|

ඇමැති ගයන්තට කේක් ප්‍රශ්නයක්

* සජිත්ට උදව් කරන්න මංගල පොරොන්දු වෙයි
* පොඩි ඡන්දය පෙරට ගන්න ජවිපෙ සැරසේ
* මහින්ද නැවතත් වටේට සිග්නල් දමයි

අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් ප්‍රදේශයේ ශාසනික සේවාව හා සමාජ සේවය සඳහා කැප වූ හිමිනමක් ලෙස ප්‍රසිද්ධයි. මෙවර උන්වහන්සේ කර තිබුණේ අති විශේෂ කාර්යයක්. එනම් ප්‍රදේශයේ මුස්ලිම් විදුහලකට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට පෙරමුණ ගැනීමයි. තිහාරිය අල් අස්හර් මධ්‍ය මහා විද්‍යාලයේ මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලක්ෂ 300ක මුදලක් වියදම් කර තිබුණා. පසුගිය දා ජනාධිපතිවරයා අතින් එය විවෘත කෙරුණා. මුස්ලිම් විදුහලකට අතදීමට බෞද්ධ හිමිනමක් ඉදිරිපත්වීම බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා.

කෙසේ වෙතත් ආනන්ද ස්වාමින් වහන්සේ පැවසුවේ මෙයට විරුද්ධ වූ පිරිසක් තමන්ට නොයෙකුත් අපහාස උපහාස කළ බවයි. ජනාධිපතිතුමා තම කතාවේ දී කීවේ මෙබඳු ක්‍රියාවල දී එබඳු අපහාසවලට මුහුණදීමට සිදුවීම අද සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති බවයි. තමන් ඇතුළු රජයට එරෙහිව ගෙනයන බොරු ප්‍රචාර හා අපහාස පෙන්වාදෙමින් ජනාධිපතිතුමා කීවේ නව තාක්ෂණයද දැන් යොදාගන්නේ විනාශකාරී කටයුතුවලට බවයි. විශේෂයෙන්ම ෆේස්බුක් යොදා ගනිමින් කරන අපහාස හා චරිත ඝාතන ගැන ජනාධිපතිතුමා මතක් කළා. ඒ සමගම ජනාධිපතිතුමා මතක් කළේ මීට වසරකට පමණ පෙර මෙම ස්වාමීන් වහන්සේ මුල් වී ඌරාපොළ මහා විද්‍යාලයේ ඉදිකළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමටද තමා සහභාගී වූ බවයි.

මෙහි දී කතා කළ කථිකයන්ගෙන් ජනාධිපතිතුමාට තවත් කරුණක් හෙළිදරව් වුණා. එය නම් පළාත් සභාවේ ඇමැතිවරයෙක් වසර ගණනකට පෙර මුල් ගලක් තැබූ ඉදිකිරීමක් තවමත් ආරම්භකොට නැති බවයි. එමෙන්ම විද්‍යාලයට තාක්ෂණ විද්‍යාගාරයක අවශ්‍යතාවයද ප්‍රකාශ වුණා. ජනාධිපතිතුමා කීවේ වෙනත් අය මුල්ගල තැබූ ඉදිකිරීම් ඒ අය විසින්ම කළ යුතු බවයි. කෙසේ වෙතත් තාක්ෂණ විද්‍යාගාරයක් අලුතින් ඉදිකිරීමට ලක්ෂ විස්සක් වහාම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා කීවා. නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මන්ත්‍රි හර්ෂණ රාජකරුණා හා හිටපු ඇමැති ෆවුස් මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.

මහවැලි ව්‍යාපාර‍ය ආරම්භකොට මහජනයාට ඉඩම් ලබා දී දශක ගණනාවක් ගතව තිබුණද ගොවීන්ට ඔප්පු ලබාදීම දිගටම ගැටලුවක්ව තිබුණා. මෙම ප්‍රශ්නය විසැඳීමට ස්ථීර වැඩ පිළිවෙළක් ජනාධිපතිතුමා මැදිහත්වී දැන් යොදා තිබෙනවා. ඒ අනුව මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකට ජනාධිපතිතුමා පසුගියදා දිගන දී සහභාගි වුණා. එහි දී ජනාධිපතිතුමා කීවේ, තමන් මහවැලි ඇමැතිව සිටිය දී තමන්ගේ මෙන්ම අමාත්‍යාංශ ලේකම්ගේද කනින් රිංගා නිලධාරීන් නොයෙකුත් අයථා ක්‍රියාවල යෙදුණු බවයි. ගොවීන්ට නිසි ඔප්පුවක් නැතිවීමේ ප්‍රශ්නයට ‍හේතුව රජයේ නිලධාරීන්ගේ දූෂිත බව යැයි ජනාධිපතිතුමා කීවා. තමන් හැමෝටම ‍ චෝදනා නොකරන නමුත් පවතින ඇත්ත තත්ත්වය බොහෝ දෙනා දන්නා බව ජනාධිපතිතුමා පැවසුවා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද උත්සවයට සහභාගී වී සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ 82 වැනි වාර්ෂික මහා සභාව කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අඟහරුවාදා පවත්වනු ලැබුවා. එම අවස්ථාවට ජනාධිපතිතුමා එක්ව සිටියේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හා මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහත්වරුන්ද සමගයි. අප රටේ සෞඛ්‍ය සේවය ඉහළ මට්ටමක පැවතුණත් රෝග නිවාරණයට අවශ්‍ය අවධානය හා සම්පත් ලැබී නැති බව ජනාධිපතිතුමා එහිදී කීවා. එම අංශයට වැඩි අවධානයක් ලබාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පසුගිය සිකුරාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දවසම ගත කළේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක පැවැත්වුණු පොදු සේවා ගණනාවක් විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වෙමින්. එදින දවස පුරාවටම එම ප්‍රදේශයට වැසි ඇද හැලුණා. එදින වැඩසටහන් නවයකට අගමැතිවරයා සහභාගි වීමට නියමිතව තිබුණු අතර ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ වුවත් අගමැතිවරයා එම වැඩසටහන් සියල්ලටම නියමිත වෙලාවට එක් වුණා.

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් හානියට පත් වූ ප්‍රදේශවල සහන සේවා පිළිබඳ ප්‍රගති සමාලෝචන හා රාජ්‍ය නිලධාරීන්ගේ හමුවට සහ ආපදාවන්ට ලක්වූවන්ට වන්දි චෙක්පත් ලබා දීම, ඉඩම් බලපත්‍ර බෙදා දීම සහ පාසල් ළමයින්ට පාසල් උපකරණ කට්ටල ලබා දීම, ආපදාවට ලක් වූවන්ට සහනදායි පොලියට ණය මුදල් ලබා දීමේ සමාරම්භක උත්සවයට ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. කොටපොළ ‍මොරවක් කෝරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති ශා‍ලාවේ පැවැති මෙම උත්සවයේ දී තේ, රබර්, කුරුඳු, කිතුල් කර්මාන්ත දියුණු කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති මෙන්ම ඉදිරියේදි ‍ගන්නා පියවර සම්බන්ධයෙන් පැහැදිලි කළා.

ඉලුක්පිටිය ප්‍රදේශයේ නිවාස ‍ව්‍යාපෘථි යෝජනා ක්‍රමයට මුල්ගල තැබීම, අතුරලිය ප්‍රාදේශිය සභා පොදු වෙළෙඳපොළ විවෘත කිරීම, මාලිම්බඩ ප්‍රාදේශිය සභා කාර්යාලය විවෘත කිරිම, අමලගොඩ අකුරැස්ස ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම, අකුරැස්ස ප්‍රාදේශිය සභා කාර්යාලය විවෘත කිරිම, හදිසි ආපදාවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ජපානයෙන් ලබා දුන් ගිලන් රථය ජනතා අයිතියට පත් කිරීම සහ හුලංදාව වතු නිවාස ව්‍යාපෘථිය විවෘත කිරීමේ අවස්ථාවන්ට සහ එහිදි පැවැති කුඩා ජනහමුවලටද අගමැතිවරයා සහභාගි වුණා. ඉලුක්පිටිය ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමේ අවස්ථාවට වර්ෂාවද නොතකා ප්‍රදේශයේ ජනතාව පැමිණ සිටියේ අගමැතිවරයා දැක ගැනීමේ උනන්දුවෙන්. ජනතාව අසලට ගිය අගමැතිවරයා ඔවුන් සමඟ කථා බස් කළා. තිබ්බොටුවාව නගරයේ පැවැති ජනහමුවෙන් පසු අගමැතිවරයා නගරයේ වෙළෙඳ සලවල්වල ඇවිදිමින් එහි වෙළෙඳුන් සමඟ කතා බහ කළා. ඉස්සර මේ කඩ පේළියේ තිබුණේ බාබර් සාප්පුවක් විතරයි කියා අගමැතිවරයා එහිදි පැවසුවා.

අගමැති වික්‍රමසිංහ මහතා ඉරිදා ගත කළේ මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් සහ කාත්තන්කුඩිවලයි. කාත්තන්කුඩි සහ එරාවුර් නව නගර සභා ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවන්ට එක් වූ අගමැතිවරයා එරාවුර් නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැති ජනහමුවටද සහභාගි වුණා.

21 දා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී. එදින ඇල්පිටියේ පැවැති ඉඩම් ඔප්පු 4000ක් බෙදා දී‍මේ අවස්ථාවට සහභාගි වී පැමිණි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වන විට රාත්‍රී 7.30 පමණ වුණා. සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ජා වීමෙන් අනතුරුව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය කවරේදැයි පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් විමසුවා.

“විජයදාස ප්‍රකාශයක් කළාද” අගමැතිවරයා විමසුවා. නොමැති බව මන්ත්‍රීවරුන් පිළිවදන් දුන්නා. එහෙනම් අපි කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කරමු යැයි අගමැතිවරයා පැවසුවා. විජයදාස ඇමතිවරයාට සිය ප්‍රකාශය සම්බන්ධයෙන් නිවැරිදි කිරිමක් කිරීමට එදින (21) දක්වා කෘත්‍යාධිකාරී මණ්ඩලය කල් දී තිබුණා. අගමැතිවරයාගේ අදහසට සියල්ලන්ම එකඟ වුණා. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ලිඛිතව තීරණය දැනුම් දී අවසන් තීරණය ගන්නා බව අගමැතිවරයා සිය මන්ත්‍රී කණ්ඩායමට පැවසුවා. අගමැතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ තිරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර එම ඉල්ලීම අනුව විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව 23 වැනිදා ජනාධිපති කා‍ර්යාලය ඒ මහතාට දැනුම් දුන්නා.

පසුගිය සතිය පුරාම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් දැනුම් දී තිබුණේ වැඩ නිමවා ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කර ඇති නව උදා ගම්මාන රැසක් පිළිබඳ තොරතුරුයි. 37 වැනි උදා ගම්මානය වූ අනුරාධපුර නැ‍ඟෙනහිර නුවරගම් පළාත “ශ්‍රී විභූතිගම” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට පී. හැරිසන් ඇමැතිවරයා, චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිවරිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

සජිත් සිය කථාවේ දී සිහිපත් කළේ ගමෙන් බිහිවී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැවැන්ත දේශපාලන චරිත බවට පත් හොරොව්පතානේ – ඊ. එල්. බී. හුරුල්ලේ, අ’පුර නැ‍ඟෙනහිර – යසපාල හේරත්, අ’පුර බටහිර – චන්ද්‍ර බණ්ඩාර, කලාවැව – ඒ. එම්. එස්. අධිකාරී, කැකිරාවේ – ජී. ඩී. මහින්දසෝම, මිහින්තලේ – දයා වළගම්බාහු, මැදවච්චියේ ඩී. එම්. ආරියදාස වැනි ජනතා නායකයන් පිළිබඳවයි. “මේ දැවැන්ත චරිත 77 යුග පෙරළියට ලබා දුන්නේ මහා දායකත්වයක්.

මම ඉස්කෝලෙ යන කාලේ තාත්තත් එක්ක මෙහේ ආපු නිසා මේ හැමෝගෙම දස්කම්, විස්කම්, හපන්කම් මගේ ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. ඒ හැම දෙනාටම උපහාරය හා ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න මම මැළි වෙන්නේ නෑ” සජිත් චන්ද්‍රාණි හා හැරිසන් සමඟ කීවේ හැඟුම්බරවයි. සජිත් එසේ කීම චන්ද්‍රාණි සහ හැරිසන් දෙදෙනාගේ ද පැසසුමට හේතුවුණා. 38 වැනි උදාගම්මානය වන සූරියවැව, බැදිගංතොට “සොමිරිවිගම” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා මංගල සමරවීර අමාත්‍යවරයා වීම බොහෝ දෙනාගේ අවධානය යොමු වූ විශේෂ සිද්ධියක්. මංගල සහ සජිත් උත්සවයට පැමිණියේද මංගලගේම මෝටර් රථයෙන්. සමරු ඵලකය විවෘත කර සජිත් සමඟ නිවෙස්වලට යමින් ජනතාව සමඟ කතාබස් කළ මංගල කීවේ “ඔයාගෙ වැඩේ නම් නියමයි, මේකට මීට වැඩි ප්‍රචාරයක් දෙන්න ඕනෑ. මම අනිවාර්යයෙන්ම ලබන අය-වැයෙන් දැනට වඩා වැඩි සහයෝගයක් ඔයාට ලබා දෙන්නම්” කියායි.

සිකුරාදා කොටපොළ ප්‍රදේශයේ අගමැතිතුමාගේ සංචාරය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එක්ව සිටි අතර ඇමැති සාගල රත්නායක මහතා ද මේ සඳහා එක්ව සිටියා.අගමැති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් කිහිප දෙනකු ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් සියලු දෙනා ම දිවා ආහාරය ගත්තේ සාගල රත්නායක අමාත්‍යවරයාගේ නිවසේ දී යි.

අගමැතිතුමා එදින දෙණියායේ නවාතැන් ගත් අතර වජිර අබේවර්ධන අමාත්‍යවරයා පිරිසට සමුදෙමින් කොළඹ ඒමට කඩිනමින් පියවර ගත්තේ පසු දා කුරුණෑගල පඬුවස්නුවර පැවැති නිල මෙහෙවර ජනපති ජනතා සේවය තම අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් බැවින් එයට සහභාගී වීමේ අපේක්ෂාවෙන්.

නිල මෙහෙවර පැවැත්වෙන භූමියට හදිසියේ ම වැඩමකළ නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා විහාරයේ භාරකාර හිමි ගල්හැවිටියේ ප්‍රේමරතන හිමියෝ (කොළඹ ගෙදර පොඩි හාමුදුරුවෝ) ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මයට අත්ව ඇති ඉරණමත් ලුම්බිණියේ බුදුන් උපන් පුද බිමට අත්ව ඇති ඉරණමත් පිළිබඳ බෞද්ධයන්ගේ අවධානය යොමු වන කතාවක් කළා.

උන්වහන්සේ එහි දී බෞද්ධකම ඉදිරියට දමාගෙන වීරයන් වෙන්නට තැත් දරන ඇතැම් දේශපාලකයන් හා ඊනියා සංවිධාන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් නේපාලයට ඇමෙරිකන් ඩොලර් මිලියන පහක පරිත්‍යාගයක් කිරීම දැඩි සේ විවේචනය කරන බව සිහිපත් කළා.එසේ විවේචනය කරමින් කිඹුල් කඳුළු හෙළන ඔවුන් මෙහි ඇත්ත තත්ත්වය නොදන්නා බව ද මේ මුදල ලබා දී ඇත්තේ බුදුන් උපන් ලුබ්බිණි පුදබිම සංවර්ධනය කිරීමට බවත් කොළඹගෙදර පොඩි හාමුදුරුවෝ පැවසූවා.

පසුගිය සඳුදා දිනයේ ද යළි අගැමති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු ලකට ගියා.ඒ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඇල්පිටියේ සංවිධානය කර තිබූ ඉඩම් හිමිකම් පත්‍ර බෙදා දීමේ උත්සවයකට සහභාගී වීම සඳහායි.මෙදින ගයන්ත කරුණාතිලක මහතාගේ උපන්දිනය යෙදී තිබීම විශේෂත්වයක් වුණා.

අගමැතිතුමාත්, වජිර අබේවර්ධන ඇමතිවරයාත්, කොළඹින් එහි ගොස් සිටි අනෙකුත් මැති ඇමතිරු පිරිසත් ගයන්ත ඇමතිතුමාට සුබ පැතීමට අමතක කළේ නැහැ. ගයන්තගේ උපන්දිනය වෙනුවෙන් සකසා තිබූ කේක් ගෙඩිය කැපීම ද අගමැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. කෙක් කපද් දී විහිළුවක් කළ අගමැතිතුමා “දැන් ගයන්ත ඉස්සෙල්ලා කේක් කවන්නේ තලතාට ද චන්ද්‍රාණිට දැයි” ඇසුවේ කවුරුත් සිනහ ගන්වමින්. කෙසේ වෙතත් තලතා හා චන්ද්‍රාණි දෙදෙනා ගයන්තගේ කේක් රස බැලූ පසු අගමැතිවරයා කේක් රස බැලුවා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පසුගිය විසිතුන් වෙනිදා පස්වරුවේ දී කොළඹ දී පැවැත්වුණා. එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයෝ සහභාගි වී සිටියා.මෙහි දී රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුද පිළිබඳවත් ඉදිරි මැතිවරණය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් වුණා.

පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුවී තිබුණා.’ආණ්ඩුව කලින් කිව්වා පළාත්පාලන මැතිවරණය දෙසැම්බර් මාසේ සා/පෙළ විභාගයට කලින් තියලා අවසන් කරනවා කියලා. නමුත් දැන් ආණ්ඩුව අඩියක් පස්සට තියලා තියෙන්නේ. දෙසැම්බර් ඡන්දෙ ජනවාරිවලට කල්දාන්න යනවා. අවුරුදු ගාණක් කල්දාලා තවත් පස්සට ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ.

පනත සම්මත කරපු ගමන් ඡන්දය පවත්වන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න වෙනවා” අනුර දිසානායක කියා සිටියා.’ආණ්ඩුව දැන් අයවැයෙන් පස්සේ ඡන්දය පවත්වන උත්සාහයක ඉන්න බවයි පේන්න තියෙන්නේ. අයවැයෙන් සීනිබෝල ටිකක් දීලා ඡන්දය ගන්න.” බිමල් රත්නායක කියා සිටියා. කොහොමත් ආණ්ඩුව ඡන්දෙට බයයි. ඒ නිසයි මේ තරම් කාලයක් කල් දමමින් ආවේ. නමුත් තවදුරටත් ඒ වැඩේට ඉඩදෙන්න බැහැ.” ලාල්කාන්ත කියා සිටියා.

ආණ්ඩුව සිදුකරන රටට අවාසි තවත් ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව තමන්ට ලැබුණු තොරතුරක් සුනිල් හඳුන්නෙත්ති ජවිපෙ නායකයින්ගේ අවධානයට යොමු කළා. “පහුගිය රාජපක්ෂ ආණ්ඩුව මරදානේ සෙන්ට්‍රල් සිනමා එකට අයිති ඉඩමක් විකුණන්න ඇස්තමේන්තු කරලා තිබුණා.

2014 දී ඉන්දියාවට දෙන්න තමයි සියලූම ගිවිසුම් සූදානම් කරලා තිබුණේ. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක නැවතුණා. නමුත් දැන් ඒ ඉඩම අවුරුදු 3කට කලින් කළ ඇස්තමේන්තුවටම චීනෙට දෙන්න දැන් ගිවිසුම් අත්සන් කරලා කියලා ආරංචියි.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති මුල් කාලයේ කී කතාවක් නම් එය හැම අතටම සිග්නල් දැමූ ආණ්ඩුවක් වගේ කියාය. මෑතක දී මහින්ද රාජපක්ෂ මහතා කී කතාවකින් ද ප්‍රකාශ වූයේ එබඳුම තත්ත්වයක්. ඒ මහතා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරින් තමා ඉල්ලා අස් නොවූ බව හා කිසිවකු විසින් තමාව අස්නොකරන ලද බවයි. ඒ කියන්නේ රාජපක්ෂ මහතා තවමත් ශ්‍රීලනිප සභාපති බව පැහැදිලියි. ඒ මහතා ‍එසේ කියන අතර බැසිල් රාජපක්ෂ මහතා සහ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රට වටා යමින් මහින්ද රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් රැස්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ ගොඩනඟමින් සිටිනවා. තවමත් මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ සාමාජිකත්වය ගෙන නැතත් එය හඳුන්වන්නේ මහින්දගේ පක්ෂය වශයෙන් නැතහොත් පොහොට්ටු පක්ෂය කියායි.

පොහොට්ටු පක්ෂය ඇතුළේ පවතින මත ගැටුම් ද මේ වනවිට ප්‍රකාශයට පත්වෙමින් තිබෙනවා. පසුගිය දිනවල මහින්දවාදීන් කීවේ ආණ්ඩුවෙන් පිරිසක් රැගෙන ළඟදීම ආණ්ඩුවක් පිහිටුවන බවයි. මහින්ද රාජපක්ෂ මහතා කීවේ තව වෙසක් පෝය දෙකකින් ආණ්ඩු පිහිටුවන බවයි. කුමාර වෙල්ගම මහතා මෑතක දී කීවේ ඉක්මනින්ම ආණ්ඩුවක් පිහිටුවන බවයි. එසේ තිබිය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බද්දේගම සංවිධානය පිහිටුවීමේ රැස්වීමේ දී පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කීවේ වෙනත් කතාවක්. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩු හදන්නට සූදානමක් නැති බවයි. මෙය දැන් එම පක්ෂයටම අවුලක් වෙලා.

බැසිල් රාජපක්ෂ මහතාගේ හිතුවක්කාර ක්‍රියා කලාපය නිසා ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම් උග්‍රවී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන සංවිධායකයින් හා මන්ත්‍රීවරුන් සිටින ආයතනවලට ගොස් බැසිල් රාජපක්ෂ මහතා වෙනත් උදවිය සංවිධායකයන් ලෙස පත්කිරීම ගැන විරෝධයක් මතුවී තිබෙනවා. මෙම ක්‍රියාවලිය නිසා මහින්ද පිලේ දෙදැරීමක් සිදුවන බවත් වාර්තා වුණා. මෙතෙක් එයට සහය දුන් මන්ත්‍රීවරුන් හත් අටදෙනකු ළඟදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එකතුවන බව වාර්තා වුණා.

උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා මෙතෙක් ක්‍රියා කළේ ඒකාබද්ධ විපක්ෂය සමඟයි. ඒ මහතා පසුගිය අඟහරුවාදා ජනාධිපතිතුමා හමුවී එතුමාට සහය ප්‍රකාශ කළා.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *