මහින්ද මහත්තයාට විවෘත සංදේශයක් – මොන්ටේගු සරච්චන්ද්‍ර – විධායක සභික – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

2015 වසරේ ජනවාරි 08 දින ඔබතුමන් ලබාගත් අන්ත පරාජයෙන් පසුව ගත වු වසර දෙකහමාරක පමණ කාලය තුළ ඔබ කියන කරන දේවල් දෙස බලා සිටියෙමි. කිනම් අවස්ථාවක හෝ සැබෑ තත්ත්වය තේරුම්ගෙන ඔබ රටේ නායකත්වය තෙක් රැගෙන ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනසීමේ ක්‍රියා පිළිවෙතින් වැළකෙනු ඇතැයි සිතුවෙමි. එහෙත් තත්ත්වය එන්න එන්නම බරපතළ වන බව පෙනෙන හෙයින් මෙසේ විවෘත, සංදේශයකින් වත් ඔබතුමන් ඇමතීමට අදහස් කළෙමි. ඊට ආසන්නතම හේතුව වන්නේ පසුගිය සතියේ ඔබතුමන් නිකුත් කර තිබූ පුවත්පත් නිවේදනය බවද සඳහන් කරමි.

ඔබතුමන්ගේ එම පුවත්පත් නිවේදනය අපූරුය. චමත්කාරජනකය. කොටින්ම කිවහොත් ඇඟේ හිරිගඩු පිපෙන, ඇඟ හිරිවට්ටන සුළුය. මක්නිසාද? එය ජනතාවට ඔබතුමන්ගේ පාලන කාලය සිහිපත් කරවන්නක් මෙන්ම ඔබතුමන්ගේ අද තත්ත්වයද හෙළිදරව් කරන්නක් හෙයිනි. ඔබතුමන් පවසන පරිදි 2015 ජනවාරි 08 දින මේ රජය බලයට පැමිණ ඇත්තේ විදෙස් කුමන්ත්‍රණකරුවන්ගේ සහයෝගයෙනි.

එය එසේ නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වන මා විශ්වාස කරන්නේ එකී කුමන්ත්‍රණයේ මුල් පුරුක හෙවත් එහි නිර්මාතෘවරයා ඔබතුමන්ම බවයි. ලාංකේය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමිවී ඇති පරමාධිපත්‍යය බලය අනුව 2016 නොවැම්බර් 19 දින දක්වා රටේ ජනාධිපති ධුරය දරන්නට තෝරාගනු ලැබූ ඔබ දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන් සමඟ එක්වී එම ජනතා පරමාධිපත්‍යය බලයට පයින් ගසමින්, සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග අතරමං කරමින්, නියමිත කාලයට වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඔබ සතුව තිබූ විධායක බලය ‍යොදාගැනීම ඔබතුමන් පවසන මේ සියලු කරුණු කාරණාවල ආරම්භය වන හෙයිනි.

පරණ කුමන්ත්‍රණය

ඒ අනුව එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ඉදිරිපත්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බොහෝ වෙහෙස මහන්සියෙන් දිනාගත් රාජ්‍ය නායකත්වය ඉන් වසර 20 කට පසු අප පක්ෂයට අහිමිකරන්නට ඔබතුමන් සිදුකළ කුමන්ත්‍රණයෙන් අප පක්ෂය බේරුණේ අනූනමයෙනි. ජනාධිපතිවරණයට වසර දෙකක් ඉතිරිව තිබියදී මැතිවරණය පවත්වා ඉදිරි වසර අටම ජනාධිපතිවරයා වීමට ඔබතුමන් සැලසුම් කර තියෙන්නට ඇති බව මට හැඟේ. එහෙත් ඔබතුමන්ගේ අධික තණ්හාව නිසා ශෝකයට පත්වන්නට වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය.

කල් යල් බලා බිම දිගේ ඇදි යන හතරේ පහරක් එල්ල කරමින් ලබාගත හැකිව තිබූ ජයග්‍රහණය ඔබතුමන්ගේ තණ්හාව නිසා උඩින් යන හයේ පහරක් එල්ල කිරීමට ගොස් හතරේ සීමාව අසලදී උඩ පන්දුවකින් දැවීයාමෙන් පරාජයට පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එතරම්ම අවාසනාවන්තයින් නොවන බව පසක් වූයේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයා වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුම නිසාය. මේ පරාජයට වඩා ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන්වීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හැකිවූ නිසාය.

ජනාධිපතිවරණ ජයග්‍රහ‍ණයෙන් පසු මන්ත්‍රීවරුන් 44 දෙනකු සිටි එජාපයට අගමැතිකම දීම ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හැරවීමක් බව ඔබතුමා පවසයි. එය එසේ නම් කළ යුතුව තිබුණේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව පෙන්වීමයි. එහෙත් ඔබතුමන් එවැනි කටයුත්තකට නායකත්වය දුන් බවක් මට නම් මතකයක් නැත. එපමණක් නොව, ජනාධිපතිවරණය ජයගත් වහාම ඔබ මෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ගියේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන දේ හිතාගැනීමටවත් නොහැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ඔබතුමන්ට වඩා සැබෑ ශ්‍රී ලංකාකාරයකු නිසාම ගහෙන් වැටුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොනුන්ට අනින්නට ඉඩ නොදෙන්නට කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක අපේක්ෂකයා හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හඳුන්වමින් ජාතිවාදී වෛර සිතුවිලි ජනතාව තුළ ඇතිකිරීමේ පාදඩ උත්සාහයක්ද මම මෙහි දකිමි. එම ජයග්‍රහණයට උරදුන් අනෙක් දේශපාලන පක්ෂ හා සිවිල් කණ්ඩායම් පිළිබඳව එලෙස නමින් සඳහන් නොකරන්නේ එහෙයිනි. කෙසේ වෙතත් එවැනි දෙයක් ඔබතුමන්ට කිව නොහැකි බවද මම දනිමි.

මක්නිසාද ඔබ පවසන ඒ බොහෝ පක්ෂ ඔබතුමන්ගේ පාලන කාලයේදී ඔබතුමන්ටද සහාය දුන් හෙයිනි. මෙම නිවේදනය ඔබගේ අගසවුවන් වන ගම්මන්පිල හෝ වීරවංශ දෙදෙනාගෙන් කෙනෙකුගේ නිමැවූමක් බව මගේ විශ්වාසයයි. කෙසේ වෙතත් එයින් ඔබතුමන්ගේ පාලන කාලයේ දී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය අපහාස, උපහාස කොට තනතුරෙන් පහකරදැමීමේ සිදුවීමද අපට නැවත සිහිපත් කර දෙයි.

මහින්ද චින්තනයට පයින් ගැසීම

එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන්නට මහින්ද චින්තනයෙන් පොරොන්දු වී බලයට පැමිණි ඔබ එහි බලතල වැඩි කර ගනිමින් වසර 12ක උපරිමයකට සීමාවී තිබූ එම තනතුර යාවජීව කර ගැනීමට ජනතාව රවටමින් ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධනයද අපට මතක්කර දෙයි. එපමණක් නොව, 2015 ජනවාරි 08 දින ඔබ ජයග්‍රහණය කළේ නම් 1983 දී ජේ. ආර්. ජයවර්ධන කළා මෙන් ඔබට තුනෙන් දෙකකට වැඩි බලයක් තිබූ එම පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීමටත් ජනාධිපති ධුරයේ වසර 6ක් වන ධුර කාලය වසර 8ක් දක්වා දීර්ඝ කරගැනීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනයක් ගෙන ඒමට ඔබ සැලසුම් කර තිබූ බවක්ද අපට ඉඟි කරයි.

පක්ෂ නායකත්වයත්, විධායක ජනාධිපති ධුරයත් දෙකක් නොව එකක් ලෙස ඔබතුමන් සැලකූ බවක්ද, මේ නිවේදනයෙන් සිතේ. පක්ෂයේ කටයුතු වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ක්‍රියාත්මක වන්නේ පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂ ව්‍යවස්ථාවෙන් එතුමන්ට හිමිවී ඇති බලතල සමඟිනි.

එයට එතුමන් විධායක ජනාධිපති ධුරයේ බලතල භාවිත නොකරයි. එහෙත් ඔබතුමන් පවසන පරිදි පක්ෂයේ කටයුතු සඳහා විධායක බලතල භාවිත කිරීම යන්නෙන් ගම්‍යවන්නේ ඔබතුමන් එලෙස සිදුකර ඇති බවයි. එපමණක් නොව, ඔබතුමන් ජනාධිපති ධුරයට පත් වූ විට අනුර බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත් කරන්නට පක්ෂයේ විධායක සභාව ඉදිරියේ 2005 මාර්තු මාසයේදි ඔබතුමන් සිදුකළ “කඩවුණු පොරොන්දුවද” මේ නිවේදනය අපට සිහිකරවයි. ඔබතුමන්ගේ මේ නිවේදනය අපූරු බව මා කියන්නේ එහෙයිනි.

හොර පාරෙන් ගොස් කරන විවේචන

ඡන්දයෙන් දිනුවත් ඔබට අගමැතිකම නොදෙන බව පවසා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 40 කට පමණ ඇමැතිකම් ලබාදී රජයට එක්කරගත් බවක්ද ඔබ පවසයි. අප දන්නා ආකාරයට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එක්වීමේ තීරණය ගනු ලැබුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙනි. එහිදි ඊට විරුද්ධ වී ඇත්තේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පමණි.

එමෙන්ම මධ්‍යම කාරක සභාවේ එම තීරණය පක්ෂයේ විධායක සභාවට හා සමස්ත ලංකා කාරක සභාවේදී ද අනුමත කරන ලදි. ඔබ ඊට විරුද්ධ වන්නේ නම් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට හෝ විධායක සභා රැස්වීමට හෝ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට හෝ පැමිණ එම විරෝධය පළ කර ඒ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා එම යෝජනාව පරාජය කළ හැකිව තිබුණි. අදටත් පක්ෂයේ සියලු මට්ටම්වල තීන්දු තීරණ ගන්නා සභාවන්හී ඔබේ අසුන වෙන්කර තිබුණද ඔබ ඒ කිසිදු සභාවකට නොපැමිණ පක්ෂයේ තීරණයන් පන්සල්වල දායක සභාවන්හිදී විවේචනය කිරීමෙන්ම ඔබගේ ශක්තිය අපට සිතාගත හැකිය. එවන් අයකුට අගමැතිකම ලබාදී රජයක් ගෙන යා හැකි දැයි ප්‍රශ්නයකි.

විධායක බලය අවභාවිතයට ලක්කරමින් රටේ වැදගත් ජාතික සම්පත් පාර්ලිමේන්තුවටවත් නොදන්වා අත්තනෝමතික ලෙස විදෙස් රටවලට විකිණීමට පාවිච්චි කරන බවක්ද ඔබ පවසයි. ඔබතුමන්ගේ පාලන කාලය තුළ චීනයට විකුණූ ගාලුමුවදොර පෝට්සිටි භූමිය (මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මැදිහත්ව එම සින්නක්කර විකිණුම බදුදීමක් බවට හරවාගෙන ඇත.) ජාතික සම්පතක් නොවන බව අප දැන සිටියේ නැත.

රණවිරු මහගෙදර විකුණූ ආකාරය

එමෙන්ම ඔබතුමන් ගෝඨාභය හා බැසිල් යන සහෝදරයින් සමඟ එක්ව චීනයේ ෂැන්ග්‍රිලා හෝටලයට සින්නක්කරව විකුණා දමා තිබෙන ගාලු මුවදොර ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා තිබූ අක්කර 6ක ඉඩම ජාතික සම්පතක් නොවන බව මා දැනගත්තේ ඔබතුමන්ගේ මේ නිවේදනය නිසාය. ලෝකයේ කිසිම රටක ආරක්ෂක හමුදා මූලස්ථානයක් ඒ සඳහා වෙනත් ස්ථානයක් ඉදිකොට එහි තිබූ සියලු දේ අලුත් තැන ස්ථාපිත කිරීමකින් තොරව දේශීය හෝ විදේශීය ව්‍යාපාරිකයකුට විකුණා දමනු අප දුටු පළමු අවස්ථාව මේ සිදුවීමයි.

රණවිරුවන් ගැන මහා ඉහළින් කතාකරන ඔබතුමන් ඇතුළු සහෝදරවරුන් රණවිරුවන්ගේ මහගෙදර මෙලෙස අත්තනෝමතික ලෙස විකුණා දැමීම නිසා අද වනවිටත් ලංකාව හමුදා මූලස්ථානයක් නැති රටක් බවට පත්කර තිබේ. ඔබතුමන්ගේ නිවේදනය චමත්කාරජනක බව මා පවසන්නේ එහෙයිනි.

චන්ද්‍රිකාගේ පිහිටෙන් පරාජයෙන් බේරීම

මේ ආණ්ඩුවේ සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ ඔබතුමන් විසින් නායකත්වය දෙනු ලැබූ මැතිවරණ ව්‍යාපාරයකින් බවක්ද ඔබතුමන් පවසයි. එය එසේ නම් ඔබතුමන් නායකත්වය දුන් පාර්ලිමේන්තු මැතිවරණ වන්නේ 2004 අප්‍රේල් මාසයේ පැවැති මහ මැතිවරණයත් 2015 අගෝස්තු මස පැවති මහ මැතිවරණයත්ය. 2004 අප්‍රේල් මැතිවරණය ඔබ මෙහෙය වූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසිනි.

එයින් ඔබ අන්ත පරාජයට පත්වන බව දුටු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය පක්ෂය එම පරාජයෙන් බේරාගැනීම සඳහා මංගල සමරවීර සහ ලක්ෂ්මන් කදිරගාමර් යන ඇමැතිවරුන් සමඟ එක්ව ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානයක් ගොඩනඟා පක්ෂයට ජයග්‍රහණය ලබාදුනි.

