අපේ සිහින ආගම – නිශාන්ත කමලදාස

 ආගම සැමට එක ලෙස දැනෙන්නේ නැත. සමහර අයට එය ජීවන මාර්ගයක් වන විට එය ඇතැමුන්ට ජිවිතය ආලෝක කර ගැනීමට පිළිසරණක් වේ. ආගම භාවිතයෙන් කළ හැකි වැඩ බොහෝ ය. සරි කර ගත හැකි දෑ බොහෝ ය. පාලනය කළ හැකි දෑ බොහෝ ය.හොඳට නරකට දෙකම කට ම ය කීවේ ඉස්සර ය. දැන් කියන්න වෙන්නේ හොඳට නරකට දෙකම ආගම කියා ය.

යුද්ධය සඳහා සේනාංකයක්

ආගම් බිහි වූයේ සාමයේ පණිවුඩය සමඟ ය. මෛත්‍රියේ පණිවුඩය රැගෙන ය.එහෙත් එය නිසා ඇති වූ යුද ගැටුම් හා ඒවා නිසා මියගිය ගණන අති විශාල ය.

එය ආක්‍රමණික යුද්ධය සඳහා භාවිතා කළ හැකි සේනාංකයක් ලෙස භාවිතයට ගත් අවස්ථා බොහෝ ය.බොහෝ ගැටුම් ආගම මුල් කරගෙන ඇතිව තිබීම එක් අතකින් විහිළුවක් වන අතර අනිත් අතින් ඛේදවාචකයක් වෙයි. ඉතිහාසයේ හැමදාමත් රජවරු තම දේශපාලන ව්‍යාපෘති සඳහා ලෝභ නැතිව භාවිතා කළේ ආගමයි. අද රජවරු පමණක් නොව අවශේෂ බල ව්‍යාපෘතින් සහිත සමාජ කණ්ඩායම් ද මෙය මොනවට භාවිතා කරනු දක්නට පුළුවන.ආගමේ නාමයෙන් සතුරා වැනසීමට පුළුවන් වීම නිසා මුළුමනින්ම යහපත් යයි කිව නොහැකි අවර ගණයේ ක්‍රියාවකට සුජාතභාවයක් එයින් ලබා දිය හැකිය.ඒ නිසා ක්‍රියාවේ ඇති කිලුට සේදෙන බව මේ බල ව්‍යාපෘතින් මෙහෙයවන නායකයෝ හා ඔවුන්ගේ (ආගමික) අනුගාමිකයෝ විශ්වාස කරති. මේ දිනවල රැව් දෙන සිල් රෙද්දේ දේශපාලනය තුළ තිබෙන්නේ ද මේ දර්ශනය ය.

ජීවනෝපායක්

බොහෝ දෙනකුට ආගම බඩ වඩා ගැනීමේ මාර්ගයකි. මිනිසුන්ගේ අවාසනාව තරම් ඔවුන්ගේ දුක්ඛ දෝමනස්ස තරම් ව්‍යාපාරිකයෙකුට සිය ධනය ආයෝජනය කළ හැකි වෙනත් ලාභ දායී මාර්ගයක් තවත් නැත. ආගම මේ අවාසනාවට, මේ ආත්මයේ නොවේ නම්, ලබන ආත්මයේ උත්තර ලබා දෙන්නට පොරොන්දු වෙයි. බොහෝ ව්‍යාපාරිකයින්ට සිදුව ඇත්තේ කිසියම් දෙයක් විකුණා මුදල් සෙවීමට ය. හුදු බලාපොරොත්තු පමණක් විකුණා මුදල් සෙවිය හැක්කේ ආගම තම බඩගෝස්තරය කරගත් ව්‍යාපාරිකයන්ට පමණකි.

මේ ව්‍යාපාරික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් ආගම සංශෝධනය කිරීමට ද ඊට ආනුපාන එක් කිරීමට ද කටයුතු කරනු ලැබේ. පන්සල්වලට සතර මහා දේවාල ඇතුළු වන්නේ ද හාමුදුරුවරු සෙත් කවි වස් කවි කියන්නට පේවෙන්නේ ද ඒ අනුව ය. බෝගස්වල විභාග අංක ලියා කොඩි එල්ලෙන්නේ ද බෝධි පූජා පැවැත්වෙන්නේ ද ඒ අනුව ය.

ගැලවිජ්ජාවක්

ආගම ආරක්ෂක පලිහක් කර ගන්නා අයගෙන් ද අපට අඩුවක් නැත. සොරකම් කර අසූ වු මිනිහා කියන්නේ තමන් ආගම හොදින් අදහන නිසා, ආගමට ලැදි නිසා,ආගමට උදව් පදව් කරන නිසා,ඒ සියල්ල හෑල්ලු කිරීම සඳහා හොරකම් චෝදනා එල්ල කර ඇති බව ය. තමන් වැනි ආගමික වතාවත් යෙදෙන පුද්ගලයෙක් අතින් එවැන්නක් සිදුවිය හැකි දැයි අසමින් අසන්නන් වල්මත් කිරිමට ඒ නිසා ඔවුන්ට හැකි ය. ඒ නිසාම ඔවුන් කියන්නේ තමන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පරීක්ෂණයක් පවා නොකර බැහැර කළ යුතු බව ය. දී කිරට බළලුත් සාක්කි ය. මේ හොරුන්ට ඔවුන්ගේ පන්සල් පල්ලිවල ආගමික නායකයන් ද සාක්කි ය.

ආවරණයක්, ලේබලයක් හෝ ආභරණයක්

තමන්ගේ නිරුවත වසා ගත හැකි වස්ත්‍රයක් ලෙස ද මිනිස්සු ආගම භාවිතා කරති. තමන් සතු කුසලතාවයක් නැති විට, තිබෙන ටික පවා පාරම්බෑ හැකි මට්ටමේ නොවන විට, එම සෙළුව වසා ගැනීම සඳහා ආගම සළුවක් ලෙස භාවිතා කරනු ඇතැම් විට දැකිය හැකි ය. එයින් හැම විටම පාහේ සිදුවනු ඇත්තේ ඒ තැනැත්තා පිම්බී ආගම කිළුටු වීම ය.

ආගම අනන්‍යතාවය සහතික කරනු සඳහා ගැසිය හැකි හංවඩුවක් ලෙස ද සමහරු සලකති. හරකුන්ට හංවඩු ගහන්නේ උන්ව පහසුවෙන් හඳුනාගනු පිණිස ය. එක් හ‍රකෙක් බොහෝ විට අනෙත් හරකාගෙන් වෙන්කර හඳුනාගැනීම සමහර විට අපහසු විය හැකි බැවිනි. ආගම ද තමන්ට නැති අනන්‍යතාවක් ලබා ගනු පිණිස භාවිතා කරන්නන්ගෙන් අපට අඩුවක් නැත. තමන් බෞද්ධයෙකු ලෙස හඳුන්වා ගැනීම ආඩම්බරයට කරුණක් ලෙස සලකනු ලබන මිනිසුන් ඒ ගැන පාරම්බාන මිනිසුන් දැකිය හැක්කේ ඒ නිසා ය.

සිංහ වෙස් ගැනීම සඳහා බූරුවන්ට පැළදිය හැකි සිංහ හමක් ලෙස ද එය භාවිතා වේ. ආගම කට ගා ගත්තවුන් බොහෝ දෙනෙක් එහි ඌෂ්ණයෙන් රත්ව සිංහ වෙස් ගෙන කටයුතු කරනු දැක ගත හැකි ය. එවන් විටක එතැන ඊට වඩා උත්තමයෙක් හෝ බලපුළුවන්කාරයෙක් නැතැයි අන් අයට ඒත්තු ගැන්වීමට කටයුතු කරනු දැකිය හැකි ය. ඔවුන් කෑගසන විට මතකයට නැගෙන්නේ ම සිංහ වෙස් ගත් බූරුවාගේ කතාව ය. සිවුර පෙන්නා පොලීසියට පාට් දාන්නේ ද සිවුරේ බලය දක්වමින් උසාවි තුළ පිස්සු නටන්නේ ද මේ කී අය ය.

කෙවිටක්

අනෙකා පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි හොඳම කෙවිට වන්නේ ද ආගම ය. ආගමේ නාමයෙන් බොහෝ දෙනා විත්ති කූඩුවට නැංවිය හැකි ය. අන්ධ පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රද්ධාව නැතැයි කියමින් ප්‍රශ්න කරන්නන් කූඩුවට නැංවිය හැකි ය. සිසුන් නොමග යවන ගුරුවරුන්ට,තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන්,යහපත් සිසුවෙකුට ආගමේ නාමයෙන් අච්චු කළ හැකි ය.ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් පෙන්වීමට ඉදිරිපත් වූවෙකු ශාසනය අපකීර්තියට පත් කළේය යන චෝදනාව යටතේ වැරදිකරුවෙකු කළ හැකි ය.

බීගත් තිරිසන් සැමියෙකුට විරුද්ධව අත එසවූ වරදට බිරිය ආගමේ නාමයෙන් පාපතරයකු කළ හැකි ය.වනචර පියෙකුගේ හැසිරීම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පුතෙකුට ද මේ ලෙසම කෙවිට දිගු කළ හැකි ය.සපත්තු හා ඇඳුම්වල නැති ආගමික සංකේත ද තිබෙන බව දක්වමින් ඒවා පලඳින අයට ද විකුණට ද අයට ද පාට් දාන්නේ මේ අය ය. රෝගීන්ට ද කුඩා දරුවන්ට ද හිරිහැරයක් වෙමින් කන පැලෙන්න බණ විකාශය කරන්නේ ද යාඥා කරන්නේ ද මේ උදවිය ය.

සීමා මායිම් ලකුණු කර ගැනීම සඳහා සලකුණක්

වැයික්කිය සටහන් කරනු සඳහා ද මිනිස්සු ආගම යොදා ගනිති. ඒ සඳහා ඔවුන් කරන්නේ තමන්ගේ වැයික්කියේ ආගමික සංකේතයක් (කුරුසියක් හෝ බුද්ධ ප්‍රතිමාවක්) තනා වැයික්කිය ලකුණු කරගැනීම ය. තම හදවතට බුදුන් හෝ ක්‍රිස්තුත් වැඩම කර ගැනීමට අසමත් මේ මිනිස්සු ආගමික සංකේත යොදාගනිමින් මෙසේ තම ගම,නිවස හා කාර්යාලය තුළ මෙසේ තම වැයික්කිය ලකුණු කරගැනීමට කටයුතු කරති. බල්ලන් තම වැයික්කිය ලකුණු කරන්නේ සුළු දිය හෙළිමෙනි. මේ අය ආගම භාවිතා කරන්නේ ඒ වෙනුවට ය.

සමහරු බුදු පිළිම සුරුවම් යොදා ගන්නේ මිනිසුන් විසින් කුණු දැමීමට පුරුදු වූ තැන් එයින් නිදහස් කර ගැනීමට ය. එසේ නැතිනම් ත්‍රී වීලර් නැවතුම් පොළක් ලෙස යොදා ගෙන ඇති ඉඩම ඉන් නිදහස් කර ගැනීමට ය. බුදු පිළිමයක් ඉදි කළ පසු කවුරුවත් එතැන කුණු දාන්නේ නැත. ත්‍රී වීලරයක් පාර්ක් කරන්නේ නැත.

අපෙන් උන් වෙන් කර දැක්වීමට හැකි පවුරක්

සීමා ගසා වෙන් කර ගැනීමට තැනිය හැකි තාප්පයක් හෝ පවුරක් ලෙස ද එය භාවිතා වේ. තමන් අන් අයගෙන් වෙනස් බව, ශ්‍රේෂ්ඨ බව, වැඩි වියදමක් නොකර, වැඩි ආයාසයකින් තොරව, පෙන්විය හැකි වන නිසා ද ඒ හේතුවෙන්ම වෙනත් අයට නැති වරප්‍රසාද තමන්ට ලැබිය යුතු යයි පෙන්විය හැකි වන නිසා ද ආගම මේ වෙන් විමට භාවිතා කෙරේ. මෙසේ ඉදිකර ගත් තාප්පයෙන් මෙපිට ඉන්නේ තමන්ගේ අය ය. එපිට ඉන්නේ අනුන් ය. උන් ට නැති සමහර වරප්‍රසාද තමන්ට ලැබිය හැක්කේ මේ තාප්පය ඉදි කර සීමාව සටහන් කිරීමෙන් පමණි. පන්සිල් දන්නේ තමන්ගේ අය බැවින් පන්සිල් නොදන්නා එකා වෙන්කර පහර දීමේ සම්ප්‍රදායික ක්‍රමය වාර්ගික ගැටුම් තුළ ක්‍රියාත්මක වූයේ මේ අනුව ය.

අනුගාමිකයන් ඇති කර ගැනීමට උපායමාර්ගයක්

අනුගාමිකයින් තමා වටා රැස් කර ගනු පිණිස එසවිය හැකි ධජයක් ලෙස ද එය භාවිතා වේ. අපේ රටේ අඩුවක් නැතිව ලෙල දෙන එක් දෙයක් නම් ෂඩ්වර්ණ ධජ පතාක ය. මේ වටා මිනිසුන් සංවිධානය කර ගැනීම, අනුගාමිකයින් රැස් කර ගැනීම, පහසු ය. මේ නිසා ගූණ ධර්මවලින් පිරිහුණු භික්ෂුන්ට දේවගැතිවරුන්ට තම පන්සල්වලට හෝ පල්ලිවලට අනුගාමිකයින් ඇද ගත හැකි ය. මාසයේ දින 30 පුරාම තක්කඩිකම් කරණ නායකයින්ට, එක් දිනක කෙටි පූජාවකට සහභාගී වී, මේ ධජ සේවනේ සිට හිරි ඔතප් දෙකම නැති මේ ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබාගත හැකි ය. එවැනි ආශිර්වාදයක් ප්‍රශ්න කිරීම මේ ධජය යට සිදු නොවේ. එය විමසන්නට මනසක් ඉතිරි නොවේ. පලතුරුවලින් විහාර මළු පුරවා බුදුන්ට ද අපහාස කරමින් උත්සව පවත්වන්නේ මෙවැනි අය ය.

අනෙකාට පහර දිය හැකි ආයුධයක්

ආගම යොදාගෙන අන්‍ය ආගමිකයන්ට පහර දෙනු අප රටේ මෑත අතීතය තූළ අපට දැක ගත හැකි විය. ඒ ආගම ආරක්ෂා කිරීමේ නාමයෙනි. ආගම යොදාගෙන තම සැමියාට වචනයෙනුත් හෝ බිරියට අතින් පයිනුත් පහර දෙන බිරියන් හා සැමියන් අපට අපේම ගෙවල්වලදී ද දැක ගත හැකි ය. ඉදිරිපත් කරන සුලබ තර්කය නම් අනෙකා ආගම දහම නොදන්නා තිරිසන් ගති ඇත්තෙකු බව ය. ආගමෙන් පලිහක් සේ ආරක්ෂාව ලබමින් එම ආගම ම අවියක් සේ යොදා ගෙන තම දූ දරුවනට පහර දෙනු දැකිය හැකි ය. මෙහිදී ඉතා උවමනාවෙන් ඒත්තු ගන්වනු ලබන්නේ අකීකරු

කමේ ආනිසංස ය. ආගම යොදාගෙන තම ප්‍රතිමල්ලවයන්ට (ෂාරුක් කාන්ගේ සංදර්ශන නරඹන්නන්ට එන අයට, යුද්ධයට විරුද්ධ වන්නන්ට, වැනි නොයෙකුත් දෙනාට) පහර දෙනු අපට දැක ගත හැකි වූයේ ද ඒ අනුව ය. බොහෝ ආගම් අපට උගන්වන්නේ ඒවා තමන් නිවැරදි කර ගැනීමට භාවිතා කරන ලෙස ය. එහෙත් සිදු වෙමින් තිඛෙන්නේ එහි ප්‍රතිවිරුද්ධය ය. අනුන් වැරදිකරුවන් කිරීමට පමණක් එය යොදා ගැනීම ය.

පසුබැසිය හැකි ආරක්ෂිත ස්ථානයක්

ගෙදර කරදරවලින් මිදිම සඳහා සති අන්තවලදී බණ මඩුවල ගත කරන පිරිමින් ද ගෙදර අනේක විද පීඩාවලින් මිදීම සඳහා සතර පෝයට සිල් ගන්නා උපාසිකාවන්ගෙන් ද අපට අඩුවක් නැත. මේ බණ අහන බොහෝදෙනා තූළ අප දකින්නේ සියලු පව් ඒකරාශි කරගත් ආත්මයන් වීම අහම්බයක් නොවේ.ඔවුන්ට බණ යනු ජීවිතයේ දුක් කරදරවලින් තාවකාලිකව වෙන් වීමට ලැඛෙන ප්‍රශ්න කළ නොහැකි අවස්ථාවක් පමණකි. බණ ඇසීමට විරුද්ධ වන්නට මේ රටේ කාටවත් නොහැකි වීම ඔවුන් ලබන කදිම නිදහස කි. ඒ බණ නිසා සිය ජීවිත එලිය කරගත් බවක් මේ වැඩි දෙනෙකුගේ ජීවිත දිහා බලන කෙනෙකුට නම් නොපෙනේ.

මත් ද්‍රව්‍යයක්

මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ තැනැත්තාට එය පානය කිරීම සඳහා නිශ්චිත වෙලාවක් නැත. ආගමට මත්ද්‍රව්‍යයක් ලෙස ඇබ්බැහි වූවෙකු ද එබඳු ය. ඇබ්බැහි වූ තැනැත්තාට මේ කාර්යාල වේලාව යයි හැඟීමක් නැත. මේ උදෑසන යැයි හැඟීමක් නැත. මේ මොහොතේ මා විසින් කළ යුතු රාජකාරි රැසක් තිබේ යැයි අදහසක් නැත. ඒ නිසා කාර්යාලයේ දී බණ ඇසිම හෝ බණ දෙසීම නිසි නොවේ යැයි ඔහු දන්නේ නැත. කාර්යාල වේලාවේ දී ආගමික කටයුතු කිරීම නිසා තමන්ගේ හාම්පුතුට වංචා කරන බව ඔහුගේ සම්පත් හොරා ගන්නා බව ඔහුට වැටහෙන්නේ නැත. ඇබ්බැහි වීම ඒ තරමට ප්‍රබල බැවිනි.

ආගම අබිං වැනි යයි කීවේ කාල් මාක්ස් ය. ඒ මේ මත් වීම ගැන තේරුම් ගිය විටක විය යුතු ය. අබිං හොඳ බෙහෙතකි. එහෙත් මාත්‍රාව ඉක්ම වූ විට එය ම මත් ද්‍රව්‍යයක් බවට පත් වන්නේ ය. ආගම සම්බන්ධයෙන් ද අපට කිව හැක්කේ ඒ ටික ය.

මෙසේ ආගම සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා යොදාගන්නා අය නිතර මතුරන්නේ ආගම තමන්ගේ ජීවිතය බව ය. කිසිදු ආගමික ඉගැන්වීමක එසේ සඳහන් නොවේ. ආගම ජීවිතය එලිය කර ගත හැකි තවත් එක් මිණි පහනක් පමණි. එය ද විචාරයෙන් ‍ආගම ඇදහුවොත් ය. ආගම තම ජීවිතය බව කිව හැක්කේ එය සැබෑ ජීවිතය වසා ගැනීමට කඩතුරාවක් කර ගන්නා අයට පමණි. එලිපිට පෙනෙන්නේ පුද්ගලයා ආගමික ජීවිතයක් ගත කරන බවකි. එහෙත් සමීපව විමසන විට පෙනෙන්නේ තම ජීවිතය නිසි පරිදි හැඩ ගස්වා ගැනීම සඳහා ආගම පිටුවහලක් කරගනු හැරෙන්නට අනිත් සියල්ල සඳහා ඔහු ආගම භාවිතා කරන බවකි.‍

අපේ සිහිනය

අපේ සිහින ආගම මීට වෙනස් ය. එය සාමයට සහජීවනයට මිනිසුන් පොළඹවනු ඇත්තේ ය. එකිනෙකාට ගරු කිරීමට එය ඔවුන්ට උදව් දෙනු ඇත්තේ ය. කරුණාව දයාව ඔවුන්ට දායාද කර දෙනු ඇත්තේ ය. සීමා මායිම් ඉක්මවා මිනිසුන්ට මෛත්‍රිය කිරීමට මිනිසුන් යොමු කරනු ඇත්තේ ය. නිහතමානී වීමට උගන්වනු ඇත්තේ ය.

ආගම වෙත පවා නොඇලිය යුතු බවට ආගම පවා මනසින් විමසිය යුතු බවට එය උවදෙස් දෙනු ඇත්තේ ය. ආගම ලේබලයක් හැටියට ධජයක් හැටියට භාවිතා කිරීම ඉඩ ලබා නොදෙනු ඇත්තේ ය. ආගම ජීවිතය එලිය කර ගැනීමට මිසක ආභරණයක් ලෙස භාවිතයට අවසර නොදෙනු ඇත්තේ ය. ආගම ජීවනෝපායක් කර ගැනීමට ඉඩ නොදෙනු ඇත්තේ ය. ආගමට මුවා වී කරන ජඩකම් ආගමට එරෙහිව කරන සතුරුකම් ලෙස සලකනු ඇත්තේ ය. ආගම සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන් සහ දේශපාලන න්‍යාය පත්‍රයන් සඳහා භාවිතා කිරිමට වාරණයන් දමනු ඇත්තේ ය.

ආගම ලෝකෙට පරකාසෙට නොව අතිශය පෞද්ගලික විශ්වාසයක් හැටියට පැවතිය යුතු බවට වග බලා ගනු ඇත්තේ ය. ආගම වෙනුවෙන් විශේෂ වරදාන නොඉල්ලනු ඇත්තේ ය. ආගමික පිළීවෙත් රටේ නීතියට ඇතුළත් කරන ලෙස ඉල්ලා ආගමික නායකයන් පෙලපාලි නොයනු ඇත්තේ ය. සිරුරට ගිනි තබා ගෙන මිය නොයනු ඇත්තේ ය. මේ හේතු නිසා ආගම මිනිසුන්ට තවදුරටත් පීඩාවක් ලෙස නොපවතිනු ඇත්තේ ය. ඒ වෙනුවට සැනසුම හා නිවීම මිනිසුන්ගේ සිත් තුළ ඇති කරනු ඇත්තේ ය.

ආගමික ලේබල් අලවා ගෙන උඩ පනිනු වෙනුවට ජනතාව ආගමික ඉගැන්වීම් අනුව ජීවිතය සකස් කර ගෙන රටට ද සෙසු මිනිසුන්ට ද සැනසුමක් ම ගෙන එනු ඇත්තේ ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *