ඒකාබද්ධයේ ඉරණම් සටන් – අනුර සූරිය බණ්ඩාර

2012 අංක 21 පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) සංසෝධිත පනත අනුව රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ට තමන් අයත් හෙවත් තමන් සේවය කරන පාළාත් පාලන බල ප්‍රදේශයේ ඡන්ද අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වීමට ඇති හැකියාව අහුරා තිබේ. එය වනාහි මීට පෙර ග්‍රාම නිලධාරින්ට ද පොදු වූ නීතියකි. මෙහි දී ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි වන්නේ සමෘද්ධි නිලධාරින්, කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ටය.

රජයේ නිලධාරීන් ඡන්දය ඉල්ලීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඡන්ද දායකයාගේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවන බව ලෝකයම පිළිගත් මතයයි. මැතිවරණ කොමිසමේ අදහස වූයේ සියලුම රාජ්‍ය සේවකයන්ට පළාත්පාලන ඡන්දය ඉල්ලීමට අවසර නොදිය යුතුය යන්නය. එහෙත් එය ක්ෂේත්‍ර නිලධාරීන් පමණක් ඇතුළත් වන ආකාරයට සංශෝධනය වී තිබේ.

මෙරට සමෘද්ධි, කෘෂි පර්යේෂණ , සංවර්ධන නිලධාරින් යනු පැහැදිලි ලෙසම දේශපාලන පත්වීම් ලැබූවන්ය. ඔවුන් පත්කෙරුණේ මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මතයි. පසුගිය ආණ්ඩුව සමයේ මැතිවරණවල දී බර අදිනු ලැබුවේ ඔවුන් විසිනි. මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද රැස්වීම්වලට, මැයි පෙළපාලිවලට සෙනග රැස්කරන යාන්ත්‍රණය ලෙස ක්‍රියාත්මක වූයේ, සමෘද්ධි නිලධාරීන් බව පොදු ජනතාවට රහසක් නොවේ. ජනතාව මහින්දගේ රැස්වීම්වලට ගාල් වූයේ මහින්දට තිබුණු කැමැත්ත නිසාම නොව, සමෘද්ධි නිලධාරියා අමනාප වුවහොත් සමෘද්ධි සහනාධාරය නොලැබී යනු ඇතැයි යන බිය නිසාය. සමෘද්ධි කපන්නේ යැයි පසුගිය දිනවල කළ අරගල පිටුපස තිබුණේද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාන හස්තයයි.

පෙර පැවති පළාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ඡන්ද අපේක්ෂකයකුට විශාල බල ප්‍රදේශයක ඡන්දය ඉල්ලීමට සිදුව තිබූ නිසා තමන්ගේ බල ප්‍රදේශයේ එනම් තම රාජකාරී බල ප්‍රෙද්ශයේ තුළ සිට ඡන්දදායකයාට බලපෑමක් කරන්නට ඔවුන්නට හැකියාව තිබුණද එයින් බලගතු බලපෑමක් ඇති වූයේ නැති නමුත් අලුතින් හඳුන්වාදීමට සූදානම් වන මැතිවරණ ක්‍රමය ආසන ක්‍රමයට බර තැබෙන එකක් වීම හේතුවෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට කළ හැකි බලපෑම උපරිම වී තිබේ. කෙටියෙන්ම කියන්නේ නම් තමා සේවය කරන බල ප්‍රදේශය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සමෘද්ධි, කෘෂිපර්යේෂණ වැනි රාජ්‍ය සේවකයනට ඉඩ ලබා දුනහොත් සමෘද්ධිය, පො‍හොර සහනාධාරය වැනි දේ පෙන්වා ඡන්ද ගරා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙනු නොඅනුමානය.

තමන්ගේ ගමේ සමෘද්ධි නිලධාරියා ගමෙන්ම ඡන්දයට ඉදිරිපත් වුවහොත් ඡන්දදායකයා මුහුණදෙන උභ‍තෝකටිකය වටහා ගන්නට උකුණු තල්ලක් තරම් කුඩා මොළයක් ඇති තැනැත්තකුට වුවත් බැරිකමක් නැත. තමේ සමෘද්ධි නිලධාරියාට ඡන්දය නොදුනහොත් සමෘද්ධිය නොලැබී යනු ඇතිය බියක් ගෙම් දුප්පත් සමෘද්ධිලාභි ඡන්දදායකයාට ඇතිවනු ඇත. ඡන්දයෙන් සමෘද්ධි නිලධාරියා පරාජ වුවහොත් සිය බලප්‍රදේශයේ ඡන්ද දායදයන් කෙරෙහි කෝපයක් ඇතිකර ගන්නවාට සැකයක් නැත. ඒ නිසා ඔහු තම බල‍ප්‍රදේශයේ ජනතාව කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමට පෙළඹෙනු ඇත.

එවැනි තත්ත්වයන් තුළ ස්වාධීන රජයේ සේවකයකුගේ කාර්යභාරය ඔහුගෙන් අපේක්ෂා කළ නොහැකිය. අනෙක් අතට යම් හෙයකින් සමෘද්ධි නිලධාරියා? කෘෂි පර්යේෂණ නිලධාරියා, සංවර්ධන නිලධාරියා තම රාජකාරි බල ප්‍රදේශයෙන් ඡන්දය ඉල්ලා ජයග්‍රහණය කළේ යැයි සිතමු. එවිට ඔහු නිසැකවම තමන්ට ඡන්දයේදී සැලකූ තරම අනුව රාජකාරියේදී තම ලබප්‍රදේශ‍යේ ජනතාවට සැලකීමට වගබලා ගනු නිසැකය. එය ප්‍රජාතන්තුවාදයේ මූලධර්මවලට පටහැනි බව අමුතුවෙන් කිවයුතු නැත.

ර‍ජයේ පුත්පත්ති සහ වැඩසටහන් ගම් මට්ටමෙන් ක්‍රියාවේ යෙදවෙන හස්තය වන්නේ ක්ෂේත්‍ර නිලධාරියාය. රජයෙන් ජනතාවට ලබාදෙන සහනාධාර ආදිය සියල්ල හිමිවන්නේ ක්ෂේත්‍ර නිලධාරියාටය. පවතින තත්ත්වය යටතේ පවා ක්ෂේත්‍ර නිලධාරියාගේ දේශපාලන රුචිකත්වය ජනතාවගේ ස්වාධීන ජන්ද අයිතියට යම් බලපෑමක් ලෙස ක්‍රියාත්මක වේ. අනෙක් අතින් ගත් කල රජයේ නිලධාරින් දේශපාලන අතකොලු වශයෙන් ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට නරක බලපෑමකි. සමෘද්ධි, කෘෂි පර්යේෂණ, සංවර්ධන නිලධාරින් පමණක් නොව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය දිසා ලේකම්වරුන් පවා දේශපාලකයන්ගේ හෙන්චයියන් ලෙස කටයුතු කරන අයුරු පසුගිය යුගයේ අපි දුටුවෙමු. රජපක්ෂ යුග‍යේ එම තත්ත්වය වඩාත් බරපතළ විය. ගුරුවරුන්, ග්‍රාමසේවා නිලධාරින්, විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරින් පමණක් නොව පූජක පක්ෂ පවා මහින්ද රෙජිමයේ දේශපාලන හස්තයෙන් මිදී කටයුතු කිරීමට පවා හැකියාවක් තිබුණේ නැත.

තනතුරු ආරක්ෂාකර ගැනීමට, උසස්වීමක්, තනතුරක් ලබාගැනීමට, සේවා ස්ථානයේ නිරුපද්‍රිතව සිටීමට, ස්ථානමාරැවක් ලබා ගැනීමට ආදි දේට දේශපාලකයන් සරණ යායුතුව තිබූ යුගයක් ලෙස මහින්ද යුගය කැපී පෙනිණ. දේශපාලකයනට පන්දම් ඇල්ලීමට අකමැති රාජ්‍ය සේවකයනට පවා දේශපාලකයන් පසුපස යාමටත්, තොරණ ඉදිකිරීමට වැනි දේටත් සහභාගිවන්නට සිදු වූයේ රාජ උදහසට ලක් නොවී සිටිය යුතු නිසාය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුව රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම වැනි ආයතන පණගැන්වීම නිසා රාජ්‍ය සේවයට මේ වන විට යම් තරමකින් හෝ ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව ලැබී ඇති බව පිළිගත යුතුය. කෙසේ නමුත් රාජපක්ෂ රෙජිමයේ අනුහසින් පත්වීම්, උසස්වීම්, නිලතල ලබාගත් සමහර ‍රාජ්‍ය සේවකයනට තවමත් වහල් මානසිකත්වයෙන් මිදීමේ කැමැත්තක් හෝ අවශ්‍යතාවක් නැති බව ද පොදු ජනතාව වටහාගත යුතුය. සමෘද්ධි නිලධාරින්, කෘෂි පර්යේෂණ නිලධාරින්, සංවර්ධන නිලධරින් අතර රාජ්‍යපක්ෂවාදයේ රෝග ලක්ෂණය ව‍ඩාත් බරපතල ආකාරයෙන් පවතී. රාජපක්ෂවාදී උද්ඝෝෂණවල ඔවුන් බහුලව නියැලීමෙන්ම ඒ බව පැහැදිලිවේ.

මැතිවරණ කොමිසම මෙන්ම දේශපාලන පක්ෂද පළාත් පාලන මැතිවරණ පනත සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබුණි. එහි දී මැතිවරණ කොමිසමේ නිර්දේශය වූයේ, සියලු රාජ්‍ය සේවකයන්ට පළාත් පාලන ඡන්දය ඉල්ලීමට ඉඩ ඇහිරිය යුතු බවය. මේ වන විට සිදුව ඇත්තේ එම නිර්දේශය ක්ෂේත්‍ර නිලධාරීන් තුන් කොටසකට පමණක් සීමාවන පරිදි කප්පාදු වීමය. එසේ හෙයින් ගුරුවරුන්, පොලිස් නිලධාරීන් ආදී ජනතාවට බලපෑම් කළහැකි මට්ටමේ වෙනත් රාජ්‍ය සේවකයනට තම බල ප්‍රදේශවලින්ම වුව පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීමට බාධාවක් නැත. ලියුම්කරුගේ අදහස නම් සියලු රාජ්‍ය සේවකයනට තම බලප්‍රදේශවලදී ඡන්දයට ඉදිරිපත් වීමට තහනම් කිරීම බෙහෙවින් ඵලදායී නිර්දේශයක් වනු ඇති බවය. එපමණක් නොවේ ඡන්දය පාවිච්චි කිරීම හැරුණු විට සියලු ආකාර‍යේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු වල නියැලීම සියලුම රජයේ සේවකයනට තහනම් කළ යුතුය.

ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීම සීමා කිරීමට එරෙහිව බරපතළ ආකාරයේ අවි ඔසවන්නන් වන්නේ ඒකාබද්ධ විපක්ෂය බව පැහැදිලිය. ඔවුන් මෙය අර්ථ දක්වන්නේ රජයේ සේවකයාගේ ඡන්ද අයිතිය උල්ලංඝණය කිරීමක් වශයෙනි. ඒකාබද්ධ විපක්ෂය සිය ප්‍රකාශ සියල්ල ඉදිරිපත් කරන්නේ යහපාලන ආණ්ඩුව සියලුම රාජ්‍ය සේවකයන්ගේ ඡන්දයට ඉදිරිපත් වීමේ අයිතිය උදුරාගෙන තිබේය යන අදහසක් ජනතාව අතර ඇතිවන ආකාරයටය. ඡන්දයට ඉදිරිපත්වීමට සීමා පැනවී ඇත්තේ රජයේ නිලධාරින් අතුරින් කොටසක් වන ක්ෂේත්‍ර නිලධාරින් අතරින් නිලධාරින් තුන් කොටසකට පමණක් බව ඔවුහු ජනතාවගෙන් වසංගති. එසේම එකී ක්ෂේත්‍ර නිලධාරින් තුන් වර්ගයට පවා තමන් සේවය කරන බල ප්‍රදේශයෙන් හැර වෙනත් පුදේශයකින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට කිසිකු බාධාවත් නැති බවද ඔවුන් ජනතාවගෙන් වසන් කරයි.

නැති බිල්ලන් පෙන්වා, බො‍රු බේගල් අදබා ජනතාව මුළාකර බලයට එන්නට උත්සාහ කිරීම ඒකාබද්ධයේ කූඨ ප්‍රයෝගය බව 2012 අංක 21 දරණ පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) සංශෝධන පනතට මුවා වී ඔවුන් ගෙනයන කලබැගෑනිය විසින්ද ඔප්පු වෙමින් තිබේ.

යහපාලන ආණ්ඩුවට අතට හසු‍වන සෑම ගලකින්ම ගසන්නට උත්සාහ දැරුවද ඒකාබද්ධයට ඒ කිසිවක් සාර්ථක අවසානයක් කරා ගෙනයා නොහැකි බව ඔවුන්ගේ උද්ඝෝෂණ වලින් පැහැදිලිව පෙනෙන සත්‍යයයි.

ජනවාරි 08 වෙනසට පෙර ඔවුන්ගේ බරපතළම අවිය වූයේ විදුලි පුටුවයි. මේ වන විට එහි විදුලිය විසන්ධි වී තිබේ. හම්බන්තොට අල්ලාගෙන ගොඩයාමට ඔවුහු ඉන්පසු උත්සාය කළහ. එය දසෝඩා බෝතලය කැඩුවා වැනි පුස්සක් පමණක් විය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි අල්ලා ගෙන ගොඩයාමට ගත් උත්සාහය ද ලත්තැනම ලොප් වී ගි‍යේය. සියිටම් විරෝධයද අවසන් හුස්ම හෙළන්නට නියමිත සටනක් බවට පත් වෙමින් තිබේ. පළාත් පාලන පනතට විරුද්ධ සටනට ද අත්වන්නට නියමිත ඉරණම එයයි.

අනුර සූරිය බණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *