ජාතික සංහිඳියාවට : මැදමුලන පන්නය වෙනුවට මෛත්‍රී ප්‍රවේශයක් – භාතිය බරුකන්ද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව වැදගත් වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ පැවැති ඍණාත්මක හා කොන් කිරීමේ ආකල්පය වේගයෙන් වෙනස් වෙමින් පවතින වාතාවරණයක් තුළ, ඒ වෙනසට නායකත්වය දෙමින් සිටින රාජ්‍ය නායකයාට තමන් ගත් මඟ හා ඒ මඟ දිගට හමුවන අභියෝග හා ගැටලු ගැන ජාත්‍යන්තර ප්‍රජාවම එකවර දැනුවත් කරමින් සංවාදයේ යෙදීම පහසු අවස්ථාවක් නිර්මාණය වීම නිසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 20 වැනිදා, ලංකාවේ වේලාවෙන් නම් අලුයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය ඇමතුවා. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරයට එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භයේදීම අමතන්න ලැබීම රාජ්‍ය නායකයෙකුට ලැබෙන සුවිශේෂ අවස්ථාවක්. ගෝලීය දේශපාලනයේ බලපුළුවන්කාර රාජ්‍යයක් නොවන ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය නායකයෙකුට මෙවැනි අවස්ථාවක් ලැබීම අතිශයින් දුර්ලභ එකක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා. එහිදී ඔවුන් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා පසුගිය කෙටි කාලය තුළ ප්‍රකට කළ ප්‍රජාතන්ත්‍රවාදී හා සංහිඳියාත්මක භාවිතය මේ සුවිශේෂ අවස්ථාවට හිමිකම් කීමට අවස්ථාව උදාකර දුන් බවයි.

“තිරසර ලොවක් මත සෑම මිනිසෙකුටම වැදගත් ජීවිතය සහ සාමය සඳහා ප්‍රයත්නය” යන තේමාව යටතේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 72 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද අතිශයින් වැදගත් වෙනවා. ඒ කාරණා කිහිපයක් නිසා. එයින් ගෝලීය වශයෙන් ප්‍රමුඛ වන්නේ උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය සමඟ ගෝලීය දේශපාලනය එක්වරම උණුසුම් ස්වභාවයක් ගැනීම. ඒ වගේම ගෝලීය වශයෙන් ඇතිව තිබෙන දේශගුණික විපර්යාසවල ඍණාත්මක බලපෑම අතිශයින් ප්‍රබල ආකාරයෙන් දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. මේ බව මනාව පැහැදිලි කරමින් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කැරිබියන් කලාපය පසුගිය සති කිහිපය තුළ දැවැන්ත සුළි කුණාටු දෙකකින් නොසෑහෙන්න බැට කෑවා. ශ්‍රී ලංකාවෙත් වියළි කලාපයේ දැඩි නියං තත්ත්වය සහ තෙත් කලාපයේ අධික වර්ෂාව මේ දේශගුණික විපර්යාසවල ඍජු ප්‍රතිඵල වශයෙන් සැලකිය හැකියි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව වැදගත් වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ පැවැති ඍණාත්මක හා කොන් කිරීමේ ආකල්පය වේගයෙන් වෙනස් වෙමින් පවතින වාතාවරණයක් තුළ, ඒ වෙනසට නායකත්වය දෙමින් සිටින රාජ්‍ය නායකයාට තමන් ගත් මඟ හා ඒ මඟ දිගට හමුවන අභියෝග හා ගැටලු ගැන ජාත්‍යන්තර ප්‍රජාවම එකවර දැනුවත් කරමින් සංවාදයේ යෙදීම පහසු අවස්ථාවක් නිර්මාණය වීම නිසයි. සමුළුව ආරම්භයේදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම දේශනය පැවැත්වීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි ඇගයීමට ලක් වුණේ මේ තත්ත්වය නිසයි.

ජාත්‍යන්තරය ඉදිරියේ අභිමානයෙන්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර එක්සත් ජාතීන් හමුවට ගියේ මහත් අභිමානයෙන් බවයි පෙනී යන්නේ. ඒ අභිමානයට හේතුව වුණේ, දේශීයව හා ජාත්‍යන්තරව තමන් දුන් පොරොන්දු ඉටු කළ නායකයෙකු වශයෙන් ජනපතිවරයා තුළ ඇති වූ අභිමානයයි. විශේෂයෙන් විධායක බලතල කප්පාදු කිරීම, රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම සහ පරිසරය සම්බන්ධයෙන් වඩාත් තිරසාර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කළ ‘සහශ්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම යන තම වර්ණවත් යහපාලන පොරොන්දු ජනපතිවරයා විසින් පසුගිය කාලය තුළ සාර්ථක ආකාරයෙන් ඉටු කර තිබුණා. තමා ලබාගත් මේ ජයග්‍රහණ ගැන ජනපතිවරයා තම දේශනය ආරම්භයේදීම සඳහන් කිරීමට අමතක කළේ නැහැ.

“2015 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූ මා එසේ පත්වීමට පෙර මගේ රටේ ආදරණීය ජනතාවට මා දුන් පොරොන්දු කිහිපයක් තිබෙනවා. එහිදී විශේෂයෙන් මා සඳහන් කළේ ලෝකයේ කිසියම් රටක, කිසියම් නායකයෙකුට නොතිබූ අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බැවින් මා බලයට පත්වූ විට ඒ අසීමිත බලය ජනාධිපති ධූරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුව සඳහා පවරනු ලබන බවයි.බලයට පත්වූ නායකයෙක් එවැනි අසීමිත බලතල රාශියක් සිය ආණ්ඩුකරුක්‍රම ව්‍යවස්ථාව තුළ, තනතුර තුළ තිබියදී එම බලය, බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත්හල, පාර්ලිමේන්තුවට පැවරූ නායකයෙක් විදියට මගේ රටේ ජාතික දේශපාලනයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත් බලය අත්හැරීම පිළිබඳ ආදර්ශය මා විසින් දී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය සුරකින, පෝෂණය කරන රටවල් ලෙස ප්‍රධාන වශයෙන්ම බලයට පත්වන නායකයෙක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත් බලය නිසි ලෙස භාවිතා කිරීමත් සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සිය බලය භාවිතා කිරීමත් ඉතා වැදගත් වෙනවා.නමුත් ගෙවී ගිය දශක කිහිපයත්, ලෝක ඉතිහාසයත් ගත්විට පෙනී යන්නේ බලයට පත්වන බොහෝ නායකයන්, බලයෙන් ඉවත්වීමට තිබෙන්නා වූ අකමැත්ත තුළ, එම රට තුළ සාමය බිඳීම, සාමය නැතිවීම මෙන්ම එය ජාත්‍යන්තර වශයෙන් ද විවිධ බෙදීම් අසමඟිකම් සඳහා බලපාන බවයි. එවැනි ඓතිහාසික සිද්ධාන්ත, තොරතුරු පිළිබඳ ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් අපට අවබෝධ රාශියක් තිබෙනවා. මේ සියලු තත්ත්වයන් තුළ මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින්, ආඥාදායක ගමනක් ගිය, තනි බලයක් පාවිච්චි කරමින් අසීමිත බලයක් ගෙන ගිය දේශපාලන කණ්ඩායම් ඉවත් කර, රට තුළ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින් මූලික අයිතිවාසිකම් පෝෂණය කරමින් ගෙවී ගිය වසර දෙක හමාරක කාල සීමාව තුළ මා සාර්ථක ගමනක් පැමිණි බව විශේෂයෙන් මේ ගෞරවනීය උත්තරීතර සභාවට ප්‍රකාශ කරන්න ඕනෑ”

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වූ මොහොතේ ජාත්‍යන්තරයට දුන් සහතිකය වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරමින්, මානව හිමිකම් සුරක්ෂිත කරමින් ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා පියවර ගන්නා බවයි. ජනපතිවරයා ජාත්‍යන්තරයට දුන් මේ සහතිකය ද පසුගිය වසර දෙකහමාරට ආසන්න කාලය තුළ ජාත්‍යන්තරයට පිළිගත හැකි හා විශ්වාස කළ හැකි මට්ටමකින් ඉටු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් වුණා. පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවීම සහ එක්සත් ජාතීන්ගේ සමුළුව තුළ ජනපතිවරයාට ලැබුණු සුවිශේෂ පිළිගැනීම මේ පොරොන්දුව ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව ඇති ආකාරයට පැහැදිලි සාධකයක් වුණා.

සංහිඳියාව ගැන ජනපති දැක්ම

දේශීය හා ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ට අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශනයේ වඩාත්ම අවධාරණාත්මක හා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සනාථ කළ යුතුව තිබූ කරුණ වන්නේ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ජනපතිවරයා දැක්වූ ප්‍රායෝගික හා අවංක ප්‍රවේශයයි. මෙය රටේ වත්මන් ප්‍රවණතා සහ රජයේ හැකියාව මනාව විශ්ලේෂණය කරමින් කළ ප්‍රායෝගික ඇගයීමක් බව ඔවුන් ප්‍රකාශ කරනවා. ජාතික සංහිඳියාව ගොඩනැගීමේ තම ප්‍රවේශය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළා.

“ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් අන්තවාදී පිරිස් කඩිනම් විසඳුම් බලාපොරොත්තු වෙනවා.නමුත් වසර 30කට ආසන්න කාලයක් යුද්ධයක් පැවති රටක් විදියට,බෙදීම් තිබුණ රටක් විදියට රටේ ජනතාවගේ සමඟිය ඇති කරලා ඒ සමඟිය තුළ සහෝදරත්වය ගොඩනඟලා මගේ ආදරණීය රටත් ජනතාවත් ගොඩනඟන්නට,ශක්තිමත් කරන්නට ඔබ සියලු දෙනාගේම සහාය ඉල්ලා සිටිනවා. ඒ නිසයි මා මෙහිදී ඉතා පැහැදිලිව කියන්නේ සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අපිට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. වේගවත් ගමනක් අනතුරු සහිතයි කියලා අපි සැවොම අහලා තියෙනවා. ඒ නිසා ඇතැම් අන්තවාදී පිරිස් බලාපොරොත්තු වන වේගවත්,කඩිනම් විසඳුම් දීමේ අසීරුතා මුළු මහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවයන් ඔබ සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මගේ රටේ නැවත යුද්ධයක් ඇති නොවන්නට,සියලු ජාතීන් තුළ සමඟියක් ඇති කරන්නට මගේ රජය ගෙනයන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍යවල සහායත් මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා”

වේගවත් ගමනක් බැරි ඇයි ?

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයේදී පසුගිය කාලය පුරා පාලකයන් විසින් මුහුණ දුන් සංකීර්ණම ගැටලුව වුණේ උතුරේ සහ දකුණේ ජනවාර්ගික අභිලාෂයන්ගේ අති සංකීර්ණභාවයයි. උතුර තෘප්තිමත් වන විසඳුමකට දකුණත්, දකුණ තෘප්තිමත් වන විසඳුමකට උතුරත් විරුද්ධ වීම පසුගිය කාලය පුරාම සිදු වූ පොදු තත්ත්වය බවට පත් වුණා. මෙය බණ්ඩාරනායක – වේල්වනායගම්, ඩඩ්ලි – වෙල්වනාගයම්, තිම්පු සාකච්ඡා, ඉන්දු – ලංකා ගිවිසුම, පමණක් චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2002 සටන් විරාම ගිවිසුම ආදි වශයෙන් ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීමට ආණ්ඩුව ගත් සියලු ප්‍රයතන අසාර්ථකභාවයට පත් කිරීමට හේතු වුණා. මේ තත්ත්වය තුළ අපි ඉතාම පැහැදිලිව දුටුවේ ‘එරෙහි වීමේ ඉතිහාසයක්’. එය මීට පෙර සඳහන් කළ ආකාරයට උතුරෙන් මෙන්ම දකුණෙන් ද ආයාසයකින් තොරව ප්‍රකාශ වුණා.

අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඍජුව මුහුණදී සිටින්නේ මේ එෛතිහාසික අභියෝගය, ජනවාර්ගික අභිලාෂයන්ගේ ධ්‍රැවීකරණය ජය ගැනීමේ අභියෝගයකට. මේ අභියෝග හා සංකීර්ණතා ඇති කළේ සිංහල හෝ දෙමළ සාමාන්‍ය පොදු ජනතාව නොව දෙපාර්ශ්වයේම අන්තවාදීන් විසින් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලය තුළත් වත්මන් දේශපාලන තත්ත්වය තුළත් මනාව වටහා ගෙන සිටිනවා.

මේ තත්ත්වය ජනපතිවරයා විසින්ම මුහුණදී විසඳා ගත යුතු වත්මන් තත්ත්වය තුළින්ම පැහැදිලි කරගත හැකියි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික තලයේ කෘතහස්ත දමිළ දේශපාලන නායකයන් වශයෙන් සැලකෙන, ආර්. සම්බන්ධන්, සුමන්තිරන් ආදි නායකයන් ද, මනෝ ගනේෂන් වැනි තරුණ දමිළ නායකයන් ද දකුණේ සිංහල ජනතාවගේ දේශපාලන හැඟීම් හා මනා අවබෝධයකින් ක්‍රියාකරද්දී උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් වැනි අන්තවාදීන් කිහිප දෙනෙක් ඒ මධ්‍යස්ථ හා ප්‍රායෝගික ප්‍රවේශයට අභියෝග කරමින් ක්‍රියා කරනවා. කඩිනම් විසඳුම් ලබා දෙන මෙන් බල කරමින් සිටිනවා. මේ තත්ත්වය දකුණෙත් ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. උතුරට ලබා දෙන දේශපාලන විසඳුමට බාධාකාරීව හැසිරෙන්නේ ජන පදනමක් ඇති ජාතික තලයේ දේශපාලනඥයන් වෙනුවට කිසිඳු ආකාරයක ජන පදනමක් නැති විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන වැනි මාධ්‍ය ප්‍රතිරූපක පමණයි.

මේ තත්ත්වය තුළ දෙපාර්ශ්වයේම අන්තවාදීන් පිනවීම සඳහා කඩිනම් විසඳුම් හෝ වේගවත් ගමනක් අනවශ්‍ය ගැටලු ඇති කරන්නක් බවයි ජනපතිවරයාගේ අදහස වන්නේ. එය ජනපතිවරයා පසුගිය වසර දෙකහමාරකට ආසන්න තම පාලන කාලය තුළ ලබාගත් අත්දැකීම් මගින් වඩාත් ප්‍රායෝගිකය පසක් කර ගෙන ඇති බවයි අපට පෙනී යන්නේ.

අන්තවාදී ජාත්‍යන්තරයත් සංහිඳියාවට බාධාවක්

ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ ක්‍රියාවලිය රට අභ්‍යන්තර කාර්යයකින් ඔබ්බට පසුගිය කාලයේ ගමන් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් සමුළුව ආදි ජාත්‍යන්තර වේදිකාවන්ට මේ ගැටලුව ගියේ පසුගිය ආණ්ඩුව අනුගමනය කළ අන්තවාදී සහ අවස්ථාවාදී ප්‍රවේශ නිසා බව පැහැදිලියි. එහෙත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වූ පසු මධ්‍යස්ථ ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ සංහිඳියාව ගොඩනැඟීමේ කාර්යයට වන මැදිහත්වීම ක්‍රමයෙන් සීමා කරමින් සිටිනවා. ඒ ජනපතිවරයා පසුගිය කෙටි කාලය තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ග ඔවුන්ගේ විශ්වාසයට හා ඇගයීමට ලක්ව තිබෙන නිසයි. විශේෂයෙන් එක්සත් ජාතීන් සහ මානව හිමිකම් කොමිසම, අමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව මේ සම්බන්ධයෙන් වර්තමානයේ දක්වන්නේ ධනාත්මක සහ සහනශීලී ආකල්පයක්.

එහෙත් ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන තම දේශපාලනික හා මූල්‍ය න්‍යාය පත්‍ර අනුව තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කඩිනම් සහ අන්තවාදී ප්‍රවේශ අපේක්ෂා කරන ආකාරයක් දැකිය හැකියි. ඔවුන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් වෙනුවට දෙමළ ඩයස්පෝරාවේ අභිලාෂයන් නියෝජනය කිරීම මේ සඳහා හේතු වන බව පැහැදිලියි. ඔවුන්ගේ අනුබලය සහ මූල්‍යාධාර ලබමින් පෝෂණය වන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ද මේ ඊනියා කඩිනම් විසඳුම් අපේක්ෂා කිරීම වත්මන් සංහිඳියා ප්‍රයත්නයට රුකුලක් වනවා වෙනුවට උතුරේ හා දකුණේ අන්තවාදීන්ට අවි සපයා දීමක් වෙලා තිබෙනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ තත්ත්වය මනාව හඳුනා ගෙන තිබෙන බව එක්සත් ජාතීන් හමුවේ කළ දේශනය තුළින් පැහැදිලි වෙනවා.

“වේගවත් ගමනක් අනතුරු සහිතයි කියලා අපි සැවොම අහලා තියෙනවා. ඒ නිසා ඇතැම් අන්තවාදී පිරිස් බලාපොරොත්තු වන වේගවත්, කඩිනම් විසඳුම් දීමේ අසීරුතා මුළු මහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවයන් ඔබ සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මගේ රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට, සියලු ජාතීන් තුළ සමඟියක් ඇති කරන්නට මගේ රජය ගෙනයන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍යවල සහායත් මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා”ජනපතිවරයා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙයින් අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ දේශීය අන්තවාදය පමණක් නොව ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවට හානිකර ජාත්‍යන්තර සංවිධානවල සහ රාජ්‍යයන්ගේ අන්තවාදය පවා ජනපතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් වඩාත් තිරසාර විසඳුමක් වෙනුවෙන් වන යහපාලන ප්‍රවේශයට ජාත්‍යන්තරයේ අනුබලය හා පිටුබලය අපේක්ෂා කරන බවයි.

මැදමුලන ප්‍රවේශය වෙනුවට මෛත්‍රී ප්‍රවේශයක්

මේ ප්‍රශ්නය බොහෝ දෙනෙක් තුළ තිබෙනවා. මේ ලේඛකයාගේ අදහස වන්නේ අන්තවාදීන් පිනවන කඩිනම් විසඳුම් ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අදාළ සංකීර්ණතා සහ ප්‍රවණතා ගැන මනා වැටහීමක් සමඟ ජනපතිවරයා ගමන් කරන තිරසර ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ ප්‍රයත්නයට ඵලදායී පිළිතුරක් වනු ඇති බවයි.

මේ තත්ත්වය අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකියි. ජනවාරි 08 විජයග්‍රහණයෙන් පසු උතුරේ ජනතාව වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුගමනය කළ මැදිහත් ප්‍රවේශය දකුණේ අන්තවාදීන් ප්‍රකෝප කිරීමට හේතු වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළා. ඔවුන් විශ්වාස කළේ උතුරු නැඟෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම, හමුදාව ඉවත් කිරීම,අධි ආරක්ෂිත කලාපවල ඉඩම් කඩිනමින් පවරාදීම, බලය බෙදා හැරීම සඳහා කඩිනම් විසඳුම් ඉදිරිපත් කිරීම, මානව හිමිකම් කොමිෂමේ යෝජනා අනුව යමින් යාන්ත්‍රණ ස්ථාපිත කිරීම ආදිය කඩිනමින් සිදුවනු ඇති බවයි.

එහෙත් මේ බොහෝ ඉල්ලීම් ජාත්‍යන්තර සහ දේශීය අන්තවාදීන්ගේ ඉල්ලීම් සහ න්‍යාය පත්‍ර බව ජනපතිවරයා වටහා ගෙන තිබූ නිසා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුගමනය කළේ ප්‍රථමයෙන්ම දමිළ ජනතාවගේ සහ ජාතික තලයේ දමිළ නායකයන්ගේ විශ්වාසය දිනා ගන්නා ප්‍රවේශයක් මිස අන්තවාදීන් පිනවන ප්‍රවේශයක් නොවෙයි. දමිළ ජාතික සන්ධාන නායකයා විපක්ෂ නායකයා වන්නෙත්, උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට ජාතික ගැටලුව ගැන වඩාත් සංවේදී රෙජිනොල්ඞ් කුරේ මහතා පත්වන්නෙත් මේ සංහිඳියාත්මක ප්‍රවේශය මතයි. අද උතුරේ අධි ආරක්ෂිත කලාපවල ඉඩම් යළි ක්‍රමයෙන් ජනතාවට පවරා දෙන විධිමත් ප්‍රවේශයක් ක්‍රියාත්මක වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, අතුරුදන්වූවන්ගේ ලේකම් කාර්යාලය වැනි නෛතික ක්‍රියාවලියත් ක්‍රමිකව ඉදිරියට ගමින් තිබෙනවා.

අන්තවාදීන් සහ අවස්ථාවාදීන් පිනවීමකින් තොරව පොදු ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම පමණක් ඉලක්ක කරගත් මේ සංහිඳියාත්මක ප්‍රවේශය හෙට දවසේ තිරසර විසඳුමක් වනු ඇත්තේ මේ හෙමින් යන ගමන තුළයි. පසුගියදා මුළුමහත් ලෝකය හමුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේ මේ යහපාලන ප්‍රවේශය මිස අන්තවාදීන් පිනවන ‘මැදමුලන පන්නය නොවන බව අවධාරණය කළ යුතුයි.

භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *