අපොයි ඒ අම්මා – බණ්ඩාර උඩුරාවන

‘ද්‍රෝහියාගේ මව’ යනු මහා රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ කෙටි කතාවකි. ඉන් කියැවෙන්නේ ජන පීඩක ආක්‍රමණිකයකුගේ මව විසින් සිය පුත්‍රයා පිහියකින් ඇන ඝාතනය කර ජනතාව මුදා ගැනුණු ආකාරයය. එකී කෙටිකතාව මට සිහිපත් වන්නට හේතු වූයේ ‘ජාතියේ අම්මා’ යැයි එක්තරා පිරිසක් විසින් හඳුන්වා දෙන්නට යෙදුන කන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී කළ රංගනයයි. (දිනය ගෝස්තු 15 වෙනිදාය. ‘ජාතියේ මව, අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවට කැඳවා තිබුණේ, රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පැවැවෙන පරීක්ෂණය සඳහා ප්‍රකාශක් ලබා ගැනීමටය. එහිදී ඇයගෙන් පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කෙරුණේය. ඒ රතුකුරස සංවිධානයෙන් සමාජ සුබසාධන අමාත්‍යාශයට ලබා දුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්, සිරිලිය සවිය සංවිධානයට පවරාගෙන ඇගේ දෙවන පුතා වන යෝෂිත රාජපක්ෂ ගේ පාවිච්චියට ලබා දීම සම්බන්ධයෙනි.

තාජුදීන් ඝාතනය සඳහා ඉහත කී රථය පාවිච්චියට ගෙන ඇත්ද යන සැකයක් පවතී. තාජුන් ඝාතනයට සම්බම්ධ වූවද නොවූවද මෙම ඩිෆෙන්ඩ්ර්ය රතුකුරුස සංවිධානයෙන් සමාජ සුබ සාධන අමාත්‍යාංශයට ලබාදීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ‘එය මෙරට සමාජ සුභ සාධන කටයුතු සඳහා යොදවා ගනු ඇත’ යන්නය. සිරිලිය සවිය යනු රජයේ ආයතනයක් හෝ සමාජ සුභ සාධන අමාත්‍යාංශයට අයත් සංවිධානයක් නොවේ. සිරිලිය සවිය පවත්වාගෙන යනු ලබුණේ හිටපු ජනාජධිපති  මහින්ද රාජපක්ෂගේ බිරිය පිම්ඹීමේ ව්‍යාපෘතියක් වශයෙනි. සිරිලිය සවිය ඇගේ පෞද්ගලික ව්‍යාපාරයක් නම්, ඊට අවශ්‍ය වාහන ආදිය ද එම සංවිධානය විසින්ම සපයා ගත යුතුය. සමාජ සුබ සාධන අමාත්‍යාංශයේ ප්‍රයෝජනයට රතුකුරුස සංවිධානයෙන් ලබා දුන් ඩිෆෙන්ඩරය  සිරිලිය සවියට භාවිතයට ගත හැකි වන්නේ එහි ප්‍රධානියා ශිරන්ති රාජපක්ෂ වීම හේතුවෙනි. එතනදී පැහැදිලිවම ඇය සිය සැමියාවන ජනාධිපතිවරයා ගේ බලය ඒ සඳහා උපයෝගි කරගෙන ඇති බව පැහැදිලිය. එය නිශ්චිතවම බලය අයුතු ලෙස ප්‍රෙයෝජනයට ගැනීමකි.

රතු කුරුස සංවිධානය ලබා දුන් ඩිෆෙන්ඩරය අවභාවිතය පමණක් නොව සිරිලිය සවිය ගිණුම් පිළිබ‍ඳව ප්‍රශ්නයක් ශිරන්ති රාජපක්ෂට තිබේ. තතු දත් අයට එය ප්‍රශ්නයක් වී ඇත්තේ එකී සිරිලිය සවිය ගිණුම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇය මෙතෙක් අත්අඩංගුවට නොගැනුණේ මන්ද යන්නයි.

හොඳ අම්මා කෙනෙක් යනු දරුවන් යහමග යවන කාන්තාවකි. එවැනි අම්මා කෙනකුගේ දරුවන් අතින් සමාජයට යහපතක් මිස සමාජ විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නැත. පසුගිය සමයේ ශිරන්තිගේ දරුවන් හැසිරී ඇති ආකාරය පිළිබඳ කල්පනා කරන විට ඇය යහපත් මවක් ලෙස සිය දරුවන් හදාවඩා ඇද්ද යන සැකය කාහට වුවත් මතුවිය යුතුය.

රතු කුරුස සංවිධානයෙන් සමාජ සුබසාධන අමාත්‍යාංශයට ලබා දී පසුව සිරිලිය සවිය සංවිධානයේ භාවිතයට ගැනුණු ඩිෆෙන්ඩර් රථය සම්බන්ධ පරීක්ෂණය පිළිබඳ මහින්ද රාජපක්ෂ පුවත්පත් නිවේදනයකින් පිළිතුරු දී තිබුණේ මෙසේය.

‘‘මගේ බිරිඳගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්නය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබා දුන් ජීප්රථයක පාට වෙනස් කරනු ලැබුවේ මන්ද යන්නයි.

මහින්ද සිය නිවේදනයෙන් කියන්නේ රතු කුරුස සංවිධානය එකී ජීප් රථය සිරිලිය සවියට ලබා දුන් බවයි. එයම අමූලික බොරුවකි. රතු කුරුස සංවිධානය එම රථය ලබාදුන්නේ සමාජ සුබසාධන අමාත්‍යාංශයටයි. මේ ජීප් රථය භාවිතා කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩවලටය. මගේ බිරිඳ සී.අයි.ඩි.යට දැනුම් දුන්නේ ජනාධිපති කාර්යලය පරිහරණය කරන වාහන වල නඩත්තුව හෝ අලුත්වැඩියාව ගැන ඇය නොදන්නා බවයි.’’ රතු කුරුසය ජීප් රථය දුන්නේ සිරිලිය සවියට නම් එය ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩට යෙදවූයේ කුමන තර්කයක් මත පදනම්වද? වෙනත් සංවිධානවල වාහන පාවිච්චි කරන්නට තරම් අහේනියක් එකල ජනාධිපති කාර්යාලයට ති‍බුණේ යැයි අප විශ්වාස කළ යුතුද? ඒසේ කළේ යැයි සිතමු. එහෙත් එම රථයේ පාට ‍කීප වතාවක් වෙනස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයට තිබුණු රුදාව කුමක්ද?

මහින්දගේ නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ: මේ කාරණය ගැන මගේ පුත් යෝෂිතගෙන් ද පසගිය බදාදා සී.අයි.ඩි.ය ප්‍රකාශයක් ලබා ගත්තේය. ඔහුගෙන් අසා තිබුණේ ඔහු මේ වාහනයේ පාට වෙනස් කිරීමට කාට හෝ උපදෙස් දුන්නාද යන්නයි. මෙයට යෝෂිත දුන් පිළිතුර වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වායන නඩත්තු කරන්නේත්, අලුත්වැඩියා කරන්නේත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශය බවයි. මෙකී වාහන ඔහුගේ ආරක්ෂක භටයන් පාවිච්චි කළේද යන පැනයට ඔහු දුන් පිළිතුර වූයේ තම ආරක්ෂකයන්ට වාහන ලබා දෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශය මිස තමා නොවන බවයි. යෝෂිත පුතාගේ අහිංසක කම බලන්න, අදාළ වාහනය තමාගේ ආරක්ෂකයන් පාවිච්චි කළා ද නැද්ද යන්නවත් ඔහු දන්නේ නැත. මහින්ද රාජපක්ෂ කියන ආකාරයට යෝෂිතගෙන් සී.අයි.ඩි.ය විමසා ඇත්තේ,

  1. වාහන්යේ පාට වෙනස් කිරීමට යෝෂිත කිසිවකුට උපදෙස් දුන්නේද?
  2. යෝෂිතගේ ආරක්ෂක භටයන් ඉහත වාහන පාවිච්චිකළේද? යන ප්‍රශ්න දෙක නොවේද? ඒ ප්‍රශ්න දෙකටම ‘ඔව්’ හෝ ‘නැත’ කියා පිළිතුරු දිය හැකි ප්‍රශ්න දෙකකි. මහින්ද කියන ආකාරය අනුව යෝෂිත තනි වචනයෙන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දී නැත. ඒ වෙනුවට දී ඇත්තේ ජනාධිපති කාර්යාලයත් පටලවා වටේ යන උත්තරයකි. යෝෂිතගේ අම්මා එකී ප්‍රශ්නවලට දුන් බව කියන පිළිතුරුත් ඊට දෙවෙනි නැත. දෙන්නාම එක් වී ජනාධිපති ලේකම් කාර්යාලයට බෝලය පාස් කර තිබේ. ජාතියේ අම්මාත් ඒ අම්මාගේ පුතාත් දෙන්නාම තොත්ත බබාලා ය. අප්පා කළ දේ පුතා නොකළොත් නොට්ටිගේ පුතාය. අම්මා කළ දේ නොකරන පුතාත් නොට්ටිගේ පුතාම විය යුතුය. ඒ අනුව ගත් කල යෝෂිත පුතා අන් කවර ආකාරයක පුතෙක් වුවත් නොට්ටිගේ පුතෙක් නම් නොවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට (ස්වේච්චාවෙන් බස් කුලියටගෙන පැමිණ) ජාතියේ අම්මා අත් අඩගුවට ගන්න එපා යැයි තප්පුල පිරිස එසේ කරන්නට ඇත්තේ ශිරන්ති නොට්ටිගේ පුතෙක් ‍නොවන පුතෙක් හැදූ නිසා විය යුතුය. ඒ පුතා අප්පා කළ දේත් අම්මා කළ දේත් දෙන්නාටම වඩා හොඳන් කරන පුතෙකි.

 

දළදා මාළිගාව වටා සිය පුතුන් රේස් පදිනවිට ශිරන්ති විරුද්ධ නොවන්නට හේතුවද පුතුන් නොට්ටිගෙ පුතුන් වේය යන බිය නිසා වන්නට පුළුවන. නාමල් පුතා නී‍තියෙන් සහ සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව වෙනම කාමරයකට වී නීති උපාධියට ලියන විට ඇය ඊට විරුද්ධ නොවීමට හේතුව ද එය විය හැකිය. යෝෂිත පුතා හොර පාරේ නාවුක හමුදාවට බැඳී යුද්ධය අස්සේ කුමාර සැප විඳින විට ජාතියේ අම්මා නිහඬව සිටියේද තම පුතා නොට්ටිගේ පුතෙක් වේය යන බිය නිසා විය යුතුය.

පසුගිය සතියේ රත්නපුර නගරයේ පැවති රැස්වීමක් අමතමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේසේ ප්‍රකාශ ‍කළේය.

‘යෝෂිත රාජපක්ෂට, නාමල් රාජපක්ෂට, ශිරන්ති රාජපක්ෂට රට පුරා ඉඩම් 21ක විස්තර මා ළඟ තියෙනවා. පුළුවන්නම් නෑ කියන්න. එම ඉඩම්වල ඔප්පු කොපි, ගත්තු දිනය, ගත්තු ගාන මං ගාව තියෙනව. කොහෙන්ද මේ ධනය. දෙහිවල පැත්තේ තිබුණු ඉඩම් දෙකක් අරන් ඒකට එක් කරල ගෙයක් හැදුවා. ඒ ඔප්පුව තියෙන්නේ යෝෂිත රාජපක්ෂගේ නමට. ඔහුගෙන් සී.අයි.ඩී. එකෙන් මේ ගැන ඇහුවා. නාවික නිලධාරියෙක් විදිහට ඔබට ලැබෙන්න ඇත්තේ රුපියල් 75000ක විතර පඩියක්. ඒ නිසා කොහොමද දෙහිවලින් ඉඩමක් අරන් ගෙයක් හැදුවෙ කියලා. ඒකට යෝෂිත කිව්වෙ මට සල්ලි නැති එක්ක ඇත්ත. ආච්චි තමයි මට ගෙය හදලා දුන්නේ කියලා.’

රට පුරා ඉඩම් 21ක් ඇති අම්මලා පුතාලා සැලකිය යුත්තේ එක වල්ලේ පොල් වශයෙනි. ශිරන්තිගේ අඩි පාරේ නොගියා නම් පුතුන් මෙවැනි තත්ත්වයට පත් නොවනවාට සැක නැත. අපේ අම්මලා නම් අපට කීවේ, ‘‘පු‍තේ හොරකම් මැරකම් දූෂණ මිනීමැරුම් නොකර ඉඳපල්ලා’’ කියාය. අපේ අම්මලාට ජාතියේ මවුන් වීමට නොහැකි වූයේ ඔවුන් අපට එවැනි නරක උපදෙස් නොදුන් නිසාය. එහෙත් ජාතියේ අම්මා ශිරන්ති තම දරුවනට තාත්තාත් තමාත් බාප්පලාත් අච්චිලාත් දන්නා සියලු ශිල්ප අඩුපාඩුවකින් තොරව ප්‍රගුණ කරවා ඇති බව පැහැදිලිය.

බණ්ඩාර උඩුරාවන

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *