ලොකු එක කුඩා එක

ඉස්කෝලෙ මහත්තයා, ඔබතුමා උගත් පුද්ගලයානෙ, මම මේ නොතේරුම් කමටයි අහන්නෙ, පනස් අටෙනුයි, හැටදෙකෙනුයි ලොකු ඉලක්කම කෝකද? ඡන්දදායකතුමා ඉස්කොලෙ මහත්තයාගෙන් අහුවෙ කෝන්ගහමුල හන්දියෙ කඩේගාවදිය.

ඉස්කොලෙ මහත්තයා විමතියෙන් ඡන්දදායකතුමාගෙ මුහුණ බලා සිටියේ, ඔච්චරටම පුංචි ගණිත ප්‍රශ්නයක් ගැන අනවබෝධයක් ඡන්දදායකතුමාට තිබිය නොහැකිබව දන්නා නිසාය.

අලි පක්ෂය කියන හැටියට හැට දෙක ලොකුයි. පොහොට්ටුව කියන හැටියට පනස්අට ලොකුයි. ඉස්කෝලෙ මහත්තයාට කලින් කඩයේ බඩු කිරන කොල්ලා මැදට පැන්නේය.

පොහොට්ටුව කියන විදිහට විතරක් නෙමෙයි කොල්ලෝ, සමහරක් හුමුදුරුවො කියන හැටියටත් පනස් අට ලොකුයි ඡන්දාදායකතුමා කීවේය.

හුමුදුරුවන්ට පනස්අට ලොකු වුණේ සුදු රෙදි, ඉන්ටර් කූලර් අටපිරිකර නිසා කිව්වැකි. ඒත් මිගමුව පැත්තෙ මෙරුන්දික වගේ අයටත්, හැට දෙකට වඩා ලොකුවට පනස් අට පෙන්න පටන් අරන් තියෙන්නේ මොකද කියල හිතාගන්න අමාරුයි. කඩේ මුදලාලි කතාවට සම්බන්ධවුණේ, තමන්ටත් යමක් තේරෙනබව පෙන්වන්නට ඕනෑ වූ නිසාය.

ඉස්කොලේ මහත්තතයාට මේ අංක ගණිත හරඹය හරියට වැටහුනේ නැත. ඔහු කල්පනා කළේ හැට දෙකට වඩා ලොකු බව කුවුරු හෝ හිතන පනස් අට කුමක්විය හැකිද කියාය. එහෙත් තමාට කුකුසක් ඇති බවක් ඉස්කෝලේ මහත්තයා අනෙක් අයට තේරෙන්නට ඉඩ දුන්නේ නැත. ඒ බව අනුන්ට වැටහුණොත් තමන්ගේ උගත්කමට මදි පුංචිකමක් වනු ඇතැයි ඔහු කල්පනා කළ නිසාය. ඒ කතාවේ තමන්ට වැදගත්කමක් නැතිවා මෙන් ඔහු පුවත්පත කියවන්නට පටන් ගත්තේය.

මෙරුන්දිකලා පුලතිසිට හේත්තු වුනේ කරන්න දෙයක් නැතිවුණාට පස්සෙ. කඩේ මුදලාලි කීවේය. කුරන් සාටක කාලේ කාපු කෑම රහ මතක්වෙනකොට මෙරුන්දිකලාට පුලතිසි එක්ක යකා නගිනවා ඇති. සාටෙකෙයි පුලතිසියි එකතු කරන්නට කතා කරන්නේ බඩ අඩුවෙනවට බයේ මිසක් ආයෙ වෙන අහවල්දේටද? කඩේ කොලුවා කීවේය.

නුවරඑළියෙ හාදයෙකුත් පත්තරේට කියල තියෙන්නෙ ඡන්දයකින් නැත්නම් වෙනත් ක්‍රමේකින් හරි ආණ්ඩුව පෙරළන්න පිඹුරුපත් හදනවා කියල. ඉස්කෝලේ මහත්තයා කීවේ මෙතෙක් නොතේරුණු කතාව අවබෝධවුණු නිසාය.

පනස්අට ලොකු කරගන්න ලොකුම ඕනෑකම තියෙන්නෙ ඔය හාදයක්ට තමයි. පුලතිසිට මරණ මංචකේ දක්වා රජකම් කරන්න අත්දෙක උස්සලා අසවර දීලා, ගසාකෑම කරගෙන යන්න ඔය ගොබිලො බලා හිටියට ඉලක්කය වැරදුණා. දැන් දුකට කවි කයනවා. ඡන්දදායකතුමා කීවේය.

ආරක්ෂක ලේකම් මල්ලිත් එළියක් එහෙම ගහගෙන ඉස්සරහට එන්න හදන්නෙ සාටක යුගේ වගේ සල්ලි විසිකරල ඔළුගෙඩි මාරුකරල රජා සිංහාසනේ තියන්ඩ පුළුවන්වෙයි කියල හිතාගෙනද? කඩේ මුදලාලි ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි.

ආරක්ෂක මල්ලි, දිවි නැගුම මල්ලි හිතාන ඉන්නෙ රටේ ඉන්නෙ කොණඩෙ බැදපු චීන්නු කියල වෙන්න ඇති. ගසාකෑමේ, ස්ත්‍රී දූෂණ, කොමිස් කුට්ටිවල රහ දන්න එකෙක් දෙන්නෙකු ඇරුණම රටේ මිනිස්සුන්ට රුදාවක් තියනවද ආරක්ෂක මල්ලිලට බලේ දීලා සුදු වෑන් යුගයක් ආයෙ ගෙන්න ගන්න. බඩු කිරන කොල්ලා කීවේය.

එළි ගැහිල්ල කොහොම වෙතත් සිරකරුවෝ ඝාතනයද මනුෂ්‍ය ඝාතනයක්මය කියල එළිවෙච්ච දවසක ආරක්ෂක ලේකම් මල්ලිටත් එළියට එන්න විදිහක් හොයා ගන්න වෙයි වගේ. ඉස්කෝලේ මහත්තයා කීවේය.

‘අපේ හාමිනේ ඉස්කොලෙ මහත්තයා එයි කියල මග බල බලා ඉදලා මේ දැන් ගියේ සිල් රෙද්ද හොදන් එන්න, කඩේ මුදලාලි කීවේය.

‘සිල් රෙද්ද හෝදන්න හදිස්සියක් මොදටද? පෝයට තව දවස් තියෙනව නේද? ඡන්දදායකතුමා ඇසුවේය.

පෝය කිට්ටු නැතුවට හෝදන්නෙ නැතුව දෙන්න හොද නෑනෙ. හාමුදුරුනමක් සිල් රෙදි ගෙනිහින් දෙනව කීව නේද? ඉලන්න ආවොත් නොසෝද දෙන එක හරි නෑ. කියල තමයි හාමිනේ කීවෙ.

දැන් ඔය සිල් රෙද්ද අවුරුදු දෙකක් පරණයි නේද? ඉල්ලන්න ආවොත් දෙන්න පුළුවන්ද? ඡන්දදායක තුමා ඇසුවේය.

පරණයි කියල නොදී කොහොමද? ඒ අයම දුන්නා ඒ අයම ඉල්ලනවා. ආවොත් ඔන්න ඔහෙ දීලා දානව.

මම හිතන්නෙත් ආපහු දෙනවට වඩා තියාගත්තොත් ප්‍රයෝජනවත්. ඉස්කෝලේ මහත්තයා කීවේය.

මොන ප්‍රයෝජයක් ද ඉස්කෝලේ මහත්තයා? පෝය විසිහතරක් විතර ඇදලා දැන් ඒ රෙද්ද තැනින් තැන හිල්වෙලා. කඩේ මුදලාලි කීවේය.

එක තමයි මම කිව්වෙ. දෙනවට වඩා රෙද්ද තියා ගැනීම ප්‍රයෝජනවත් කියල.

දිරාපු රෙද්දකින් මොන ප්‍රයෝජනයක්ද? සීලෙට අදින්න බෑ, පස්ස පැත්ත පේනවා. මුදලාලි කීවේය.

දිරාපු රෙද්ද හොදයි පාන්තිර අඹරන්න. ආරක්ෂක මල්ලිලා, දිවිනැගුම මල්ලිලා, ඩේසි ආච්චිලා, සිරිලිය නෝනලා, ජාතික පුෂ්ප කුමාරයා එහෙම වැලිකඩ ගියාම බෝධි පූජා තියන්න රෙදි කච්චියකවත් තිර අඹරන්න වෙයි. ඉස්කෝල මහත්තයා කීවේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *