පිංකැට වන්නම

උපාසක මහත්තයාටත්, උපාසක අම්මාටත් බලගතු ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුව තිබුණේ පිනට ලැබුණු සිල්රෙදි කට්ටලය හේතුවෙනි.

හක්දියේ කඩේ රේඩියෝවෙන් ප්‍රවෘත්ති අසා පැමිණු පුනුබුරා කීවේ ‘ඒ සිල් රෙදි අඳිනවාට වඩා නිරුවතින් සිල් සමාදන් වීම නම්බුකාරකමක්’ බවය.

‘ඒ මොකද මුණුපුරේ?’ කියා උපාසක මහත්තයා ඇසූවිට කොල්ලා කීවේ, ඕවා සී‍යේ සිල්රෙදි නෙමෙයි හොර රෙදි කියාය. සීයලාට සිල් රෙදි දෙන්න ගිහිං අන්න දෙන්නෙක් හිරබත් කනවා කියා මුනුපුරා වැඩිදුරටත් කීවේය.

‘අවලං කටකැඩිච්ච කතා කියන්නෙ එපා කොලුවෝ.’ අපි මේ සිල්රෙදිවලට සතයක්වත් ණය නෑ. අපේ මනාප තුනම දුන්නේ සිල් රෙදිත් එක්ක තිබ්බ කොළේ හිටපු උත්තමයාට’ කියා උපාසක අම්මා කීවාය.

ඒක තමයි ආච්චියෙ ලොකුම වැරැද්ද ඉස්සර දානෙ දුන්නෙ පින් ලබාගන්න. දැන් දාන දෙන්නේ කතිර ලබා ගන්න. උඹලා මනාප කොච්චර දුන්නත් සිල් රෙදි දාන කාරයා චකබලාස් වුණේ, ආණ්ඩුවෙ සල්ලි හොකම් කරල සිල් රෙදි බෙදපු හින්දා වෙන්නැති කියා ඒ පාර මුනුපුරා කීවේය.

ඒ කතාවෙන් ආච්චිත් සීයාත් පත්වුයේ බලවත් අපහසුතාවයකටය. හෙරකම් කෙරපු සල්ලියකින් බෙදූ සිල් රෙද්දක් බව දන්නවා නම්, කමන් ඒවා කෙසේවත් බාර නොගන්නා බව ඔවුන් දෙදෙනාට ඉර හඳ මෙන් විශ්වාසය. දැන් කළ හැකි දෙයක් ඇත්තේ නැත. හොර සල්ලි යොදවා දුන් සිල් රෙද්දක් නම් එය පොරවා සිල්ගත් පෝයක් පෝයක් පසා සිදුවන්නට ඇත්තේ කුසල කර්මයක් නොව බලවත් අකුසල කර්මයක් බව දෙන්නාටම හොඳින් පැහැදිලිය.

දුන්නේ සිල් රෙද්ද ඡන්දෙන් දිනවන්න‍

ඒකෙන් වුණේ දෙන්නට හිරබත් කන්න

අන් මහතුනේ අප ගලවාගන්න

රුපියල් එක දෙකක්වත් ආධාරය දෙන්න

බොකුටු කොණ්ඩයක් සහ හතරැස් මුහුණක් ඇති අමුතු හාදයෙක් පින්කැටයකුත් අරගෙන ගේට්ටුවෙන් මිදුලට ආවේ ඒ අතර වාරයේය.

‘කවුද මුනුපුරේ ඒ ආව කෙනා? හිඟන්නෙක් වෙන්න බෑ. නොවෙන්නත් බෑ. හැබයි හොඳ දැකල පුරුදු මූණක්.’ එසේ ඇසුවේ උපාසක මහත්තයාය.

එකට පවු කළාම එකට ආපායෙ යන්න වෙනවා. අපි උසස් පෙළට මිනිහගෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ මෙයා ආර්ථික විජ්ජා පෙන්නලා අපරාදෙ සල්ලං වුණා. පුනුපුරා කීවේය.

උඹේ ඔය පණ්ඩිත කතා අපිට තේරෙන්නේ නෑ. මේ මනුස්සයා මට හොඳට දැකලා හුරුයි. කවුද කියලා තේරෙන භාෂාවකින් කියහං. උපාසක මහතා මුනුපුරාට තදින් කීවේය.

මෙයා සීයේ, ඔයාලට දෙදහස් පන්සීයෙන් මාසෙ කන්න සූත්තරේ කියල දුන්න කෙනා. සමහරු මෙයාට කියන්නෙ මිස්ටර් ධන ඍණ. මේ දවස්වල නම් ධන ඉවර වෙලා ඍණ වැඩිවලා මුණුපුරා කීවේය.

දෙයියන්ට පෙනිච්චාවේ, මේ ඒ උත්තමයා ‍නේන්නම්. අනේ දෙයියනේ මොන අපරාධයක් වෙලාද? පින් කැටේකුත් අරගෙන පාරෙ ඇවිදින්න. උපාසක මහත්තයා කීවේ, වීරතුංගත්, පැල්පිටත් හිරේ ගිය බව ඇසූවිට හාලිඇල මෑන් ගේ පපුව හොස් ගෑවාටත් වඩා වේගයෙන් පපුව හෝස් ගෑ නිසාය.

එන්න අපේ මහත්තයා ඇතුළටම එන්න. මෙතනින් වාඩිවෙන්න. උපසාක අම්මා කීවේ, කුමක් කරන්නදැයි සිතමින් සිට සිල්රෙද්ද පුටුවක එලමිනි.

ඉඳගන්න වෙලාවක් නෑ. ගෙයක් ගාණේ යන්න ඕනෑ. රුපියලක් දෙකකින් ආධාරයක් කරන්න. ලලිතුයි, අනූෂයි බේරගන්න. ධන ඍණ කීවේය.

කිරි බුදු අප්පේ ගෙයක් ගාණේ ගිහින් මිලියන පනස් හතරක් කොහොම එකතු කරන්නද? උපාසක අම්මා ඇසුවේ වෙන්න යන සංගදිය වටහාගන්නට හැකියාවක් නැති නිසාය.

දැනට ගිය ගෙවල් වලින් ප්‍රතිචාර කොහොමද? මුනුපුරා ඇ‍සුවේය.

ප්‍රකිඵල මධ්‍යස්ථයි. ධන ඍණ කීවේය. සමහර ගෙවල්වලින් පොල්ලක් ගත්තා. ගෙවල් දෙකතුනකින් ඉදල් ඉලපත් ගත්තා. තවත් තැන් වලින් කුණුහරුප අහගත්තා. ධන ඍන කීවේය.

පින් කැටේට ආධාර කීයක් ලැබුණද මනුපුරා ඇසුවේය.

තාම නැහැ හුළං! පුතිචාර මධ්‍යස්ථ නිසා සිල්රෙදි ගත්තු ගෙවල්වලට විතරක් යන්න තීරණය කළා.  ඔළුව බේරගෙන හොමාගම පැත්තට යන්නත් ඕන නිසා. ධන ඍණ කීවේය.

සිල් රෙදි බෙදුවෙ පාර්සල් ලක්ෂහතයි. ලක්ෂ හතකින් රුපියලක් දෙකක් එකතුකරලා මිලියන පනස් හතරක් හොයාගන්න පුළුවන්ද? පුනුපුරා ඇසුවේ, මේ යකාට සාමාන්‍ය අංක ගණිතයවත් නොතෙරනවා යෑයි විශ්වාස කරන්නට පුළුවන් කමක් නොතිබුණු නිසාය.

පනහක් සාටක රජ්ජුරුවො ගෙවන්න පොරොන්දු වුණා. හතරක් රුපියල බැගින් ඉල්ලල හොයාගන්නවා ධන ඍන කීවේය.

ඔන්න, ධන ඍණ සර් මට අයිඩියස් එකක් ආවා. මුනුපුරා කීවේ, ටකස් හඬින් අසුරකුත් ගසන අතරවාරේය. දෙන්න පුතා අපිට අයිඩියා එක. අපිට මේ දවස්වල අයිඩියා බොහොම වටිනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ අදහස්; පොහොට්ටු පක්ෂය පිපිච්ච දවසක පුතා අපේ පාටියෙ තින්ක් ටෑන්ක් එකට සම්බන්ධකර ගන්නවා. ධන ඍණ කීවේය.

අනේ සර් මට නම් ඒ අපරාදෙ කරන්න එපා. මුනුපුරා කීවේ, බිම දිගාවී ධන ඍණගේ දෙපා වඳිමිනි.

ඇයි පුතා අපේ තින්ක් ටෑන්ක් එකට ඔච්චරම අකමැතිද? ධන ඍණ ඇසුවේය.

බය හිතෙන්නෙ නැද්ද සර්, ලලිත්ටයි, අනූෂටයි වෙච්ච දේ දැක්කාම. සර්ලගෙ තින් ටෑන්ක් එක හියුමන් බෝම්බයක් වගේ කියා, මුනුපුරා කීවේය.

පුතා අකමැතිනම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඉස්සර වගේ නෙමෙයි සිතිමේ නිදහසට ගරු කරනවා. සුදු වෑන් නෑ. මැර ප්‍රහාර නෑ. පැහැර ගැනීම් නෑ. කප්පම් නෑ ධන ඍණ කියාගෙන ගියේය.

සාටක රජ්ජුරුවො පනහක් දෙනවා සුවර්ද? මුනුපුරා ඇසුවේය.

සාටක රජ්ජුරුවො සුවර් කියලා හිතාන වැඩ කරල අපට වෙලා තියෙන දේ දැක්කම සුවර් කරන්න ආමාරුකමකුත් නැතුවාම නෙමෙයි. කියා එවිට ධන ඍණ කීවේය.

දෙයි දෙයි සාටක රජ්ජුරුවො දෙයි. අධිවේගෙන් ආපුවා, ෂැංග්‍රිලා දීපුවා, හෙලිපින් හම්න්තොටට දාපුවා. සාටක රජාට සල්ලි තියෙනවා. මුනුපුරා කීවේය.

දුන්නත් දෙන්නෙ පණහයිනෙ පුතා. තව මිලියන හතරක්ම හොයන්න වෙනවා. එවිට ධන ඍණ කීවේය.

අයි‍යෝ සර් ඕවත් ප්‍රශ්නද? කාල්ටන් තරග වලින් ටිකක් ගන්න. ඩේසි ආච්චිගෙන් ටිකක් ගන්න. මල්වාන ඉඩමෙන් ටිකක් ඉල්ල ගන්න. බඩුම තමයි, ගොඩේ ගොඩ. මුනුපුරා කීවේය.

ඒක අමාරුයි ධන ඍණ කීවේය.

අර මොකෝ? මුනුපුරා එවර ඇසුවේය.

උන්ගෙ කේස් ටික පත්තු වෙන්න ගියාම ග්‍රීසියෙ බැඳුම්කරේ ඇද්දත් මදිවෙනවා. ධන ඍණ කීවේය.

නරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *