කතරගම ගැටුමට මම ඉතා කැමතියි – බණ්ඩාර උඩුරාවණ

අගෝස්තු මස 22 වෙනිදා කතරගම දේවාලය වැඳ පුදා ගන්නට පැමිණි බැතිමතුනට සිදු වූයේ ඉතිහාසයේ කිසිදිනක කිසිදු බැතිමතකුට මුහුණ දීමට සිදු නොවූ අද්දැකීමකට මුහුණ දෙන්නටය. කෙටියෙන්ම කියන්නේ නම්, එදින, දුටු ගැමුණු යුගයෙන් පසුව පළමුවරට කතරගම දේවාලයේ අලුයම 4.30 ට පැවැත්වෙන සම්ප්‍රදායික දේව පූජාව පැවැත්වුනේ නැත.

ඉහත කී දිනය කතරගම දේවාලයට සුවිශේෂී දිනයක් වූයේ කරුණු දෙකක් නිසාය. පළමු කාරණය අඟහරුවාදා දිනය (අගෝස්තු 22 අඟහරුවාදාවකි) කතරගම දෙවියන්ගේ දිනය බවට මතයක් අනාදිමත් කාලයක පටන් පැවතීමයි. දෙවන කාරණය වූයේ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අවසන්වීමෙන් පසුව ඉදිරි වර්ෂය සඳහා කපුමහතුන් සහ රාජකාරිකරුවන්ට අතීත රජ දවස පටන් පැවත එන චාරිත්‍රයක් පරිදි ලබා දෙනු ලබන රුපියල් දෙකයි ශත අසූ දෙකක වැටුප් ලබා දී ඉන් පසුව වාර්ෂිකව කපුමහතුන් වෙත දේවාලයේ සේවය සඳහා මාස ලබා දීම එදිනට යෙදී තිබුණි. එදින තුණුඩු ඇද අදාළ කපුමහතුන්ට මාස ලබා දීමට නියමිතව තිබුණා මෙන්ම ප්‍රථම මාසය ලබා දීමට නියමිත තිබුණේ එදින දහවල් කාලයේය.

අලුයම 4.30 පූජාවට වෙනදා ඇසෙන හරෝ හරා හඬ ‍වෙනුවට එදා අසුණේ බැන වැදීම් සහ වෙනත් ඝෝෂාවන්ය. හේතුව යතුරු ප්‍රශ්නයකි. කපු මහතා අත තිබූ යතුර බස්නායක නිල‍මේ විසින් පැහැරගත් බව කියැවේ. ඉන් කුපිත වූ බැතිමතුන් ගේ බැතිය නැතිවී ‍ගොස් තිත්ත බසින් කපුවන්ටත් බස්නායක නිලමේටත් බැණ වදින්නට පටන් ගත්හ. ඇතැමකු දේවාලයේ ගසන්නට ගෙනා පොල් බස්නායක නිලමේගේ නිවෙස ඉදිරිපිට ගසා ඔහුට ශාප කළ බවද කියති. කුපිත වූ බැතිමතුන් විසින් බස්නායක නිලමේගේ නිවෙසේ ගේට්ටුවටද අලාභහානි සිදු කෙර තිබේ. දෙවියන්ටද කරකියා ගත හැකි දෙයක් නොවූ තැන ගැටුම නිරාකරණය වී ඇත්තේ පොලීසිය මැදිහත් වීමෙනි.

ගැටුමට හේතුව දේව භක්තිය නම් ඉවසන්න පුළුවන. ‍එහෙත් හේතුව  දේව භක්තිය නොව මුදල් තණ්හාව බව දේපාර්ශ්වයේ කියුම් කෙරුම් අනුව හොඳින් පැහැදිලි වේ.

සෝමපාල නම් කපු මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුණේ මෙසේය;

‘‘ඇත්තම කතාව මේකයි; දැනට ඉන්නෙ කපු මහත්තුරු පස්දෙනයි අපි පස් දෙනාට නිලමෙ මාස (05ක්) ලබා දීල තියෙනව. ඉතුරුවෙන මාස හතම (07) වෙන්දේසි කරනවා. එක කපුමතකුට මාස හයම එක දිගට දුන්නා. ‍මේ නිලමෙට ඕන සල්ලි විතරයි. අපට අයිති දේවල් බලහත්කාරයෙන් ගන්නවා. මේ වැඩි මාස 07 ඉන්න කපු මහත්වරු 05 දෙනා අතරෙ බෙදල දුන්න නම් ආයේ බස්නායක නිලමේ කෙනෙක් සල්ලි තණ්හාවෙන් කතරගමට එන්නෙ නැහැ’’

හේතුව පැහැදිලිය නිලමේ වරු කපුවන් ඇනකොටා ගන්නේ දෙවියන්ට පුද පූජා පවත්වන්නට නොව දේවාලයට එන බැතිමතුන් ගෙන් ලැබෙන පඬුරු බෙදාගන්නටය.

‘‘හම්බන්තොටින් පසුකර ලුනු ලේවාය

කතරගමට අප සතුටින් ආවාය

පෝළිමෙ සිටිද්දී අප ගෙන පූජාව

දාහේ කොළවලට මුල් තැන ලැබුණාය”

කතරගම දේවාලයේ ඇත්ත තත්ත්වය කලකට ඉහත නන්දා මාලනී ගැයුවේ එසේය. දැන් දායේ කොළ වලට මුල් තැන ලැබුණු කාලයත් අවසන්ය. පන්දායේ කොළත් පැමිණ තිබෙන නිසාය.

පසුගිය දිනවල දඹුල්ලේ විහාරස්ථානයේ භික්ෂූන්ද මහත් කලබලයක් ඇති කළේය. ඊට මුල් වූයේද මුදල් ප්‍රශ්නයකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසන පරිදි දඹුල්ල විහාරස්ථානයේ රුපියල් කෝටී හත්සියකට අධික මුදල් වංචාවක් සිදු වී තිබේ.

සල්ලි දෙවියන්ගෙ මල්ලි කියන්නෙ නිකමට නොවේ. කන්දෙ විහාරයේ මෑතක ඇති වූ කලයලය පිටුපස තිබුණේද පිං කැටයකි. එකල අපේ ගෙවල්වල දෙවියන්ට බාරයට ගැට ගැසුවේ තඹ සතයකි. දෙවියන්ට පඬුරු ඔප්පු කෙරුණේ ඒ තඹ සතයෙනි. දැන් කපුවකුට තඹ සතයක් දුන්නොත් සිදුවනු ඇත්තේ දේව භාෂාවෙන්ම කුණුහරුප අසාගන්නටය. යම් හෙයකින් දේවාල වෙනත් සිද්ධස්ථනවලට මුදල් පූජා කිරීම තහනම් ‍කළහොත් ඒවා බලාගන්නට ඔය කියන කපුවන් භික්ෂූන් කිසිවෙකු ඉතිරිවනු ඇතැයි සිතිය නොහැකිය.

කාල් මාක්ස් කීවේ හැම ධනස්කන්ධයක් පසු පසම අපරාධයක් තියෙනවාය කියාය. දැන් කියන්නට සිදුව අ‍ත්තේ හැම සිද්ධස්ථානයක් පසුපසම මහා මුදල් වංචාවවන් තියෙනවාය කියාය. මහනුවර දළදා මාලිගවට අයත් ඉඩමක් රුපියල් 92,870,000/- මුදලකට විකුණා මාලිගාවට ලැබී ඇත්තේ රුපියල් 730,000/- පමණකැයි කි‍යවෙන ගනුදෙනුවක් සම්බන්ධයෙන් දළදා මාලිගාවේ ඉහළම පැලැන්තියේ කෙනෙකුට නඩුවක් පැවරී ඇතැයි පැවසේ.

එකල මෙන් අද දේවස්ථානවල බස්නායක, දියවඩන වැනි නිලමේ තනතුරු ආවාට ගියාට ලබා ගන්නට පුළුවන්කමක් නැත. ඒවා සිදු වන්නේ දෙවියන්ගේවත් බැතිමතුන්ගේවත් දැමැත්ත අනුව නොව මුදලේත් දේශපාලයේත් නැතිනම් ඒ දෙකෙහිම බලය අනුව වන නිසාය. මේකී ස්ථානවල ඉහළ බාරකාරත්වය තෝරන ඡන්ද වල ඡන්ද දායකයන් වන්නේ අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුය. ඔවුන්ට අපේක්ෂකයන්ගෙන් ලැබෙන තුටුපඬුරු ලේහෙසි පහසු නැත. ඇතැම් විටෙක ඒවා තීරණය වන්නේ යානවාහන වලිනි. ඒ තරම් වටිනා තෑගි භෝග දීම හැමෝටම කළ නොහැකිය. එතරම් ලොකුවට වියදම් කර මේ තනතුරු ලබාගන්නේ ද නම්බුව සඳහා පමණක් නොවේ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේය යන්න පැරණි කියමනකි.

කතරගම දේවා‍ලයේ රණ්ඩුව පිටුපස සැඟවුණු අර්ථය පඬුරු මුදල් ප්‍රශ්නය වුවද ඉන් මතුවන සත්‍යයක් තිබේ. එකක් වන්නේ තමන්ගේ දේවාලයේ යතුර ආරක්ෂාකර ගැනීමට දෙවියන්ට හැකියාවක් නැති බවයි. තමන්ගේ යතුර අරාක්ෂාකර ගන්නට බැරි දෙවියන්ගෙන් ආරක්ෂාවක් පිහිටක් බලාපොරොත්තු වීම කොතරම් සාධාරණද යන්න බැතිමතුන් දැන්වත් කල්පනාකරන්නේ නම් යපතකි.

අනෙක් කරුණ වන්නේ දෙවියන් පාලනය කිරීමේ බලය මේ වන විට කපටි කට්ටඬියන් පිරිසක් අතට පත්ව ඇති බවයි. තමන්ගේ පින් පෙට්ටියේ මුදල් ගසාකන එවුනට දඬුවම් නොකරන දෙවියන්ගෙන් තවකකුට සාධාරණයක් පිහිටක් බලාපොරොත්තු විය හැකිද?

කතරගම ගැටුමට මා කැමති වන්නට හේතුව එයයි. මෙවැනි ගැටුම් වැඩි වැඩියෙන් ඇතිවන්නේ නම් මේවැනි ආයතන පිටුපස තිබෙන නොපෙනෙන ව්‍යාජය මිනිසුස් ඉදිරියේ නිරාවරණය වේ. දෙවියන්ගේ ගැටුම නිරාකරණය කිරීමට අවසානයේ මැදිහත්වන්නට සිදුවූයේ පොලීසියටය. ශ්‍රී ලංකාවේ තිබෙන ආයතන අතුරින් දූෂිතම ආයතනයක් වන්නේ පොලීසිය බවට පිළිගැනීමක් තිබේ. එවන් ආයතනයකින් තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට සිදුවන දේවාලය ඊටත් වඩා දූෂිතයැයි අපට පිළිගන්නට සිදු නොවන්නේ යැයි කිවහැකිවේද?

කතරගම දෙවියන්නේ ප්‍රශ්නය නිරාකරණය කළ පොලීසිය දෙවියන්ට වඩා බලවත් බවට සැකයක් නැත. එහෙයින් බැතිමත්‍තුනි මින් ඉදිරියට පොලීසියට බාරහාර වීම, පඬුරු බැඳීම, පොලීසිය ඉදිරියේ පොල් ගැසීම වුවද වරදක් නැත.

බණ්ඩාර උඩුරාවණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *