යහපාලන අරගලය – සී ජේ අමරතුංග

දෙන දෙය්යෝ ගෙට ගෙනැවිත් දෙනවා කියා කතාවක් ඇත. මේ දවස්වල මැතිවරණ වේදිකාවල දක්නට ඇත්තේ ජනතාවට නොයෙකුත් දේ ගෙදරට ගෙනැවිත් දීමට තිබෙන තරගයකි. පැරැුණි ගීතයක තිබෙන්නේ දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා. අපටත් දවසක හඳ පායනවා කියාය. එසේ නම් මෙම මැතිවරණය කුමන පක්ෂය ජය ගත්තද ජනතාවට හඳ පායන්නට නියමිතය. මතුපිට කතාව එහෙම වුවද එය සිදුවීමේ කිසිදු සහතිකයක් නැති බව කවුරුත් දන්නා කාරණයකි. එසේ වුවද ජනතාවට අද තීරණය කිරීමට සිදුව තිබෙන්නේ වඩාත් හොඳ අනාගතයක් සඳහා ගතයුතු තීන්දුව කුමක්ද? කියාය.එහිදී මෙම පක්‍ෂවල කතාවට වඩා කෙරුවාව ගැන සිතන්නට සිදුව තිබේ.

දැන් කාලයක් තිස්සේම මෙරට දේශපාලනය පවතින්නේ මහජනයා රැවටීමක් වන තත්ත්වයකය. එය කවුරුත් දන්නා කාරණාවක් වුවද එහි වෙනසක් කිරීමද පහසු කටයුත්තක් නොවන බව පෙනෙන්නට ඇත. එසේ වුවද රැුවටිලිකාර දේශපාලනඥයන්ගේ පොරොන්දු නොතකා මහජනයා වෙනත් ගමනක් යන්නට පටන්ගෙන ඇති බවත්, බොහෝ දේශපාලන පක්‍ෂ අඩු වැඩි වශයෙන් එම ගමනට දායක වෙමින් සිටින බවත් මෑතකාලයේ දකින්නට තිබෙන තත්ත්වයයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් එතැන් සිට මෙම මහ මැතිවරණය දක්වාත් සිදුවීම් වලින් පෙනී යන්නේ එම කාරණයයි.

මෙරට දේශපාලනයේ යහපත් ප‍්‍රවනතාවයක් සිදුවෙමින් පවතින බවට හොඳම උදාහරණයක් බවට පත්වී ඇත්තේ මෙම මහ මැතිවරණය පැවැත්වෙන ආකාරයයි. මෑත කාලයේ අපට දකින්නට ලැබී ඇත්තේ ඡුන්ද නීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත් හා මැර බලයද උපරිම ලෙස යොදාගනිමින් සිදුකළ ජන මතය කොල්ල කෑමේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයයි. ආණ්ඩුවේ බලය යොදා විපක්ෂය තලා දමා මැතිවරණ ජය ගැනීම එම සියලූ මැතිවරණයන්හි ලක්‍ෂණයවී තිබිණි. එසේ වුවද ජනතාව නැගී සිට එම මැතිවරණ කොල්ල පරාජය කරන්නට සමත්විය. ඉන්පසුව දැන් මේ රටේ බොහෝ දුරට සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වෙමින් තිබේ.

අමුතු චන්දයක්

ඡන්ද අපේක්ෂකයන්ගේ විශාල කටවුට් වලින් මහ මාර්ග වැසී තිබෙනු දැන් දක්නට නැත. පෝස්ටර් යුද්ධ නැවතිලාය. තරමක් තිබෙන්නේ නගරයෙන් පිටතය. කන් පැලෙන ශබ්ද දමාගෙන රැුස්වීම් පැවැත්වීමද සීමාවී ඇත. පෙළපාලි හා රථ පෙරහැරද නැත. ඒවා කරන්නට ගිය ආණ්ඩුවේත්, විපක්ෂයේත් අපේක්ෂකයන්ට උසාවියට බඩගාන්නට සිදුවිය. නීතිය සාධාරණව ඉටුවන බව පෙනෙන්නට තිබිණි.
දන්සල් හා භාණ්ඩ බෙදීම් නැත. එනම් ඡුන්දය සඳහා අල්ලස් දීම නැවතිලාය. එහි ප‍්‍රතිඵලය නම් සල්ලිකාර අපේක්‍ෂකයන්ට අසරණ ජනයාට අල්ලස් දී ඡුන්ද ලබාගැනීමේ ඉඩකඩ අසුරා තිබීමයි.

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා විශාල ලෙස අඩුවී ඇති බවද පෙනෙන්නට තිබේ. එමෙන්ම එබඳු ගැටුම් ඇතිවූ අවස්තාවල පක්‍ෂ පාට නොබලා නීතිය ක‍්‍රියාත්මක වන බවද පෙනෙන්නට තිබේ. එයද මීට පෙර නොතිබූ තත්ත්වයකි.

මෙම මැතිවරණයේ තවත් කැපී පෙනෙන ලක්‍ෂණයක් වී ඇත්තේ වෙනදා ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට වැඩි වශයෙන් ප‍්‍රහාර එල්ල වුවද මෙවර එය අනෙක් අතට සිදුවන බවයි. වැඩි වශයෙන් ප‍්‍රහාර එල්ලවී ඇත්තේ ආණ්ඩු පක්‍ෂයටයි. ප‍්‍රහාරයේ යෙදී සිටින්නේ විපක්ෂයයි.
ඇතැම් විට මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ ආණ්ඩුව තවමත් සුළුතරයක් වීම හා විපක්ෂයේ මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි වීමත් විය හැකිය. එමෙන්ම ජනාධිපතිවරයා එම පක්ෂයේ නිසා තමන් තවමත් බලයේ සිටිනවා කියා සිතනවාද විය හැකිය. පළාත් සභා මට්ටමේ බලය හිමිකර ගෙන තිබීමද එම මානසිකත්වයට හේතුවක් වන බවද සිතිය හැකිය. ඒ සියල්ලටමත් වඩා එම පක්‍ෂය තවමත් තම දේශපාලනය වෙනස් කරගන්නට හා යහපාලන සංස්කෘතියකට හුරුවන්නට මතවාදී වශයෙන් සූදානම් නැති වීම මෙම තත්ත්වයට බලපෑ හැකිය. එයින් පෙනෙන්නේ විපක්‍ෂය තවමත් රටේ ඉදිරි ගමනට ගවු ගණනක් පිටුපසින් සිටින බවයි.

ජනවාරි අට විප්ලවය

ජනවාරි අටවනදා මෙරට මහජනයා සාමකාමී විප්ලවයක් කළෝය. හිතුවක්කාර ඒකාධිපති පවුල් පාලනයක් පෙරළා දමා පොදුවේ මහජනයා නියෝජනය කරන පාලනයක් ගොඩ නැගුවෝය. එයින් මුදුන්පත් කරගැනීමට ක‍්‍රියා කෙළේ පොදු මහජන අභිලාෂයන්ය. එයට සමස්ත ජනතාවගේ සහභාගීත්වය සංඛේතවත් වූයේ ආණ්ඩුවට ඉහළින් සිට තීරණගත් ජාතික විධායක සභාව මගිනි.
කෙසේ වෙතත් මෙම මැතිවරණය වනවිට පෙනෙන්නට තිබෙන පිංතූරය තරමක් වෙනස්ය. ජනවාරි 8 වැනිදා පරාජය කෙරුණු බලවේගය නැවත වතාවක් බලය අත්පත් කර ගන්නට උත්සාහ දරමින් සිටිති. ඔවුන්ට තිබෙන ප‍්‍රධාන වාසිය නම් ජනවාරි අට පෙරළියට දායක වූ බලවේග මේ වනවිට වෙන් වෙන්ව තරග බිමට පැමිණ සිටීමයි. ඒ නිසාම යළි තමන්ට බලයට ඒමට අවස්ථාවක් ඇත්දැයි උරගා බලන්නට ඔවුහු කරළියට පැමිණ සිටිති.

අංකගණිත දේශපාලනය

සමහරු ගණන් බලන්නේ ජනවාරි අටවැනිදා ප‍්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡුන්ද ප‍්‍රමාණ මේ මැතිවරණයේදීත් එලෙසම වැටෙනු ඇතැයි අපේක්ෂාවෙනි. එදා මෙදා තුර ඇතිවී තිබෙන වෙනස මෙන්ම මැතිවරණය පවත්වන ආකාරයේ වෙනසද ඔවුන්ගේ ගණන් බැලීම් තුළ නැත. එදා උපරිම ලෙස රාජ්‍ය බලය රාජ්‍ය සම්පත් රාජ්‍ය මාධ්‍යය යොදාගත් මැතිවරණයකදී ලබාගත් ඡුන්ද මෙම මැතිවරණයේත් එලෙසම ලබා ගත හැකි යැයි එලෙස ගණන් බලන්නෝ ප‍්‍රකාශ කරති.

එවිට ගණන් හැදෙන්නේ මෙලෙසය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට නැවත වතාවක් ලක්‍ෂ පනස් අටක ඡුන්ද ගෙඩියක් ලැබිය යුතුය. ඊට අමතරව මෛත‍්‍රිපාල සිරිසේන මහතාට වැටුණු ඡුන්ද ප‍්‍රමාණයත් ආපසු ලැබිය යුතුය. එය එසේම සිදුවන්නේ නම් සන්ධානය ගොඩය.
අනෙක් අතට හංසයාට එදා වැටුණු ඡුන්ද බෙදී යාමට නියමිතය. දෙමළ ජාතික සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡුන්ද ගැලවී යා යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ ඡුන්ද ගොඩෙන් ඉවත් කරගත් ඡුන්ද ප‍්‍රමාණයක්ද ආපසු යායුතුය. එය එසේ වන්නට නම් එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණයේදී පරාදවිය යුතුය. ඇතැම් සන්ධාන නායකයන් රටට කියන්නේ එහෙමය. ඔවුන්ම එය විශ්වාස නොකළද සිහින මවන්නේ එය සිදු වනු දැකීමටය.

දේශපාලනය යනු අංක ගණිතය නොවේ යැයි වරක කීවේ සෝවියට් දේශයේ නායකයාව සිටි නිකිතා කෘෂෙව්ය. දේශපාලනය යනු වෙනස් වන ක‍්‍රියාවලියකි. එහිදී වැදගත්වන්නේ දේශපාලන වර්ධනයන් හා ඒවා ගමන්කරන දිශාවන් තේරුම් ගැනීමයි. ඇතැම් දේශපාලන වර්ධනයන් නොනැවතී ඉදිරියට යාම හැර වෙනත් යමක් සිදුවිය නොහැකි බව එවිට තේරුම් ගත හැකිවනු ඇත. සිදුවනවානම් විය හැක්කේ තාවකාලික පසුබැසීම් ඇතිවීම පමණකි.

හිතුවක්කාර පාලනයේ අවසානය

ජනවාරි අටවැනිදා මෙරට ජනයා කෙළේ හිතුවක්කාර ඒකාධිපති පවුල් පාලනයක් පෙරළා දැමීමයි. ඉන් පසුව අපට දකින්නට ලැබෙන්නේ නැවත වතාවක් එබඳු පාලනයක් මෙරටෙහි ඇති නොවන්නට අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැගීමේ අරගලයයි. පෙරළා දැමූ නමුත් සම්පූර්ණ පරාජයකට ලක් නොවූ බලවේග එම ක‍්‍රියාවලියට මාරාන්තික විරෝධයක් දක්වනු අපට ඒ අවස්ථාවේ දක්නට ලැබිණි.
එම ජනතා ඉදිරි ගමන ආපසු හරවන්නට යළිත් කුමන්ත‍්‍රණයක් දියත්වී ඇති බව පෙනෙන්නට තිබේ. එසේ වුවද දැන් එය ක‍්‍රියාත්මක වන්නේ රාජ්‍ය බලය නොමැතිවය. සාධාරණ මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ ජනතාවගේ අභිලාශයන් පරාජය කිරීමේ අභියෝගය මෙම ප‍්‍රතිගාමීන් භාරගෙන ඇත. ඒ සඳහා විවිධ උපක‍්‍රම, ආකර්ශනීය පොරොන්දු, අමූලික බොරු ප‍්‍රචාර ආදී මෙකී නොකී දෑ ක‍්‍රියාත්මක කරමින් පවතියි.

ජනවාරි අටවැනිදා යහපාලනය සඳහා පෙනීසිටි බලවේග මෙම මැතිවරණයේ තරග වදින්නේ වෙනමය. එක්සත් ජාතික පක්‍ෂය සංවිධානය වෙමින් සිටියේ තනිවම තරග වදින්නටය. එසේ වුවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සිටි සන්ධානයේ පිරිසක් සමග අවසන් මොහොතේ පෙරමුණක් ගොඩ නගන්නට එම පක්‍ෂයට සිදුවිය. එය දැන් යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග වැදී සිටියි. ජයග‍්‍රහණය පිළිබඳ විශ්වාසයකින් යුතුව නව දේශපාලන ආර්ථික දැක්මක් වෙනුවෙන් මෙම පෙරමුණ සටනට පිවිස සිටියි.
ජනතා විමුක්ති පෙරමුණට සිදුව තිබෙන්නේ තම දේශපාලන අනන්‍යතාව රැුකගෙන වෙනම ගමනක් යන්නටය. එම පක්‍ෂය පසුගිය දේශපාලන අරගලයේදී ඉටුකළ කාර්යභාරය නිසා යම් කීර්තිනාමයක්ද දිනාගෙන ඇති බව පැහැදිලිය. කලක් වෙනම කුලකයක් ලෙස පෙනී ගිය ජවිපෙය දැන් පොදු මහජන ව්‍යාපාරයක් බවට වර්ධනය වන ලකුණු පෙනෙන්නට ඇත. විශාල පිරිසක් නොවුවත් ස්වාධීන කලාකරුවන් දේශපාලන චින්තකයන් හා ප‍්‍රභූ පිරිසකගේ සහය එම පක්‍ෂයට හිමිවී ඇති බව පැහැදිලිය. එම පක්‍ෂය මෙම මැතිවරණයෙන් ඉදිරියට එන බවට සැකයක් නැත.

දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර තම තත්ත්වය රැුකගෙන තහවුරු කරගැනීමේ සටනක යෙදී සිටියි. එහිදී උතුරෙන්ම එල්ල වෙන වෙනත් බලවේගයන්ගේ අභියෝගවලට මුහුණදීමට දෙමළ සන්ධානයට සිදුව ඇත.

යහපාලන පෙරමුණු දෙකක්

පාර්ලිමේන්තු මැතිවරණයක් වන මෙහිදී තීරණාත්මක සටන ඇත්තේ උතුරේ ඡුන්ද අත නොව දකුණේ ඡුන්ද බෙදාගැනීම සම්බන්ධයෙනි.  ඒ සඳහා ප‍්‍රධාන පෙරමුණු දෙකක් සමග පෙරමුණු තුනක සටනක් නිර්මාණය වී ඇතැයි කිවහොත් නිවැරදිය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා ප‍්‍රධාන සටන ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතරය. ඒ අතර ජවිපෙය සටන් වැද සිටින්නේ බිහිවන බල තුළනය තුළ තීරක බලවේගය බවට පත්වන්නටය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු බලයක් හිමිකර ගැනීමටය.

සමස්තයක් ලෙස ගත්විට යහපාලනය සඳහා වන බලවේග රටේ බහුතර ජනයා නියෝජනය කරන බව පැහැදිලිය. එසේ වුවද එය පෙරමුණු ගණනාවකට බෙදී ඇත. ප‍්‍රධාන බෙදීම වන්නේ එක්සත් ජාතික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ අතරය.

ජවිපෙ උභතෝකෝටිකය

මේ බෙදීම යහපාලන ක‍්‍රියාවලිය සඳහා පෙරමුණ ගත් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් අතරද සිදුවී තිබේ. ඉන් බහුතරය ඍජුලෙසම එක්සත් ජාතික පෙරමුණට සහය දෙමින් ප‍්‍රකාශ කරන්නේ යහපාලනය සඳහා පෙනීසිටින පිරිසුදු අපේක්ෂකයන්ට ඡුන්දය දෙන ලෙසයි.
සිවිල් ක‍්‍රියාකාරීන්ගේ තවත් කණ්ඩායමක් පෙනී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය ලබාදීමටය. යහපාලනය ක‍්‍රියාවලිය ස්ථීර ලෙස ඉදිරියට යන්නේ ජවිපෙය ශක්තිමත් වූ විට බව ඔවුහු කියා සිටිති.

මෙය දැන් තියුණු විවාදයකි. එ.ජා.පෙ. වෙනුවෙන් පෙනී සිටින පිරිස කියන්නේ නැවතත් අභියෝගය වී ඇත්තේ ජනවාරි අට පරාජය කළ ප‍්‍රතිගාමී බලය යළි හිස එසවීම නැවැත්වීම බවයි. ඒ සඳහා යහ පාලනය සඳහා වන ඡුන්ද එක ගොඩකට දමාගත යුතු බවත්, එම ගොඩ වන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් මොවුහු කියති.

අනෙක් අතට තිබෙන තර්කය නම් දැනටමත්  ප‍්‍රතිගාමීත්වයේ පරාජය සහතිකවී ඇති බවයි. එබැවින් බලයට එන එජාපෙ රජය පාලනය කිරීම සඳහාත් යහපාලන සටන ඉදිරියට ගෙනයාම සඳහාත් ජවිපෙ ශක්තිමත් කිරීම මොවුන්ගේ සටන් පාඨය වී තිබේ.

මෙම තර්ක පිටුපස එතරම් නොකියැවෙන වෙනත් මානසිකත්වයක්ද වන බව පෙනෙන්නට තිබේ. එනම් එජාපය යනු මෙරට ප‍්‍රතිගාමීත්වයේ නියමුවාය යන පැරණි වාමාංශිකයන් වගාකළ මතවාදයයි.

ජනවාරි අටවැනිදා අපරට ජනයා පරාජය කළේ මේ අවධියේ රටේ ක‍්‍රියාත්මක ප‍්‍රතිගාමී බලවේගයයි. එයට නායකත්වය දුන්නේ එක පැත්තකින් සිවිල් සමාජ බලවේග වන අතර අනෙක් පැත්තෙන් ප‍්‍රධාන හා බලගතු කණ්ඩායම ලෙස එක්සත් ජාතික පක්‍ෂයයි. එජාප නායකත්වය සියලූ ජනතා බලවේග ඒකරාශී කිරීමට දැක්වූ කැපවීම, නම්‍යශීලී බව හා පරිනතබව එම ක‍්‍රියාවලියට සම්බන්ධවූ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ බවද බොහෝ දෙනා දන්නා කාරණයකි.

වාමාංශික හිරිකිතය

සියල්ල එසේ වුවද එජාපය හා එකට හිටගන්නට ඇතැම් හිටපු වාමාංශිකයන්ටද තවමත් හිරිකිතයක් ඇත්තේ ඔවුන් මෙරට ප‍්‍රතිගාමීත්වය නියෝජනය කරනවාය, නැතහොත් අධිරාජ්‍යවාදය නියෝජනය කරනවාය යන මිත්‍යාව නිසාය.

මාක්ස්වාදීන්ගේ න්‍යායවේදීන් වන ලෙනින් , කෞට්ස්කි , රෝසා ලක්ෂම්බර්ග්, බුකාරින් වැනි නායකයන් කීවේ අධිරාජ්‍යවාදය යනු රටවල් දේශපාලන වශයෙන් යටත් කිරීම බවයි. ලෙනින් විරුද්ධ වූයේ එයටය. අද එලෙස රටවල් යටපත් කිරීමක් නැත. තිබෙන්නේ බලවත් රටවල් හා කුඩා රටවල් පිළිබඳ ප‍්‍රශ්නයකි. ඇතැම් වාමාංශිකයන් විවිධ න්‍යාය ඉදිරියට දමා කියන්නට හැක්කේ තවමත් අධිරාජ්‍ය වාදයක් ඇති බවකි. එය බොහෝවිට ස්ථානගත කරන්නේ ආර්ථික ක‍්‍රියාවලියෙන්ය. එසේනම් ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන මෙන්ම චීන අධිරාජ්‍යවදයයත් ගැනද කතාකිරීමට සිදුවෙයි. මෙම අධිරාජ්‍යවාදය යන්න මේ වනවිට තිබෙන්නේ ඇතැම් වාමාංශිකයන්ගේ ඔළුවල පමණකි. සත්‍ය ලෝකයේ එවැන්නක් නැත. ශ්‍රී ලංකාව එයින් මිදුණේ අවුරුදු හැටකට ඉහතදීය.

ප්‍රගතිශීලී අධිරාජ්‍යවාදය

දෙවන කාරණය නම් අධිරාජ්‍යවාදයට විරුද්ධ වියයුතු බව කියන්නට ලෙනින්ට වෙළුම් ගණනාවක් ලියන්නට වූයේ ඇයිද? යන ප‍්‍රශ්නයයි. එයට හේතුව නම් අධිරාජ්‍යවාදය රටවල් යටත් කරමින් ධනපති නිෂ්පාදන සබඳතා ගොඩ නගන විට රදළ වාදී පසුගාමිත්වය බිඳවැටෙන බවට ඇතැම් මාක්ස්වාදීන් නැගූ තර්කයයි. රෝසා ලක්ෂම්බර්ග් විප්ලවවාදිනිය පෙනී සිටියේ ඒ වෙනුවෙනි.

අප රටටද අද අවශ්‍යවන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය වැඩි වැඩියෙන් මෙරටට ගෙන්වා ගැනීමයි. ප‍්‍රගතිශීලීවන්නේ එයයි. වොක්ස්වාගන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ඒ අනුව ප‍්‍රගතිශීලීය. ප‍්‍රතිගාමීවන්නේ එයට එරෙහිවීමය. අපගේ ඇතැම් වාමාංශිකයන් තවමත් කටයුතු කරන්නේ එම ප‍්‍රතිගාමී අදහස් කරපින්නාගෙනය. එය පරාජය කළ යුතු වන්නේ එයින් සමාජයටද අගතියක් වන නිසාය.

දැන් අවශ්‍ය වන්නේ හණමිටි අදහස් ඉවතලා ජනතාව සමග ඉදිරියට යාමට සියලූ දෙනා සූදානම් වීමයි. එසේ නොවන උදවියට ඉතිහාසයේ කුණුකූඩය හිමිවනු ඇත. ජනතාවගේ ගමන ඉදිරියට යන බව ස්ථීරය.

සී ජේ අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *