රටේ නායකයන් දෙදෙනාගෙන් තැන් දෙකක මෙහෙයුම් දෙකක්

* ජනාධිපතිගෙන් ඒකාධිපතියන්ට අමතක නොවන පහරක්
* කිරිකැටියා අගමැති කාර්යාලයට දී හිරුණිකා ඡන්දයට යයි
* ඒකාබද්ධයේ කණ්ඩායම කුණාටුවකට හසුවේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය පහළොස්වනදා විවෘත වූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එදිනම උදේ එම ස්ථානයේ තවත් විශේෂ අවස්ථාවකට සහභාගිවීමට ජනාධිපතිතුමා පැමිණියා. එනම් චතුරිකා සිරිසේන ලියූ ‘ජනාධිපති තාත්තා” කෘතිය එළි දැක්වීම සඳහා යි.

ජනාධිපතිතුමාත් අගමැතිතුමමාත් එකම වාහනයකින් මෙම උත්සවයට පැමිණීමද විශේෂත්වයක් වුණා. රාජිත සේනාරත්න, එස්.බී.දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. උදේ හත හමාරට පැවැති උත්සවයට අති විශාල පිරිසක් පැමිණ සිටීම කාගේත් අවධානයට ලක් වුණා. ගමක සාමාන්‍ය පවුලක අයකු ජනාධිපති පදවිය දක්වා ඉහළට යාම දියණියක දකින අයුරු කෘතියකින් එළිදැක්වීම විශේෂ අවස්ථාවක් බව බොහෝ දෙනා කීවා.

බොහෝ දෙනා බලා සිටින මහා පොත් ප්‍රදර්ශනය විවෘත කිරීම සාහිත්‍ය මාසයේ සිදුවන සුවිශේෂී කටයුත්තක්. එයට එක් වූ ජනාධිපතිතුමා කීවේ අන්තර්ජාලයේ හා මුහුණු පොතේ කොතෙක් දේ පළ වුවත් පොතක තිබෙන සුවඳ ඒ කිසිවක නැති බවයි. පොත් කියැවීමේ රුචිය සෑම දෙනා අතර ප්‍රචලිත කිරීම ගැනත් ජනාධිපතිතුමා කතා කළා.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ දෙවන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා සති අන්තයේ ඇමෙරිකාව බලා පිටත්ව ගියා. ජයන්ති සිරිසේන මහත්මියද එම ගමනට එක්ව සිටියා. ඔවුන් නිව්යෝර්ක් නුවරට සේන්දු වුණේ සඳුදා උදෑසනයි. ජනාධිපතිතුමා පිළිගැනීමට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු විශාල පිරිසක් එතුමා නවාතැන් ගන්නා හෝටලයට පැමිණ සිටියා.

නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතින්ගේ මහ සමුළුව රැස්වෙන අවස්ථාවේම එයට සමගාමීව ‍තවත් සමුළු හා වැඩ සටහන් රැසක් සංවිධානයකොට තිබුණා. එක්සත් ජාතින්ගේ ආර්ථික, සමාජයීය සභාවේ සැසිවාරයක් 19 දා පැවැත්වුණේ එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදීයි. එයට එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුළු රාජ්‍ය නායකයන් එක්ව සිටියා. එයට සහභාගීවීමේ අවස්ථාවද ජනාධිපතිතුමාට හිමි වුණා. එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනාගතය ගැන එහිදී විශේෂ අවධානයක් යොමු වුණා.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සැසියක්ද නිව්යෝර්ක් නුවරදී සංවිධානයකොට තිබුණා. 20 දා පැවැති එම සමුළුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ නායකත්වයෙන් පැවැති සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් සහභාගි වී සිටියා.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සමුළුවට එක් වූ ජනාධිපතිතුමාට එහි පළමු සැසියේදීම ලෝක නායකයන් ඇමැතීමට දුර්ලභ අවස්ථාවක් ලැබුණා. එම පළමු සැසියට ලෝක නායකයන් වැඩි දෙනකු සහභාගී වී සිටීම නිසා එය ඉතා වැදගත් වුණා. ජනාධිපතිතුමා ලෝක නායකයන් අමතා කීවේ තම රජය හෙමින් නමුත් ස්ථාවර ගමනක් යන බවයි. සාමය , සංහිදියාව, ආර්ථික සෞභාග්‍යය සඳහා යන මෙම ගමනට සහය දෙන ලෙස ජනාධිපතිතුමා ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියා.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කොටගත් පසුගිය බදාදා එහි වැදගත් සිදුවීම් ගණනාවක් වුණා. මෙම පනතේ අරමුණ වුණේ මනාප ඡන්ද ක්‍රමය ඉවත්කොට පළාත් සභා ඡන්දය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමයි. මෙම පනත ආණ්ඩුව ගෙනාවේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂයේ උදවිය කෑ කෝ ගසමින් කීවේ මෙයත් පළාත් සභාවලින් සම්මත කරගත යුතු බවයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ වැඩ නවතා නීතිපති හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගෙන්වා සාකච්ඡා කිරීමට කථා නායක කරු ජයසූරිය මහතා තීරණය කළා.

නීතිපතිතුමාත්, මැතිවරණ කොමිසම් සභාපතිතුමාත් එදින දහවල් 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ආවා. ඔවුන් සමග පක්ෂ නායකයන් කළ සාකච්ඡාවේදී තීරණය වූයේ මෙම පනතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බවයි. ඒ අනුව ඡන්දය සඳහා මෙහෙයුමක් සභානායක කාර්යාලයෙන් ආරම්භ කරනු ලැබුවා. ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට එදින හවස ඡන්දය දීමට පැමිණෙන ලෙස දන්වනු ලැබුවා.

මේ වනවිට සරත් අමුණුගම ඇමැතිවරයා සිටියේ අසනීපව රෝහල් ගතවයි. ඒ මහතාට ලැබුණු දැනුම්දීම මත රෝහලේ සිට පැමිණ පනතට ඡන්දය දී නැවතත් රෝහල්ගත වුණා. මංගල සමරවීර ඇමැතිවරයා ද අසනීප වී ප්‍රතිකාර ගනිමින් සිටියා. ඔහුද පැමිණ ඡන්දය දී ගියා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සිටියේ මෑතක බිහිකළ දරුවා සමඟයි. දරුවාට කිරිදීම හා බලාගැනීම අවශ්‍යනිසා ඇය පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. ඡන්දයට පැමිණෙන ලෙස සභානායක කාර්යාලය දැනුම් දුන් විට ඇය තම බබාගේ ප්‍රශ්නය මතු කළා. ‘අපි බබා බලාගන්නම්’ සභානායක කාර්යාලයෙන් කීවා. ඒ අනුව ඡන්ද විමසීමට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තම දරුවා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ තබා ඡන්දයට සහභාගී වුණා.

ඡන්දය දීමට වහාම පැමිණෙන ලෙස පණිවවිඩය ලැබෙන විට වසන්ත සේනානායක නියෝජ්‍ය ඇමැතිවවරයා ස්නානය කරමින් සිටියා. වහාම පැමිණියත් ඔහුට දෙවනවර ඡන්දය දිය නොහැකි වුණා. නමුත් තෙවැනිවර ඡන්ද විමසීමේදී ඒ මහතා ඡන්දය ප්‍රකාශ කළා.

ඇමැති ධුරයෙන් ඉවත් කළ විජේදාස රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැහැ. අර්ජුන රණතුංග ඇමැතිවරයා පනතට පක්ෂව ඡන්දය දුන්නද විද්‍යුත් ඡන්ද ක්‍රමයේ දෝෂයක් නිසා සටහන්ව තිබුණේ ඡන්දය දීමෙන් වැළකී සිටි ලෙසයි. ඇමැතිවරයා නැඟිට තමා පනතට පක්ෂව ඡන්දය දුන් බව කීවා. ඒ අනුව වරද නිවැරදි කරනු ලැබුවා.

මේ දිනයේ ආණ්ඩුවෙන් පිරිසක් විපක්ෂයට යන බවට නොයෙක් ප්‍රචාර ගෙන ගොස් තිබුණද එවැන්නක් සිදුවූයේ නැහැ. පනතට පක්ෂව ඡන්ද 159ක් හා විපක්ෂව 37ක් ලෙස ආණ්ඩුව ජය ගත්තා. විදේශගතව සිටින අතුරලියේ රතන හිමිට හා අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාට ඡන්දය දෙන්නට හැකියාවක් නැහැ. මෙලෙස ආණ්ඩුව තම ශක්තිය මෙම පනත සම්මත කරගැනීමේදී නැවතත් පෙන්නුම් කළා.

මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සිටි වත්මන් ව්‍යවස්ථාවට අදාළ 20 වැනි සංශෝධනයට 2/3 ක පාර්ලිමේන්තු බලයක් මෙන්ම ජනමත විමසුමක්ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසා ගෙවී ගිය සතිය අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉතා තීරණාත්මක හා අධික වැඩ සහිත සතියක් වුණා.

උසාවියට ඉස්සර අය වගේ බලපෑම් කරන්නේ නැති බවට මේ සති 02 තුළ හොඳ හොඳ සාක්ෂි 02 ක් ආවා.ගිය සතියේ රජයේ මුදල් අවභාවිතා කළ දෙන්නෙකුට උසාවිය දඬුවම් කළා.මේ සතියේ 20 වැනි සංශෝධනයට 2/3 ට අමතරව ජනමත විමසුමක් ඕනෑ කියලා උසාවිය තීන්දු කළා.අධිකරණයට මෙවැනි ස්වාධීන බවක් කවදාවත් තිබුණේ නැතැයි 20ට අදාළ උසාවි තීන්දුව ලැබුණු පසු අගමැතිවරයා පාර්ලිමේන්තුවේ තමාගේ යාබද අසුනේ සිටින සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පැවසුවා.

වසර 03ක සිර දඬුවම් ලැබුණු විත්තිකරුවන්ට දින කීපයකදී ඇප ලැබුණාට ජනතාවගේ කැමත්තක් නැති බව පේනවා යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැතිවරයාට කිව්වා.

දඩුවම් ලබා දීම සහ ඇප දීම සිදු කෙළේ උසාවිය බවත් ඒ දෙකම සිදු වුයේ කිසිවකුගේ බලපෑමට නොව නීති රාමුව ඇතුළේ බව කී අගමැති වික්‍රමසිංහ මහතා අධිකරණයේ තීන්දුවට අප සැමට හිස නැමිමට සිදු වන බවත් කිව්වා.

විදුලි හා දුම්රිය වර්ජනය සහ සංශෝධන පනත යන තුනම එකපාර ජයගැනීම අගමැතිතුමාගෙ කැපවීමේ ප්‍රතිඵලයක් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු බොහෝ මැති ඇමතිවරු අගමැතිවරයාට ප්‍රසංශා කළා.

පෙර දින තමා මේ සඳහා බොහෝ මහන්සි වු බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයට පැමිණ සිටි මැති ඇමතිවරු හමුවේ පැවසුවා.

අශෝක අබේසිංහ මහතාගේ බෑනා හදිසි හෘදයාබාධයකින් නැතිවුණු නිසා අබේසිංහ මහතා පාර්ලිමේන්තුවට එනතුරු ජන්දයට වෙලාව කල් දාගත් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

ආණ්ඩුව දවස් 2-3 කින් පෙරළන්න අරුන්දික විපක්ෂයට ගියා. එයා කියපු කිසි කෙනෙක් එයා පස්සෙන් ආවෙත් නෑ. පෙරලන්න හිටපු ආණ්ඩුව පනත් සම්මත කරගත්තෙ ඡන්ද 159 ට 37 ක් වගේ කප් ගහලයි රවී කරුණානායක මහතා සිනාසෙමින් පැවසුවා.

එක්සත් ජාතීන්ගේ සැසියේදී ජනාධිපතිතුමා හොඳ කතාවක් කළා. තමන් බලතල අතහැරීම ගැන කියල ඒකාධිපති අය ගැන කතා කරල රාජපක්ෂලාටත් තද ෂොට් එකක් දුන්නා. හුසේන් කුමරුගෙ යෝජනා හා පරිසරය ගැනත් කළ ඒ කතාව ලෝක නායකයන්ටත් විශාල පණිවිඩ රැසක් ලබා දුන්නා .දයා ගමගේ කී දේ සියලු දෙනා අනුමත කළා.

මාර්තුවලට කලින් ඡන්ද පවත්වන බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දු ගැන සිහි කළ නවින් දිසානායක මහතා මුලින් එන්නේ මොන ඡන්දයද විමසුවා.

නුවර අධිවේගය හදන එක සමහර මාධ්‍ය ආයතනවලට සහ විපක්ෂයට පුදුම අමාරුවක් තිබෙන බව රවී කරුණානායක කීව්වා.

අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ඒකට හරි උත්තරේ දුන්නා. ඒත් ජනාධිපතිතුමා කැඳවපු සාකච්ඡාව ගැන මාධ්‍යවල පළ වීම ගැන එජාප පසුපෙළ මන්ත්‍රීවරු හුඟ දෙනෙක් මගෙන් ඇහුවා. ඒ රැස්වීමේදී ඩිලාන්ගේ හැසිරීම ගැනත් ඔවුන් විරෝධය පල කළා. මහින්දගෙ කාලේ හැම පාරක්ම හැදුවේ ටෙන්ඩර් නැතුව . අපි ටෙන්ඩර් කැදෙව්වම ටයිසේ සමාගමට ඒක ගියා. රු.බිලියන 159 ඉඳල 134 අඩු කරගන්නත් අපි සමත් වුණා. ප්‍රතික්ෂේප වූ ෆුජිටා සමාගමත් මේකට හවුල් කරගන්නයි කියල ජපන් රජය ඉල්ලුවා. මේවා ජනාධිපතිතුමා අගමැතිතුමා ඉන්න කැබිනට් එකේ සම්මත වුණා. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

සෞඛ්‍ය සේවා, විදුලිය, ජලය, ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවා නොකරන්නේ ඇයි කියල ජනතාව අපෙන් අහනවා. මේ වර්ජන මිනිස්සුන්ට තිත්ත වෙලා. ජනතාවගේ රතු කට්ට පැනල තියෙන්නේ රන්ජන් රාමනායක මහතා කිව්වා.

වෘත්තීය සමිතීත් එකිනෙකාට විරුද්ධයි. අපි මර්දනය කරන්න යන්නේ නෑ. මේ කරන කඩාකප්පල්කාරී වර්ජන ගැන ජනතාවට දිනෙන් දින අවබෝධ වෙනවා අගමැති කිව්වා.

ඇතැම් හාමුදුරුවරු බුදුදහමටත් විරුද්ධව අවේලාවේ සල්ලි පිඩුසිගා වඩිනවා. සාමනේර හිමිවරුත් අරන් යාමයි පුදුමෙ. සාමනේර හිමිවරුන්ගේ දසසිල්වලින් එකක් කැඩුනාම 10ම කැඩෙනවාලු. ඔවුන් පිඩුසිගා යවන අයයි පාත්තරවලට සල්ලි දාන අයයි මහා පාපයක් කරගන්නේ. හොරු රකින්න පිණ්ඩපාතෙ යාම වැරදි බව අස්ගිරි සංඝ සභාව හෝ එකම මහ නායක හිමි කෙනෙක් පෙන්වා නොදීම ගැනත් ජනතාව ප්‍රශ්න කරනවා.දැන් චූදිතයන්ට ඇප ලැබිලා. නඩුවත් ඇපිල් කරලා.එකතු කරපු සල්ලි කෝ.කිරිබත්ගොඩදී සල්ලි වෙනුවට මිනිස්සු පාත්තරවලට බනිස් දැම්මා. පී.හැරිසන් මහතා කිව්වා.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ඇරයුම අනුව ඉකුත් සඳුදා මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තිස්සමහාරාමයේ හා ලුණුගම්වෙහෙර, බෙරලිහෙල ප්‍රදේශයේ සංචාරය කළේ අලුත් සංවර්ධන ව්‍යාපෘති 2ක සමාරම්භක උත්සවවලට සහභාගී වීමටයි. පළමුවැන්න නම් තිස්සමහාරාම නගර සභාව සහ ප්‍රාදේශීය සභාව සඳහා අංග සම්පූර්ණ හා නවීන කාර්යාල පහසුකම් සැපයෙන විශාල කඩසාප්පු සංකීර්ණයකින්ද සමන්විත තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවයි. මෙම බහුකාර්ය ගොඩනැඟිල්ල සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 3,600ක් වනවා. ඇමැතිවරුන් දෙදෙනා එහි සැලසුම ගැනද හදාරා ආපසු ඒමට සූදානම් වෙද්දී යමක් හදිසියේ ඇස ගැටී පාඨලී ඇමැතිවරයා ඇසුවේ “සජිත් ඇමැතිතුමා, මොකක්ද අර කලින් තියල තියෙන මුල්ගල?” කියාය. ඕක 2014 නොවැම්බර් 28 වැනිදා පහුගිය ආණ්ඩුවේ ලොක්කෝ පැළවෙන්ඩ තියපු ඡන්ද ගලක්. ව්‍යාපෘතියට එක රුපියලක්වත් වෙන් කරන්නේ නැතිව ඡන්දෙ පෙනි පෙනී තියපු මුල්ගල තමයි ඒක. හැමදාම කරපු වර්ගයේ තවත් ඓතිහාසික බොරුවක්. මම කිව්ව ඒකත් දිගටම තියෙන්නෙ අරින්න කියලා. මිනිස්සුන්ට දැක බලාගන්නත් එක්ක” සජිත් කීවා. ඉන්පසු ඇමැතිවරුන් දෙදෙනා ගියේ ලුණුගම්වෙහෙර, බෙරලිහෙල පොළ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයටයි. බෙරලිහෙල නව නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ ප්‍රධාන පියවරක් වන මෙම පොළ භූමිය ඉදිකිරීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 430ක්. එහිදී කතාබහ කළ තරුණයන් පිරිසක් කීවේ “අපිට හරි සතුටුයි සර්. අපි ඉන්න මෙම් මේ පළාත් මෙහෙම දියුණුවුණාම අපේ තරුණ හිතටත් පොඩි ගැම්මක් එනවනේ. සර්ල අද මෙහේ නව නගර නිර්මාණය කරනවා. එදා හැදුවේ කුඩු නගර” කියායි.

ඇමැති වජිර අබේවර්ධන මහතා ඉකුත් 16 වන සෙනසුරාදා උදෑසනින්ම පොල්පිතිගමට ගියේ,රුපියල් ලක්ෂ 240 ක වියදමකින් යුතුව ඉදි කළ පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නව දෙමහල් ගොඩනැගිල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමටයි. අගමැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත් ඇමති වජිර,අගමැති සමග විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා.මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහත්වරුද එක්ව සිටියා.

එහි දී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් ඒ මොහොතේ අපේක්ෂා නොකළ කතාවක්.අතුරුදන්වූවන් පිළිබඳ පනත ඉතා ඉක්මණින් පාර්ලමේන්තුවේ සම්මත කරන බව කී අග්‍රාමාත්‍යවරයා මෙම පනත අතීතයට බලා පාන්නේ නැති බව ද කීවා.එහි දී අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳ විශේෂයෙන් මතක් කළ අගමැතිවරයා ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් දැනට පවත්නා නීති අනුව කටයුතු කළ හැකි බවත් ඒ සඳහා මෙම නව පනත අවශ්‍ය වන්නේ නැති බවත් කීවේ නව පනත ගැන දීර්ඝ විස්තරයක් කරමින්.

මෙදින ම පොල්පිතිගම ජාතික පාසලේ සහ ඒ අසළ ම ඇති පොල්පිතිගම රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කෙරුණා.

පසුගිය දාසයවෙනි දින කඳුරට ජනතා පෙරමුණේ තරුණ සම්මේලනය කොටගල නගරයේ දී පැවැත් වුණා.මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකටයි. කඳුරට ජනතා පෙරමුණෙන් ලද මෙම ආරාධනාව පිළිගත් ජවිපෙ නායකයා සමුළුවට ගිය අතර එහි දී ඔහුට විශේෂ පිළිගැනීමක් හිමිව තිබුණා.කඳුරට ජනතා පෙරමුණේ නායක රාධා ක්‍රිෂ්ණන් ඇතුළු තරුණ පෙරමුණේ නායකයන් ජවිපෙ නායකයා පෙළපාලියකින් කැඳවාගෙන යෑමට කටයුතු කර තිබුණා.මෙහි දී ජවිපෙ නායකයාගේ කතාවට දමිළ තරුණයින්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණා.පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාවාරයේ දී විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ කතාබහක වැටුණු රාධා ක්‍රිෂ්ණන් ඇමතිවරයා මෙම තරුණ සමුළුව ගැනද විස්තර කළා. “ඔබතුමාලාගේ නායකයාට තමයි සමුළුවේ දී වැඩිම ප්‍රතිචාර තිබුණේ. අපි පළවෙනි වතාවට තමයි මේ වගේ සිංහල නායකයෙක් අපේ සමුළුවක ප්‍රධාන ආරාධිතයා විධියට එකතු කරගත්තේ. අපේ තරුණ පරම්පරාවට හොඳට සිංහල භාෂාව තෙරෙනවා. ඒ නිසා කතාවටත් හොඳ ප්‍රතිචාර තිබුණා. වතුකරයේ ප්‍රශ්නය ගැන අනුර සහෝදරයා හොඳට පැහැදිලි කළා. සමුළුවෙන් පස්සේ අපේ අය ඔබතුමාලගේ නායකයා ගැන තමයි කතා කළේ. ඇත්තටම ජවිපෙට ස්තූතියි අපේ සමුළුවට ඔබතුමාලගේ නායකයා සම්බන්ධ කිරීම ගැන.” රාධා ක්‍රිෂ්ණන් ඇමතිවරයා විජිත හේරත්ට කිවා.

ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට මුහුණ දී සිටින්නේ ඉදිරියේදී එන කුණාටුවක් වැනි තත්ත්වයකටයි. එයට හේතුව නම් ඔවුන්ගෙන් බොහෝ දෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මේ වනවිට ඇරඹී තිබීමයි. මහින්දානන්ද අලුත්ගමගේටත් නාමල් රාජපක්ෂටත් එරෙහිව අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයට ගැනීමට අධිකරණය පසුගියදා තීරණය කළා. උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති වංචා නඩුව මේ වනවිට විභාග වෙමින් පවතිනවා. පසුගිය දිනවල අන්තර් ජාලයේ ප්‍රචාරය වූයේ මෙම නඩුවේ ප්‍රතිඵල ලෙස ගම්මන්පිල මහතාගේ මන්ත්‍රීධුරයත් අහිමිවීමට ඉඩ ඇති බවයි.

මෙලෙස ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින්ට එරෙහිව නඩු විභාග රාශියක් ඉදිරි මාස දෙකේදී යෙදී තිබෙනවා. පසුගිය වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ කෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස මෙම නඩු විභාග ඇරඹී තිබෙනවා. හොරු ඇල්ලීම යහපාලන රජයේ ප්‍රධාන ප්‍රතිඥාවක්. එය ප්‍රමාදවීම ගැන රජයට ජනතා අප්‍රසාදයක් ද ගොඩනැගෙමින් තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ උදවියත් ඇහුවේ කෝ හොරු ඇල්ලුවාද කියලායි.

කෙසේ වෙතත් දැන් මොවුන් කියන්නට හදන්නේ මේවා දේශපාලන පළිගැනීම් බවයි. එසේ වුවද අයිතිකරුවන් නැති මහා මන්දිර සමාගම්වල මුදල් ගනුදෙනු, බැංකුගත මුදල් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබීම නිසා මෙම චෝදනා ඔප්පුවීමේ විශාල ඉඩකඩක් තිබෙනවා. එය ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන අනාගතයට බලපාන බව පෙනෙන්නට තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තමන්ගේ පක්ෂ සම්මේලනය පැවැත්වීමට සූදානමින් සිටිනවා. එය මෙම මස 29 දා සිට දින තුනක් කොළඹදී පැවැත්වෙනවා. සම්මේලනයට ඉදිරිපත්වන දේශපාලන යෝජනා පක්ෂ ශාඛා වෙත යවා සාකච්ඡාකොට අනුමත කරගෙන තිබෙනවා. පක්ෂය ආණ්ඩුවලට සම්බන්ධ වී සිටියදී කළ වැරදි ගැන ස්වයං විවේචනයක්ද ඒ සමග එනවා. ජනාධිපති බලය වැඩිකරන දහ අටවන සංශෝධනයට සහය දීම, ජාතිවාදයට එරෙහි සටන අතහැරීම, ආදිය පක්ෂය කළ වැරදි ලෙස එහි සඳහන් වනවා.

දිනමිණ – ගොසිප්ලන්තය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *