මේ මන්ත්‍රීතුමා ගෙදර යවන්න – බණ්ඩාර උඩුරාවණ

2017 මැයි –  ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21ක් පැවැති අතර එම සැසිවාර 21ටම සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරු 14 දෙනෙකුන් පමණක් බව manthri.lk වෙබ් අඩවිය පෙන්වා දේ. එකී කාලය තුළ මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගි වී තිබෙන්නේ සැසිවාර පහකට වඩා අඩු සංඛ්‍යාවකට බවද දැක්වේ. අදාළ කාලය තුළ එක් පාර්ලිමේන්තු සැසිවාරයකට පමණක් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු දෙදෙනෙක් ද සිටිති. (ඒ අතුරින් අයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙකි) සභාවාර 21න් 4කට පමණක් සහභාගි වූ අමාත්‍යවරුද සිටිති. සාදාචාරාත්මක කරුණු හේතුවෙන් එකී අයගේ නම් සඳහන් කිරීමෙන් වැලකී සිටින නමුත් manthri.lk (මන්ත්‍රී ඩොට් එල්.කේ.) වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය අයෙකුට තමන්ගේ මන්ත්‍රීවරයාගේ තරම පරීක්ෂා කර බලන්නට පුළුවන.

මන්ත්‍රීවරු 43 දෙනෙක් මැයි – ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර වලින් 25% – 50% අතර ප්‍රමාණයකට සහභාගී වී සිටිති.  පැමිණීම 76% – 90% අතර පෙන්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 74කි. මන්ත්‍රීවරුන් 90දෙනෙකු සභාවාර 76% – 90% අතර සංක්‍යාවකට සහභාගී වී ඇතත් සියලුම සැසිවාරවලට සහභාගී වූ මන්ත්‍රීවරුන් අතරට කතානායක කරු ජයසූරිය, නිහාල් ගලප්පත්ති, මුජිබර් රහුමාන්, ලක්ෂ්මන් කිරිඇල්ලෙ, සෙල්වම් අඩෙක්කිලනාදන්, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, ජයම්පති වික්‍රමරත්න, හෙක්ටර් අප්පුහාමි, ගයන්ත කරුණාතිලක, ඩග්ලස් දේවානන්ද, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, අරවින්ද කුමාර් යන අය එක්වන බව ඔවුන්ට ගෞරව පිණිස සටහන් කළ යුතුය.

ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීමට වඩා මළ ගෙවල්, මඟුල් ගෙවල් වලට යාමට ප්‍රමුඛතාව ලබා දෙන බවත් එසේ කරන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවී සිටිය යුතු බවත් නවක පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් අමතමින් වරක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. කෝප් ඇතුළු කාරක සභා රැසක් මේවන විට පත්කර ඇතත් ඒවායින් එකදු රැස්වීමකටවත් සහභාගී නොවූ සාමාජික මන්ත්‍රීවරුන්ද සිටින බව කතානායක කරු ජයසූරිය මහතාද වරක් ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයකු සතු ප්‍රධාන වගකීමක් වන්නේ පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමයි. ඒ අන්කිසිවක් සඳහා නොව, තමා පාර්ලිමේන්තුවට පත්කර එවූ ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහාය. වාචික ප්‍රශ්න විමසන අවස්ථාවක් පාර්ලිමේන්තුවේ තිබේ. එම අවස්ථාවේදී තමන් ගේ බල ප්‍රදේශයේ ජනතාවට බලපාන ගැටලු සම්බන්ධව අදාළ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නකරන්නට මන්ත්‍රීවරුන්ට අවසර ලැබේ. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නැතිනම් ඒ අවස්ථාව මගහැරී යයි. එය ඔහු පත්කර එවූ ජනතාවට කරන ආසාධාරණයකි.

පෙත්සම් කාරකසභා සදහා පෙත්සම් ඉදිරිපත් කිරීමද මන්ත්‍රීවරුන්ට ලැබෙන තවත් අවස්ථාවකි.  ජනතාවට යම් කරුණක් ඉටු වී නැති විට හෝ යම් අසාධාරණයක් සිදු වී ඇති විට එම අසාධාරණය එය නිවරැදි කරගැනීමට හෝ සාධාරණය ඉටු කර ගැනීමට පෙත්සම් ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යයකි. ඒ සඳහා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නැතිනම්, ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවට පත්කර එවූ ජනතාවගේ අභිලාෂයන් ඔහු හෝ ඇය හරහා ඉටු වේ යැයි බලාපොරොත්තු විය හැකි නොවේ.

පාර්ලිමේන්තුව යනු ව්‍යවස්ථාදායකයයි. රටට වැගත්වන යෝජනා ඉදිරිපත්කිරීමත්, සාකච්ඡාකිරීමත්, අනුමත කීරීමත් පැවරෙන්නේ පාර්ලිමේන්තුවටය. රටෙ නීතිය බවට පත්වන්නේ පාර්ලිමේන්තුව ගනු ලබන තීරණයන්ය. එවැනි දේ සාකච්ඡා කිරීමට, විවාද කිරීමට, අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ නොසිටින මන්ත්‍රීවරයාගෙන් ජනතාවට සේවයක් වනු ඇතැයි සිතන්නට හැකියාවක් නැත.

පාර්ලිමේන්තුව රැස්වන්නේ මාසයකට දින අටක් පමණි. මාසයකට දින 28ක් ලෙස සැලකුවද පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගීවීමට  හැර ඡන්දබල ප්‍රෙද්ශයේ වෙනත් කරයුතුවල යෙදීමට මන්ත්‍රීවරයෙකුට මාසයකට අවම දින 20ක්වත් ඉතිරි වේ. එසේ තිබියදීත් පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී නොවන මන්ත්‍රීවරුන් පිළිබඳ කිවයුත්තේ කුමක්ද?

පාර්ලිමේන්තුව පැවැත්වීම සඳහා දිනකට ලක්ෂ 46ක් වැය කරතැයි පැවසේ. ඒ වැය කරන්නේ මහජනතාවගේ බදු මුදල් වලිනි. මන්ත්‍රීවරුන්ගේ පැමිණීම දිරිමත් කිරීම පිණිස රුපියල් 500ක්ව තිබූ පැමිණීමේ දීමනාව රුපියල් 2500/- දක්වා ඉහළ දැමීමට ද මේ වසර මුලදී කටයුතු කෙරිණ. ඉහත දත්තවලට අනුව පෙනෙන්නේ ඒ වැඩිකිරීමෙන් ද පළක් වී නැති බවය. පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ද බොහෝවිට පාර්ලිමේන්තුවේ රැඳීසිටින්නේ මුල් පැය හෝ දෙක තුළ පමණක් බව කියැවේ. එය පැමිණීම සටහන් කිරීමට මුහුණ පෙන්වායාමක් බඳු ක්‍රියාවකි. පැමිණීමේ දීමනාව රැකගැනීමත් නොකඩවා මාස තුනක් පාර්ලිමේන්තු සභාවාර වලට සහභාගි නොවීමෙන් මන්ත්‍රී ධූරය අහෝසි වීම වලක්වා ගැනීමත් පැයක් පෙනීසිටීමේ අරමුණ විය යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට අපේක්ෂකයන් කරන සටනේ තරම ඡන්දදායකයනට රහසක් නොවේ. ඒ සඳහා ඔවුහු මහා ධනස්දන්ධයක් වැයකරනු ලබති. රණ්ඩුවරුවල් කරති, ගහමරාගනිති, ඇනකොටා ගනිති. සියල්ල අවසානයේ තේරී පත් වූ පසුව පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි නොවෙති. එසේ නම් තේරීපත්වීමට දරණ වෑයම පිටුපස කුමක් හෝ රහසක් තිබිය යුතුය. රහස ජනතා සේවයට ඇති කැමැත්ත හෝ වුවමනාව නොවන බව අපට තේරුම් ගත හැක්කේ ඔවුන් සභාවාරවලට සහභාගී වී ඇති තරම අනුවය.

වසර පහක අඛණ්ඩ සේවයකින් පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව එකම රැකියාව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයයි. එපමණක් නොවේ, පාර්ලිමේනතු මන්ත්‍රීවරයකුගේ වැටුප රැපියල් 54285/-කි. ඇමතිවරයකුට මාසිකව රු.63500/-ක වැටුපක් හිමිවේ. පාර්ලිමේනතුවට සහභාගී වීම වෙනුවෙන් දිනකට ලැබෙන රු.2500/- ඊට අමතරවය. සෑම වසර 5කට වරක් තීරුබදු රහිත වාහනයක හිමිකම ඔවුනට තිබේ. ලක්ෂ 20 රක්ෂණාවරණයක් සෑම මන්ත්‍රීවරයකුටම හිමිවේ. අනතුරකින් මිගියවිට පවුලේ අයට රුපියල් ලක්ෂ 50ක වන්දියකට හිමිකම ලැබේ. බැංකු ණය පහසුකම්, දරුවන්ට පාසල් පහසුකම්, කොළඹ අවටින් නිවාස පහසුකම්, විදෙස් සංචාර, ස්ථාවර දුරකතන, ජංගම දුරකථන ගාස්තු, ප්‍රවාහන වියදම් පමණක් නොව, පසුගිය ජනවාරියේ සිට කාර්යාල නඩත්තුව සඳහා මාසයකට රුපියල් ලක්ෂයක මුදලක් ද ඔවුනට හිමිවේ.

පාර්ලිමේන්තුවට සහභාගි නොවන මන්ත්‍රීවරුන් පිළිබඳ මේ අනුව අපට නිගමනයකට එළඹිය හැකිය. එනම් ඔවුන් මාරාන්තික සටනකින් පසුව පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ ජනතා සේවය සඳහා නොව මන්ත්‍රීවරයකු වශයෙන් හිමිවන වරප්‍රසාද වලට ඇති කැමැත්ත නිසාය.

කමකට නැති මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙන්ම යහපත් මන්ත්‍රීවරුන් සම්බන්ධව හෙළිදරව්වක්ද (manthri.lk) මන්ත්‍රී ඩොට් එල්.කේ. හරහා ලබාගත හැකිය. එසේ යහපත් මන්ත්‍රීවරුන් පිළිබඳ සටහනක් නොකර සිටීම වරදකි. එහි දී පසුගිය ජුලි මාසයේ වඩාත් ප්‍රගතිශිලී මන්ත්‍රීවරයා වශයෙන් සඳහන් වන්නේ ගයන්ත කරුණාතිලක මහතාය. දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර, විජිත හේරත්, නලින්ද ජයතිස්ස යන මහත්වරුන් සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති මන්ත්‍රීවරුන් වශයෙන් සටහන් වී තිබේ.

මේ අනුව පෙනෙන්නේ මන්ත්‍රී ඩොට් එල්.කේ. යනු ඔබේ මන්ත්‍රීවරයා පිළිබඳ තක්සේරුවකට එළඹීමට ඔබට සපයා ඇති කදිම මිනුම් දණ්ඩක් බවයි.

මන්ත්‍රීවරයාගෙන් බලාපොරොත්තුවන දේවල් පිළිබඳවක ගැටලුවක් තිබේ. මක්නිසාද ජනතාව මන්ත්‍රීවරයාගේ හොඳ නරක මනින්නට පුරුදු වී ඇත්තේ ඔහු ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට කොතෙක් දුරට දායකවන්නේද යන්න මත නොවේ. දරුවා පාසලට ඇතුළත් කරන්නට උපකාර කරන්නේද? රැකියාවක්, ස්ථානමාරුවක් ලබා දෙන්නේද? මළගෙයකට මඟුලකට පැමිණෙන්නේද? කොන්ත්‍රාත් ලබා දෙන්නේද? යානාදි දේ මතය.

කෙසේ වෙතත් නිවැරදි මහජන නියෝජිතයකු බිහිකර ගැනීමට නම් මන්ත්‍රීවරයා සැබෑ මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකරන්නේද යන්න පිළිබඳ ඡන්ද දායකයා අවදියෙන් සිටීම හැර වෙනත් විකල්පයක් නැත. එසේ නොවනතෙක් මේ රට ගමන් කරනු ඇත්තේ අගාධය දෙසටය.

බණ්ඩාර උඩුරාවණ

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *