ඒ ඇස් පියා‍

ඡන්දදායකතුමා කියවමින් සිටි පුවත්පත බිම ගසා නැගිට්ටේ, ‘‘මේ කාලකණ්ණියා ඒ මිනිහාගේ ආත්මගෞරවයත් නැති කරන්න හදනවා” කියා ඊට කුණුහරුපයකින් කොටසකුත් යාන්තම් එක්කරමිනි.

‘මොකද අප්පේ මේ පත්තර පොළොවෙ ගහන්නේ?’ කියා බිරිය ඇසූ නමුත් ඡන්දදායකතුමා කතා නොකරම එළියට ගොස් තු. නොදකින් කියා කෙල පාරක්ද ගැසුවේය.

බිරිය පත්තරය අහුලා ගත්තේ ඡන්දාදායකතුමාට මේතරම් ‍කේන්ති ගන්නට යාමට පත්තරයේ පළවී තිබුණු ප්‍රවෘත්තිය කුමක්දැයි කියවා බැලීම සඳහාය. පත්තරය දිගහැර බැලූ නමුත් ඇයට තම සැමියාට ඒ තරම් කේන්ති ගන්නට යමක් එහි පළවී ඇති බවක් පෙනුණේ නැත.

‘මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ? බොරුවට කේන්තිගන්න එපා. ප්‍රෙෂරුත් නඟින්න පුළුවනි.’ කියා බිරිය කීවාය. ‍

‘ප්‍රෙෂර් නඟිනවා නෙමෙයි මේවා දැක්කම ඇඟේ මාළු නටනවා’ යැයි එවිට ඡන්දායකතුමා කීවේය.

‘මොනවා දැකලද මාළු නටන්නෙ?’ කියා එවිට බිරිය ඇසුවාය.

‘ඇස් පෙන්නේ නැත්නම් කණ්ණාඩිදාල බලනව. අර අලුගුත්තෙරුවා පුලතිසිටත් විනේ කටින්න හදනවා, පේ‍න්නෙ නැද්ද?’ කියා එවිට ඡන්දදායකතුමා කීවේය.

‘කියන දෙයක් මටත් තේරෙන්න කියන්න‍කෝ. ඔය තරම් තරහ ගන්න දෙයක් මේ පත්තරේ මට නම් පේන්නේ නැහැ.’ බිරිය කීවාය. එවිට පුවත්පතෙහි පළකර තිබූ දැන්වීමක් ඡන්දදායකතුමා බිරියට පෙන්වූයේය.

‘තුන් කල් දකින අපේ රජතුමනි, ඔබ තුමාට සුබ උපන්දිනයක් වේවා!’ කියා එහි පළකර තිබුණේ අතක් ඔසවා කතාකරන පින්තූරයක්ද සමඟිනි.

පුලතිසිගේ දෑවැන්ත ඡායාරූපයට යටින් මූනිච්චාවට හිනාවෙන කතකගේ රුවකුත් ටයිකෝට් දාගත් කපටි පෙනුමක් ඇති අයකුගේ රුවකුත් පෙනෙන්නට තිබුණි.

දැන්වීම අත ලකුණ පාටියේ සංවත්සරය වෙනුවෙන් පළකරන ලද්දකි. එය ලංකාවේ වැඩකරන අයගේ පක්ෂය යන අර්ථය සහිත පක්ෂයක දැන්වීමක් ලෙස සකසා තිබුණි. මූනිච්චා හිනා පාන කත එම පක්ෂයේ නායිකාව බවය සඳහන්ව තිබුණේ.

‘කවුද මේ ජෝඩුව? මට මෙහෙම පක්ෂයක් මතකවත් නැහැ.’ බිරිය කීවේ ඇත්තකි.

‘ඔයා විතරක් නෙමෙයි, ඔය ජෝඩුවගෙ ගෙදර බල්ලයි පූසයිවත් ඔහොම පක්ෂයක් ගැන දන්නෙ නෑ. ඔය පක්ෂෙට ඉන්නෙ ඔය නායිකාවයි උන්දැගෙ හස්බන්ඩ, අර අනිත් පැත්තෙ ඉන්න ටයිකෝට් කාරයයි විතරයි.’ ඡන්දදායකතුමා කීවේය.

‘එත් අනේ එයාලට අත පක්ෂෙ සංවත්සරේට උත්තමාචාර කරන්න අයිතියක් නැද්ද?’ කියා බිරිය ඇසුවාය.

‘මෑන්ස් ඔය උත්තමාචාරයක් ගහන්නෙ අත පක්ෂයට ඇති ආදරේකට නෙමෙයි. ඌට පිනට හම්බවෙච්ච තෙල් තියෙන රටේ තනාපතිකම රැකගන්න.’ කියා ඒ පාර චන්දදායකතුමා කීවේය.

‘මේක අත පක්ෂෙ සංවත්සරේට ගහපු එකක්ද, නැත්නම් පොහොට්ටු පක්ෂෙ වැඩකට ගහපු එකකට වරදිලා පුලතිසිගෙ පින්තූරයක් වැටිලද කියල මටනම් සැකයක් තියෙනවා.’ කියා බිරිය නැවතත් කීවාය.

‘ඔයා එහෙම හිතන්න හේතුව මොකක්ද?’ කියා ඡන්දදායකතුමා ඇසූවිට බිරිය කීවේ, ‍‘මේ දැන්වීමෙ උඩින්ම තියෙන්නෙ ‘තුන්කල් දකින රජතුමනි ඔබ තුමාට සුබ උපන්දිනයක් වේවා!’ කියා ‍නේද කියාය.

‘ඔව්! එහෙම තමයි’ කියා ඡන්දදායකතුමා පිළිගත් විට බිරිය කීවේ, ‘තුන්කල් දැකපු රජතුමා දැන් සපෝට් එක දෙන්නෙ අත ලකුණ කාරයන්ට නෙමෙයි පොහොට්ටු කාරයන්ට නේද?’ කියාය.

ඒ හින්දා තමයි මට මේ දැන්වීම දැකල මාළු නටන‍්නේ. ‘ආයුබෝවේවා මහරජාණනි! කියල කුරහන් සාටකකාරයා ගොනාට අන්දල මඩිය පුරාවා ගත්තු එකාල දැන් පුලතිසිටත් රජතුමනි කිය කියා අන්දන්න හදනවා’ කියා ඡන්දායකතුමා කීවේය.

‘අනේ! ඇත්ත නේන්නම්. ඔය හාදයා මිනිහගෙ මොණර මන්දිරේ ඉස්සරහ පීනුම් තටාකෙට වැලි පුරවලා කුරහන් සාටක මහරජාගෙ වස්දොස් අරින්න හැදුවා කියල මට මතක් වුණේ දැන් නෙ’ කියා එවිට බිරිය කීවාය. මොණර මන්දිරෙත් දීලා, තටාකෙටත් වැලි පුරවල, සාටකයා ආයෙත් රජ කරවන්න හිතාන පුලතිසිට වළ කපපු එකාල හීන් නූලෙන් පුලතිසිට කොක්ක ගහගෙන, ඒ මිනිහගෙත් කනෙන් රිංගල, රජතුමනි කිය කියා අන්දන්න හද‍නකොට පුලතිසිට අවංකව ඡන්දෙ දීපු අපට යකා වැහෙන එක සාධාරණ නැද්ද කියා ඡන්දදායක තුමා කීවේය.

‘ඔය දේවල් ඔච්චරම ගණන්ගන්න එපා මෙයා. ඒ.ඇස්.පී. මහත්තයාට ඔළුවෙ අමාරුවකුත් ඇති. බැරැක් ඔබාමටයි, පුටින්ටයි, ට්‍රම්ටයි ඔය ඔක්කොටම සුබ පතලා දැන්වීම් දැම්මා’ කියා බිරිඳ කීවේ, පරණ කතන්දර වගයක් මතක් වූ නිසාය.

‘ඔව් ඔව් මෑන්ස් සුබපතල දැන්වීම් දැම්මෙ සිංහල පත්තරවල නිසා, ඔබාමා, බ්ලෙයාර්, ට්‍රම්ප් හැමෝම සිංහල ඉගෙන ගන්න ටියුෂනුත් ගියාලු’  ඡන්දායකතුමා කීවේය.

‘ඒ වුණත් මෙයා එච්චර දෙයක් කෙරුව පක්ෂ පක්ෂ නායකයෙකුටත් ඇමරිකාවෙ හරි, රැසියාවෙ හරි, එංගලන්තෙ හරි තානාපතිකමක් නොදී කටාර් රාජ්ජෙට යැව්ව එක නම් වැරැද්දක්.’ බිරිය කීවාය.

‘ඕකා කටාර් මිසක් වෙන කිසිම රටකට බාර ගන්නෙ නෑ. අ‍පේ පුලතිසිලා ඌට රැවටුණාට ලෝකෙ නායකයො ඔය වගේ කපටියො ගණන්ගනී කියල හිතනවද?’ බිරිය ඇසුවාය.

‘ඇත්තම තමයි. මම ට්‍රම්ප් වුණා නම් මිනිහයි නෝනයි දෙන්නම පටස්ගාල ඇමරිකාවට ගෙන්නා ගන්නවා.’ ඡන්දදායකතුමා කීවේය.

‘එහෙම වුණානම් එයාට දෙන්න කොයි රටේ තනාපතිකමද?’ බිරිය ඇසුවාය.

‘තානාපතිකමක් නෙමෙයි මිනිහයි මිනිහගෙ නෝනයි දෙන්නම නාසා එකට යවනව’ ඡන්දදායකතුමා කීවේය.

‘නසා එකේ ලොකු තනතුරක් දෙනවද?’ බිරිය ඇසුවාය.

‘දෙන්නා වෙන වෙනම පෙට්ටි දෙකක දමලා, සීල් කරලා, රොකට් දෙකක දමලා, අභ්‍යවකාශයේ කෙළවරටම යවනවා. ලබන ආත්මෙවත් ආයෙ මේ ලොකෙට එන්න බැරිවෙන්න’ ඡනිදදයෙකතුමා කීවේය.

නරසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *