් නම් මිනීමැරුම් වැඩිම රටේ එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන බව කීම ය. එය සත්‍යයකි. එහෙත් මිනිමැරුම් වැඩිම රටවල් 10 ගෙන බැලුවොත් පෙනෙන්නේ එයින් 6 කම මරණ දඬුවම ක්‍රියාත්මක වන බව ය. මරණ දඬුවම ක්‍රියාත්මන නොවන රටවල් ඇත්තේ 4 ක් පමණක් බව ය. සංඛ්‍යාලේඛනවල විශ්වාසනීයත්වය ලැබෙන්නේ නියැදිය විශාල වූ තරමට ය. නියැදිය අපේ මතය සනාථ කරනු පිණිස තැනින් තැනින් අහුලා නොගෙන අහම්බෙන් තෝරාගත් විට බව ය. එහෙත් මෙවැනි විමසුමකට අපේ ජාගර සිතේ ඉඩක් නැත. ඒ සංඛ්‍යාලේඛනය කොතරම් අදාළ නොවූව ද අපේ මතය සනාථ කරන්නේ නම් වැඩිපුර නොවිමසාම එය බදා ගන්නට අප ලෝභය. බෙදා ගන්නට අප නිර්ලෝභී ය.

නොගැලපෙන තර්ක

පස් වෙනි ක්‍රමය ද අපූරු එකකි. ඒ නොගැළපෙන සංඛ්‍යා ලේඛන නොව නොගැළපෙන තර්ක ඉදිරිපත් කිරීම ය. යන්නේ කොහෙද යන්නට මල්ලෙ පොල් උත්තරයක් දීම ය. උදාහරණයක් ලෙස සිල් රෙදි සම්බන්ධ සිද්ධියේ දී බොහෝ දෙනකු ඉදිරිපත් කරන තර්කයක් නම් බැඳුම්කර වංචාවට වඩා සිල් රෙදි පලහිලව්ව බරපතළ ද යන්න ය. ඒ අවධානය වෙනතක යොමු කිරීම සඳහා ය. තමන්ගේ එකා බේරා අනෙකා පස්සේ දුවන ලෙස ඉගි කර වීමට ය. මෙවැනි උප්පරවැට්ටි මිනිසුන් බොහෝ විට යොදාගන්නේ සතෙකුගේ නැත්නම් කුඩා ළමයකුගේ අවධානය වෙනතක යොමු කිරීමට ය. බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ තවම අවසන් නැත. එහෙත් ඉදිරියට ඇදී යන පරීක්ෂණවලින් පෙනෙන්නේ බරපතළ මගඩියක් එහි දී ද සිදු ව ඇති බව ය.

එය වෙනම විභාග කළ යුතු අතිශය වැදගත් සංසිද්ධියකි. ඒ විභාගය අවසානයේ වැරදිකරුවන් වන අය හඳුනා ගෙන දඬුවම් කළ යුතු කාරණයකි. එහෙත් එය වෙන එකක් වැසීමට භාවිතා කළ හැකි වස්ත්‍රයක් නොවේ. එහෙත් බොහෝ අය එසේ කරති. බැඳුම් කර වංචාව ගැන කතා කරන විට ද ඊට සමාන තර්කයන් ඉදිරිපත් වේ. ඒ පසු ගිය ආණ්ඩුව විසින් කරන ලද දැන් පෝලිම් ගසා ඇති වංචා සහ මගඩි ය. ඒවා නව ආණ්ඩුවට දූෂණයේ යෙදීමට ලයිසන් ලබා දෙන්නේ නැත.

අනාගතය ගැන කරන මවා පෑම්

හයවෙනි ක්‍රමය මේ විදිහට ගියොත් අනාගතය මෙසේ වෙතැයි කියන අපූරු මවාපෑම් හරහා ය. ඒ මවාපෑම්වල වැඩිපුර ඉන්නේ බිල්ලන් ය.මුණ හෝදන බේසමේ ද කිඹුලන් ඇතැයි බියට පත් වෙන මිනිස්සුන්ට පෙන්වා බය කළ හැකි බිල්ලන් ය. එයින් එක කතාවකට අනුව මේ රට අල්ලා ගන්නේ මුස්ලිම් මිනිසුන් ය. තව කතාවකට අනුව දෙමළ මිනිසුන් ය. ඉතින් එය වැළැක්වීම සඳහා කළ යුත්තේ ඒ ජාතීන් දෙක පාගා යටත් කර ගෙන සිටීම ය.

ඒ කරන වැඩ නිසා ඇත්තටම සිදු වන්නේ ඒ ජන කොට්ඨාසවලට සිය ආරක්ෂාව පතා සංවිධානය වීමට ය. ඇත්තටම මේ උඩ ගෙඩි දෙන්නේ ඒ සඳහා ය. බෙදීම ශක්තිමත් කරනු සඳහා ය.හොඳින් බැලුවොත් අනාගත ලෝකයේ මේ බෙදීම් අඩු වී යනු ඇත. ඒ සංවර්ධනය හා අධ්‍යාපනයේ පැතිරීම නිසා ය.

අප බොහෝ දෙනෙක් ගෝලීය වූ ලෝකයක විශ්ව පුරවැසියන් වනවා ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ පසුගිය දශකයේ දී නිරාගාමික මිනිසුන්ගේ සංඛ්‍යාව කතෝලික ජනගහණය අභිබවා වර්ධනය විය. අනාගතයේ බොඳවන මේ සීමා තව තවත් දැඩි කොට අල්ලා ගන්නේ ම අප වැනි දිළිඳු පසුගාමී රටවල් ය.

ඒ රටවලත් එසේ වන්නේ ලෝකය දැක නැති ලෝකයේ සිදු වන ප්‍රවණතා ගැන අවබෝධයක් නැති ගමින් එහා ට මනසින් අඩිය තබා නැති මිනිසුන් නිසා ය. එවන් රටවල ද අඩුවැඩි වශයෙන් ඉන්නා අප වැනි මිනිසුන්ගේ මේ අන්ත ආගමික කෝලම් පිළිබඳ සීමාසහිත වාර්තා දැක බය වෙන ජනයා නිසා ය.

හත් වෙනි ක්‍රමය ඉන්නා තැන අනුව තර්කය තෝරා ගැනීම ය. විපක්ෂයේ ඉන්නා විට තෝරාගන්නා තර්කවලට එහෙම පිටින්ම වෙනස් තර්ක ආණ්ඩුවේ ඉන්නා විට තෝරා ගැනේ. උදාහරණයක් හැටියට අධිකරණයේ ස්වාධීනත්වය විපක්ෂයේ ඉන්නා විට වැදගත් වන අයට ආණ්ඩුවට පැමිණි විට එය වහ කදුරු වේ. අධිකරණය එවිට ප්‍රගතියට අකුල් හෙලන, රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙස ඇගිලි ගසන, තැනක් බවට පත් වේ.

මෙසේ සත් වැදෑරුම් සීමාසහිත වූ ද ආන්තික වූ ද දුර්වල තර්ක ක්‍රමය නිසා අප ගන්නා තීරණ වරදින්නේ ය. අප තවදුරටත් පැරණි මඩ ගොහොරුව තුළ ගිල්වන්නේ ය. ඒ නිසා අපි සිහිනයක් දකිමු. නිවැරදි සත්‍ය දැකීමේ සිහිනයක් දකිමු. පාට කණ්ණාඩි නොදා ඇත්ත ඇති සැටියෙන් දැකීමේ සිහිනයක් දකිමු.

අපේ සිහිනය

ඒ සිහිනය තුළ මතුපිට තර්කයෙන් මිනිස්සු සෑහීමකට පත් නොවෙති. තමන්ගේ හැගීම්වලට වහල් නොවී නිවහල් තර්කයේ නිර්මලත්වයම සොයති.

තර්ක විතර්ක ගොඩ නැගීමේ දී තෝරාගැනීමක් නොකර ම සියලු කරුණු සැලකිල්ලට ගනිති. නිගමනයට එළඹෙන්නේ ඒ සියලු කරුණු පමණක් නොව අදාළ සංඛ්‍යාලේඛන ද විමසා බැලීමෙන් පසු ය. ඒ කරුණු හා සංඛ්‍යාලේඛනවල විශ්වාසනීයත්වය පිරික්සීමෙන් පසු ය.ඒවායේ මූලාශ්‍ර සොයා බැලීමෙන් පසු ය.ඒවා නිපදවා ඇති බේගල් දැයි විමසීමෙන් පසු ය.

එපමණක් නොවේ. දෙපැත්තම ඉදිරිපත් කරන සියලු තර්ක විතර්ක (ප්‍රතිතර්ක) සලකා බැලීමෙන් පසු ය. නැවත නැවතත් විමසීමෙන් පසු ය. තර්ක අදාළ ද නැද්ද යන්න ගැන කරන නිසි විමසීමකින් පසු ය. තර්ක ප්‍රශ්නයෙන් ඈත් කිරීම සඳහා යොදා ඇති උප්පරවැට්ටි දැයි උරගා බැලීමෙන් පසු ය. තර්කය එන්නේ ඉදිරිපත් කරන තැනැත්තාගේ අවස්ථාවාදී වුවමනාවන් සපුරා ගැනීම සඳහා ද යන්න විමසීමෙන් පසු ය.

මෙසේ සීරුවෙන් තර්ක විතර්ක තෝරා බේරා ගන්නා නිසා ප්‍රතිවාදියාට කුණුහරුපයෙන් සංග්‍රහ කිරීමටවත්, නම් අඬ ගසා අවමාන කිරීමටවත්, කාටවත් සිද්ධ වන්නේ නැත.මිනිසුන් එකිනෙකා පැරදවීමට නොව එකිනෙකාගෙන් ඉගෙනීමට පේවී සිටින නිසා රට අභිවෘද්ධිය කරා ඉක්මණින් ළඟාවනු ඇත.

සමස්ත ක්‍රියාවලිය තුළ ම අරමුණ වනු ඇත්තේ සත්‍යය සොයා ගැනීම ය. හරි වැරැද්ද වෙන්කර ගැනීම ය. නිවැරදි වීමට අවශ්‍ය කරුණු තේරුම් බේරුම් කර ගැනීමට ය. අනෙකා අභිබවා තමන්ගේ තර්කය ජයග්‍රහණය කර වීමට නොව රටත් ජනතාවත් ජයග්‍රහණය කර වීමට ය. ජනවර්ග අතර සාමයත් සහජීවනයත් සැනසුමත් ඇති කරලීමට ය. හොරු වංචාකාරයන් අල්ලා ඒ මගඩි වලට තිතක් තැබීම ය. නිවැරදි තීරණයන් ගෙන රට ඉදිරියට මෙහෙයවීමට ය.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *