විජේදාස අහිංසකද? – අනුර සූරියබණ්ඩාර .

විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය දූරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය පසුගිය සති කිහිපයේ දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කතාබස් වලට මූලික වූ සංසිද්ධියකි. ඒ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කෙරුණේ, එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් කරනලද ඉල්ලීමකට අනුවය. ඒ සඳහා බලපාන චෝදනා දෙකක් ඔහුට එල්ලවී තිබුණි. ඉන් පළමුවැන්න කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳවැටෙන ආකාරයෙන් ක්‍රියා කිරීමයි. අනෙක අධිකරණ පද්ධතියේ අකාර්යක්ෂම තාවයි. කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වයට එරෙහිව යාම යනු තවත් අතෙකින් ආණ්ඩුවට එරෙහිව යාමක් වශයෙන් ද සැලකිය හැකිය.

අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව ජනමාධ්‍යයට අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකින් කොටසක් මෙසේය;

‘‘හම්බන්තොට පටන් ගත්තා. මත්තලට අනුමැතිය දුන්නා මේ ආකාරයට ජාතික සම්පත් විකුණාගෙන කන කැබිනට් මණ්ඩලයක සිටීම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කාරණයක් කියලයි මට හිතෙන්නේ” හම්බන්තොට පටන් ගැනීම, මත්තලට අනුමැතිය දීම වරදක් බව විජයදාස රාජපක්ෂ මහතා සිතන්නේ නම්, ඔහු කළ යුතුව තිබුණේ ඒ මොහොතේම ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීමය. එහෙත් ඔහු ඉල්ලා අසුවූයේ නැත. අවම වශයෙන් ඇමතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයෙන් නැඟුණු විරෝධය හමුවේවත් ඔහු ධූරය අත්හැර දැමුවේ නැත. අවසන් මොහොත දක්වාම ඔහු උත්සාහ කළේ කෙසේ හෝ අමාත්‍ය ධූරය ආරක්ෂා කර ගැනීමටය. ඒ අනුව ගත්කල ලැජ්ජාවට කරුණ අවසානය දක්වා රැඳීමට ගත් උත්සාහයය.

තමාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට එජාපයේ සගයන් උත්සාහ කරන බව වැටහුණු වහා විජේදාස රාජපක්ෂ මහතා රැකවරණය පතා දිවගියේ භික්ෂූන් වහන්සේ වෙතය. ඔහුට එරෙහිව ගෙන එන්නට සූදානම් වන විශ්වාසභංගය හෙළා දකිමින් අස්ගිරි පාර්ශවය නිවේදනයක් නිකුත් කරන්නට පවා පෙළඹුණේ ඔහුගේ ඒ හැසිරීම අනුවය.

අස්ගිරි පාර්ශ්වය යනු මෑත ඉතිහාසයේ යහපාලන පිළිවෙතට සාධාරණ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ පිරිසක් නොවන බවද අමහි දී අප මතකයේ තබා ගත යුතුය. ඒ සඳහා වන එක් නිදසුනක් වන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේලා දක්වන ප්‍රතිචාරයයි. හැසිරීම අනුව හා ප්‍රකාශ අනුව පෙනෙන්නේ උන්වහන්සේලා කැමැත්ත යහපාලනයට නොව රාජපක්ෂ පාලනයට බවයි. යහපාලනය එපා වී විජේදාස රාජපක්ෂ මහතා දිවයන්නේ ද එවන් පිරිසකගේ සරණ පතා වීම යහපාලනය අපේක්ෂාවෙන් ඒ මහතා කෙරෙහි කෙකෙරහි බලාපොරොත්තු තැබූ ජනතාවට කරන නිගාවකි.

අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පසුව ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශයේ තවත් කොටසක් මෙසේය;

‘‘එජාප ආණ්ඩුවේ 2002 – 2003 කාලයේ මේ රටේ බොහොමයක් සම්පත් විකුණා දැම්මා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එදා මිලියන 800 කට වෙත්තසිංහ මහතාට වික්කා. එදා මම ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහිල්ලා ලංගම බේරාගත්තා. නැත්නම් අද ලංගමයක් නැහැ. රුපියල් බිලියන 125ක් වත්කම් තිබුණු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බිලියන 6කට විකුණුවා. ඒ නිසා අපලෝ රෝහල අහිමි වුණා. මේවා ගැන කෝප් වාර්තාවලින් හෙළි වූ කරුණු ඒ වාර්තාවල නිර්දේශ අනුව මම ඒවා අධිකරණයට ගිහිල්ලා බේරා ගත්තා.

ඉහත ප්‍රකාශ වලින් විජේදාස රාජපක්ෂ මහතා උත්සාහ කරන්නේ, එජාප ආණ්ඩුව සම්පත් විකුණා දැමීමට විරුද්ධව කටයුතු කළ වීරයාගේ භූමිකාවට අවතීර්ණ වීමට බව පෙනේ. එහෙත් එහිදී ඔහුගේ වීරත්වයේ අඳුරු පදාසයක් ද අනාවරණය වන බව ඔහුට වැටහෙන්නේ නැත.

එක්සත් ජතික පක්ෂය සම්පත් විකුණා දමන පක්ෂයක් නම් තමා ඒ පක්ෂයට එක් වූයේ මන්ද යන ප්‍රශ්නයට ඔහු මෙතෙක් පිළිතුරු සපයා නැත. 2002 – 2003 සම්පත් විකුණූ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ආමාත්‍ය ධුරයක් බාර ගැනීමට හේතුව ඔහු ජනතාවට පැහැදිලි කළ යුතුය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිකම් බාර නොගත් බවටත්, රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම මාස 05කින් දමා ආ බවත් ඔහු කටමැත දොඩන බැවිනි. එක්සත් ජාතික පක්ෂය සිය ආර්ථික ප්‍රතිපත්තිය විජේදාස රාජපක්ෂ වෙනුවෙන් වෙනස් කරනු ඇතැයි සිතන්නට හේතුවක් නැති බැවින්, ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් වරදකි. එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමත්, එම පක්ෂ යටතේ ඇමතිකම් ලබා ගැනීමත් වරදකි.

පක්ෂ සාමාජිකයකු එහි ව්‍යවස්ථාවට ගරු කළ යුතුය. පක්ෂයේ ප්‍රතිපත්ති වලට එකඟව කටයුතු කළ යුතුය. එසේ නොවන විට අදාල පක්ෂය අදාළ සාමාජිකයා පක්ෂයෙන් බැහැර කිරීම ප්‍රජාතන්ත්‍රිකය. ආර්. ප්‍රේමදාස ජනාධිපති යුගයේ ලලිත් අතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරතන, චන්ද්‍ර ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි ඇතුළු පිරිසක් ඒ ආකාරයෙන් පක්ෂයෙන් ඉවත් කරන්නට යෙදිණ. මෙය ලියන මොහොතේ පොල්ගහවෙල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව ප්‍රවෘත්තිවලින් කියැවිණ. හේතුව එම පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව කටයුතු කිරීමය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනිකුත් පක්ෂ සම්බන්ධයෙන් ගත් කල ද එම පිළිවෙත පොදුය. රෝහණ විජේවීරගේ සමයේ පක්ෂයේ ලේකම්ව සිටි ලයනල් බෝපගේ ධුරයෙන් ඉවත් කිරීම නිදසුනකි.

පිළිගත් දේශපාලන පක්ෂයක සමාජිකයකු එම පක්ෂයේ ඡන්ද අපේක්ෂකයකු, මහජන නියෝජිතයකු බවට පත්වන්නේ එම පක්ෂයේ ව්‍යවස්ථාව, ප්‍රතිපත්ති පිළිගන්නා බැවිනි. රජයක අමාත්‍ය ධූරයක් බාර ගැනීම යනු එම රජයේ දර්ශනය වැඩසටහන් පිළිගනිමින් ඊට සහයෝගය දැක්වීමට බැඳී සිටින බවයි. පක්ෂයක හෝ රජයක හෝ දර්ශනය වැඩසටහන් පිළිගත නොහැකි සාමාජිකයකු හෝ ඇමතිවරයකු හෝ මන්ත්‍රීවරයකු වේ නම් ඔහු හෝ ඇය කළ යුත්තේ ඉල්ලා අස්වීමයි. 1987 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන ආ 13 වන ව්‍යවස්ථා සංසෝධනයට විරුද්ධව ගාමිණී ජයසූරිය සහ සිරිල් මැතිව් මහත්වරු ඉල්ලා අස්වීම උපුටා දැක්විය හැකිය. ඔවුන් ඒ මොහොතේ කළේ ගෞරවණීය දේශපාලනයක් බව කට පුරා කියන්නට පුළුවන.

ඇමතිවරයකු වශයෙන් විජේදාස රාජපක්ෂ මහතාට එල්ල වූ චෝදනාවන් වූයේ ඔහුගේ ධූර කාලයේ අධිකරණ ක්‍රියාවලිය අකාර්යක්ෂමතාවට පත් කරන්නට කටයුතු කළේය යන්නය. රජයේ වගකිවයුතු ඇමති වරයෙක් වශයෙන් විජේදාස රාජපක්ෂ මහතා සිය වගවීම නිසි පරිදි ඉටුකර නොමැති බව ඒ අනුව පැහැදිලිය.

ගිය ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ද හොරුනට දඬුවම් දීම ද ප්‍රමාද වී ඇතිබව කවුරුත් පිළිගන්නා කරුණකි. ඊට හේතුව මෙරට අධිකරණ ක්‍රියාවලියේ අඩුපාඩු බවද ඒ තරමටම සත්‍යයකි. අධිකරණ ක්‍රියාවලියේ අඩුපාඩු වෙත් නම් ඒවා සකස්කර අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් හා කාර්යක්ෂම කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යභාරයයි. විජේදාස රාජපක්ෂ මහතා ධුරය දැරූ කාලයේ දී එසේ සිදු වී නැත.

එහෙයින්, අධිකරණයේ ආකාරයක්ෂමතාව පිළිබඳ වගකීමෙන් මිදෙන්නට ඒ මහතාට හැකියාවක් නැත. එකී චොදනාවට පිළිතුරු වශයෙන් විජේදාස රාජපක්ෂ මහතා ජනමාධ්‍යට පවසා තිබුණේ මෙසේය,

‘‘ඉස්සර මැති ඇමතිවරන්ට තිබුණු චෝදනාව තමය අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළා කියල. මට තියෙන චෝදනාව අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකළා කියලයි” මෙය වනාහී කෑමට අවශ්‍ය වූ විට කබරගොයාත් තලගොයා කරගන කෑමේ ප්‍රකාශයකි. අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම එකකි. එකී ආයතනවල යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කිරීම තවත් එකකි. මහේස්ත්‍රාත් වරුනට හෝ නීතිපතිට හෝ බලපෑම් නොකළා යැයි විජේදාස රාජපක්ෂ මහතාට චෝදනා කර නැත. චොදනාව වන්නේ අධිකරණ පද්ධතියේ අකාරයක්ෂමතාව මගහැරවීමට කටයුතු නොකිරීමයි. අයතනයක කටයුතු ඇලීයාවට යාන්නට ඉඩහැර බලා හිඳීමට ඇමතිවරයකු අවශ්‍ය වන්නේ නැත.

මම අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් කරන්නේ නැතැයි කියමින් අධ්‍යාපන අමාත්‍යවරයා නිහඬව සිටියහොත් අධ්‍යාපනයට සිදු වනු ඇත්තේ කුමක්ද? මා ආරක්ෂක ආමාත්‍යාංශයට බලපෑම් කරන්නේ නැතැයි කියමින් ආරක්ෂක අමාත්‍යවරයා විජේදාස ප්‍රතිපත්තියට මාරු වුවහොත් රටේ ආරක්ෂාවට දෙවියන්ගෙම පිහිටය. ඒ අනුව කිව යුත්තේ තමන්ගේ නොහැකියාව හෝ කපටි සත්‍රය සඟවා ගැනීම සඳහා මේ වන විට විජේදාස රාජපක්ෂ මහතා ‘මිදි තිත්තයි’ ජාතියේ කතා කියමින් ඉන්නා බවයි. එහෙත් ඔහුගේ යථාස්වරූපය නොබෝ දිනකින් ජනතාවට දැකගත හැකි වනු ඇත.

අනුර සූරියබණ්ඩාර

.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *