යාචක කුලයේ සොල්දාදු උන්නැහේලා – අනුර සූරියබණ්ඩාර

පසුගිය දිනෙක රාත්‍රියේ මිතුරෙකු සහ මා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් යන කල ආබාධිතයන් පිරිසක් දුම්රිය පොළෙහිත් අවටත් නිදාසිටින ආකාරය දක්නට ලැබුණි. ඔවුන් කවුරුන්ද යන වගසොයා බැලූ විට දැනගන්නට ලැබුණේ, ආබාධිත සොල්දාදුවන් බවයි.

2009 මැයි මාසයෙන් අවසන් වූ 30 අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් හමුදා සෙබළුන් 25000ක් පමණ මියගිය අතර හමුදා සිවිල් කාර්ය මණ්ඩලයේ 123ක් මියගිය බව පැවසේ. එසේම හමුදා සෙබළුන් 82237ක් සහ සිවිල් කාර්ය මන්ඩලයේ 38ක් ආබාධිත තත්ත්වයට පත්වූහ. යුද හමුදාවේ 3425ක් අතුරුදන්ව සිටිති. මීට අමතරව නාවුක තුවන් හමුදාවන්හිද මියගිය අබාධිත වූ අතුරුදන් පිරිස් සිටිති.

සාමාන්‍යයෙන් රජයේ විශ්‍රාමික වයස් සීමා වන්නේ වයස අවුරුදු 55 වුවද හමුදා සොල්දාදුවනට වසර 22ක සේවා කාලය සම්පූර්ණ කල පසුව විශ්‍රාම හිමිකම් ලබාගැනිමට පහසුකම් සලසා තිබේ.  කොමිෂලත් නිලධාරීන්ගේ විශ්‍රාම වයස වන්නේ වයස අවුරුදු 55 පිරුණු පසුව වුවද ඔවුනටද අවශ්‍ය නම් අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කළ පසුව විශ්‍රාම ගැනීමට අවසර තිබේ. එසේ විශ්‍රාම ගත් විට ඔවුන්ට වයස අවුරුදු 55 සම්පූර්ණ වන තුරු විශ්‍රාම වැටුපෙන් 50% ගෙවනු ලබන අතර වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට සම්පූර්ණ විශ්‍රාම වැටුපට හිමිකම ලැබේ.

ඊට අමතරව කෙනෙකුට අවශ්‍ය නම් සේවාකාලය අවුරුදු 12 සම්පූර්ණ කළ පසුව ස්ව කැමැත්තෙන් හමුදා සේවයෙන් ඉවත්විය හැකිය. එවිට ඔවුනට විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන්නේ නැත. තවද, ආබාධිත සෙබළුන්ට තම ආබාධයේ තරම අනුව වෛද්‍ය මණ්ඩලයක තීරණය මත විශ්‍රාම ගැනීමේ හැකියාවද පවතී. එවිට ඔවුනට විශ්‍රාම වැටුපෙන් යම් ප්‍රතිශතයක් හෝ ආබාධයේ තත්ත්වය අනුව ඉතිරිව ඇති සේවා කාලයට වැටුප් සහ විශ්‍රාම වැටුප සේවා කාලය එනම් අවුරැදු 22 සම්පූර්ණ වන තුරුද අවුරුදු 22 සම්පූර්ණ වූ පසුව විශ්‍රාම වැටුප ද ලබාගැනීමට හැකියාව පවතී.

මේ වන විට හමුදා සේවයේ වැටුප් තලය වෙනත් රැකියාවනට සහ බඳවා ගැනීමේ දී සලකා බැලෙන අධ්‍යාපන සුදුසුකම්වලට සාපේක්ෂව ඉහළ අගයක පවතී. නිදසුනක් ලෙස පසුගිය සමයේ උපාධිධාරින් සංවර්ධන සහකාර ආදි තනතුරුවලට බඳවා ගැනුණේ රැපියල් 10000ක් වැනි මූලික වැටුපකටය.

දරුවන්ට පාසලක් ලැබාදීමේදී විශේෂ සැලකිල්ලක් හිමි වීම ආදි වෙනත් වාසිද හමුදා සෙබළුනට හිමිය. හමුදා සෙබළුන්ගේ දරුවන් සඳහාම වෙන්වූ පාසලක්ද ආරම්භකර තිබේ. රෝහල් හා වෛද්‍ය පහසුකම් ආදියද ඔවුනට හා ඔවුන්ගේ පවුලේ අයට හිමිය. ඒවා වෙනත් රැකියාවනට නොලැබෙන පහසුකම් ‍සේ ගැනිය හැකිය.‍ සොල්දාදුවෙකු ආබාධිත වූවාය කියා කිසිවිටෙකත් රැකියාවෙන් ඉවත් කිරීමක් සිදු වන්නේ නැත. ඒ වෙනුවට මනා සුබසාධන වැඩ පිලිවෙළක හිමිකම් ලැබීමට ඔවුනට හැකියාව තිබේ. ආබාධිත හමුදා සෙබළුන් උදෙසාම ක්‍රියාත්මක වන රණවිරු සෙවණ වැනි ආයතන ඊට නිදසුනකි. වෙනත් රැකියාවක් කරන අතරතුර ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රැකියාව සුරක්ෂිතව තිබුණා වුව කෘතිම අත් පා වැනි අසශ්‍යතා වෙතොත් තමන්ගේ වියදමෙන් ඒවා ලබාගන්නට අදාළ තැනැත්තාට සිදුවේ. එහෙත් හමුදා සේවයේදී ආබාධිත තත්ත්වයට පත්වන්නන්ට අවශ්‍ය කෘතිම අත් පා ආදිය හමුදාව විසින්ම සපයා දෙනු ලැබේ. ඒවා ද සාමාන්‍ය බාල උපකරණ නොව ඉහළම තාක්ෂණික ප්‍රමිතියෙන් හා මිල අධික අංගොපාංගයන් ය. එකී අත් පා ආදිය සාදාගැනීම භාවිතයට හුරුවීමට අභ්‍යාස කිරීම් ආදිය සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රවාහන පහසුකම් ආදියද සැපයෙනුයේ හමුදාව විසින්ම බව මතක් කළ යුතුය.

අබාධිත හමුදා සෙබළුන් පිරිසක් විශ්‍රාම වැටුප් ඉල්ලා කෘතිම අත් පා ප්‍රදර්ශනය කරමින් මහමඟ දිගාවී යාචකයන් සේ හැසිරීම වටහාගත නොහැකි කරුණක් බවට පත් වන්නේ මෙකී තත්ත්වය තුළය. ආබාධිතයන් වුවද ඔවුන් හමුදා සේවයේ අවුරුදු 22ක සේවා කාලය සම්පූර්ණ කළේ නම් විශ්‍රාම වැටුප් සහිතව සාඩම්බර ජීවිතයක් ගත කිරීමේ හැකියාව නොලැබී යාමට හේතුවක් නැත.

ආබාධ සහිතවත් හමුදා සේවය අතහැර නොගොස් අවුරුදු 22ක සේවාකාලය සම්පූර්ණ කළ සොල්දාදුවන් සමාජයේ කොතෙකුත් සිටිති. සිය ආබාධිත තත්ත්වය තිබියදීම ඔවුන් අතුරින් සමහරෙක් රණවිරු අපරල් ආයතන වලට සිය සේවය ලබා දුන්හ. ආබාධිත නොවූ සොල්දාදුවනට ඔවුන්ගේ සංග්‍රාම කටයුතු දිගටම කරගෙන යාමට ආබාධිත සැබෑ සොල්දාදුවන් සිය දායකත්වය ලබාදුන්නේ ඒ ආකාරයෙනි. සැබෑ වීරයන් වන්නේද ආබාධිතබව දඩ මීමා කරගෙන හමුදා සේවයෙන් පලා නොගිය එවැනි සොල්දාදුවන්ය.

පාරේ නිදාගෙන විශ්‍රාම වැටුප් ඉල්ලන පිරිස හඳුනාගත යුත්තේ සැබෑ සෙබළුන් හෝ සොල්දාදුවන් වශයෙන් නොව සෙබළ හිඟන්නන්, සොල්දාදු යාචකයන් පිරිසක් වශයෙනි. හමුදා සේවයේ වසර 22 සම්පූර්ණ කළේ නම් ඔවුනට පාරේ නිදාගන්නට අවශ්‍යවන්නේ නැත. ඒ අනුව ඔවුන් නැලකිය යුත්තේ සහෝදර සෙබළුන් සටන් වදිද්දී යුද්ධය අතහැර ගිය බියගුල්ලන් පිරිසක් වශයෙන් හෝ කම්මැලියන් පිරිසක් වශයෙනි. එවැනි පිරිසකට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම ආබාධිත තත්ත්වය දරා ගනිමින් හමුදා සේවයේ වසර 22ක් හෝ ඊටත් වැඩි කාලයක් ගත කළ සැබෑ සොල්දාදුවන්ට කරන බලවත් ආසාධාරණයකි. අතර මැදදී සේවයෙන් ඉවත් වූවනට විශ්‍රාම වැටුපක් ගෙවන්නේ නම් සේවය මුළුමනින්ම සම්පූර්ණ කළ අයට විශ්‍රාම වැටුප් දෙකක් ගෙවිය යුතුය.

අතක් හෝ පයක් අහිමී වීම යනු විශ්‍රාම වැටුප් ඉල්ලා හිඟන්නන් සේ හැසිරීමට හේතුවක් නොවේ. ආබාධිත වුවද රැකියාවන් හි නියැලි ජීවනෝපාය සලසා ගන්නා පිරිස් සමාජයේ කොතෙකුත් සිටිති. එසේ රැකියාව කරන්නට නොහැකි අය සොල්දාදුවා යන නමටත් කැළලකි. අනෙක එසේ පාරේ දිගාවූ පිරිස වයස් ගත අයද නොවේ. ශරීර ශක්තිය ඇති ජීවිත‍යේ හොඳම වයස්වල පසු වන්නන්ය.

බිම් බෝම්බ, හමුදා මෙන්ම ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ සමාන්‍ය ජනතාව සමාජයේ කොතෙකුත් සිටිති. යුද්ධයට නොගියද ඔවුන්ද යුද්ධයේ වින්දිතයෝය. හමුදා සොල්දාදුවා සේවයට බැ‍ඳෙන්නේ  යුද්ධයේ අවධානමට මුහුණ දීමට සිදුවන බව දැනගෙනය. සිවිල් වැසියන් යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වන්නේ අනපේක්ෂිතවය. එවන් තත්ත්වයක් තුළ පවා ආණ්ඩුවෙන් හිඟමන් ඉල්ලන්නේ නැතිව ගොවිතැන් වැනි අසීරු රැකියාවල නියැලෙන ආබාධිත ගැහැනු පිරිමි යුද්ධය බලපෑ ප්‍රදේශ වලදී හමුවෙති. ඔවුනට සාපේක්ෂව ගත්කල විශ්‍රාම වැටුප් ඉල්ලා පාරේ නිදියන යුද්ධයෙන් පලාගිය සෙබළුන්ට අනුකම්පා කරනු හැර අන් කළ හැකි යමක් නැත.

ඊළඟ කාරනය ඔවුනට විශ්‍රාම වැටුප් මතක් වී ඇත්තේ යුද්ධය අවසන් වී අවුරැදු 8ක් ගත වූ පසුව වීමය. රණවිරුවන් ගැන අද කිඹුල් කඳුළු හෙළන අප්පොචිගේ කාලයේ ඔවුනට විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් තිබුණු බවක් අපට මතක නැත. තිබුණා වුවද මෙසේ උද්ඝෝෂණ කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ අනුව ගත් කල ඔවුන්ගේ සටන පරාජිතයන් බලයට පත් කිරීමේ සටනක කොටසක් වශයෙන් තේරුම් ගැනීම අසාධාරණ නැත.

හේතුව කුමක් වුවද එවන් පිරිසකට විශාම වැටප් ගෙවීමට සාමාන්‍ය ජනතාව විරුද්ධ විය යුතුය. අවසාන වශයෙන් ඒ සඳහා වන බදු බර පැටවෙන්නේ සාමාන්‍ය ජනතව මත බැවිනි. ‍අනෙක් අතට විශ්‍රාම වැටුපට හිමිකම් ලැබෙනතුරු සේවයේ යෙදීමට බාධාවක් ඔවුනට තිබුණු බවක් නොපෙනෙන බැවිනි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *