හොරු සහ වහල්ලු වීරයන් වෙන්න දඟලන හැටි

අද මහින්ද රාජපක්ෂ මහතා ලලිත්-අනූෂ සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව නොපිළිගෙන ඊට සමච්චල් කරන්නා සේම තම පාලන සමයේ ද මෙවැනි ක්‍රියාකාරකම් රැසක නිරත වුණා. ඒ අතර ඉතා වැදගත් අවස්ථාව වුණේ කලක් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයා වශයෙන් ද ක්‍රියාකරමින් සිටි එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව.

‘මම ගියා සිරගත වෙලා ඉන්න මගේ ලේකම්තුමා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහත්තයව බලන්න. එතුමා රෝහලේ ඉඳන් ඇවිල්ලයි හිටියේ .එතුමා හිටියේ සරමක් ඇඳගෙන. මට එතුමාව දැක්කහම ලොකු කනගාටුවක් ඇතිවුණා. එතුමා කළේ ජනාධිපතිවරයා දුන්නු නියෝගය ක්‍රියාත්මක කළ එකයි. පොල්ලක් අරගෙන ගිහිල්ලා ගහල මේක දෙන්න කියලා ලේකම්තුමාට කිව්වේ නෑ. එතුමා කළේ මම දුන්නු නියෝගයක් පිළිපදින එකයි. කෙසේ වෙතත් දැන් තීන්දුවක් ලැබිලා තියෙනවා. අපි ඒ තීන්දුව පිළිගන්නේ නෑ. නමුත් එතුමා හිරේ යායුතුද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. සත්භාවයෙන් කරන ක්‍රියාවලට සිරගත වන්න වෙනවානම් ඒක ලොකු ප්‍රශ්නයක්. අද රණවිරුවෝ අසරණ වෙලා ඉන්නේ. අද සමහර කාරණා විකෘති කරලා සමහර නායකයෝ ඉදිරිපත් කර තිබෙනවා. ජනතාව දැන් තිගැස්මට පත්වෙලා ඉන්නේ. අපි එදා සිල්රෙදි දුන්නේසිල් රෙද්දක්වත් අඳින්න තිබුණේ නැති මිනිස්සු මේ රටේ සිටි නිසයි. ලලිත් වීරතුංග මහතා වීරයෙක් .වත්මන් ආණ්ඩුව ලලිත් වීරතුංග වැනි රාජ්‍ය නිලධාරීන්ව සිරගත කරන්නේ නව ව්‍යවස්ථාව ගෙනඒම වෙනුවෙන් ජනතාව බියගැන්වීමට. අපි 2005 ඉඳන් ආණ්ඩු කළා. අපි කාගෙන්වත් පළිගත්තේ නැහැ. එහෙම කළානම් අද සමහරු නෑ. එදා බටලන්ද අරලන්ද කියලා කොමිසම් තිබුණා. මොනවාද ඒවාට වුණේ. අද කාලය ඇවිත් තියෙනවා තමන්ගේ රටට වියයුතු යුතුකම හරි විදියට ඉටුකරන්න” මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ මාමා වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සුවදුක් බැලීම පිණිස බන්ධනාගාර රෝහලට ගොස් පැමිණ මාධ්‍ය හමුවේ කියපු කතාවයි.

බබා පාට් කතා වටහා ගැනීම

සාමාන්‍යයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන කරන දේවල් වචනයෙන් වචනය විග්‍රහ කිරීමට යෑම එතුමා බලයේ සිටි කාලයේ පවා අප සැලකුවේ අර්ථ ශූන්‍ය ක්‍රියාවක් වශයෙන්. ඒකට හේතු රැසක් තිබුණා. ඒ අතර ප්‍රධාන වුණේ රාජපක්ෂ මහතා ඇඟෙන් දේශපාලනයක් මිස ප්‍රතිපත්ති දේශපාලනයක් නොකිරීම. ඒත් අද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කල්ලියත්, රාජපක්ෂ නිකායේ යැයි සැලකිය හැකි භික්ෂූන් වහන්සේලාත් කියන කරන දේවල් දිහා බලන කොට නම් හිතෙන්නේ “මහින්දලාව ඇති තරම් ජනතාව හමුවේ නිරාවරණය වෙලා නැහැ” කියලා. එහෙම නිසි පරිදි මහින්ද රාජපක්ෂ මහතාව ජනතාව හමුවේ නිරාවරණය වෙලා තිබුණා නම් ඉහත සඳහන් කළ ආකාරයේ “බබා පාට්” කතාවක් කියන්න එතුමාට ධෛර්යයක් නොතිබෙන්න තිබුණා.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉහත සඳහන් ප්‍රකාශය තුළ බරපතළ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතරින් ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට මහතා සම්බන්ධ නඩු තීන්දුව ගැන අවශ්‍ය තරම් කතා කරලා තිබෙන නිසා අපගේ අවධානය රාජපක්ෂ මහතාගේ කතාවේ වෙනත් අවධාරණය කිරීම් කිහිපයක් වෙත යොමු කිරීමට සුදුසු බව පෙනෙනවා.

මේ ප්‍රකාශයේදී මහින්ද රාජපක්ෂ මහතා මතු කරන ප්‍රධාන කරුණු දෙක වන්නේ,

1. අදාළ නඩු තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පිළිනොගන්නා බව.

2. 2005 වසරේ සිට 2015 වසර දක්වා ආණ්ඩු කළත් කිසිවකුගෙන් පිළිනොගත් බව.

මේ ලේඛකයාගේ අදහස වන්නේ මේ ප්‍රකාශ අතරින් වඩාත් බරපතළ වන්නේ, ඉදිරියේදී වඩාත් හානිකර තත්ත්වයක් උදාවිය හැකි කරුණ වන්නේ අදාළ නඩු තීන්දුව පිළිනොගන්නා බවට රාජපක්ෂවාදීන් විසින් පුනපුනා අවධාරණය කිරීමයි.

නීතියේ ආධිපත්‍යට අභියෝග කිරීම

ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් නොපැවති රාජාණ්ඩු සමයේ පැවැති ලොව පිළිගත් මතය වුණේ ‘නීතිය යනු රජුයි’ යන අදහසයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මගින් පාලකයන් තෝරාපත් කර ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ මෙවැනි වැඩවසම් මතයකට කිසිදු ඉඩක් තිබුණේ නැහැ. දීර්ඝ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් පැවැති ලංකාවේ පවා 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන තෙක් ‘නීතියේ ආධිපත්‍ය’ සුරක්ෂිතව තිබුණ බව පොදුවේ පිළිගන්නවා. ඒත් අතිශයින් වැඩවසම් දේශපාලන භාවිතයක් සහිත මහින්ද රාජපක්ෂ යුගයේදී සියලු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් දැවැන්ත නාය යාමකට ලක්වන විට බරපතළ ලෙස නාය යාමට ලක් වුණේ නීතියේ ආධිපත්‍ය බව අපට දැකිය හැකි වුණා. මේ තත්ත්වය තුළ ජනතාවට මහින්ද රාජපක්ෂ පාලන සමය පුරා දැකිය හැකි වුණේ පැරණි වැඩවසම් රාජාණ්ඩු සම්ප්‍රදාය අනුව යමින් ‘නීතිය යනු මහින්ද හෝ රාජපක්ෂ පවුල’ යන තත්ත්වයයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ තත්ත්වය නිර්මාණය කරගත්තේ හුදු ආණ්ඩු බලය ඉක්මවා ගිය දේශපාලන බලාධිපත්‍යක් හා වරදාන සංස්කෘතියක් සමස්ත රාජ්‍ය තුළ පැතිරවීම තුළිනුයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ එකිනෙකාගේ බලාධිපත්‍යයට යට නොවන සංවරණයක් හා තුලනයක් පවත්වා ගෙන යන විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය යන ආයතන ත්‍රිත්වයම විධායකයේ ඍජු ආධිපත්‍ය යටතට ගැනීමට රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණා. අද වඩාත් සංවාදයට ලක්ව ඇති ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට වැනි පරිපාලනයේ ඉහළම නිලධාරීන් පමණක් නොව බිම් මට්ටමේ පරිපාලන නිලධාරීන් වන සමෘද්ධි නියාමකවරයා දක්වා රාජපක්ෂ පවුලේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව හැසිරෙන දේශපාලන වහලුන් බවට පත් කර ගැනීමට රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබුණේ ආණ්ඩු බලය ඉක්මවා ගිය වරදාන සංස්කෘතිය නිසා බව කිව හැකියි.

මේ වරදාන දේශපාලන සංස්කෘතිය විසින් නිර්මාණය කළ වඩාත් හානිකර ප්‍රවණතාව වශයෙන් සැලකිය හැක්කේ ‘නීතිය නම් මමයි’ යන මතයේ සිටීම පමණක් නොව ඒ අනුව ප්‍රායෝගිකවම ක්‍රියාත්මක වීමට මහින්ද රාජපක්ෂ මහතාට පහසු පසුබිමක් නිර්මාණය කිරීම බව අපට දැකිය හැකියි. මෙය සැලකිය හැක්කේ ඉතාම පැහැදිලිව බල අපයෝජනයක්, දූෂණයක් වශයෙන් වුවත් ඒ සඳහා වරදාන දේශපාලන සංස්කෘතිය විසින් අවශ්‍ය නෛතික රැකවරණය නිර්මාණය කරන විට, එම සංස්කෘතියේම තවත් දිගුවක් වූ රාජපක්ෂවාදී ජනමාධ්‍ය විසින් රාජපක්ෂවරුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සමාජ මතය නිර්මාණය කිරීමක් ද අපට ඉතා පැහැදිලිව දැකිය හැකි වුණා.

මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ යුගයේ මුල් කාර්තුව වශයෙන් සැලකිය හැකි 2005-2010 තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන යාන්ත්‍රණයේ චිරස්ථිතිය වෙනුවෙන් වඩාත් බලවත් ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. මේ සඳහා අගවිනිසුරුවරයාගේ (සරත් නන්ද සිල්වා) සිට අධිකරණ යාන්ත්‍රණයේ සියලුම අංශයන් රාජපක්ෂ මහතාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කීකරු හා හිතෛෂිවෙමින් අවශ්‍ය පහසුකරණය ලබා දුන්නා. උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාජපක්ෂ ආණ්ඩුවට එක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට වූ නෛතික තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නිශේධනය කරමින් (අගවිනිසුරු සරත් නන්ද සිල්වා) පක්ෂ මාරුව සඳහා ලබා දුන් නෛතික ආවරණය සැලකිය හැකියි. මේ තත්ත්ව 2005-2010 කාලය තුළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය දැවැන්ත ලෙස දුර්වල කිරීමටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අභියෝගයක් නොමැති තත්ත්වයටත් පත් කිරීමටත් හේතුවක් වුණා.

ඒ ආකාරයෙන්ම නීතියේ ආධිපත්‍ය නොපිළිගැනීම සම්බන්ධයෙන් තවත් අංශ රැසකින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වාර්තා පිට වාර්තා තැබුවා. ඒ අතර ප්‍රමුඛ වුණේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට එකඟ සියලු දෙනාට කිසිදු ප්‍රමාදයකින් තොරව නීතියේ රැකවරණය ලබාදීමට අදාළ යාන්ත්‍රණ මෙහෙයවීම තුළිනුයි. මෙහිදී විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට මන්ත්‍රීවරු එක්කර ගැනීමට මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතන හා පුද්ගලයන් හීලෑකර ගැනීමට නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් තම වුවමනා එපාකම් අනුව විවිධ පුද්ගලයන්ට ලබාදුන් නෛතික රැකවරණය රාජපක්ෂවරු අවියක් කොට ගත්තා.

අධිකරණ තීන්දු නොසැලකීම

අද මහින්ද රාජපක්ෂ මහතා ලලිත්-අනූෂ සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව නොපිළිගෙන ඊට සමච්චල් කරන්නා සේම තම පාලන සමයේ ද මෙවැනි ක්‍රියාකාරකම් රැසක නිරත වුණා. ඒ අතර ඉතා වැදගත් අවස්ථාව වුණේ කලක් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයා වශයෙන් ද ක්‍රියාකරමින් සිටි එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව. එහිදී අගවිනිසුරුවරයා තම තීන්දුව ලබාදෙමින් ඉතා පැහැදිලිව අවධාරණය කළේ පී.බී. ජයසුන්දර මහතාට රජයේ කිසිදු තනතුරක් දැරීමට අවස්ථාව නොදිය යුතු බවයි. එහෙත් එදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙරෙහි කිසිදු ගරුත්වයක් නොදැක්වූ රාජපක්ෂ මහතා ඉතාම කෙටි කලකින් පී.බී. ජයසුන්දර මහතාව යළිත් තමන් ළඟට ගත්තා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට හිස නොනැමීමේ රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය තවත් ඉදිරියට ගමන් කරනවා. සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා විසින් මේ කාලසීමාව තුළදීම ලබා දුන් තවත් ජනප්‍රිය නඩු තීන්දුවක් වූ ඛනිජ තෙල් මිල පහළ දැමීමේ නියෝගය එදා මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ නැහැ.

අධිකරණ තීන්දු මෙන්ම රාජ්‍ය පාලනයට අදාළ වෙනත් ආයතන විසින් ද ලබා දුන් බොහෝ නියෝග නොසකලා ඉතා උද්දච්ච ආකාරයෙන් තම සිතැඟි අනුව ක්‍රියාකිරීම එදා මහින්ද රාජපක්ෂ යුගයේ පුරුද්දක් වෙලා තිබුණා. උදාහරණ වශයෙන් මැතිවරණවලදී රාජ්‍ය සම්පත් හා මාධ්‍ය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබා දුන් මැතිවරණ උපමාන (විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධ) මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා කුණු කූඩයට දැම්මා මිස ඒවා අනුව කටයුතු කළේ නැහැ. අද ලලිත් වීරතුංග මහතා මුහුණ දී සිටින තත්ත්වයම ඒ සඳහා මනා උදාහරණයක්. රාජපක්ෂ යුගයේ ලලිත් වීරතුංග මහතා වැනි ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ සිට ගමේ සමෘද්ධි නියාමකවරයා දක්වා නීතිරීති අනුව නොව රාජපක්ෂවරුන්ගේ නියෝග අනුව ක්‍රියා කිරීමේ සංස්කෘතියක් පවත්වා ගෙන යන තත්ත්වයකුයි අප එදා නිරන්තරයෙන් දැක්කේ. රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්ට දේශපාලනයේ යෙදීමට ඇති නෛතික සීමා ගැන නොසලකමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එදා මැතිවරණ වේදිකාවට ගොඩ වුණේ, හමුදාවේ ඉහළ නිලධාරීන් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණේ සම්මත කිසිදු නීතියක් නොසලකමින් තමන්ගේ සිතැඟියාවන් අනුව නීතිය අලුතින් අර්ථකථනය කිරීමට එදා රාජපක්ෂවරුන්ට ලැබුණු හැකියාව නිසයි. අද බොහෝ දෙනකුට අමතක හෝ අමතක කරදමා ඇති මැතිවරණ සමයන්හිදී දිනපතා පැවැත් වූ අරලියගහ මන්දිරයේ මහා දන්සල පවා අපට සැලකිය හැකි වන්නේ නීතිය නොසලකමින් රාජපක්ෂවරුන් විසින් නීතියේ ආධිපත්‍ය අපයෝජනය කළ පහසු අවස්ථා විදිහටයි.

අනතුර වටහා ගැනීම

නීතියේ ආධිපත්‍ය නොතකමින්, අධිකරණ තීන්දු නොසලකා හරිමින්, නීතිය තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කර ගැනීමට රාජපක්ෂවරු දක්වන මේ කැමැත්ත අප වටහා ගත යුත්තේ ඉතා ඉක්මනින් රට තුළ දැවැන්ත දේශපාලන අනතුරක් ඇති කළ හැකි කරුණක් වශයෙනුයි. මේ සඳහා හේතු මේ වන විටත් මනාව පැහැදිලියි. ඒ 2020 වන විට නොව, බොහෝ විට 2017 අවසන් වීමට පෙර රාජපක්ෂ පවුලේ සහ කල්ලියේ දේශපාලන අනාගතය අධිකරණයම ක්‍රියාවලියක් මගින් අවසන් වීමට ඇති අවස්ථාව අපට නොසලකා හැරිය නොහැකිවීමයි. විශේෂයෙන්ම මුළුමහත් යහපාලන සමාජයම මහත් අපේක්ෂාවෙන් බලාසිටින, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීප් එක්නැලිගොඩ, වසීම් තාජුඩීන්, වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම, සිරිලිය ගිනුම, සී.එස්.එන් රූපවාහිනි නාලිකාව ආදි සම්බන්ධ නඩු තීන්දු සේම විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග ආදි රාජපක්ෂවරුන්ගේ අති සමීපතමයන් ද සම්බන්ධ නඩු තීන්දු සමඟ අලුත් දේශපාලන වංශ කතාවක් නිර්මාණය කරනු ඇතැයි අපට සිතිය හැකියි.

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සම්බන්ධයෙන් පසුගියදා ලබා දුන් ෛ‍එතිහාසික නඩු තීන්දුව අනුව යමින් පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ ඝාතන, අතුරුදන් කිරීම්, දූෂණ සම්බන්ධ නඩු තීන්දු ද ලබා දීම සිදු වුවහොත් කුමකින් කුමක් වනු ඇතැයි අපට සිතා ගැනීමටවත් නොහැකියි. මන්ද මේ නඩු ගොන්නේ තවත් එක නඩු තීන්දුවක් මගින් රාජපක්ෂවරුන්ගේ සමස්ත දේශපාලන සිහිනයම යළි කිසිදා ගොඩ ගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වීම නොවැළැක්විය හැකි නිසයි.

අද එෆ්.සී.අයි.ඩීය නොපිළිගන්නා, ලලිත් වීරතුංග වැනි පරිපාලන නිලධාරීන්ට එරෙහි තීන්දු නොපිළිගන්නා, එය නොපිළිගන්නා ලෙස පමණක් නොව මෙකී නඩු තීන්දු ඉතාමක් පහත් ලෙස අවස්ථාවාදීව වෙනත් දේශපාලන කරුණු සමඟ සම්බන්ධ කිරීමට (වත්මන් ආණ්ඩුව ලලිත් වීරතුංග වැනි රාජ්‍ය නිලධාරීන්ව සිරගත කරන්නේ නව ව්‍යවස්ථාව ගෙනඒම වෙනුවෙන් ජනතාව බිය ගැන්වීමට) පියවර ගනිමින් සිටින රාජපක්ෂවරු හෙට තමන්ගේ පවුල සම්බන්ධයෙන් ලබා දෙන, හානිකර නඩු තීන්දුවක් සම්බන්ධයෙන් කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇද්දැයි අප දැන්ම තියාම අවධානය යොමු කළ යුතුයි. උදාහරණයක් වශයෙන් සිරිලිය ගිනුම ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳ වූ දා රාජපක්ෂවරුන් විසින් ඉතා සංවිධානාත්මකව ජනතාව ගෙන එමින් නැටූ නාඩගම සැලකිය හැකියි. මෙහිදී මේ ලියුම්කරු අවධාරණය කරන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා හමුදා නායකත්වය ලබා දුන්, ජනාධිපතිවරණයේදී ලක්ෂ 40ක් ඡන්ද ලබා ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව වැලිකඩට ගාල් කරන විට එදා විපක්ෂය හෝ ජනතාව ඉවසූ ආකාරයෙන් තම පවුලේ දේශපාලන අනාගතය අවසන් කරන කිසිදු ආකාරයේ පියවරක් රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිනා ඇතැම් බෞද්ධ භික්ෂූන් විසින් නොඉවසනු ඇති බවයි.ඒ නිසා මේ ගැන ආණ්ඩුවේ පමණක් නොව යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කැපවීම් කළ සියලු පාර්ශ්ව කඩිනම් අවධානය යොමු කළ යුතුයි.

සතෙන් සතේ පිඬුසිඟා වැඩීම

ඉහත සඳහන් කළ ආකාරයට තම දේශපාලන පැවැත්ම අවදානමේ වැටෙන ඕනෑම මොහොතක රාජපක්ෂ පවුල විසින් තම ආරක්ෂාව සඳහා රණවිරුවන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවිතයට ගනු ඇතැයි සිතිය හැකියි. මේ සඳහා අවශ්‍ය පසුබිම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් (එළිය කතිකාව- හමුදා නිලධාරීන්) මේ වන විටත් සකස් කර ඇති වාතාවරණයක් තුළ, රණවිරුවන් දංගෙඩියට දක්වන බවට ඊනියා ප්‍රවාදයක් මහින්ද රාජපක්ෂ විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින වාතාවරණයක් තුළ ( අද රණවිරුවෝ අසරණ වෙලා ඉන්නේ. අද සමහර කාරණා විකෘතිකරලා සමහර නායකයෝ ඉදිරිපත් කරලා තිබෙනවා. ජනතාව දැන් තිගැස්මට පත්වෙලා ඉන්නේ) රාජපක්ෂවරුන්ගේ ඊනියා භාවිතයන් ගැන අප සියලු දෙනා දැඩි අවධානයෙන් සිටිය යුතුයි.

මේ අතර භික්ෂූත්වයට සපුරා පටහැනි භාවිතයන් තුළින් රාජපක්ෂ පවුලේ පටු දේශපාලන අරමුණු සපුරා දීමට තැත් කරන ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය ගැන බෞද්ධ සමාජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අපගේ විශ්වාසයයි. මේ සඳහා දැක්විය හැකි ආසන්නම උදාහරණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ අල්ලසක් (දූෂණයක්) ලෙස සිල් රෙදි බෙදාදීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ලලිත් වීරතුංග- අනූෂ පැල්පිට සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා දක්වන බෞද්ධාගමට පමණක් නොව සියලුම යහගුණයන්ට, ආගම ධර්මයන්ට පටහැනි ආකල්පයයි. අප මෙය දකින්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමන්ගේ සීමාව ඉක්මවා යාමක් ලෙසයි. එය අනාගතයේදී තවත් අහිතකර තත්ත්වයන් නිර්මාණය කිරීමට මූල බීජයක් විය හැකියි. මන්ද බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් බෞද්ධාගමේ මූලික ශික්ෂා පදයක් වන “සොරකම” සාධාරණීකරණය කිරීමට මේ හරහා පියවර ගැනීම නිසයි.

සටහන- භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *