හාමුදුරුවනේ සිවුරත් ගලවාගෙනම යන්න – අනුර සූරියබණ්ඩාර
පසුගිය මැතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත වන ආකාරයේන් විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ මුදල් යෙදවා රුපියල් මිලියන 600ක වටිනාකමින්යුතු සිල්රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණ පැනවූ දඬුවම මේ වනවිට ප්‍රසිද්ධ කාරණාවකි. ඉහත කී චෝදනාවට අධිකරණය හමුවේ වැරදිකරුවන් වූයේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට සහ හිටපු ජනාධිපති ලේකම් ලිලිත් වීරතුංග යන දෙදෙනාය. ඔවුන්ට වසර තුන බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ද මිලියන 50 බැගින් විදිලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වන්දි ගෙවීමට ද, මිලියන 02 බැගින් දඩ ගෙවීමට ද නියම කෙරිණ.
ඉහත කී නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්තරා භික්ෂුවක් ප්‍රකාශ කර තිබුණේ ‘උඹලගෙ රෙද්ද අපිට එපා’ කියමින් සිල්රෙදි හිස තබානපෙළපාලියකින් පැමිණ නැවත ඒවා බාරදෙන බවයි. එසේ බාරදෙන්නේ බුද්ධ ශාසන ආමාත්‍යංශයට බවද එකී භික්ෂුව වැඩිදුරටත් කියා තිබුණි.
මුලින්ම කිවයුත්තේ උඹලගෙ රෙද්දි අපිට එපා කියා ඒවා නැවත බාර දෙන්නට කිසිවෙකු හෝ සිතන්නේ නම්. ඒවා බාර දිය යුතුව ඇත්තේ ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ අමාත්‍යංශයකට නොව කාල්ටන් නිවසට නැතහොත් වැදමූලන පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට බවය. මෙකී සිල්රෙදි ආණ්ඩුවෙන් බෙදාදුන් යමක් නොවන බැවිනි.
දෙවනුව සිතිය යුත්තේ අපට එපා කියා ගෙනගොස් නැවත බාරදෙන්නට රෙද්දක් එකී භික්ෂුව සතුව තිබේද යන්නයි. මැතිවරණ කොමසාරිස් වරයාගේ අණ ද නොතකා බොහෝ පන්සල්වල සිල්රෙදි බෙදාදුන් බැවිනි. ඒවා බෙදා දී මේ වනවිට අවුරුදු දෙකකටත් වැඩි කාලක් ගතවී තිබේ. ඒ අනුව සිතිය හැක්කේ උපාසක අම්ලාත් උපාසක මහත්වරුත් මේ වන විට ඒවා පරිහරණයට ගෙන ඇති බවයි. එසේ පරිහරණයට ගත් සිල් රෙද්දක් හිස තබාන යාම සිල්වත් භික්ෂුවකට නම් අකැපය. එහෙත් ඉහත කී භික්ෂුවට එය අවතැක් නොවනු ඇත්තේ, කතාවෙන් සහ ක්‍රියාවෙන්ම හෙතෙම තමා භික්ෂුවක් නොව චීවරධාරියකු බව ඔප්පු කරමින් සිටින නිසාය.
මැතිවරණ කාලයක ඡන්දය ලබාගැනීමේ අරමුණ ඇතිව ඡන්දදායකයාට කිසිවක් ලබා දීම මැතිවරණ නීතිය උල්ලංගනය කිරීමකි. ලලිත් සහ අනූෂ චෝදනාලැබ සිටින සිල් රෙදි බෙදාදීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව ඉතා පැහැදිලිය. හේතුව ඒවා බෙදා දී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පණිවුඩයක් ද සමඟ වන බැවිනි.
භික්ෂුවගේ කාර්ය ගිහි ජනයාටත් පාලකයාටත් අර්ථයෙන් ධර්මයෙන් අනුසාශනා කිරීමයි. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම යනු යහපතෙහි හැසීරීමට ගිහියනට මඟ පෙන්වීමයි. නීතිය අනුගමනය කරන්නටත්, නීතියට එකඟව ජීවත් වීමට උපදෙස් දීමත් ඊට අයත්යැයි කීම වරදක් නොවේ.
රෙද්ද එපා යැයි පෙළපාලි යාමට සැරසෙන භික්ෂුව ගිහි ජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුසාශනා කරන්නකු යයි සිතිය නොහැකිය. ඔහු පැහැදිලි ලෙසම නීති විරෝධි ක්‍රියාවලට අනුබල සපයන්නෙකි. සොරකම හා සොරුන් ආරක්ෂා කරන්නෙකි. අනර්ථයෙන් අධර්මයෙන් කරයුතු කරන්නන්ට උඩගෙඩි දෙමින් බුදු දහමත්, ලෝක දහමත්, සදාචාරයත්, නීතියත් අනතුරේ හෙළන්නකි.
සිල්රෙදි බෙදිල්ලට උපයෝගීකර ගෙන ඇත්තේ විදුලි සන්දේශ නියාමන කොමිසම සතු මුදල්ය. විදුලි සන්දේශ නියාමන කොමිසම යනු රාජ්‍ය ආයතනයකි. රාජ්‍ය ආයතනයක අරමුදල් යනු රටේ පොදු ජනතාවගේ දේපළකි. පොදු දේපළ පනත අනුව රජයට අලාබ කළ මුදලක් වේ නම්, එමෙන් තුන් හතර ගුණයක් වන්දි ලෙස අයකර ගන්නට අධිකරණයට නෛතික බලයක් තිබේ.
සදාචාරත්මක අර්ථයෙන් ගත්තද, නීතිය පක්ෂයෙන් ගත්තා වුවද රජය සතු මුදලක් කවරකු හෝ සිය පෞද්ගලික අභිමතාර්ථයන් සාක්ෂාත් කැරගැනීම සඳහා යොදවා ගැනීම සඳහා අනුමත කළ නොහැකිය. ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට දෙදෙනා රුපියල් මිලියන 600ක් හෙවත් රුපියක් කෝටි 60ක් විදුලි සන්දේශ නියාමන කොමිසමේ අරමුදලෙන් ලබගෙන වියදම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණය වෙනුවෙනි. ඔහුගේ මැතිවරණය ජයග්‍රහණය සඳහා පොදු බෞද්ධ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට අල්ලසක් දීමටය.
යමෙකු මැතිවරණයකදී භාවිතා කළ යුත්තේ පක්ෂයේ අරමුදල්ය. නැතිනම් සිය පෞද්ගලික ධනය හෝ මිතුරන්ගෙන්, පාක්ෂිකයන්, පවුලේ අයගේ මුදල්ය. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරයේ දී රජයේ අරමුදලකින් වියදම් කර ඇතිබව පැහැදිලිය. පොදු දේපොළ අවභාවිතයේ යොදවා සිල්රෙදි, සිවුරු බෙදාදීම හෝ පිදීම අකුසලයක් නොවන්නේ කෙසේදැයි සිල්රෙදි හිසතබා පෙළපාලි යාමට සැරසෙන භික්ෂූන් පැහැදිලි කළ යුතුය.
ඉහත කී භික්ෂුව වැඩිදුරටත් කියා තිබුණේ මේ ආකාරයෙන් ගත් කළ පන්සලකට පිරිකරක්වත් පූජා කළ නොහැකිවනවා ඇතිය කියාය. ලලිත් වීරතුංගටත්, අනූෂ පැල්පිටටත් සිරදඬුවම් විඳින්නට සිදුව ඇත්තේ පිරිකර පූජා කළ නිසා නොවේ. ආණ්ඩුවේ අරමුදල් සාවද්‍ය ආකාරයෙන් පරිහරණය කර ඇති නිසාය. ඒ අනුව වරද සිල්රෙදි බෙදීම නොව ආණ්ඩුවේ මුදලක් සාවද්‍ය ලෙස භාවිත කිරීම බව ඉතා පැහැදිලිය. ඒ ප්‍රකාශයෙන් සිල් රෙද්දක් පෙරටුකර ගැනීමෙන්ම භික්ෂුව කර ඇත්තේ සාමාන්‍ය බෞද්ධයා නොමග යැවීමකි. එවැනි කටයුත්තක් විනයානුකූල භික්ෂුවකට කොතරම් ගැලපේද යන්න සැබෑ බෞද්ධයන් කල්පනා කළ යුතුය.
තවත් ආකාරයකින් ගත්කල මහින්ද ආණ්ඩුව විහාර පන්සල්වලට, භික්ෂුන්වහන්සේලාට, උපාසක උපාසිකාවන්ට උපකාර කර ඇත්තේ අප කතාකරමින් සිටින ප්‍රශ්නගත අවස්ථාවේ පමණක් නොවේ. මහින්ද බලයේ සිටියදී පන්සල්වලට පූජා කල අරපිරිකට සංඛ්‍යාව කොතෙක් දැයි ආසන්න වශයෙන් සිතුවත් ඒ කිසිවකට කිසිවකු විරෝධය පා නැත. මෙතැන විරෝධයට හේතුව ආණ්ඩුවේ ආයතනයකින් අති දෑවැන්ත මුදල් සම්භාරයක් නීති විරෝධීව රැගෙන පුද්ගලික අරමුණක් සඳහා යෙදවීමය.
අප සාකච්ඡා කරමින් සිටින භික්ෂුවගේ අදහස අනුව පන්සලට, උපාසක උපාසිකාවන්ට දෙන්නේ නම් ඒ සඳහා මුදල් උපයාගන්නා ආකාරය කුමක්වුවද ප්‍රශ්නයක් නැත. එකී භික්ෂුවගේ ධර්මය අනුව අනාගතයේ කිසිවකු බැංකු කඩා, මංපහරා හෝ මුදල් රැගෙනවිත් විහාරස්ථාන හෝ උපාසක උපාසිකාවන් හෝ පෝෂණය කරන්නේ නම් ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට නොහැකිවනවා ඇත.
ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට දෙදෙනාට දුන් දඬුවමට විරෝධය පෑම තවත් අතකින් ගතයුත්තේ අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමක් වශයෙනි. ඒ අනුව ගත්කල මෙකී භික්ෂුව කීප ආකාරයකින්ම වැරදි සිදුකර තිබේ. බුද්ධ චීවරයට මුවා වී සොරකම ආරක්ෂා කිරීම, සොරුන් ආරක්ෂා කිරීම සඳහා අධිකරණය හෑල්ලු කිරීම අදි වශයෙනි.
එකී භික්ෂුව ‘රෙද්ද එපා’ පෙළපාලියට එක්වන්නේ නම් ඔහුගෙන් ඉල්ලිය යුතු ඉල්ලීම් දෙකක් තිබේ. පළමුවැන්න මහින්දගේ ආවරණ ලිපියත් සමගම සිල් රෙදි මුළු ප්‍රමාණයම එනම් පාර්සල් ලක්ෂ 7 ම ආපසු රැගෙනවිත් දියයුතු බවය. දෙවැන්න සිල් රෙදි හිස තබාගෙන එනවිට සිවුර පසෙකින් තබා පැමිණෙන ලෙසය. හේතුව එකක් සිවුරක් හැඳ සිල් රෙද්දක් හිසමතින් වැඩමවීම භික්ෂුවකට තරම් නොවන නිසාය. දෙවනුව හොරුන්ට රැකවරණ දීමට සිවුරු හැඳ පෙළපාලියාම බුද්ධ වීවරයට අගෞරවයක් නිසාය.