එහෙත් එම මැතිවරණයේදී බොහෝ දිස්ත්‍රික්කවල සන්ධානයේ පෙරමුණ ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින්ය. එය පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස ජනතාව ඔබ පිළිනොගැනීම නිසා සිදුවූවක් බව මගේ හැඟීමයි. අනෙක් අතට 2015 අගෝස්තු මහ මැතිවරණයේ දී ඔබේ සියලු අයිතිවාසිකම් ඇති හම්බන්තොට දිස්ත්‍රික්කය අත හැර කුරුණෑගලට පැමිණි ඔබතුමන් නිසා ඔබතුමන් තරග කොට පරාජය වූ ජනාධිපතිවරණයේදී එම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ඡන්ද ප්‍රමාණයටත් වඩා ඡන්ද පනස් දහසකට වැඩි ප්‍රමාණයක් අඩුවෙන් ලබාගැනීමෙන්ම ඔබතුමන්ගේ දක්ෂතාව අවබෝධකරගත හැකිය.

හම්බන්තොටිනුත් සල්ලම් වූ හැටි

එපමණක් නොව 1968 වසරෙහි සිට ඔබතුමන් ආසන සංවිධායක ධුරය දැරූ බෙලිඅත්ත ආසනයෙන් ඔබතුමන් රාජ්‍ය නායකත්වයට තරග කළ ජනාධිපතිවරණ තුනෙහිදීම ලැබූ ඡන්ද ප්‍රතිශතයන්ට වඩා වැඩි ප්‍රතිශතයක් ඔබතුමන් නියෝජනය කළ දිස්ත්‍රික්කයේ මහින්ද අමරවීර මැතිතුමන්ගේ සංවිධායකත්වයෙන් යුතු තංගල්ල ආසනයෙන් ඔබතුමන්ට ලබාදී තිබේ. තමන් මුළු රටේම රාජ්‍ය නායකත්වයට ඉදිරිපත් වන මැතිවරණයකදීවත් තම පරපුරේම නිජබිම වූ දිස්ත්‍රික්කයේ තමන් දශක ගණනාවක් සංවිධායකත්වය දරන ආසනයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමටවත් නොහැකි නම් ඒ දක්ෂතාවය ගැන තවත් කුමන කතාද? ඔබතුමන්ගේ නිවේදනය ඇඟ හිරිවට්ටවන, ඇඟේ හිරිගඩු පිපෙන එකක් වන්නේ එහෙයිනි.

රුහුණේ නායකයකු ලෙසත් පක්ෂයට කෙසේ වෙතත් රටට යමක් කළ නායකයකු ලෙසත් ඔබතුමන් පිළිබඳව අපගේ හදවත්වල මහත් ගෞරවයක් පවතියි.

එහෙත් එය එලෙසම පවතින්නේ ඔබතුමන්ගේ වත්මන් ක්‍රියාකාරකම් අනුවය. එහෙයින් ගිය හකුරට නොහඬා තිබෙන හකුර රැකගැනීම ඔබතුමන්ගේම වගකීමකි.

ඔබතුමන් මෙන් පරපුරෙන් ලද උරුමයක් නිසා නොව සැබෑ ගොවි පුතකු ලෙස කැපවීමෙන්, අවංකබවින් හා දක්ෂකමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවියට පත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් සිය ජීවිත කාලය තුළ කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිතක් සිදුකර ඇති බවට අංශු මාත්‍ර සාක්ෂියක් හෝ නැත.

කකුලෙන් ඇදීම නතර කරන්න

එහෙයින් එතුමන්ට පක්ෂය ඉදිරියට රැගෙන ගොස් ජයග්‍රහණය කරවීමට ඉඩ ලබාදීම පක්ෂයට ආදරය කරන හැමගේම යුතුකමක් මෙන්ම වගකීමකි. එසේ නොමැතිව ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වන තැනට දැමීමට කටයුතු කරන බවට වහසි බස් දෙඩීම සැබෑ ශ්‍රී ලංකාකාරයකුගේ වගකීම නොවේ. ඒ සඳහා ඔබතුමන්ටද ශක්තිය හා ධෛර්ය ලැබේවා යන්න මගේ පැතුමයි.

කෙසේ වෙතත් “ඔබතුමන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වූයේත් නෑ. ඉවත් කළේත් නෑ, ඒ නිසා මම තවමත් පක්ෂයේ නායකයා” යැයි කියූ බවක්ද අසන්නට ලැබුණි. වසර 40 කට වැඩි දේශපාලන ඉතිහාසයක් ඇති ඔබතුමන් එසේ පවසන්නේ නම් හෙට දවසේදී “මම ඡන්දෙකට ගියෙත් නෑ.මම පැරදුනෙත් නෑ. ඒ නිසා මම තවමත් ජනාධිපති” යැයි කීවොත් ඒ ගැනද පුදුම විය නොහැකිය. එවිට අපටද කියන්නට වෙන්නේ ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමාගේ ගමේ ධර්මදාස අයියා කියනවා මෙන් අහෝ දුකකි. ඉරකි, තිතකි කියා පමණි.

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *